Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගැටලු මැදින් ඉදිරියට යන බිබිලේ දොඩම් වගාව

තදින්ම අව්ව වැටී තිබෙන දවල් වරුවක නැවුම් දොඩම් ගෙඩියක යුෂයෙන් සාදාගත් රසවත් දොඩම් වීදුරුවක් පානය කරන්න කවුරුත් කැමතියි. ඒ තරමටම දොඩම් කියන පළතුර ලාංකිකයින් අතර ජනප්‍රිය යි. ලංකාව තුළ හොඳින්ම වැවෙන දොඩම් වර්ග අතුරින් පැණි දොඩම්වලට තිබෙන්නේ ඉහළම වටිනාකමක්. දේශීය වෙළඳපොලේ පැණි දොඩම් ගෙඩියක් ඉහළම මිලකට අලෙවි වන්නේත් එම වටිනාකම නිසා යි. පැණි දොඩම් ලංකාවේ විවිධ ප්‍රදේශවල වැවුණත් බිබිලේ පැණි දොඩම්වලට තිබෙන්නේ හොඳ ඉල්ලුමක්. එක් යුගයක විනාශ වී තිබුණු බිබිලේ දොඩම් වගාව වර්තමානය වන විට යළි ආරම්භ වී තිබුණත් එම ගොවීන් වගාව කරගෙන යන්නේ ගැටලු රැසක් සමගින්.

ඉංග්‍රීසි යුගයේ දී ආරම්භ වුණු දොඩම් වගාව 

1912 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමෙන් පසුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැණි දොඩම් වගාකර තිබෙනවා. මුල් යුගයේ දී එම වගාවෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණත් 1940 වසර පමණ වන විට බදුල්ල, මොණරාගල වැනි ප්‍රදේශවල පැණි දොඩම් වගාව සාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 40 දශකය අවසන් වෙද්දී මොණරාගල දිස්ත්‍රික්කය තුළ අක්කර 4000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැණි දොඩම් වගාකර තිබුණු බව සඳහන්. එම අවධියේ බිබිල ප්‍රදේශය මූලික කරගෙන සාර්ථකව ව්‍යාප්ත වී තිබුණු පැණි දොඩම් වගාව විශාල පිරිසකගේ ආදායම් මාර්ගය බවට ද පත්ව තිබුණා. 

ට්‍රිස්ටෙසා වෛරසය දොඩම් වගාවට කළ විනාශය 

බිබිල ප්‍රදේශය ආශ්‍රිතව ඉතාමත් සාර්ථක අයුරින් සිදු වුණු පැණි දොඩම් වගාවට වෛරසයක් හානි කරනු ලැබුවේ 1950 දශකයේ දී යි. එම වෛරසය වැළඳී ටික කලක් යන විට පලබරව තිබුණු පැණි දොඩම් ගස්වල කොළ කහපාට වුණා. එසේම අතු කෙළවරෙන්  පටන්ගෙන වියළී ගොස් ක්‍රමයෙන් කොළ හැළුණු ශාකය වසර කීපයක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. ලංකාවේ දොඩම් වගාවට වසංගතයක් බලපෑම් කළ මුල්ම අවස්ථාව සටහන් වී තිබුණේ 1900 වසර යි. එම කාල සමයේ දී අප රට තුළ සුළු පරිමාණයෙන් සිදුවෙමින් තිබුණු දොඩම් වගාව විනාශ වී ගියේ හඳුනා නොගත් රෝගයක් වැළඳීමෙන්. බිබිලේ දොඩම් වගාව විනාශ වීම පිළිබඳව ලංකා පාර්ලිමේන්තුව තුළ පවා කතාබහක් ඇති වුණු නිසා පසුව බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායෙල් ශාක විශේෂඥයන් කණ්ඩායමක් ගෙන්වා පරීක්ෂණ පවත්වනු ලැබුවා. ඔවුන්ගේ පර්යේෂණවලින් පසුව අනාවරණය වුණේ වගාවට ට්‍රිස්ටෙසා නම් වෛරසය වැළඳී ඇති බව යි.

60 දශකයේ දී නැවතත් බිබිලේ දොඩම් වගාව සරු වෙයි 

50 දශකයේ දී විනාශ වී තිබුණු බිබිලේ පැණි දොඩම් වගාව 60 දශකය වන විට නැවතත් යථා තත්ත්වයට පත් වුණා. එම නිසා 60 දශකයේ මැද භාගය වන විට බිබිලේ පැණි දොඩම් වගාවෙන් සැලකිය යුතු තරම් අස්වැන්නක් ලබාගැනීමට හැකි වුණා. නමුත් බිබිලේ පැණි දොඩම් ගොවීන්ට ඔවුන්ගේ වගාව වැඩි කලක් සාර්ථක ලෙස කරගෙන යාමට හැකි වුණේ නැහැ. එදා ඔවුන්ගේ වගාව සාර්ථක වන ආකාරය නිරීක්ෂණය කළ බහුජාතික සමාගම් පසුකලෙක බිබිලේ දොඩම් වගාව විනාශ කිරීම සඳහා පිඹුරුපත් සකස් කළ බව එකල සමාජගතව තිබුණු ප්‍රසිද්ධ අදහසක්.

