Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රතිශක්තිය වඩවන යස ඔසුවකි කළුදුරු තෙල්

ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු රෝග වලින් ආරක්ෂා වීම සඳහා සැකසුණු  ජීව විද්‍යාත්මක ව්‍යුහයන් හා ක්‍රියාවලීන්ගෙන් සමන්විත ආරක්ෂක පද්ධතියකි. එයට දේහයට බාහිරින් ඇතුළු වූ පරපෝෂිත හෝ රෝගකාරක ජීවීන් (බැක්ටීරියා, පරපෝෂිත පණුවන්) වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් ඇත. එවන් අහිතකර ආගන්තුක යමක් හඳුනාගත් වහා ඊට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම වැදගත්වේ. කළුදුරු තෙල් යනු ඒ සඳහා දිව්‍යමය ඖෂධයකි.

ඉතිහාසය

Nigella sativa පුෂ්ප (worldoffloweringplants.com)

නිරිතදිග ආසියාවට ආවේණික වූ ශාකයක් වන Nigella sativa බීජ වලින් කළුදුරු තෙල් ලබා ගනී. කළුදුරු තරමක් තිත්ත රසයකින් යුක්ත වන අතර මෙරට, ඉන්දියාවේ මෙන්ම මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපයේ ද ආහාර සඳහා රසකාරකයක් හෝ කුළුබඩු වශයෙන් භාවිතා කරයි.

ඉතා ඈත අතීතයේ පටන් ඖෂධයක් ලෙස භාවිතා වූ මෙය, ඊජිප්තු ටූටන්කාමන් රජුගේ සොහොනේ තිබී හමුවී තිබේ. පසුකාලීනව, පර්සියානු බහුශාස්ත්‍රඥයකු වන ඉබන් සීනා ක්‍රි.පූ‍. 1025 දී රචිත තම The Canon of Medicine කෘතියේ ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට කළුදුරු ඉවහල් වන බව දක්වා තිබේ. එයට අනුව, ශරීරයේ ශක්තිය උත්තේජනය කිරීම සහ තෙහෙට්ටුවෙන් සහනය ලබා ගැනීම සඳහා ද කළුදුරු භාවිතා කර තිබේ.

ඖෂධීය ගුණ

කළුදුරු තෙල් (selfhacked.com)

ස්නායු හා මානසික රෝග, හෘද වාහිනී ආබාධ, පිළිකා, දියවැඩියාව, ප්‍රදාහ තත්වයන් සහ වඳභාවය මෙන්ම බැක්ටීරියා, දිලීර, පරපෝෂිත ආසාදන වැනි විවිධ බෝවන රෝගවලට එරෙහිව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සූදානම් කිරීමට කළුදුරු තෙල් සතු තයිමොක්විනෝන් (thymoquinone) ඉවහල් වන බව පර්යේෂණ මඟින් පෙන්වාදී ඇත.

HIV ආසාදිත රෝගීන් අතර රෝගාබාධ හා මරණ සඳහා ප්‍රධානතම හේතුව බැක්ටීරියා ආසාදන වේ. කළුදුරු සතු ඉහළ ප්‍රතිබැක්ටීරියා ගුණාංග සම්බන්ධව කළ පර්යේෂණයකදී HIV වැළඳුණු රෝගීන්‍ සඳහා බැක්ටීරියා නාශකයක් ලෙස කළුදුරු තෙල් සාර්ථකව ක්‍රියාකරන බව තහවුරු වී තිබේ.

ආහාර සඳහා ද එක් කරගත හැකියි (tayyiblife.com)

අකලට හිසකෙස් යාමට විසඳුමක් ලෙස ද කළුදුරු තෙල් භාවිතා කළ හැක. අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වූ අයට අක්මාව නැවත යථා තත්වයට පත් කරගන්නට, පිළිකා අවදානම අවම කරගන්නට, හෘද සෞඛ්‍යය ඉහළ නංවන්නට, ලිංගික නිසරු බව දුරු කරන්නට සහ කාමෝද්දීපනයට මෙන්ම, දත් කැක්කුම් වලට සහනය දීමේ අපූරු හැකියාවන් ද කළුදුරු සතු වේ.

රක්තවාතය (රූමැටික්), ආතරයිටිස්, ඇදුම වැනි ප්‍රදාහයික රෝග තත්ත්වයන්ට කළුදුරු සතු නිෂේධක හැකියාවන් සාර්ථකව යොදා ගත හැකි බව 1960 දී ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ ඖෂධ දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. කළුදුරු තෙල්වල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වයක් ඇති අතර එය ප්‍රදාහයට හේතු වන පටක හෝමෝනයට එරෙහිව ක්‍රියා කරන බව ඔවුන් පැහැදිලි කරයි.

භාවිතය

 

මී පැණි සමඟ පානය කරන්න (mnn.com)

ස්වභාවධර්මයේ නිර්මාණ තුළින් ජීවිතය සුවපත් කරගන්නට කළුදුරු තෙල් භාවිතා කරන ආකාර මෙසේයි:

  • රෝගකාරකයන්ට එරෙහිව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සවිබල ගැන්වීම සඳහා උදෑසන ආහාරයට පසු කළුදුරු තෙල් තේ හැඳි බාගයක් මී පැණි සමඟ කළවම් කර දිනපතා පානය කරන්න. එය දේහයේ බර අඩු කරගැනීමට ද ඉවහල් වේ.
  • ආහාරවලට රසකාරකයක් ලෙස සහ සෞඛ්‍යමය ඵල ලැබීම සඳහා කළුදුරු තෙල් යොදාගත හැකි නමුත් රත් නොකර ආහාරවලට ස්වල්ප වශයෙන් දෛනිකව එක් කරගැනීම වඩාත් හොඳයි.
  • හිසකෙස් යාම වැළැක්වීමට අවශ්‍ය නම්, කළුදුරු තෙල් තේ හැඳි දෙකක් අත්ලට වත්කොට දෙඅත් හොඳින් රත්වනතුරු මඳක් අතුල්ලා හිසේ ආලේප කර, විනාඩි 30-60ක් පමණ තබා සාමාන්‍ය ෂැම්පු එකකින් සෝදා හරින්න.

රසායනයන්ගෙන් පිරුණු නූතන ලෝකයට වඩා, සෞඛ්‍යයට හිතකර ස්වභාවික ශාකසාර භාවිතා කළ අපේ මුතුන් මිත්තන් සුවදායී දිවියක් ගත කළා. ඒ සොබාදහම තවමත් අප අවට තිබියදී, තවදුරටත් අහිතකර දේවල් පසුපස යන්නට අවශ්‍ය වන්නේ නැහැ.

මූලාශ්‍රයයන්:

  • ncbi.nlm.nih.gov
  • nutrab.com
  • verywellhealth.com
  • medicalnewstoday.com
  • dailyhunt.in
  • newdirectionsaromatics.com
  • sciencedirect.com
  • patents.google.com

Related Articles