Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕෂෝ අනුගාමිකයන් අමෙරිකාවට සිදුකළ ජෛව ත්‍රස්ත ප්‍රහාරය

පළමු කොටස

1984 වසරේ අගෝස්තු 29 සිට දින කිහිපයක් යන තුරු ම එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයට අයත් ඩැල්ස් ප්‍රදේශය බොහෝ අමෙරිකානුවන්ගේ අවධානයට ලක් වුණා. ඩැල්ස් ප්‍රදේශයේ පුද්ගලයන් 751 දෙනකු අනපේක්ෂිත ලෙස එකවර උදරාබාධයකට ගොදුරු වීම නිසායි ඒ. වමනය සහ පාචනය දක්වා ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ වූ හෙයින්, 40 දෙනකු පමණ රෝහල්ගත කිරීමටත් සිදු වුණා.

වාසනාවකට මෙන් ජීවිත හානි කිසිවක් සිදු වුණේ නැහැ.  මුළු ප්‍රදේශයක වැසියන් එකවර රෝගාතුර වීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවෙයි. ඒ අනුව  සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන වහාම ඇරඹුණා. ප්‍රදේශයේ අවන්හල් දහයක “සැලඩ් බාර්” ලෙස හඳුන්වන කොටසේ ඇති ආහාර “සැල්මොනෙල්ලා” නමැති බැක්ටීරියාව මඟින් අපවිත්‍ර වී ඇති බව සොයා ගැනුණේ ඒ අනුව යි.   

ඔරිගන් හි ඩැල්ස් ප්‍රදේශයේ දර්ශනයක් – traveloregon.com 

එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය මුල දී පුහුණු නොකළ ආහාර හසුරුවන්නන් මඟින් මෙම බැක්ටීරියාව පැතිර යන්නට ඇතැයි සැක කළත්, ඔරිගන් හි මහජන සෞඛ්‍ය අංශය සමඟ එක් ව වඩාත් ගැඹුරට සිද්ධිය විමර්ශනය කළ විට මෙය ඉතා සංවිධානාත්මක ව සිදු කළ ජෛව ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව හෙළිදරව් වුණා.

2001 දී සිදු වූ ඇන්ත්‍රැක්ස් ප්‍රහාරයටත් වඩා දරුණු වූ මේ සැල්මොනෙල්ලා ප්‍රහාරය, එක්සත් ජනපදය තුළ සිදු වූ විශාලත ම ජෛව ත්‍රස්ත ප්‍රහාරය ලෙසත් සැලකෙනවා. ප්‍රහාරය පිටුපස සිටි චූදිතයන්ගේ ස්වභාවය මෙම සිදුවීමේ ඇති සුවිශේෂ ම කරුණ වෙනවා. ආධ්‍යාත්මික නායකයකු ලෙස ප්‍රචලිත ව සිටි භග්වාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත්, සුප්‍රසිද්ධ “ඕෂෝ” ගේ අනුගාමිකයන් මෙම ප්‍රහාරය සිදු කිරීම ඊට හේතුව යි.  

වාර්ෂිකව තිස් දහසක පමණ අනුගාමිකයන් පිරිසක් රාජ්නීශ්ගේ දේශන වලට සහභාගී වූ බව පැවසෙනවා – www.bbc.com

කවුද මේ ඕෂෝ?

ආන්දෝලනාත්මක ජෛව ත්‍රස්ත ප්‍රහාරයේ පසුබිම පැහැදිලි කිරීමට මත්තෙන්, භග්වාන් ශ්‍රී රාජ්නීෂ් නොහොත් ඕෂෝගේ ජීවිතය, ඔහු ප්‍රවර්ධනය කළ දර්ශනයේ ස්වභාවය සහ ඔහුගේ දර්ශනය සමාජය තුළ හැසිරුණු ආකාරය මඳක් විමසා බැලීම වැදගත්.