ලංකාවේ පැණි දොඩම් (daily News)

දොඩම් වගාව විනාශ කළ හැටි  

80 දශකය ආරම්භ වන විට බිබිලේ පැණි දොඩම් වගාව වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඊට ආසන්න කාල සමයක ලංකාවට දොඩම් ආනයනය කිරීම ඇරඹුවා. එම නිසා බිබිලේ දොඩම් වගාව ඇතැම් බහුජාතික සමාගම්වලට හිසරදයක් වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 90 දශකයේ මුල භාගය වන විට බිබිල දොඩම් වගාව විනාශය කරා යාම ඇරඹුණේ හඳුනා නොගත් වෛරසයක් වැළඳීම හේතුවෙන්. එදා බිබිලේ දොඩම් වගාව විනාශ වුණු ආකාරය පිළිබඳව පාර්ශවයන් දෙකක් එකිනෙකට විරුද්ධ මතයන් දරනු ලබනවා. එහි දී පැරණි ගොවියන් සහ ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ, බිබිලේ පැණි දොඩම්වල ජාන/රෝපණ ද්‍රව්‍යය ඊශ්‍රායලයට රැගෙන ගොස් එයට ගැළපෙන වෛරසයක් නිර්මාණය කිරීමෙන් පසුව දේශීය කෘෂි විශේෂඥ කණ්ඩායමක් හරහා වෛරස් අඩංගු කෘෂි රසායන ගොවීන්ට ලබාදීමෙන් ලංකාවේ පැණි දොඩම් වගාව විනාශ කළ බව යි. එම චෝදනාව තරයේම ප්‍රතිකේෂ්ප කරන දේශීය කෘෂිකර්ම නිලධාරීන් ප්‍රකාශ කරන්නේ හඳුනා නොගත් වෛරසයක බලපෑමෙන් බිබිලේ දොඩම් වගාව විනාශ වුණු බවයි.

විදේශීය දොඩම් වගාවක් (Value Magazine)

බිබිලේ දොඩම් වගාවේ වර්තමාන තත්ත්වය 

දශක දෙකක පමණ කාලයක සිට යළි නැගිටිමින් සිටින බිබිලේ පැණි දොඩම් වගාව තවමත් පෙර තිබුණු තත්ත්වයට පත් වී නැහැ. වර්තමානය වන විට බිබිලේ පැණි දොඩම් වගාව දියුණු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරියක් පසුගිය වසරේ දී ජාතික පුවත්පතකට අදහස් දක්වමින් පවසා සිටියේ බිබිල කලාපය තුළ අක්කර 2000ක පැණි දොඩම් පැළ ලක්ෂ 24ක් රෝපණය කිරීම ඔවුන්ගේ අරමුණ බව යි. එම ව්‍යාපෘතිය සාර්ථක අයුරින් සිදුවුණොත් නැවතත් බිබිලේ පැණි දොඩම් වගාවට හොඳ කාලයක් එළඹෙන බවට සැකයක් නැහැ.

බිබිලේ දොඩම් ගොවීන් මුහුණදෙන ගැටලු 

සාමාන්‍යයෙන් දොඩම්වලට කලාතුරකින් එන ඉල් මැස්සාගේ හානිය හැර වෙනත් රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩු මට්ටමක පවතිනවා. එම නිසා දොඩම් වගාවෙන් සැලකිය යුතු අස්වැන්නක් ලැබෙනවා. නමුත් එම ගොවීන් ලබාගන්නා අස්වැන්නට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. එසේම ගොවීන්ට සිය දොඩම් අස්වැන්න කල් තබා ගැනීමට ක්‍රමයක් නැහැ. එවැනි ක්‍රමයක් සොයාගන්නා තෙක් බිබිලේ දොඩම් වගාවට  පිටරටින් ආනයනය කරන දොඩම්වලට තරගයක් ලබා දීම අපහසු යි. බිබිලේ ගොවීන් ලබාගන්නා අස්වැන්නට නිසි වටිනාකම නොලැබෙන නිසාම ඔවුන් දොඩම් වගාව අතහැර වෙනත් වගාවන්වලට යොමු වීමේ අවදානමක් තිබෙනවා. එම නිසා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් විය යුතු යි.

දොඩම් වගා බිමක් (prize.equatoriniative.org)

බිබිලේ දොඩම් ගොවීන්ට දිය හැකි විසඳුම්

රාජ්‍ය ආයතන  හෝ පෞද්ගලික අංශයේ සමාගම් මැදිහත් වී ගොවීන්ගේ අස්වැන්න මිල දී ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු යි. එහි දී ගොවීන්ගේ දොඩම්වලට සාධාරණ මිලක් ලැබිය යුතු යි. බිබිලේ දොඩම් යොදාගනිමින් පළතුරු යුෂ, කෝඩියල්, මාමලේඩ් වැනි නිෂ්පාදනයන් අත්හදා බැලිය හැකියි. එම නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ලැබුණොත් වාර්ෂිකව අපතේ යන දොඩම් ප්‍රමාණය අඩුකර ගත හැකියි. එසේම දොඩම් ගොවීන්ට සැලකිය යුතු වාර්ෂික ආදායමක් හිමිවීමෙන්  වගාව තවත් දියුණු කිරීම සඳහා අවශ්‍ය පන්නරය ඔවුන්ට ලැබෙනු ඇති. එලෙස ගොවීන්ගේ උනන්දුව වැඩි වී බිබිලේ දොඩම් වගාව තවත් ව්‍යාප්ත වුණොත් නැවතත් බිබිලේ පැණි දොඩම් ලෝකය පුරාම ප්‍රසිද්ධ වන බවට කිසිදු සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- bfnsrilanka.org

මූලාශයයන්- economatta.blogspot.com

Related Articles