කාන්තාරයේ කුසුමක සුවඳ

වාරිස් ඩයිරි, ඇගේ ජීවිත කතාව වගේම ඇගේ නමත් දෛවෝපගත යි. ‘වාරිස්’ කියන්නේ සෝමාලියානු භාෂාවෙන් කාන්තාරයේ පිපුණු කුසුම. කාන්තාරය යනු කර්කශ දේශගුණයක් ඇති ප්‍රදේශයක්. එවැනි ප්‍රදේශයක පිපෙන මලක් යනු උහුලා ගත නොහැකි පාරිසරික තත්තවයන් යටතේ පරිසරයට සුවඳ දෙන මලකි. වාරිස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාන්තාරයේ පිපුණු කුසුමකි.

අප්‍රිකාවේ, සෝමාලියාවේ කර්කශ කාන්තාරයක එඩේර පවුලක 1965 දී ඇය උපත ලබනවා. ඇයට උප්පත්තියෙන් ලැබෙන්නේ අධික දරිද්‍රතාවය හා නූගත්කම යි. ඇය ඉතා කුඩා වයසේ දී ඇගේ ගෝත්‍රික සම්ප්‍රදායට අනුව ඇයගේ ජනනේන්ද්‍රියේ කොටස් සුන්නත් කිරීමකට ලක් වෙනවා. කුඩා දැරියකව සිටිය ද ඇයට භාර කරනු ලැබුවේ බැටළුවන් ගාල් කිරීම වැනි අතිදුෂ්කර කාර්යයන්. ඒ සඳහා ඇයට සමහර දිනවලට අවම වශයෙන් වේලකට සරිලන කෑමක්වත් ලැබෙන්නේ නැහැ. ඇයට වයස අවුරුදු 14 දී පමණ ඇගේ ගෝත්‍රික සම්ප්‍රදාය අනුව ඇයව ඔටුවන් පස්දෙනෙකුට වයස අවුරුදු 60ක් පමණ වයසක පුරුෂයකුට විවාහ කිරීමට සැරසෙනවා. ඇයගේ සිත තුළ නළියන ක්‍රමයට එරෙහිව යෑමේ අභිලාශය මේ අවස්ථාවේ ඉදිරියට එනවා. ඒ අනුව ඇය ගෙදරින් පලා යනවා. ඇය මුලින් ඇගේ නැන්දා කෙනෙක් සිටින සෝමාලියාවේ අගනුවර වන මොගඩිශුවලට යාමට අරම්භ කරන්නේ අවම වශයෙන් යන දිශාව හෝ නොදැන යි. ඇය නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ ගමන් කරන්නේ අසීමිත දුරක්. ඒ දුර කිලෝමීටර 500කටත් වඩා වැඩි යි. ඒ කියන්නේ දෙවුන්දර තුඩුවෙ ඉඳලා පේදුරුතුඩුව දක්වා දුරටත් වඩා වැඩි යි. පහත තියෙන්නේ ඇය ගිය දුර යි.

ඇයගේ මේ දෛවෝපගත ගමනේ දී ඇයට සිංහයෙක් හමුවුණත්, කුමක්දෝ අරුමයකට සිංහයා ඇය දෙස බලා ඉවත්ව යනවා. ඇය ඒ ගැන කියන්නේ සිංහයෙකුට කන්නටවත් ඇයගේ ඇගේ මස් නැති බව කියමින්. මේ කෘතිය ඇරඹෙන්නේ ද මේ සිද්ධියෙන්. අතරමඟ දී තවත් පිරිමි දෙදෙනකුගේ අතවරයට ලක් වන ඇය, ඉන් මිදෙන්නේ ඇයගේ ඇති ඔරොත්තු දීමේ ගුණය විදහා දක්වමින්. 