භග්වාන් ශ්‍රී රාජ්නීෂ් උපත ලබන්නේ 1931 වර්ෂයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් කුච්වාදා නම් ගම්මානයේ යි. පුද්ගලයකු වශයෙන් ඉතා සාමාන්‍ය ආරම්භයක් ලබා ගත් රාජ්නීශ්, කාලයාගේ ඇවෑමෙන් සාම්ප්‍රදායික ඉන්දියානු ජන සමාජය තුළ ආන්දෝලනාත්මක සහ විප්ලවකාරී ආධ්‍යාත්මික ව්‍යාපාරයක ආරම්භකයා දක්වා සිය චරිතය වර්ධනය කර ගැනීමට සමත් වුණා.

වයස අවුරුදු 19 දී සිය උපන් ගමේ සිට සැතපුම් 125 ක් පමණ ඈතින් පිහිටි ජබල්පූර් හි හිට්කාරිනි විද්‍යාලයට ඇතුළු වූ රාජ්නීශ්ට වැඩි කලක් එහි අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යන්න හැකි වුණේ නැහැ. උපදේශකයකු සමඟ ඇති කරගත් මත ගැටුමක් හේතුවෙන් ඔහුට විද්‍යාලයෙන් ඉවත් වීමට සිදු වුණා. එම කාලය අතරතුර ජබල්පූර් හි තිබූ එක්තරා ගසක් යට දී ඔහු අද්භූත අත්දැකීමක් විඳි බවත් පවසා තිබුණා. ඉන් ටික කලකට පසු, එනම්, 1953 මාර්තු මාසයේ දී භග්වාන් ශ්‍රී රාජ්නීශ්, කිසියම් ජීවන සත්‍යයක් අධ්‍යාත්මික වශයෙන් අවබෝධ කර ගත් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

ඕෂෝගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ගතික භාවනා ක්‍රමයක් – www.theguardian.com 

ආන්දෝලනාත්මක කථිකාචාර්යවරයා

රාජ්නීශ් යනු දර්ශනවාදය විධිමත් ව සහ ශාස්ත්‍රීය වශයෙන් ඉහළට ම ඉගෙන ගත් පුද්ගලයෙක්. 1955 දී දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති ප්‍රථම උපාධිය ලබාගත් ඔහු, 1957 දී දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි වැඩසටහනේ වැඩ කටයුතු අවසාන කිරීමට සමත් වුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ලෙස සිටි සමයේ දී ඔහු ජාතික මට්ටමේ විවාද ශූරයෙකු වූ අතර, විභාගවලින් රන් පදක්කම් පවා ලබා ගත් දක්ෂයෙක්.

උසස් අධ්‍යාපන කටයුතු හමාර කළ වහා ම රායිපූර් සංස්කෘත විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට බැඳුණත්, රාජ්නීශ්ගේ අදහස් සිසුන්ගේ සදාචාරයට, චරිතයට සහ ආගමික විශ්වාසවලට බලපෑම් එල්ල කරන බව පෙනී ගිය නිසා වෙනත් ස්ථානයකට මාරුවක් ලබා ගන්නා ලෙස විද්‍යාලයේ උපකුලපතිවරයා රාජ්නීශ් ගෙන් ඉල්ලා සිටියා. ඉන්පසු ඔහු ජබල්පූර් විශ්ව විද්‍යාලයේ සේවයට බැඳුණු අතර, වසර දෙකක් ඇතුළත  මහාචාර්යවරයකු බවට පත් වුණා. 1966 දී  සිදු කළ ආන්දෝලනාත්මක දේශනයක් නිසා ඔහුට එම තනතුරෙනුත් ඉල්ලා අස්වීමට සිදු වුණා.

කෙසේ නමුත්, මෙම කාලය ඇතුළත ඔහු විශ්ව විද්‍යාල දේශනවලට පමණක් කොටු නොවී බාහිර දේශන මෙහෙයවීමටත් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වටා සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් ඒකරාශී වූ අතර, ධනවත් ආධාරකරුවන් පිරිසක් ඔහුට අනුග්‍රාහකත්වය ලබා දීමටත් ඉදිරිපත් වුණා.  

