Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ අරුම පුදුම​ Binhai පුස්තකාලය​

“පළමුව වටිනා පොත්පත් ගින්දරට දමන යම් තැනක් වේද දෙවනුව එතන මහා මිනිස් සංහාරයක් නියත වශයෙන්ම සිදු වන්නේය.” ජර්මන් ජාතික හෙන්රිච් හයින් (Heinrich Heine) කවියා පොත් ගැන දකින්නෙ එහෙමයි. ඇත්තටම පොත් විනාශ කරපු තැන් වලට හෙන්රිච් හයින් කියපු දේ ඒ විදියට ම සිද්ධ වුණා. මෑත කාලීන ඉතිහාසයේ ඒ ආකාරයේ මහා පොත් ගිනි තැබීම් අපට දකින්න ලැබුණ තැනක් තමයි හිට්ලර්ගේ ජර්මනිය​.

හැබැයි මේ කියන්න යන කතාව පොත් ගිණි තැබීමක් ගැන නෙමෙයි. මේක පොත් සුරක්ෂිත කිරීමක් ගැන කතාවක්. පොත් සුරක්ෂිත කරන්නෙ පොත් වල වටිනාකම දන්න අය. පොත් සුරක්ෂිත කරන්න තිබෙන හොඳම තැන තමයි පුස්තකාලය. එතනදි පොත් ආරක්ෂා වෙනවා වගේම ඒ පොත් වල තිබෙන දැනුම ප්‍රසාරණය කරන්න, විස්තාරණය කරන්න පුස්තකාලයකට පුළුවන්.

දියඇල්ලක් ලෙස විහිදී තිබෙන ගිය පොත් රාක්ක

එහෙම පුස්තකාලයක් ගැනයි මේ කියන්න හදන්නෙ. චීනයේ Tianjin නගරයේ Binhai පුස්තකාලය පසුගියදා පාඨකයන්ට විවෘත වුණා.  මේක චීනයේ දකින්න ලැබෙන අනෙකුත් පුස්තකාල වලට වඩා බෙහෙවින් වෙනස් පුස්තකාලයක්. චීනයේ පමණක් නෙමෙයි ලෝකයේ දකින්න ලැබෙන්න පුස්තකාල වලටත් වඩා අතිශය වෙනස් පුස්තකාලයක් මේක. සුන්දර ප්‍රියමනාප ආශ්වාදය කැඳවන පුස්තකාලයක්. මේ පුස්තකාලයේ අන්වර්ථ නාමය තමයි ‘ඇස’.

Binhai  පුස්තකාලය තට්ටු පහකින් සමන්විතයි.  පුස්තකාලයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග මීටර් 33,700 ක්. මේ තරම් විශාල පුස්තකාලයක පොත් කොපමණ ප්‍රමාණයක් තිබෙනවා ඇති කියලද ඔබ හිතන්නෙ? පොත් මිලියන 1.2 ක් දැනට Binhai  පුස්තකාලය සතුයි. කෙසේ නමුත් මෙය ගොඩ නැංවීම සඳහා වියදම් වූ මුදල පිළිබඳ චීනය විසින් හෙළි කර නැහැ.

2017 ඔක්තෝබර් 29 වැනිදා මේ අනර්ඝ ප්‍රතාපවත් පුස්තකාලය චීන රජය තමන්ගෙ ජනතාවට වීවෘත කළා. මේ පුස්තකාලය නිර්මාණය කර තිබෙන්නෙ විනී මාස් කියන ලන්දේසි ජාතික ගෘහ නිර්මාන ශිල්පියා. මෙහි පොත් රාක්ක තිබෙන්නෙ දියඇල්ලක් විදියට. ඒක ඉතාම මනරම් දර්ශනයක්.

සති අන්තයේ දී නරඹන්නන් 15,000 ක්

ඇත්තටම මේ පුස්තකාලය අයස්කාන්ත දර්ශනයක්. මනරම් දර්ශනීය සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වීමෙත් වරදක් නැහැ. මේ පුස්තකාලය ගැන බොහෝ මාධ්‍ය වල වාර්තා වුණේ “ලොව හොඳම පුස්තකාලය” ලෙසයි.

මේ Binhai පුස්තකාලයට සති අන්තයේ දී නරඹන්නන් 15,000 ක් පමණ එනවා.

මේ පුස්තකාලයේ ඉතාමත් සුවිශේෂී දෙයක් තමයි පාඨකයො යම් කිසි පොතක් තෝරගෙන ඒ පොත් කියන්න මේස වෙත රැගෙන යන්න අවශ්‍ය නැහැ.  මොකද පොත ලබා ගත් ස්ථානයේම සිටගෙන හෝ හිඳගෙන පොත් කියවීමේ පහසුකම මේ පුස්තකාලය විසින් ලබා දීලා තිබෙනවා.

ඒ විතරක් නෙමෙයි පුස්තකාලයේ පස් වන මහල (ඉහළම මහල) වෙන් කරලා තිබෙන්නෙ දේශන ශාලා, චිත්‍රපටි හෝ වීඩියෝ නැරඹුම් මැදිරි හා පරිගණක අංශ සඳහා.

2017 වසරේදී හොඳම ගොඩනැගිල්ල

Binhai  පුස්තකාලය  නිර්මාණය කරපු විනී මාස් අපූරු කතාවක් කියනවා.  ඔහු කියනවා මෙහෙම  ‘‘ චීන බලධාරීන් මට පැවසුවෙ පුස්තකාලය දකින විට ඊට ආදරය ඉපදවිය හැකි විය යුතුය. ඉතින් එය ඇත්තටම ආදරය හිතෙන නිර්මාණයක් බවට පත් කිරීම සදහා මට බොහෝ වෙහෙස වීමට සිදු විය…’’ කියලා.

මේ ටියෑන්ජින් බින්හා පුස්තකාලය 2017 වසරේදී හොඳම ගොඩනැගිල්ල ලෙසත් නම් කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගෘහ නිර්මාණ ශිල්පියකු සහ ලේඛකයෙකු වන ජොනතන් ග්ලාන්සි විසින් පොත් පත් ලෝකයට ආකර්ෂණය කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද පුස්තකාලයක් ලෙසත් මේ පුස්තකාලය නම් කර තිබෙනවා.

ඡායාරූප උපුටා ගැනීම MVRDV වෙබ් අඩවියෙනි (www.mvrdv.nl)

Related Articles