ඉන්පසුව, ඇයට දෛවෝපගත ලෙස ලන්ඩනයේ, සෝමාලියානු තානාපති නිවසේ සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඇයගේ වීර්යය ගුණය පෙන්නුම් කරමින් ඇය ලන්ඩනයේ දී ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඊට අමතරව ඇය, රූපවාහිනිය නරඹමින් ඉංග්‍රීසි භාෂාව කතා කරන ආකාරය ඉගෙන ගන්නවා. ඇය ලන්ඩනයේ McDonalds හි සේවය කරනවා. මෙහි දී ඇය ඇතුළු තවත් නීති විරෝධී සංක්‍රමණිකයන් බහුතරයක් සේවයේ යෙදෙනවා. ඊට හේතුව; මේ නීති විරෝධී සංක්‍රමණිකයන්ව අඩු මුදලට සේවයෙහි යෙදවීමේ පහසුව ඇම කොටගනිමින් ශ්‍රමය සූරාකෑමට ලක් කරනවා. ඇයගේ රූපයේ ඇති අපූර්වත්වය සලකා ඡායාරූප ශිල්පියෙක් ඇයගේ ඡායාරූපයක් ගැනීමට පසුපස ආවත්, ඇයගේ සාම්ප්‍රදායික පසුබිම විසින් ඇය ඒ ඉල්ලීම අවඥාවෙන් බැහැර කරනවා. එහෙත් පසුව වීසා ප්‍රශ්නයක් මත ව්‍යාජ විවාහ දෙකක් කර ගන්නවා. වාරිස්ට කිසිදෙයක් පහසුවෙන් ලැබෙන්නේ නැති බව නැවත වරක් සනාථ කරමින් ඒ සඳහා ඇයට එම විවාහ දෙකෙන් ගැලවීමත් ලෙහෙසි වෙන්නේ නැහැ.

සුන්නත් කිරීම සෑම ගැහැනියක් විසින්ම අත්විදිය යුතුයැ යි වාරිස් සිතා සිටියත්, ලන්ඩනයේ දී ඇයට ලැබුණු ආශ්‍රයන් සමග ඇය සත්‍යය තේරුම් ගන්නවා. ඒ අනුව ඇය ශල්‍යකර්මයකට රෝහල් ගත වෙනවා. මේ සඳහා වාරිස් හා සන්නිවේදනය පිණිස එංගලන්ත දොස්තර, සෝමාලියානු පිරිමි හෙද නිලධාරියෙකු ද කැඳවා ගන්නවා. ඒත්, ඔහු පවා වාරිස්ට බැන වදින්නේ සෝමාලියානු සංස්කෘතියට ගරු කරන ලෙස කියමින්. කෙසේ වෙතත්, වාරිස් මේ සැත්කම කිරීමත් සමගම ඇයට මෙතුවක් කල් විඳි වේදනාව ගැන ඇය කම්පනයට පත්වෙනවා. ඒ අනුව ඇයට මේ ගෝත්‍රික සම්ප්‍රදාය ගැන ඇති වන විරෝධය ඇය පුවත්පත් සාකච්ඡාවකට ලබා දෙනවා. ඒ වන විට ඇය ලෝපතල මෝස්තර නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ඇති ජනප්‍රියතාවයත් සමගම ඇය කාන්තාවන් සුන්නත් කිරීමට එරෙහිව http://desertflowerfoundation.org නම් NGO එක හරහා ලොවට පණිවිඩයක් ගෙනියනවා. එහෙත් ඇයට ඒ සඳහා ද ලොව පුරා මල් මෙන්ම ගල් ද නොඅඩුව ලැබෙනවා. 

ඇයගේ ජීවිතයේ එක් තීරණාත්මක අවස්ථාවක 1997 දී සිය මව, ඉතියෝපියාවේ දී හමුවෙනවා. ඇය සිය මවට ඇය සමග යාමට කතා කළත්, ඒ වයෝවෘද්ධ මාතාව එය ප්‍රතික්ෂේප කරන්නේ ඇස් නොපෙනන සිය සැමියාව රැකබලා ගත යුතු යි කියා පමණක් නොව, ඔහුගේ දෙවන බිරිඳගේ දරුවන් බලා ගත යුතු යි කියමින්. ඒ වන විට සෝමාලියාව පුරා දරුණු යුධ තත්ත්වයක් තිබිය දී පවා තමන්ට කිසිදා සහනයක් නොදුන් සැමියා ආරක්ෂා කරන්නට ඇය කැපවෙන්නේ ලන්ඩනයේ හෝ නිව්යොර්ක්වල ලැබිය හැකි සැප සම්පත් අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවතලමින්. ඒ, ආසියානු අප්‍රිකානු කාන්තාව යි. පහත දැක්වෙන්නේ 1995 දී ඉතියෝපියාවේ දී, වාරිස් හා ඇගේ මව හමු වූ සංවේදී මොහොතක්.

