දිවි රැක ගන්න සිඟමන් යැදීම – ශ්‍රී ලංකාවේ අමතකව ගිය වැඩිහිටියන්ගේ අනුවේදනීය කතාව

ඉර හරියට අපිත් එක්ක තරහෙන් වගේ ගිනිගෙන දැවෙනවා. බරට බරේ ගමන් මලු උස්සගත්ත මගීන් දාඩිය දාගෙන සෙනග පිරුණු පදික වේදිකා දිගේ දඩි බිඩි ගාල දුවනවා. හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ මේ දරාගන්න බැරි උණුසුම නිසා තමන්ගේ ගමන කොහොම හරි ඉක්මනට ඉවර කරන්න. හැබැයි මේ අය අතරේ මේ ගිනිගහන අව්වෙන් පලා යන්න කිසිම හදිස්සියක් නැති බව පේන පිරිසකුත් ඉන්නවා : ඒ තමයි මග තොට ගැවසෙන දෙනෝ දාහක් දෙනාට අත පාමින් සිගමන් අයදින යාචකයෝ.

මේ අය මිනිස්සුන්ගෙන් රුපියලක් දෙකක් ඉල්ල ගන්න තමන් නිරාහාරව ඉන්න බව පෙන්නමින් බොහෝ විට පාරේ අහුමුළු වල ඉඳගෙන, එහෙම නැත්නම් ට්‍රැෆික් ලයිට් ළඟ හිටගෙන ඉන්නවා දකින්න පුළුවන්. බොරැල්ලේ බස් නැවතුම්පළ ළඟ රත්වුන පදික වේදිකාව මත අත් දෙකම කපල තියන යාචකයෙක් වැතිරිලා ඉන්නවා අපි දැක්කා. ඔහු ළඟ තියන පරණ තුවායක් උඩ කාසි කිහිපයකුත් තිබුණා. ඔහුගේ අත් දෙකම තියෙන්නේ වැලමිටට ටිකක් විතර පහළට වෙනකම් විතරයි. එතනින් එහා මෙහා යන එන අයගේ අවධානය දිනාගන්න ඔහු උමතුවෙන් වගේ හුස්ම ගන්නවා.

අපි පරිස්සමට ඔහුගේ ෆොටෝ එකක් ගන්න හැදුවා. “ටිකක් පරිස්සම් වෙන්න” අපේ මාර්ගෝපදේශක හාදිල් (Haadil) ගෙන් අපිට අනතුරු ඇඟවීමක් ලැබුණා. ඒ මොකද නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳ ගත් කෙනෙක් විනාඩි 15 ක් විතර අපේ පස්සෙන් එන බවක් අපිට හැඟුණා. අපි කරන මේ දේවල් ගැන ඔහු එතරම් පැහැදීමකින් නෙවෙයි හිටියේ.  

බොරැල්ලේ රත්වුන පදික වේදිකාවේ දෑත් අහිමි යාචකයෙක් වැතිර ඉන්න ආකාරය. රූපය : Aayisha Jaufer

බොරැල්ලේ රත්වුන පදික වේදිකාවේ දෑත් අහිමි යාචකයෙක් වැතිර ඉන්න ආකාරය. රූපය : Aayisha Jaufer

අපි මේ මොකක්ද කරන්නේ කියල ඔබට හිතෙනවා ඇති. ඇත්තටම අපි මේ හදන්නේ අපේ රටේ බොහෝමයක් වියපත් හා ආබාධිත ජනතාව හිගාකෑමට තරම් පහත් තත්වයකට වැටිලා තියෙන්නේ ඇයි කියල හොයලා බලලා ඒ ගැන දැනුමක් ලබා ගන්නයි. ඒ තොරතුරු ඔබත් එක්ක බෙදා ගෙන මේ පිටුපස තියෙන අඳුරු කතාව ගැන කවුරුත් දැනුවත් කරන්නයි අපේ බලාපොරොත්තුව.

