Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරබාරු මිනිසුන්ට දේවත්වයෙන් සලකන බෝඩි ගෝත්‍රිකයෝ

අඳුරු මහද්වීපය ලෙසින් හඳුන්වන අප්‍රිකා මහද්වීපය තුළ ඉතියෝපියාව පිහිටා තිබෙනවා. ව.කි.මී ලක්ෂ 11ක පමණ භූමි ප්‍රදේශයකින් යුත් ඉතියෝපියාව තුළ විවිධ ගෝත්‍ර 86ක් පමණ ජීවත්වෙනවා. ඒ අතරින් ඇතැම් ගෝත්‍රවලට අයත් ජනගහනය ඉතාමත් වැඩි අගයක් ගනිද්දී, තවත් සමහර ගෝත්‍ර ක්‍රමයෙන් වඳ වී යමින් පවතිනවා. ඒ අනුව අද වන විට ඉතියෝපියාවේ වැඩියෙන් ම සිටින්නේ ඔරොමෝ සහ අම්හාරා යන ගෝත්‍රයන්ට අයත් වන ජනතාව යි. ඉන් ඔරෝමෝ ගෝත්‍රික ප්‍රතිශතය 34.6%ක් ලෙසින් සටහන් වෙද්දී අම්හාරා ගෝත්‍රික ප්‍රතිශතය 27.1% ලෙසින් දැක්වෙනවා. 

රටේ සමස්ත ගෝත්‍රික ජනගහනයෙන් 60%කටත් වඩා වැඩි පිරිසක් එම ගෝත්‍ර දෙකට අයත් වෙද්දී වඳ වී යමින් පවතින ගෝත්‍ර රැසක් එරටින් හමුවනවා. අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වන බෝඩි ගෝත්‍රයත් ඒ වගේ වඳ වී යමින් පවතින ගෝත්‍රයක්. 2007 වසරේ දී සිදු කළ සංගණනයේ දත්තවලට අනුව එරටින් හමු වූ බෝඩි ගෝත්‍රිකයන්ගේ ප්‍රමාණය 6994ක් තරම් පහළ අගයක් ගත්තා. ඒ කියන්නේ එරට සමස්ත ගෝත්‍රික ජනගහනයෙන් 0.01% තරම් පහළ ප්‍රතිශතයක්. එලෙස ක්‍රමයෙන් වඳ වී යමින් පවතින මෙම ගෝත්‍රික ජන කොට්ඨාසය අමුතු ම ආකාරයේ සිරිත් විරිත් අනුගමනය කරනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ බෝඩි ගෝත්‍රිකයන් වසරේ වීරයා තෝරාගැනීම සඳහා අනුගමනය කරන අපූරු ක්‍රමවේදය පිළිබඳව යි. 

ඔරොමෝ ගෝත්‍රික තරුණියන්
ඔරොමෝ ගෝත්‍රික තරුණියන් – BBC

 

තරබාරු වෙන්න උත්සාහ දරන පිරිසක් 

මෙම ගෝත්‍රයට අයත් ජනතාව බඩ දෙවියන් දුන් ත්‍යාගයක් සේ සලකනවා. එනිසා බෝඩි ගෝත්‍රික කාන්තාවන් තරබාරු පිරිමින්ට වැඩිපුර ආකර්ෂණය වනවා. බෝඩි ගෝත්‍රයේ නායකයා තෝරා ගනිද්දී පවා සිරුරේ තරබාරු බව සලකා බලන නිසා මෙම ගෝත්‍රයට අයත් පිරිමින් ශරීරය විශාල කරගැනීම සඳහා අධි කැලරි සහිත ආහාර පරිභෝජනය කරනවා. සෑම බෝඩි ගෝත්‍රික කාන්තාවකගේ ම සිහිනය වන්නේ හොඳින් ම බඩ ඉදිරියට නෙරා තිබෙන දඩබ්බර පුද්ගලයකු විවාහ කරගැනීම යි. සෑම බෝඩි ගෝත්‍රිකයකුගේ ම සිහිනය වන්නේ ඔවුන් අතර සිටින ලස්සනම තරුණිය සමඟ විවාහ වීම යි. 

බඩ මහත බෝඩි ගෝත්‍රිකයෙක්
බඩ මහත බෝඩි ගෝත්‍රිකයෙක් – Mirror

 

ගෝත්‍රික නායකයා- කොමෝරෝ 

බෝඩි ගෝත්‍රයේ සාම්ප්‍රදායික ප්‍රධානියා කොමෝරෝ යන නමින් හඳුන්වනවා. ගෝත්‍රයේ නායකයා හෙවත් කොමෝරෝ සමස්ත ගෝත්‍රික ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් දෙනවා. එනිසා කොමෝරෝට දේවත්වයෙන් සැලකීමට ගෝත්‍රික ජනයා පුරුදු ව සිටිනවා. ගෝත්‍රික නායකයා මුතු මාලයක් පැළඳ සිටින නිසා ඔහු බැලූ බැල්මට ම හඳුනා ගන්නට පුළුවන්. 

