Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය

චැඩ් රාජ්‍යයේ ඩංග්ලා නගරයේ දී හමුදා සෙබලුන් 23ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බෝකෝ හරාම් ත්‍රස්තවාදීන්ට පසුගිය දා එරට රජයෙන් චෝදනා එල්ල වෙනවා.ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් රටේ සිදුකළ දැවැන්තම ප්‍රහාරය මෙය බව ද එරට රජය පවසා තිබෙනවා. මේ සිදුවීමත් සමග බොකෝ හරාම් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නැවතත් කතාබහට ලක් වී තිබෙනවා.

බටහිර අප්‍රිකාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා වන සංවිධානය (Islamic State in West Africa) හෙවත් බොකෝ හරාම් (Boko Haram) අන්තවාදී ත්‍රස්ත සංවිධානය ආරම්භ වන්නේ 2002 වර්ෂයේ දී යි. එතැන් සිට මේ දක්වා නයිජීරියාවේ සිට බටහිර අප්‍රිකාව පුරා ක්‍රියාත්මක වෙන මෙම ත්‍රස්ත සංවිධානය මේ වන විට ISIS ත්‍රස්තයන් සමග එකතු වී කටයුතු කරනවා. 2002 වසරේ දී ත්‍රස්ත සංවිධානය ආරම්භ කරන විට එය හදුන්වා තිබෙන්නේ Jamā’at Ahl as-Sunnah lid-Da’wah wa’l-Jihād  නමින්.

ඊසානදිග නයිජීරියාවේ සිට ක්‍රියාත්මක වෙන බොකෝ හරාම් සංවිධානය චැඩ්, කැමරූන්, හා නයිජර්වල තම මර්මස්ථාන පිහිටුවාගෙන තිබෙනවා.

නයිජීරියාව තුළ ඉස්ලාමීය රජයක් පිහිටුවීම අරමුණ කරගෙන බිහි වූ බොකෝහරාම් සංවිධානය

බොකෝ හරාම් (Concise News)

2002 වසරේ දී නයිජීරියාව තුළ ඉස්ලාමීය රාජ්‍යක් බිහි කිරීමේ අරමුණෙන් බොකෝ හරාම් සංවිධානය බිහි වෙනවා. බොකෝ හරාම් යනු බටහිර අධ්‍යාපනය තහනම් යන්න ය. තවත් තැනක මෙය බටහිර බලපෑම පාපයක් ද ඒ වෙනුවෙන් නැගී සිටීමට ඇති අවශ්‍යතාව ද යනුවෙන් සඳහන් කර තිබෙනවා. බොකෝ හරාම් සංවිධානය බටහිර අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දක්වන්නේ ද දැඩි අසුභවාදී ප්‍රතිපත්තියක්.

2002 වසරේ මැයිදුගුරි (Maiduguri) නගරය මූලික කරගනිමින්  බිහි වූ මෙම සංවිධානයේ නායකයා මෙහොමඩ් යුසුෆ් වූ අතර ඔහුගේ කෙටි නම වන යුසිෆියා නමින් ද බොකෝ හරාම් සංවිධානය මුල් කාලයේ හඳුන්වනු ලබනවා.

මෙහොමඩ් යුසුෆ් ප්‍රමුඛ බොකෝ හරාම් සංවිධානය නයිජීරියානු රජයට හා ආරක්ෂක අංශවලට දැඩි විරුද්ධත්වයක් දැක්වූ අතර, නයිජීරියාව තුළ ආර්ථික සම්පත් හා අදායම ජනතාව අතර සමසේ බෙදී නොයාම හා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් නයිජීරියාවට ඇගිලි ගැසීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වනවා.

මුල් කාලයේ දී ඉස්ලාමීය ඉගැන්වීම් පුහුණු කිරීම සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථාන රැසක් පිහිටුවීමට ඔවුන් විසින් කටයුතු කරනවා. එමඟින් අඩු ආදායම්ලාභී ඉස්ලාම් තරුණ ප්‍රජාව සංවිධානය වෙත ආකර්ෂණය කර ගැනීමට බොකෝ හරාම් සංවිධානය සමත් වෙනවා. තම සංවිධානය වටා අධික පිරිසක් එක් රැස් වනවිට නයිජීරියාව තුළ ඉස්ලාමීය රාජ්‍යක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කිරීමට ඔවුන් කටයුතු කරනවා.

පාසල් ළමුන් හා සිවිල් සමාජය ඉලක්ක කරමින් සිදුකෙරෙන බොකෝ හරාම් ප්‍රහාර

බොකෝ හරාම් ත්‍රස්තයෝ (Pulse.ng)

මෙම ත්‍රස්ත සංවිධානය අනෙකුත් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලින් වෙනස් වන්නේ ඔවුන් බොහෝ විට පාසල් ළමුන් හා කාන්තාවන් ඉලක්ක කරමින් විශාල වශයෙන් ප්‍රහාර එල්ල කිරීම යි.