යාචකයෝ කියන්නේ කොළඹ පාරවල් වල හරිම සුලබ දසුනක්. අපේ රටේ ජනගහණයෙන් 8.9% ක් දෙනා ජීවත් වෙන්නේ දරිද්‍රතා මට්ටමට පහළින්. ඒත් එක්කම වයස්ගත ජනතා ප්‍රතිශතය වේගයෙන් වැඩි වෙනවා. මේ වියපත් ජනතාවට පිහිට වෙන්න තියෙන වැඩසටහන් වුණත් සර්ව සම්පුර්ණයි කියන්න බැහැ. මේවා ශ්‍රී ලංකාවේ වියපත් ජනතාවගෙන් වැඩි පිරිසක් හිගමනට යොමු වෙන්න ප්‍රධාන හේතු කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ කොච්චර යාචකයෝ ප්‍රමාණයක් ඉන්නවද කියන එක ගැනත් හරියටම දත්ත නෑ. කොහොම වුණත් කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරපු සංගණනයකට අනුව ශ්‍රී ලංකාවේ ඉන්න යාචකයන්ගෙන් ආසන්න වශයෙන් 20% ක් වියපත් පුද්ගලයන් කියල ඇස්තමේන්තු කරලා තියනවා.

කොළඹ අවට යාචකයන් බොහෝ දෙනෙක් ඉන්න නිසා අපිත් එක්ක එයාලගේ ජීවන කතාව බෙදා ගන්න කැමති යාචකයෝ හොයාගන්න එක අපිට එච්චර අමාරු දෙයක් උනේ නෑ. අපි හිටිය තැනට යාර කිහිපයක් දුරින් අපිට හමු වුණා කෙසෙල්වත්තේ ඉදන් ආපු සිතී මසාහියා (Sithi Mazahiyah). ඇයට අවුරුදු 70 කටත් වැඩියි කියල අපිට හිතුණේ. හරිම අමාරුවෙන් හෙමිහිට යන ඇගේ ගමන් විලාසයට අපි හිතපු දේ තවත් තහවුරු වුණා. අපි ඇයත් එක්ක කතා කරන්න හිතාගෙන නතර වුණාම ඇගේ රැලි වැටුන මූණ ටිකක් එලිය වුණා.

සිතී කලින් ගෘහ සේවිකාවක් විදියට වැඩ කරලා තියෙනවා. නමුත් ඇගේ වයස්ගත බව වගේම දුබල බව නිසා ඉන් නතර වෙන්න සිද්ධ වෙලා. ඇගේ සැමියා මිය ගිහින් තියෙන්නේ මීට අවුරුදු 17 කට කලින්. ළමයි හැමෝම ඉන්නේ විදේශ ගතවෙලා. අපි ඇගෙන් ඇහුවා ළමයි සල්ලි එහෙම දීලා උදව් කරන්නේ නැද්ද කියලා. එවිට ඇය කණගාටුවෙන් හිනා වෙලා අපිට කිව්වේ ” නෑ එයාල මගෙන් සල්ලි ඉල්ලනවා කියලා”. ඒවගේම ඇයට රජයෙන් හෝ ආධාර සපයන වෙනත් ආයතනයකින් කිසිම ආධාරයක් හම්බ වෙලා නෑ.

ප්‍රසිද්ධ ස්ථානවල මේ විදියට හිඟා කද්දි පොලීසියෙන් කරදර වෙලා එහෙම නැත්ද කියලත් අපි ඇයගෙන් ඇහුවා. “නෑ කොහෙත්ම නෑ, එයාලා හරිම කරුණාවන්තයි. මට පාර පනින්න පවා උදව් වෙනවා.” කියලා සිතී ඉක්මනින් උත්තර දුන්නා. සිඟමනෙන් හම්බෙන මේ සොච්චමෙන් තමයි ඇය ජීවත් වෙන්නේ. රැට නිදා ගන්නේ නෑදෑ ගෙදරකලු. කෑම කන්න ඇති තරම් සල්ලි හම්බවෙනවද කියලා ඇහුවම ඇය කිව්වේ “මට ඇති තරම් සල්ලි හම්බ වුණ දවසට කනවා එහෙම නැති දාට කන්නේ නැතුව යනවා” කියලා.