ගෝත්‍රයේ නායකයා මිය ගිය විට නායකත්වය හිමි වන්නේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා යි. මිය ගිය කොමෝරෝට පුතුන් නොසිටියොත් ගෝත්‍රයේ වයස්ගත පුද්ගලයන් එකතු වී අලුත් නායකයෙක් තෝරා ගැනීම සිදුකරනවා. ඊට පෙර ගවයකු මරා ඔවුන්ගේ රුධිරය විශාල භාජනයකට එකතු කරනවා. ඉන් අනතුරු ව මිය ගිය කොමෝරෝ පැළඳ සිටි මුතු මාලය ගව රුධිරය සහිත බඳුනෙහි තැන්පත් කරනවා. 

ටික දිනකට පසු ගෝත්‍රයේ නව නායකයා පත්කරද්දී ගව රුධිර බඳුනේ ඔබා තිබුණු මුතු මාලය ඔහුගේ ගෙලට දමනවා. ඔවුන් එම අමුතු ම චාරිත්‍රය සිදු කරන්නේ ගවයන්ගේ ලේවලින් නායකයාට ආශීර්වාද කිරීම සඳහා යි. මෙම ගෝත්‍රිකයන් ගවයා ශක්තිවන්ත සතකු සේ සලකනවා. එනිසා ගව රුධිරයෙන් ආශීර්වාද කළ විට නායකයාට ශක්තිය ලැබෙන බවට විශ්වාසයක් ඔවුන් අතර පවතිනවා. ඒ අයුරින් පත්වන නායකයා බෝඩි ගෝත්‍රික ප්‍රජාවේ ප්‍රධානියා මෙන් ම ආධ්‍යාත්මික නායකයා බවට ද පත්වනවා. 

ගෝත්‍රික නායකයෙක්
ගෝත්‍රික නායකයෙක් – answersafrica.com

 

තරබාරු ගෝත්‍රික මිනිසා තේරීමේ තරගය 

බෝඩි ගෝත්‍රිකයන් සෑම වසරක ම ජූනි මාසයේ දී කායෙල් උත්සවය සමරනවා. නව වසරේ ආරම්භය සනිටුහන් කරන එම උත්සව දිනයේ දී තරබාරු ම ගෝත්‍රික මිනිසා තේරීම සිදු වනවා. එම තරගය සඳහා සහභාගි විය හැකි වන්නේ අවිවාහක පුද්ගලයන්ට පමණ යි. එහි දී සෑම පවුලකින් ම අවිවාහක පුද්ගලයකු තරගයට ඉදිරිපත් කිරීම අනිවාර්ය යි. ඒ අයුරින් තරගය සඳහා ඉදිරිපත් වන තරුණයන් පිරිස ගෝත්‍රයේ නායකයා හෙවත් කොමෝරෝ හමුවිය යුතුයි. ඉන් පසුව කොමෝරෝ ඔවුන්ට තරගයේ නීතිරීති පිළිබඳ ව දැන්වීමෙන් පසු නිල වශයෙන් තරගය ආරම්භ වනවා.

තරගය ක්‍රියාත්මක වන ආකාරය 

තරගය සඳහා සහභාගි වන සියලු ම තරගකරුවන් එක් ස්ථානයක වෙන් කළ කුටිවල රඳවා තබනවා. තරග කාල සීමාව තුළ ඔවුන්ට එම ස්ථානයෙන් පිටතට යාමට අවසරයක් ලැබෙන්නේ නැහැ. එම කුටිවල වාසය කරන කාලය තුළ තරගකරුවන් මඩ සහ අළු තවරාගෙන සිටිය යුතුයි. සෑම දිනක ම උදෑසන තරගකරුවන්ගේ පවුල්වලින් එක් කාන්තාවක් ඔවුන් බැලීමට පැමිණිය යුතුයි. එලෙස පැමිණෙද්දී උණවලින් සෑදූ බඳුන්වල එළදෙනුන්ගේ කිරි සහ ගවයන්ගේ රුධිරය රැගෙන ආ යුතුයි. 

ගවයන්ගෙන් රුධිරය ලබාගන්නා ආකාරය
ගවයන්ගෙන් රුධිරය ලබාගන්නා ආකාරය – Mirror

 

තරගය පැවැත්වෙන කාල සමයේ තරගකරුවන් පරිභෝජනය කළ යුත්තේ ගව රුධිරය සහ එළකිරි පමණ යි. ගව පට්ටි පාලනය බෝඩි ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ජීවනෝපාය නිසා ඔවුන්ට ඇති තරම් ගවයන් සිටිනවා. මෙම  ගෝත්‍රිකයන් ගවයාගෙන් රුධිරය ලබාගැනීම සඳහා ද අපූරු උපක්‍රමයක් අනුගමනය කරනවා. එහි දී මුලින් ම  ගවයාගේ නහරයකට විද අවශ්‍ය ප්‍රමාණයට රුධිරය ලබාගන්නවා. ඉන්  පසුව විශේෂයෙන් ම සකස් කළ පස් මිශ්‍රණයක් මඟින් රුධිරය ලබා ගත් ස්ථානය ආවරණය කරනවා. 