ලිංගික සූරාකෑමට මෙන්ම ශ්‍රම සූරාකෑමට ආසියානු මෙන්ම අප්‍රිකානු කාන්තාව ලක් වුණත්, ඒ සඳහා ඔවුන්ට එරෙහි වීමට සමාජ ආර්ථික ක්‍රමය ඉඩ තබන්නේ නැහැ. කොහොමත් අප්‍රිකානු කාන්තාවට දැරීමේ හැකියාව ඉතා ඉහල යි. බොහෝ විට මලල ක්‍රීඩා තරඟවල දී අප්‍රිකානු සම්භවයක් ඇති කාන්තාවන්ට දුර ධාවන ඉසව්වලින් ජයග්‍රහණ වාර්තා වීමට ද හේතුව මෙය විය හැකියි.  

රිදී තිරයේ පිපුණු කාන්තාරයේ කුසුම

පොතක් ලෙස පාඨකයන් අතට ආ ‘කාන්තාරයේ කුසුම’, චිත්‍රපටයකට නැගෙනවා. හැබැයි, චිත්‍රපටයේ ඇය විඳි දුක් වේදනා අඩු මාත්‍රාවෙනුයි නිරූපණය වෙන්නෙ. විශේෂයෙන්ම, ඇය තම මව් රටේ දී විඳි අපමණ දුක මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙන්නේ නැහැ. ඇත්තටම චිත්‍රපටය පොත සමග සමපාත වෙන්නේ නැහැ. චිත්‍රපටය, පොතෙහි හරය පමණක් අරගෙන ඒ වටා කතාව ගොඩනගනවා. සිද්ධීන් බොහෝ විට වෙනස්. එහෙත් චිත්‍රපටියේ ප්‍රේක්ෂකයාට පණිවිඩය සම්ප්‍රේෂණය කිරිමෙහි ලා නම් පොත තරම්ම විශිෂ්ට යි. චිත්‍රපටයේ දී වාරිස් ලන්ඩනයේ හා නිව්යොර්ක්වල ගෙවන ජිවිතයේ කතාව ගලා යන අතර අවශ්‍ය තැන විටින් විට සෝමාලියාවට ප්‍රේක්ෂකයා ගෙන යනවා. වාරිස්ට සිය මව හමුවීමේ සංවේදනීය අවස්ථාව මේ කතාවේ උච්චතම අවස්ථාවක්. ඒත් ඒක චිත්‍රපටයෙන් ගිලිහී යනවා. ඇත්තටම චිත්‍රපටියේ ඇයව සුන්නත් කරන අවස්ථාව නම් අතිශයෙන්ම සංවේදී යි.

මේ කෘති දේකේම අරමුණ; එංගලන්තය හා ඇමරිකාව ලෝකයේ මහා මානුෂීය රටවල් බවටත්, ආසියාතික හා අප්‍රිකාවේ රටවල් අමානුෂියයැ යි කියන පුරසාරම තීව්‍ර කිරීම බව ඉතා පැහැදිලි යි. ඔවුන් මේ සඳහා නිරන්තරයෙන් අවස්ථා සොයමින් සිටින අතර, මෙවැනි අවස්ථා ඒ අඬන්නට ඉන්නා ඇස්වලට මෝල් ගහෙන් ඇනීමක් වගෙයි. මෙවැනි අවස්ථාවන්ගෙන් ඔවුන් ඉතා සතුටින් මෙවැනි චරිත උලුප්පා දක්වනවා. හැබැයි, එකෙන් අදහස් වෙන්නේ නැහැ වාරිස්ගේ සිද්ධිය ඉතා සුළුවෙන් තැකිය හැකි සිද්ධියක් බව.