සිතී මසාහියා එයාගේ පවුලෙන් අත ඇරලා දාපු කෙනෙක්. ඇය තමන්ගේ බඩවියත රැකගන්නේ මහා පාරේ හිඟා කාලා. බොහෝ වෙලාවල් වලට අවශ්‍ය තරම් මුදල් නොලැබෙන නිසා අය ඉන්නේ බඩගින්නේ. රූපය : Aaysha Jaufer.

සිතී මසාහියා එයාගේ පවුලෙන් අත ඇරලා දාපු කෙනෙක්. ඇය තමන්ගේ බඩවියත රැකගන්නේ මහා පාරේ හිඟා කාලා. බොහෝ වෙලාවල් වලට අවශ්‍ය තරම් මුදල් නොලැබෙන නිසා අය ඉන්නේ බඩගින්නේ. රූපය : Aaysha Jaufer.

මීළඟට අපිට හම්බවුනේ රත්මලානේ ඉදන් ආපු කුසුමාවතී. ඇය අපිට කිව්වේ නම් ඇගේ වයස අවුරුදු 60යි කියලා. ඒ වුනත් හරියට ඇටසැකිල්ලක් වගේ වැහැරී ගිය සිරුරෙනුයි, ජරා ජීර්ණ වුන මුහුණෙනුයි පෙනුනේ ඊට වැඩිය ගොඩක් වයස බවක්. ඇය ඉක්මනින් කලබල වෙන පාටක් තමයි අපි දැක්කේ. අහපු ප්‍රශ්ණ වලටත් උත්තර දුන්නේ වචනෙන් දෙකෙන්. ටිකක් වෙලා කතා කරද්දී තමයි අපිට තේරුණේ ඇය හිඟා කන්න රත්මලානේ ඉඳලා කොළඹට දිනපතා එන බව.

තමන්ව පවුලෙන් නොසලකා හැරිය බවත්, දැන් කොහේ හරි කුලී කාමරයක ජීවත් වෙන බවත් ඇය අපිත් එක්ක කිව්වා. අපි කුසුමාවතීගෙන් පවුලේ වෙන කවුද ඉන්නේ කියලා ඇහුවම එයා  කිවුවේ “මම එයාලත් එක්ක තරහයි”  කියලා විතරයි. ඇය ඒ ගැන කතා කරන්න අකමැති බව පෙනුණු නිසා ඊට පස්සේ අපි කුසුමාවතීගෙන් ඇහුවේ මොනවාහරි ලෙඩකට බෙහෙත් අර ගන්නවද කියලයි. ඇය කකුලේ තිබුණ ලොකු සැරව ගෙඩියක් පෙන්නලා අපිට කිවුවේ මම මේකට බෙහෙත් ගන්න රත්මලානේ ඉස්පිරිතාලෙට යනවා කියලා කියලා අපෙන් ඈතට ගියා. අපිත් ඊට වඩා ඇය ගැන විස්තර අහන්න ගියේ නැහැ. නමුත් අපට ඇයගේ ෆොටෝ එකක් ගන්න පුළුවන් වුණා.

තම පවුලෙන් නොසලකා හැරිය කුසුමාවතී දිනපතා රත්මලානේ ඉඳලා කොළඹට එන්නේ හිඟාකාලා කීයක් හරි එකතුකර ගන්න. රූපය : Aayisha Jaufer

තම පවුලෙන් නොසලකා හැරිය කුසුමාවතී දිනපතා රත්මලානේ ඉඳලා කොළඹට එන්නේ හිඟාකාලා කීයක් හරි එකතුකර ගන්න. රූපය : Aayisha Jaufer