රාජ්නීශ්ගේ ආධ්‍යාත්මික බලය අත් විඳින අනුගාමිකයෙක් – www.digit.in 

රාජ්නීශ්ගේ විශ්වාසය

භග්වාන් ශ්‍රී රාජ්නීශ් ප්‍රවර්ධනය කළ දර්ශනය ඉතා පුළුල් ව සහ ගැඹුරට අධ්‍යනය කළ යුතු දෙයක් වුණත්, මෙම ලිපියේ දී ඉන්දියානු ජන සමාජය තුළ භග්වාන් ශ්‍රී රාජ්නීශ් මෙතරම් ආන්දෝලනාත්මක චරිතයක් වූ මූලික හේතූන් පමණක් සලකා බලනවා.

පෙරදිග ජන සමාජය අතීතයේ සිට ම ආධ්‍යාත්මයට විශාල ස්ථානයක් ලබා දුන් සමාජ ඒකක ලෙස බිහි වී තිබෙනවා. බටහිර ලෝකය වඩාත් නැඹුරු වී තිබුණේ ලෞකික ජීවිතයට  ප්‍රමුඛත්වය ලැබෙන ආකාරයෙන්. මෙම දිශානතීන් දෙක ම එකට එකතු කළ හැකි විශ්වාසයක් හෝ දර්ශනයක් ඇති කළ හැකි නම් වඩාත් පරිපූර්ණ සමාජයක් ගොඩ නැඟිය හැකි බව රාජ්නීශ් විශ්වාස කළා.

ඒ අනුව ඔහුගේ දේශන සහ ඇදහීම තුළ අධ්‍යාත්මික ජීවිතයට මෙන් ම, ලෞකික ජීවිතයටත් සම තැන හිමි වුණා. ආගම්වල පොදුවේ දක්නට ලැබෙන ලිංගිකත්වයට පනවන සීමා මායිම් ඔහුගේ දර්ශනය තුළ තිබුණේ නැහැ. සරලව ම, ආධ්‍යාත්මයට බාධාවක් විය හැකියැ යි ආගම් වල පොදුවේ ඉගැන්වූ ඇතැම් දේවල්වලට මනා නිදහසක් සහ ඉඩකඩක්, ඔහු ප්‍රවර්ධනය කළ දර්ශනය තුළ තිබුණා. 

ඉන්දියාවේ පූනේ ප්‍රදේශයේ පිහිටි රාජ්නීශ් ආශ්‍රමයක දර්ශනයක් – www.bbc.com 

රාජ්නීශ් නිතර ම ධනවාදය, විද්‍යාව සහ තාක්ෂණික දියුණුව සාකච්ඡාවට බඳුන් කළ අතර, සමාජවාදය, සංවිධානාත්මක ආගම් සහ මහත්මා ගාන්ධි වැනි ඇතැම් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අදහස් විවේචනයට බඳුන් කළා. මේ හේතුවෙන් බටහිර රටවල්වලින් පැමිණි විශාල අනුගාමිකයන් ප්‍රමාණයක් රාජ්නීශ් වටා ඒකරාශී වුණා. එම විශ්වාස සාම්ප්‍රදායික හින්දු සංස්කෘතිය තුළ සිටි බහුතර ඉන්දියානුවන්ට ගැළපුණේ නැහැ. දේශීය වශයෙන් තරුණ ප්‍රජාවගේ ආකර්ෂණය ඔහුට තිබුණා.

ඉන්දීය රජය රාජ්නීශ්ට එරෙහි වෙයි!