කාන්තාවන් සුන්නත් කිරීම

මෙ නවකතාවේ මෙන්ම චිත්‍රපටයේත් අරමුණ, කාන්තාවන් සුන්නත් කිරීමට එරෙහි වීමට ජනතා මතයක් ගොඩනැගීම යි. පිරිමින් සුන්නත් කිරීම පිළිබඳ ඉස්ලාම් ආගමේ “හදීත්” නම් ග්‍රන්ථයේ සඳහන් වෙන නමුත්, ගැහැනුන් සුන්නත් කිරීම ගැන කිසිදු සඳහනක් එම ග්‍රන්ථයේ හෝ කුරානයේ නැහැ. හැබැයි, පහත රූප සටහනේ දැක්වෙන පරිදි කාන්තාවන් සුන්නත් කිරීම අතරින් ඉදිරියෙන් සිටින්නේ බහුතරයක් මුස්ලිම් ජනතාවක් වෙසෙන රටවල්. 

මේ හේතුව නිසාම කාන්තාවන් සුන්නත් කිරීම, ඉස්ලාම් ආගමට අනුව සිදුවන දෙයක් ලෙස මිත්‍යාවක් මිනිසුන් අතර පවතිනවා. මේ පොතේ පවා, කුරානයේ කාන්තාවන් සුන්නත් කිරීම ගැන සඳහන් නොවන බව කියැවෙනවා. කෙසේ වෙතත්, කාන්තාවන්ගේ පිරිසිදුභාවය පිණිස කරනවායැ යි කියන මේ ක්‍රියාවලිය, ගෝත්‍රිකයන් විසින් ඉස්ලාම් ආගම ආවරණයක් ලෙස යොදාගැනීමේ වැඩි සම්භාවිතාවක් තිබිය හැකියි. පැහැදිලි කළ නොහැකි දේ සඳහා ආගම යොදාගැනීම ඉතා සුලභ කරුණක්. ඒ අනුව මේ කාන්තා සුන්නත් කිරිමත් ඉස්ලාම් ආගමේ ගිණුමට වැටෙන්නට ඇති.

ගෝත්‍රයන්ගේ මේ සිරිත සිදුකරන්නේ කාන්තාවන් බිළිඳු අවදියේ දී යි. ඔවුන්ගේ ජනනේන්ද්‍රියේ කොටස් කපා දමන අතර ඉන්පසුව, ජනනේන්දිය මුත්‍රා කිරීමට කුඩා සිදුරක් ඉතුරුකොට තබා මසා දමනවා. මේ සඳහා යොදාගන්නේ බ්ලේඩ් තල වැනි උපකරණ පහත දැක්වෙන්නේ උගන්ඩාවල කාන්තාවන් සුන්නත් කිරීමට එරෙහිව යොදාගත් ප්‍රචාරක දැන්වීමක්. මෙමඟින් පැහැදිලි වෙන්වා, මේ තිරශ්චීන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන උපකරණ.

වාරිස්ට අනුව ඇයගේ මේ චාරිත්‍රය කරන්නේ බ්ලේඩ් තලයකින් වන අතර, ඇයට මේ ක්‍රියාව සිදුවන විට ඊට කලින් කරන ලද මේ අපූරූ සැත්කමේ ලේ පැල්ලම් පවා ඒ බ්ලේඩ් තලයේ තියෙනවා. මේ සැත්කම කිරීමට පෙර ඒ වයෝවෘද්ධ කාන්තාව තම කෙළ මඟින් මේ බ්ලේඩ් තලය සුද්ධ කරනවා.