වියපත් යාචකයෝ හොයාගෙන යන අපේ මේ ගමනේදී අපිට තවත් යාචකයෙක් හම්බුණා දෙමටගොඩ දුම්රිය නැවතුම්පල අසලින්. දෙමටගොඩ දුම්රිය ස්ථානයත් එක්කම තියෙන ගුවන් පාලම යට මහදවාලේ නිදිසුව විඳින ගෙවල් නැති මිනිස්සු කීප දෙනෙක්ම ඉන්නවා. දුම්රිය වේදිකාවේ කොනක ඉඳගෙන පත්තරයක් කියවමින් හිටපු කොණ්ඩය ඉදුණු  වයසක මනුස්සයෙක් ළඟට අපි ගොඩක් පරිස්සමෙන් කිට්ටු වෙලා ටිකක් කතා කළා. ඔහු නමින් ආරුමුගම්. වයස අවුරුදු 56යි. අරුමුගම් කාලයක් වැඩ කරලා තියෙන්නේ ඇඟලුම් කම්හලක. පස්සෙ කාලෙක මේ කම්හල වසා දැමීමත් එක්ක ඔහුට රස්සාවත් අහිමි වුණා. “නාවල තිබුණ මගේ ගෙදරත් රජයෙන් කඩලා දැම්මා” කියලා  ඔහු අපිට කිවුවේ කෝපයෙන්.

ඒ ඇයි කියල අපි අහන්න හදද්දීම වගේ අපි ළඟට ආපු කෙනෙක් කැඩිච්ච ඉංග්‍රීසියෙන් ” What talking”  කියලා  හයියෙන් ඇහුවා. ඒ හඬේ තිබුනේ තර්ජනාත්මක බවක්. අපේ මේ කතාබහට බලෙන් ඇතුළු වුන මනුස්සයා දිහා තරහෙන් බලපු ආරුමුගම් ” මේක සම්මුඛ සාකච්ඡාවක්, ඔහේට අදාළ දෙයක් නෙවෙයි” කියල කිවුවා. ඒ වුණත් සම්මුඛ සාකච්ඡාවක් කියලා කිව්වාම ඔහුත් අපේ කතාවට එකතු වුණා. ඔහු තමන්ව හඳුන්වලා දුන්නේ නම ප්‍රියන්ත නමින්.

ආරුමුගම් බෙස්ලයින් පාරේ ගුවන් පාලම යට ජීවත් වෙන, රැකියා විරහිත, මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුණ කෙනෙක්. රජයෙන් එයා ජීවත්වුණ නිවාස කඩා දැම්මා කියලා කිව්වා. රූපය : Aayisha Jaufer

ආරුමුගම් බෙස්ලයින් පාරේ ගුවන් පාලම යට ජීවත් වෙන, රැකියා විරහිත, මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුණ කෙනෙක්. රජයෙන් එයා ජීවත්වුණ නිවාස කඩා දැම්මා කියලා කිව්වා. රූපය : Aayisha Jaufer

ප්‍රියන්ත වැඩිපුරම ආරුමුගම් ගැන තමයි අපිට විස්තර කිව්වේ. “ආරුමුගම් නිදා ගන්නේ මෙහේ. එයාට පවුලක් නෑ. ආරුමුගම් ගොඩාක් බොනවා. නිතරම බීලා වෙරි වෙලා ඉන්න නිසා නිසා එයා හිඟා කාලා එකතු කරන සල්ලි සේරම වගේ වෙන මිනිස්සු හොරකම් කරනවා. ඒ බව එයා දන්නෙත් නෑ. හැබැයි මම නම් එයාගේ සල්ලි කවදාවත්ම හොරෙන් ගන්නේ නෑ. මම එයාව බලාගන්නවා. ආරුමුගම් හරියට මගේ තාත්තා වගේ. මාත් ජීවත් වෙන්නේ මෙහේ. සමහර වෙලාවට මම එයාට සල්ලි දෙනවා, කෑම අරන් දෙනවා. මෙයාගේ සල්ලි හොරකම් කරන කුඩු කාරයොත් මෙහේ ඉන්නවා.” කියලා ඔහු දිගට දිගට කියාගෙන ගියා. ආරුමුගම් ටිකක් එහාට වෙලා අපිට ප්‍රියන්තත් එක්ක නිදහසේ කතා කරන්න ඉඩ දුන්නා. ඒත් ආරුමුගම් අපි දිහා දිගටම උනන්දුවෙන් බලාගෙනයි හිටියේ. අපිත් එක්ක ඉක්මනටම හිතවත් වුණු ප්‍රියන්තට සමු දීලා අපි තවත් යාචකයන් හොයන්න පිටත් වුණා