මුලින්ම ඝාතන ක්‍රියාවලීන්ට යොමු නොවූ බොකෝ හරාම් ත්‍රස්තයන් ඒ සඳහා පෙළෙඹෙන්නේ 2009 වසරේ ජූලි මාසයෙන් පසුව යි. 2009 වසරේ සිට මේ වන තුරු ඔවුන් විසින් ඝාතනය කර ඇති මිනිසුන් ප්‍රමාණය දස දහස් ගණනක්. තම ජනාවාස අහිමි වී අනාථ වූ පුද්ගලයන් ගණන මිලියන 2.3කට අධික යි. ඔවුන් විසින් 2014 වසරේ දී පමණක් ඝාතනය කළ ප්‍රමාණය 6600කට අධික යි.

බොකෝ හරාම් ත්‍රස්තයන්ගේ ප්‍රහාර

ත්‍රස්තයන්ගෙන් සිවිල් ජනතාව ගලවාගැනීමේ මෙහෙයුමක් (UPI.com)

ආගමික නායකයන්, දේශපාලන නායකයන්, රජයේ හමුදා, පාසල් ළමුන් ස්ත්‍රීන් ඇතුළු සිවිල් ජනතාව ද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බොකෝ හරාම් සංවිධානයේ නායකයාව මරා දැමීමට නයිජීරියානු ආරක්ෂක හමුදා සමත් වෙනවා.  ඔහුව මරා දැමීමෙන් පසුව සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ අබුබකාර් ශේකව්. වර්තමානය වන විට ද එම ත්‍රස්ත සංවිධානය මෙහෙයවන්නේ ඔහු බවට සඳහන්.

2011 වසරේ දී බොකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියාවේ එක්සත් ජාතීන්ගේ කාර්යයාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. 2013 වසරේ දී පමණක් ඔවුන් විසින් නයිජීරියාව, චැඩ්, කැමරූන්, හා නයිජර්වලින් පලවා හැරි සිවිල් වැසියන් ප්‍රමාණය 250,000කට අධික යි. 2013 වසරේ නොවැම්බර් 13 වන දින ඇමරිකා එක්සත් ජනපදය, බොකෝ හරාම් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනවා.

නයිජීරියානු දැරියන් 276 දෙනෙක් පැහැරගැනීම

පැහැරගත් දැරියන්ගෙන් කොටසක් (Al Jazeera)

2014 අප්‍රේල් මස 14 වන දා නයිජීරියාවේ බොර්නෝ පළාතේ චීබොක් ප්‍රදේශයේ පිහිටි ර‍ජයේ ද්විතීක කාන්තා පාසලක නේවාසිකාගාරයකට ඇතුළු වන නයිජීරියානු බොකෝ හරාම් ත්‍රස්තයන් එහි සිටි ශිෂ්‍යාවන් 276 දෙනෙකු පැහැරගෙන ත්‍රස්ත බල ප්‍රදේශය වෙත රැගෙන යනවා.

නයිජීරියානු රජය, එක්සත් ජාතින්ගේ සංවිධානය හා මානව හිමිකම් සංවිධාන රැසක් සමග එකතුව මෙම දැරියන් නිදහස් කරගැනීමට ඉතා වෙහෙසක් දරන අතර, විවිධ කොන්දේසි මත වරින් වර ශිෂ්‍යාවන් කණ්ඩායම් ලෙස නිදහස් කිරීමට බොකෝ හරාම් සංවිධානය එකඟ වෙනවා. පැහැරගැනීමෙන් දැනට වසර හතරක් වඩා ගත වී තිබුණත් එදා චීබොක් පාසල් දැරියන්ගෙන් බොහෝ ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු අද වන විටත් සොයාගැනීමට අපහසු වී තිබෙනවා. ඔවුන් බොහෝ ප්‍රමාණයක් ලිංගික වහලියන් ලෙස සේවයේ යොදවා ඇති බවට වාර්තා වෙනවා.

ISIS හා එකතු වීම

සංවිධානයේ වර්තමාන නායක අබුබකාර් (Daily Maverick)

2015 වසරේ මාර්තු මාසයේ දී බොකෝ හරාම් සංවිධානයේ නායක අබුබකාර් ශේකව් තම සංවිධානය ISIS සංවිධානය හා එකතුව ශුද්ධ වූ ඉස්ලාමීය දේශයක් ගොඩනැගීම සඳහා ඇපකැප වෙන බව නිවේදනය කර සිටිනවා.

2015 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියලු බොකෝ හරාම් ත්‍රස්ත කදවුරු විනාශ කළ බව නයිජීරියානු රජය විසින් නිවේදන කරනවා. නමුත් මේ වන විටත් බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය මෙම කලාපයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකියාව ලැබී නෑ.

කවරයේ පින්තූරය -The Guardian Nigeria

මූලාශ්‍රයයන් -

Thomson Reuters Foundation News

bbc.com

dw.com

aljazeera.com

Related Articles