බෝඩි ගෝත්‍රිකයන් බිලි  පූජා සඳහා ගවයන් මරා දැම්මත්, ගවයා පූජනීය සතකු සේ සලකනවා. මෙම තරගය පැවැත්වෙන කාල සමයේ දී රුධිරය ගැනීම සඳහා ගවයන් මරා නොදමන්නේ එම හේතුව නිසා යි. තරගය ක්‍රියාත්මක වන කාල සමය තුළ කිසිදු තරගකරුවකුට තරග නීති උල්ලංඝණය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එය අධීක්ෂණය කිරීම ගෝත්‍රයේ වැඩිහිටි පිරිමින්ට පැවරී තිබෙනවා. හදිසියේවත් යම්කිසි තරගකරුවකු තරග නීතිරීති අවලංගු කළහොත් කොමෝරෝ ඔහුට දැඩි දඬුවම් ලබාදෙනවා. 

ගව රුධිරය පානය කරන ගෝත්‍රිකයෙක්
ගව රුධිරය පානය කරන ගෝත්‍රිකයෙක් – Mirror

ජයග්‍රාහකයා තේරීම 

කායෙල් උත්සවය පැවැත්වෙන දිනය කොමෝරෝ තීරණය කරනවා. එදිනට බෝඩි ගෝත්‍රික ජනයා සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරසී සිටිනවා. එසේම එදින ඔවුන්ට ආවේණික බීම වර්ග සහ පාන වර්ග සකසනවා. උත්සව දිනයේ දී කවුරුත් අවධානයෙන් සිටින්නේ තරබාරු ම මිනිසා තෝරන තරගය වෙතට යි. කායෙල් උත්සවය ආරම්භ කිරීමට මොහොතකට පෙර තරගකරුවන් රඳවා සිටින ස්ථානය වෙත යන කොමෝරෝ ඔවුන් තරග බිම වෙත කැඳවා ගෙන ඒමට අවසරය ලබාදෙනවා. ඉන් පසු තරග බිම වෙත පැමිණෙන සියලු තරගකරුවන් කොමරෝ ඉදිරියට ගොස් එක් පෙළට සිටගන්නවා. එම අවස්ථාවේ දී කොමෝරෝ ජයග්‍රාහකයා තෝරාගන්නවා. ජයග්‍රාහකයා තේරීමෙන් පසු ගෝත්‍රයේ නායකයා එය නිල වශයෙන් නිවේදනය කරනවා. 

ජයග්‍රාහකයා තෝරන අවස්ථාව
ජයග්‍රාහකයා තෝරන අවස්ථාව – oeyl.com 

ජයග්‍රාහකයාට ලැබෙන වරප්‍රසාද

තරබාරු ම පුද්ගලයා තේරීමේ තරගයේ ජයග්‍රාහකයාට ගෝත්‍රය තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිවනවා. එදිනට ගෝත්‍රයේ සිටින සුරූපී තරුණයන්ගේ වීරයා වන්නේ ද ඔහුයි. තරගයේ නීතිරීතිවලට අනුව ජයග්‍රාහකයාට තමන් කැමති ඕනෑ ම තරුණියක් සමඟ විවාහ වීමට අවස්ථාව හිමිවනවා. එහි දී සෑම ගෝත්‍රික තරුණියක් ම සිහින මවන්නේ ඔවුන්ගේ වීරයා සමග විවාහ වීම සඳහා යි. ගෝත්‍රයේ තරබාරුම මිනිසා සමඟ විවාහ වීම ඔවුන් විශාල ගෞරවයක් සේ සලකනවා.

බෝඩි ගෝත්‍රික තරුණියක්
බෝඩි ගෝත්‍රික තරුණියක් – Mirror

එම දිනයේ දී ජයග්‍රාහකයා තමා කැමති තරුණිය තෝරා ගෙන එය කොමෝරෝ වෙත දන්වා සිටිනවා. එදින ම ඔවුන් දෙපලගේ විවාහය සිදු කෙරෙනවා. විවාහ වන අවස්ථාවේ දී  මනාලයාගේ පවුලේ උදවිය මනාලියගේ පවුලට කිරි එළදෙනුන් 10කට වැඩි ප්‍රමාණයක් ලබාදිය යුතුයි. මනාලියගේ පවුලෙන් මනාලයාගේ පවුලට ගවයන් තිදෙනකු ලබා දිය යුතුයි. විවාහ උත්සවය අවසන් වීමෙන් පසු කොමෝරෝ නව යුවලට ආශීර්වාද කරනවා. ඒ සමඟ ම කායෙල් උත්සවයේ නිමාව සනිටුහන් වනවා.

කවරයේ ඡායාරූපය- තරගය සඳහා ඉදිරිපත්ව සිටින බෝඩි ගෝත්‍රික පිරිමි - joeyl.com

මූලාශ්‍ර-

bcfocus.com 

www.mirror.co.uk  

Related Articles