වයස අවුරුදු 70 ක් වන කරුණාවතී අපිට මුණ ගැහුනේ බොරැල්ලේ හරස් පාරෙදි. ඇය ජීවත් වෙන්නේ ඇගේ මිණිබිරියගේ පවුලත් එක්ක වැල්ලම්පිටිය පැත්තේ කුඩා කුලී ගෙදරකලු. කරුණාවතීගේ මිණිබිරියගේ සැමියා දින දර්ශන හදලා උපයන සුළු මුදලින් තමයි මේ පවුලම ජීවත් වෙන්නේ. ඔහුට ලැබෙන සුළු වැටුප හරිහමන් විදියට  කාලා, ගෙවල් කුලී ගෙවලා, ළමයි ඉස්කෝලේ යවන්න කොහෙත්ම මදි කියල ඇය අපිට කිව්වා.

“මගේ පවුලේ අය මට කෑ ගහනවා මෙහේ හිඟා කන්න එනවා කියලා. මොකද එයාලට ඒක ලැජ්ජාවක් නිසා” කියලා කරුණාවතී කිව්වේ ගොඩක් අසතුටෙන්. “ඒ වුනාට මම මොනවා කියලා කරන්න්නද? කරන්න දෙයක් නැති නිසා මම මෙහේ එනවා. මෙහේ ඉන්න අනිත් යාචකයෝ මාත් එක්ක වැඩිය හිතවත් නෑ. ඒ නිසා මම මගේ ගැන බලාගන්නවා.” ඇය කිව්වා.

කරුණාවතී වයසට ගිහින් විශ්‍රාම ගන්න කලින් වැල්ලම්පිටිය පොලීසියේ කෝකියෙක් විදියට වැඩ කරලා තියනවා. ඒ නිසා අදටත් ඇයට මාසිකව රුපියල් 250 ක විශ්‍රාම වැටුපක් හම්බෙනවාලු. ඒත් ඒකෙන් කොහොම ජීවත් වෙන්නද?

කරුණාවතී මාසෙකටම රුපියල් 250 ක විශ්‍රාම වැටුපක් ලබන අයෙක්. ඒක ජීවත් වෙන්න කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන නිසා හිඟා කන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. රූපය : Aaysha Jaufer.

කරුණාවතී මාසෙකටම රුපියල් 250 ක විශ්‍රාම වැටුපක් ලබන අයෙක්. ඒක ජීවත් වෙන්න කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන නිසා හිඟා කන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. රූපය : Aaysha Jaufer.

කරුණාවතීගේ හිතවත් යාචකයෙක් මුල ඉඳලම අපිත් එක්ක කතා කරන්න හිටියේ ටිකක් දෙගිඩියාවෙන්.  කොහොම වුණත් ටිකක් සුහදව කතා කරද්දී ඇයත් තමන්ගේ ජීවිත කතාව කියන්න එකඟ වුණා. හැබැයි ඇයගේ ඇත්ත නම කියන්න කැමති වුණේ නැහැ. ඒ නිසා අපි ඇයව නිර්මලා කියලා හඳුන්වමු.

නිර්මලා විවාහ වෙලා නැති නිසා ඇයට පවුලක් නෑ. “මම කලින් වැඩ කලේ CBS (Center for Banking Studies) එකේ. ඒ වුනාට මගේ වයසත් එක්ක මට  දිගටම එකේ වැඩ කරන්න බැරි වුණා. ඒ නිසා ජීවත් වෙන්න හිඟමනට බහින්න සිද්ධ වුණා” කියලා ඇය කිව්වා. අපි නිර්මලාගේ වයස ඇහුවම “මම හිතන්නේ මට 80 ක් විතර ඇති කියලා” ඇය කිවුවේ ටිකක් සැකෙන් වගේ. රජයෙන් මොනවා හරි උදව්වක් ගන්න උත්සාහ කළේ නැත්ද කියලා අපි අහලා බැලුවා. “නෑ, ඒක කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්.” ඇය අපිට උත්තර දුන්නේ හරිම නීරස විදියට. “මෙතන ඉන්න හිඟා කන අයගෙන් වයසක හැම කෙනෙක්ම වගේ මාත් එක්ක හිතවත්. අපිට කම්මැලි හිතුණාම කතා කර කර ඉන්නවා. අපි හැමෝම සල්ලි නැති නිසා හිඟා කන අය.” නිර්මලාගේ කතාව මිනිස්සු තමන්ට රජයෙන් ලැබෙන පිහිට ගැන හිතන විදිහ අපූරුවට පෙන්නුම් කරනවා.