මේ කාන්තා සුන්නත් කිරීමෙන් අනතුරුව ඉතිරි කරන ලද කුඩා සිදුර, ඔවුන් තරුණියන් වූ පසු මාස් ශුද්ධියේ දීත් රුධිරය පිටවන්නේ ද මේ සිදුරෙන්. බුදුන් වහන්සේ ආවේණික දුක්ඛ සූත්‍රයේ දී ස්ත්‍රීන්ට, ස්ත්‍රීන්ට ආවේණික දුක් පහකට මුහුණ දීමට සිදුවන බව වදාළ සේක. ඉන් එක දුකක් නම් ඕසප් වීම යි. මොහොතක් හිතන්න, එවැනි දුකක් මෙවැනි ක්‍රියාවක් නිසා මහා දුකක් බවට පත් වෙනවා නොවේ ද?

ඇත්තටම මෙවැනි ක්‍රියාවක් සිදුකරන්නේ කාන්තාවන් පිරිසිදු අය ලෙස තබා ගැනීමට යි. පෙර කී පරිදි, ගැට ගැසූ ජනනේන්ද්‍රිය, විවාහ මංගල දින රාත්‍රියේ දී, මනමාලයා විසින් කපා දමනු ලබයි. මේ සඳහා භාවිතා කරන්නේ පිහියක් වැනි යමක්. ඒ කියන්නේ මේ කාන්තාවන් විඳින දුක ඉවරයක් නැහැ. 

වාරිස් මේ කතාවේ අවසානයට කියන කතාවට ඇඟ කිලිපොළා යනවා. ඇමරිකාව හා යුරෝපයේ වෙසෙන සෝමාලියානු ජාතිකයන් ඒ රටවල්වල දී පවා මේ තිරශ්චීන චාරිත්‍රය පවත්වා ගෙන යනවා. ඇය කියන විදියට, විවිධ වංචා සහගත මාර්ග ඔස්සේ කාන්තාවන් සුන්නත් කරන්නියන් එම රටවල්වලට ගෙන්වා ගෙන මේ පෞරාණික උරුමය ඇමරිකාව හා යුරෝපයෙ රටවල්වලට උරුම කර දෙනවා. වාරිස්ට අනුව එක අවස්ථාවක පියෙක් තම මුඛයෙන් මේ සැත්කම සිදුකරන බව කියන විට දැනෙන්නෙ වෛරයක් ද, පිළිකුලක් ද කියා හිතා ගන්නත් අමාරුයි. ඇය කියන විදියට; ඇමරිකාව හා යුරෝපය වැනි රටවල මේ කාර්යය කිරීමට පළමුව ගුවන් විදුලි යන්ත්‍රය වැඩි කරන්නේ ද මේ නරුම සැත්කම අතරතුර දැරියන්ගේ කෑ ගැසීම පිටතට ඇසිම වැළැක්වීමට යි.

2016 වාර්තාවන්ට අනුව අප්‍රිකානු රටවල් 27ක් හා ඉන්දුනීසියාව, ඉරාකය, යේමෙනය රටවල්වල මිලියන 200කට අධික කාන්තාවන් මේ චාරිත්‍රයේ වින්දිතයන් බවට පත්වෙලා. ඒ වගේම මේ සැත්කම නිසා  වාර්තා නොවන සංඛ්‍යාවක් මියයනවා. වාර්ස්ගේ සොහොයුරියකටත් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ මේ කුල සිරිත රැකීමට බල කිරීමෙන්. එමෙන්ම දිනකට 6000ක් මේ චාරිත්‍රයේ ගොදුරු බවට පත්වෙනවා. මොහොතක් හිතන්න, ඔබ මේ ලිපිය කියවන්න විනාඩි පහක් ගත වූයේ නම්, මේ ලිපිය කියවන අතරතුර ලෝකයේ දැරියන් 20 දෙනෙක් කාන්තා ජනේන්ද්‍රිය සුන්නත් කිරීමේ ගොදුරු බවට පත්වෙලා. ආගමේ නාමයෙන් හෝ සම්ප්‍රදායික නාමයෙන් හෝ කෙරෙන මෙවැනි තිරශ්චීන ක්‍රියා සඳහා වාරිස් ගත් මෙහෙය සදාකල් නොමියෙනු ඇති!

කවරයේ පින්තූරය: arutha.lk 

Related Articles