Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මළවුන්ගේ පුස්තකය

මළවුන්ගේ පුස්තකය හෙවත් Book of the Dead යන නම ඇසූ පමණින් ඇති වන ගුප්ත හැඟීම, ඒ නම අසන ඕනෑම පුද්ගලයෙක්ට ඇති වන්නක්. ඒ ගැන පවත්නා කුතුහලය සංසිඳවා ගැනීමට නම් අප මෙවර ගමන් කළ යුත්තේ ඊජිප්තුවට යි. පුරාණ ඊජිප්තුවේ පැවති කුතුහලය දනවන, කුතුහලය වඩවන සංස්කෘතියේ තවත් එක් සුවිශේෂී කොටසක් ලෙස මෙම අපූරු ග්‍රන්ථය හඳුනාගන්නට පුළුවන්. මෙය සැබැවින්ම ආගමික ග්‍රන්ථයක්. පුරාණ ඊජිප්තුවරුන් ජීවයෙහි සදාකාලික බව පිළිබඳ ඉතා තදින් විශ්වාස කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන් කෙරෙහි දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ආරෝපණය කරගැනීමට. තමන්ට හැකි ඕනෑම දෙයක් ඒ උදෙසා කැප කිරීමට ඔවුන් සූදානමින් සිටියා. රජවරුන්ගේ ශරීර විනාශ නොවන පරිදි විශේෂ ක්‍රමවේදයන්ට අනුව අසුරා සුරක්ෂිත ව පිරමීඩවල බහා තැබුවා. මළවුන්ගේ ග්‍රන්ථයත් පුරාණ ඊජිප්තුවරුන්ගේ එකී විශ්වාසයන් හා සබැඳී තිබෙනවා. මරණයෙන් පසු ජීවිතය වෙත ප්‍රවේශයක් මෙම ග්‍රන්ථයෙහි ලියා තිබෙන රහස් ලියමන්වලින් හමුවන බවට ඔවුන් ඉතා තදින් විශ්වාස කළා.

මළවුන්ගේ ග්‍රන්ථය (Sociedelic)

මෙම පොත පරිච්ඡේද 190කින් සමන්විත වෙනවා. එකිනෙකට වෙනස් මන්ත්‍ර 165ක් මේ තුළ අන්තර්ගත වෙනවා. මෙම මායාකාරී බලයක් පවත්නා බවට විශ්වාස කෙරෙන මන්ත්‍ර පැපිරස් කොළවල හෝ සොහොන් ස්මාරකවල ලියා තිබෙනවා. ඇතැම් මන්ත්‍රවලින් කියැවෙන්නේ මරණයෙන් පසු ව පරලොව ජීවිතයෙන් මිදී ජීවිතයක් දිනාගැනීමට දෙවියන්ගේ උපකාර ගන්නේ කෙසේ ද යන්න යි. විශ්වාස කෙරෙන්නේ මෙම ග්‍රන්ථය ක්‍රි. පූ. 1600 පමණ කාල වකවානුවට අයත් බව යි. කාල් රිචඩ් ලෙප්සියස් නමැති විද්වතා අතින් මෙම ග්‍රන්ථය 1842 දී පරිවර්තනයට ලක් වෙනවා. මෙහි පළමු ඉංග්‍රීසි පරිවර්තනය 1867 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (British Museum) දී සැමුවෙල් බ්‍රිච් අතින් ප්‍රකාශයට පත් කෙරෙනවා. ඉන් අනතුරුව ටී. ජී. ඇලන් නමැති පඬිවරයා විසින් මෙම පොත යාවත්කාලීන කර, යළිත් වතාවක් ප්‍රකාශයට පත් කිරීම 1974 දී සිදුවෙනවා. මළවුන් අතරතුර ජීවය සහ මරණයෙන් ඉනික්බිති යළිත් ජීවිතයක් ලබාගැනීම පිළිබඳ බැඳුණු දැඩි ආගමික මතවාදයන්ට අනුකූල ව මෙකී ග්‍රන්ථය නිර්මාණය වී තිබෙනවා.

මළවුන්ගේ පුස්තකය (HistoryofInformation.com)

මෙම ග්‍රන්ථය තමන් සතු කරගැනීමට සෑම පුද්ගලයෙකුට ම හැකි වූයේ නැහැ. ඊට හේතුව එය මිලෙන් ඉතා අධික වීම යි. එය බොහෝ විට බලවතුන්ට පමණක් හිමි වූ වරමක් බවට පත් වූවා. ධනවත් පුද්ගලයන් මින් පිටපතක් කුලියට ලබාගෙන මරණයෙන් පසු ජීවිතය උදෙසා ප්‍රයෝජනයට ගත හැකි පරිදි අලුත් මන්තර එකතු කර විශේෂ පොත් නිර්මාණය කරගැනීමක් පවා එකල සිදුකරන ලද බව අනාවරණය වෙනවා. දුප්පත් පුද්ගලයන්ට හැකි වූයේ පෙර ලියන ලද ග්‍රන්ථ ඇසුරු කිරීමට පමණයි. නව මන්තර එකතු කරමින් නව ග්‍රන්ථ නිර්මාණය කර ගැනීමට ඔවුනට හැකියාවක් පැවතියේ නැහැ. මෙම ග්‍රන්ථයට Book of the Dead යන නම ලබාදෙන ලද්දේ යුරෝපියානු ගවේෂකයන් සහ පුරාවිද්‍යාඥයන් විසිනුයි. ඊට හේතුව වූයේ මෙම මන්ත්‍ර බොහෝමයක් රචනා වී තිබුණේ පැරැන්නන්ව මිහිදන් කළ ස්ථානයන්හි පැවති ස්මාරකයන් මත වීම යි. ඒවායින් දිස්වූයේ මරණයෙන් පසු ව මළගිය ආත්මවලට ඒවා කියවා උපකාරී කරගැනීමට හැකි වන පරිදි ලියා තිබූ ස්වභාවයක්. මෙම මන්ත්‍ර එකතුවට ඊජිප්තු භාෂාවෙන් දෙන ලද නාමය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ නම් එවිට එහි නාමය වන්නේ “The Book of Coming Forth by Day” යන්න යි.