කවද හරි දවසක වැඩිහිටි නිවාසෙක නතර වෙන්න එහෙම හිතලා නැත්ද කියලත් අපි ඇහුවා. “දෙවියනේ නෑ” කියලා ඇය උත්තර දුන්නේ පුදුමෙන් වගේ. “මං ඒ වගේ තැනක මාසයක් විතර නතර වෙලා නම් හිටියා.” එහේදී කවුරු හරි වෙනස්කම් කළාද කියලා අපි නිර්මලාගෙන් ඇහුවම ඇය හිනාවෙලා කිව්වේ “නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි. මට ඒහෙ ඉද්දි නිකම් පිස්සු වගේ. එහේ මට කරන්න කිසිම දෙයක් නෑ. හරියට මට දැනුනේ මාව හිර කරලා වගේ. ඒ නිසා මම මෙහේ ආවා (හිඟාකන්න). මට මගේ නිදහස මෙහේ තියනවා.මෙහේ ලොකු මහත්තයා මාව දන්නවා.  එයා තමයි  මම CBS එකේ වැඩ කරද්දී අපේ බොස්. ඒ නිසා මම මෙහේ නතර  වෙලා ඉන්නවා. කවුරුවත් මාව එලවන්නේ නෑ. මට හම්බෙන මේ සොච්චම් මුදල ගැන මම සතුටු වෙනවා” ඇය අපිට සතුටෙන් වගේ කිවුවා. මේ ලොකු මහත්තයා කවුද කියන එක ගැන වැඩි විස්තර අහන්න හදද්දීම වගේ කවුද කෙනෙක් අපි අසළ ගැවෙසෙමින් අපි දිහා බලන් ඉන්නවා කියලා අපිට මග පෙන්වන හාදිල් අපිට අනතුරු ඇඟෙව්ව නිසා අපි ගමන ඉක්මන් කළා. අපි යන්න හැරෙද්දී හදද්දී නිර්මලා අපිට ගොඩක් කණගාටුවෙන් කිව්වේ “මට දැන් ගොඩක් වයසයි. මම ඉක්මනට මැරෙයි. දැන් මගේ කතාවේ ලියන්න දෙයක් නෑ” කියලා.

ඒත් අපි හිතන්නේ නිර්මලාගේ කතාවෙන් අපිට ගන්න පුළුවන් පාඩම් ගොඩක් තියෙනවා. ජනගහණයෙන් 12.3% ක් වයස අවුරුදු 60 ට වැඩි, යැපුම් අනුපාතය 13.2% ක් වන අපේ රටේ වියපත් අය රැක බලා ගැනීම කියන්නේ ලොකු ගැටලුවක් බවට පත් වෙමින් තියෙන දෙයක්. 2015 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කරන ලද අධ්‍යයනයකින් විවිධ හේතු නිසා අවුරුදු 60ට වැඩි 50% ක් දෙනා රැකියාවක් කරන්නේ නෑ කියලා හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම රෝගී බව මේකට ප්‍රධාන හේතුවක් විදිහට දකින්න පුළුවන්. රැකියා කරන ඉතිරි 50%නුත් 18% ක් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් නොහිටියත් ජීවත් වෙන්න ඕන නිසා රැකියාවක් කිරීමට සිද්ධ වෙලා තියනවා. මේ අධ්‍යයනයෙන් පෙන්නන තවත් දෙයක් තමයි අධ්‍යයනය කරන කාලය වන විට රැකියා කරන අයගෙන් ආසන්න වශයෙන් 5% ක් අවුරුදු 80 ට වැඩි පුද්ගලයන් බව. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය අනුව වැඩිහිටියන් තම පවුල් විසින්ම රැක බලා ගන්නවා.  නමුත් මෑත කාලීනව ගමෙන් නගරයට සංක්‍රමණය වීම, දුප්පත් කම වගේම වැඩිහිටියන් රැක බලා ගැනීම කෙරෙහි තිබුණු ආකල්ප වෙනස් වීම වගේ හේතු නිසා ඒ තත්වය අද පිරිහිලා තියනවා. මේ නිසා අද වැඩිහිටි බොහෝ දෙනෙක්ට නිසි රැකවරණයක් ලැබෙන්නේ නැහැ.