ඉතා ඉක්මනින් භග්වාන් ශ්‍රී රාජ්නීශ් කීර්තිමත් ආධ්‍යාත්මික නායකයෙක් බවට පත් වුණා. ඔහුගේ මූලිකත්වයෙන් බහුවිධ චිකිත්සීය භාවනා කඳවුරු සංවිධානය වූ අතර, රාජ්නීශ්ගේ ඉගැන්වීම් සහ ප්‍රතිපත්ති ඇතුළත් භාවනා මධ්‍යස්ථාන ඉන්දියාව පුරා පිහිටුවීම ඇරඹුණා. කැපවීමෙන් ක්‍රියා කරන ඔහුගේ අනුගාමිකයන් අතුරින් ගෝලයන් තෝරා ගැනීම ද සිදු වුණා. ඒ අනුව රාජ්නීශ්ගේ මුල් කාලීන අනුගාමිකයකු වූ ලක්ෂ්මි තකර්සි කුරුවා, රාජ්නීශ්ගේ පෞද්ගලික ලේකම් ලෙස පත් කෙරුණා. ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල සබඳකම් තිබූ නිසා ඉගැන්වීම්වලට පහසුවෙන් සහභාගී විය හැකි ස්ථානයක් රාජ්නීශ් වෙනුවෙන් මුම්බායි නුවර පිහිටුවීමට ලක්ෂ්මි තකර්සි කටයුතු කළා. 

මා යෝගා ලක්ෂ්මි හෙවත් ලක්ෂ්මි තකර්සි කුරුවා – www.sannyas.wiki 

කෙමෙන් කෙමෙන් රාජ්නීශ්ගේ ආශ්‍රම පුළුල් මට්ටමෙන් ඉන්දියාව ආක්‍රමණය කිරීමට පටන් ගත්තා. හැත්තෑව දශකයේ අගභාගය වන විට වාර්ෂිකව 30,000 ක පමණ අනුගාමිකයන් පිරිසක් රාජ්නීශ්ගේ දේශනවලට සහභාගී වීම පිණිස පැමිණි අතර, ඔවුන් ගෙන් බහුතරය යුරෝපයෙන් සහ උතුරු අමෙරිකාවෙන් පැමිණි විදේශකයන් වුණා.

ආරම්භයේ දී දර්ශනය සහ ආධ්‍යාත්මික කතිකාවන් ගෙන් ආශ්‍රම පිරී ගියත්, ක්‍රම ක්‍රමයෙන් ප්‍රචණ්ඩත්වය සහ ගැටලුකාරී ලිංගික චර්යා ඇතුළත් මතභේදාත්මක කණ්ඩායම් ප්‍රතිකාර සැසි රාජ්නීශ්ගේ ආශ්‍රම තුළ සිදු වූ බව පැවසෙනවා. ඔහුගේ ගෝලයන් අතර මත්ද්‍රව්‍ය භාවිතය, බදු වංචා ඉහළ යාම සහ ගෝලයන් අතින් අනුගාමිකයන්ට සිදුවන ශාරීරික අඩත්තෙට්ටම් නිසා රාජ්නීශ්ට එරෙහි වීමට කාලය පැමිණ ඇති බව ඉන්දීය රජය තීරණය කළා. ඒ අනුව රාජ්නීශ් ඇතුළු ඔහුගේ ගෝලයන්ට එරෙහි ව දැඩි පියවර ගැනීමට රජය ක්‍රියා කළ අතර, දිගින් දිගට ම රජයෙන් සහ සාම්ප්‍රදායික හින්දු ආගමික සංවිධානවලින් එල්ල වූ පීඩනය හමුවේ ඉන්දියාවෙන් පිටමං වීමට භග්වාන් ශ්‍රී රාජ්නීශ් තීරණය කළා.

දෙවන කොටසින් අමෙරිකාවේ ඉදි වූ ඕෂෝගේ මනෝරාජික නගරය ගැන කියවමු.

කවරයේ ඡායාරූපය: භග්වාන් ශ්‍රී රාජ්නීශ් හෙවත් ඕෂෝ - www.thequint.com

මූලාශ්‍ර: 

pacsentinel.com

foxtalccs.blogspot.com

www.vice.com

Related Articles