ඇත්තටම වැඩිහිටියන්ට සමාජීය වශයෙන් හරි, රජය පැත්තෙන් හරි උදවු කරන්න වැඩපිළිවෙලක් තියෙන්නම ඕනද? විශ්‍රාම වැටුප්, ආබාධිත ආධාර, හා සමෘධි වගේ ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට උදව් කරන වැඩපිළිවෙලවල් කීපයක්ම තියෙනවා. කොහොම වුනත් අධ්‍යයනයෙන් හොයාගෙන තියන විදියට රජයෙන් හෝ සමාජයීය සේවා මගින් මුල්‍යාධාර හම්බවෙන්නේ අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් 30%කට විතරයි. ඒ වගේම තමයි මහජන සේවා විශ්‍රාම වැටුප් වැඩසටහන (public service pension scheme -PSPS) ඇරෙන්න මේ ප්‍රතිලාභ වැඩසටහන් එකකින්වත් වියපත් අයට දරිද්‍රතා රේඛාවට වඩා ඉහළ ආදායමක් හිමි වෙන්නේ නැහැ. මහජන සේවා විශ්‍රාම වැටුප් වැඩසටහන මගින් වුණත් දරිද්‍රතා රේඛාවට ඉහළින් ඉන්න තරම් ප්‍රමාණවත් මුදලක් ලැබෙන්නේ ඒක ලබා ගන්න වැඩිහිටි ජනතාවගෙන් 20% කට විතරයි. ඉතින් රටේ වැඩිහිටි ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් ඉන්නේ දරුණු ආර්ථික අපහසුතා මැද්දේ. ඒ නිසා ඒ අයගෙන් බොහෝ දෙනෙක්ට, විශේෂයෙන්ම ශාරීරිකව දුර්වල වැඩිහිටියන්ට හිඟා කෑමට යොමුවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

කොහොම උණත් මේ යාචක ප්‍රශ්නයේ සම්පුර්ණයෙන්ම වෙනස් පැත්තකුත් තියනවා.  සාමාන්‍යයෙන් රජය වුනත් මේ යාචකයන්ව දකින්නේ රටේ මාර්ග වල ලස්සන නැති කරන, සමාජ විරෝධී පිරිසක් විදිහට. ඒ නිසා ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමට හරි ඔවුන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හරි වඩා උත්සාහ කරන්නේ ඔවුන්ව එලවලා දාන්නයි. මේ නිසා ප්‍රශ්නය තවත් දුරදිග යනවා මිසක් විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. බලතල පාවිච්චි කරලා යාචකයන් පාරෙන් ඉවත් කරාට ඔවුන්ගේ ගැටළු විසඳෙන්නේ නැහැ.

කාලෙකට කලින් යෝජනාවක් ආවා කොළඹ ප්‍රදේශයේ යාචකයන්ට මාසික දීමනාවක් ගෙවන්න. ඒත් කොළඹ මහ නගර සභාව පැමිණිලි කරලා තියෙනවා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වලට යම් මාසික දීමනාවක් ලබා දුන්නත් මෙම පවුල් වල පුද්ගලයන් දිගින් දිගටම හිඟා කෑම කරගෙන යනවා කියලා. ඒ නිසා නිකරුණේ මුදල් වියදම් වෙනවා ඇරෙන්න පාරේ ඉන්න යාචකයන් ගණනේ අඩුවක් වෙන්නේ නැති බව ඔවුන් පෙන්වලා දෙනවා. කොහොම නමුත් පවුලකට දීමනාවක් විදියට හම්බවෙන්නේ රුපියල් 400ත් 1500ත් අතර මුදලක් විතරයි. මේ අවුරුද්දේ ජන සංගණන හැ සංඛ්‍යා ලේඛන දෙපාර්තමෙන්තුවේ වාර්තා වලට අනුව දළ වශයෙන් මාසයකට රුපියල් 3500-4100 මට්ටමේ තියෙන ජාතික දරිද්‍රතා රේඛාවට ඉහළින් ඉන්නවත් මේ මුදල ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉතින් දීමනාවත් අරගෙන හිඟා කනවා කියලා ඔවුන්ට දොස් පවරන්න බැහැ.

මේ අතර කොළඹ පොහොසත් යාචකයොත් ඕනෑ තරම් ඉන්නවා. ඒ කියන්නේ වාසිදායක අමතර ආදායමක් විදියට හිඟාකාලා සල්ලි එකතු කරන මිනිස්සු. 2015 දී කරපු එක ස්වාධීන අධ්‍යයනයකට අනුව කොළඹ ඉන්න සමහර යාචකයෝ දවසකට තනිවම රුපියල් 4000ත් 6000ත් අතර මුදලක් උපයනවා කියලා හොයාගෙන තියනවා. මේ සමහර යාචකයන්ට බැංකු ගිණුම් පවා තියෙනවා.

ඒ අතරේ විවිධ මාෆියා කණ්ඩායම් මගින් සේවයේ යොදවපු යාචකයෝ පිළිබඳව, ඒ කියන්නේ යාචක වෙළෙදාම පිළිබඳ වාර්තාත් බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයෙන් හොයා ගන්න පුළුවන්. කොළඹ මාර්ග වල  ඉන්න සමහර යාචකයෝ අනුන්ගේ අනුකම්පාව දිනාගන්න බොරුවට ආබාධිතයි වගේ පෙන්නන එකත් දැන් සුලභ දෙයක් බවට පත් වෙලා. මීට අමතරව ඇතැම් යාචකයෝ මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් ඔවුන් සදාකාලිකව දුප්පත් වෙලා ඉන්න ප්‍රධාන හේතුවක්. මේ හේතු නිසා සුභසාධක කණ්ඩායම් වලට වුණත් ඇත්තටම උදව් අවශ්‍ය කාටද, අවශ්‍ය නැත්තේ කාටද කියලා හරියටම වෙන් කර ගන්න අමාරුයි.

හිඟා කන අතරේ සමාජ විරෝධී හෝ නීති විරෝධී ක්‍රියා කළත් නොකළත් පාරේ හිඟා කන එක නම් කීයටවත් රටේ වැඩිහිටියන්ට සුදුසු දෙයක් කියලා කියන්න බැහැ. 2030 වන විට මුළු ජනගහණයෙන් වැඩිහිටි ප්‍රතිශතය 20.5% දක්වා වැඩිවෙනවා කියල පුරෝකථනය කරන නිසා වියපත් ජනතාවගේ දුප්පත්කම කියන්නේ දිනෙන් දින ලියලා වැඩෙන, ඉක්මන් විසදුමක් අත්‍යාවශ්‍ය වෙන ප්‍රශ්නයක්. යම් විදිහකින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වුණොත් ඒක අපේ රටට දෙවිදිහකින් ප්‍රයෝජනවත් වේවි. එක අතකින් වියපත් ජනයාට ස්ථිර ආදායම් මාර්ගයක් සපයන අතරේ ශ්‍රී ලංකාවේ යාචකයෝ ප්‍රමාණයත් 20%කින් අඩු කර ගන්න පුළුවන්. යාචක ප්‍රශ්නය සම්පුර්ණයෙන්ම විසඳන්න බැරි වුණත් ඒක ව්‍යසනයක් බවට පත් නොවී තියා ගන්න අපි අද ගන්න ආරම්භය සුළුවෙන් හරි ප්‍රයෝජනවත් වේවි.

*අනන්‍යතා රැකගැනීම පිණිස අනවර්ථ නාමයන් යොදාගෙන ඇත.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

කවරයේ පින්තුරය: newsfirst.lk

Related Articles