මළවුන්ගේ ග්‍රන්ථයේ සටහන් රූප (Fanpop)

පුරාණ ඊජිප්තු වැසියන් අධික ලෙස මායාව පිළිබඳ විශ්වාස කළ අතර, මෙකී ග්‍රන්ථය සැබැවින්ම විශ්වාසය දනවන මායාව පිළිබඳ කතාවන් සහ යාඥාවන්ගෙන් සමන්විත යි. ඒවා මියගිය පුද්ගලයන්ට භාවිතය පිණිස පවතී. ඒවා නිර්මාණය කර තිබුණේ මිය ගිය පුද්ගලයන්ට ආධ්‍යාත්මික විභාගයන්ට මුහුණ දී මරණයෙන් පසු උත්තරීතර ස්ථානයක් කරා ළඟාවීමට හැකි වන පරිදි ය. ඊජිප්තු වැසියන් දේවත්වය පිළිබඳ අධික ලෙස විශ්වාස කළ අතර ‍මරණයට පෙර මළවුන්ගේ ග්‍රන්ථයක් තමන් විසින්ම නිර්මාණය කර තබා ගොස්, මරණයෙන් පසු එකී මන්ත්‍රයන් කියවා, උත්තරීතරභාවයට ළඟාවීම සඳහා සමත්විය යුතු විභාග සමත් වී දේවත්වය ලබා දෙවියන් අතරට එක්වීමට අපේක්ෂා කළා. එසේ දේවත්වයට පත් වූ පසු ව තමන්ට වාසය කිරීමට සිදුවන්නේ field of reeds නමින් හඳුන්වනු ලබන ස්ථානයක බව ඔවුන් තවදුරටත් විශ්වාස කළා.

මළවුන්ගේ ග්‍රන්ථයෙහි සටහන් (Quarto Knows)

මෙම මළවුන්ගේ පුස්තකයෙහි පරිච්ඡේදයන් ලියැ වී තිබෙන්නේ විවිධ ස්ථානයන්ගේ බව කලිනුත් සඳහන් කළා. ඒ අතරින් පිරමීඩ මත ලියැ වී තිබෙන මළවුන්ගේ ස්ලෝක සාම්ප්‍රදායික සිරිතක් වශයෙන් ලියන ලද ඒවා යි. මේ අතරින් පුරාතන ම යුගයට අයත් ලියමන් ලෙස හඳුනාගන්නේ ක්‍රි. පූ. 2400 තරම් ඈත අතීතයේ, යමෙකු මියගිය පසු සිරුර මිහිදන් කර තනන ලද පිරමීඩ මත ලියන ලද ඒවා යි. කාලයක් ගත වී ක්‍රමයෙන් ඊජිප්තු මධ්‍යතන යුගය ළඟාවත් ම මිනී පෙට්ටි තුළ පවා මෙවන් මන්ත්‍ර ලිවීම සිදුකළා. පැරණි මන්ත්‍ර භාෂාව නව මුහුණුවරක් යටතේ දියුණු වීම පවා එහි දී සිදුවූවා. සොහොන් ස්මාරක මත පවා මෙවන් ස්තෝත්‍ර ලිවීම සිදුවූවා. බොහෝ විට මේ සඳහා හැකියාව පැවතියේ ධනපති පාන්තිකයන්ට යි. ඊජිප්තු ජනාවාස වසර තුන්දහසක පමණ කාලයක් පැවතියා. එකී කාලය පුරා ම වරින් වර විවිධ අන්දමින් වෙනස්වෙමින් මළවුන්ගේ ග්‍රන්ථ ගණනාවක් භාවිතයට පැමිණියා. පූජකවරුන් විසින් නිර්මාණය කරන ලද මන්ත්‍ර, කාලයෙන් කාලයට වැදගත් කොට සැලකූ දෙවිවරු සහ දෙවඟනන් අනුව වෙනස් වූවා. අද වන විට පවත්නා, Eighteenth Dynasty නමින් හැඳින්වෙන මළවුන්ගේ ග්‍රන්ථය ක්‍රි. පූ. 1500 දී පමණ නිර්මාණය වූවක්. මෙකී ග්‍රන්ථයට තමන් විසින් අදහන ලද දෙවිවරුන්ගේ රූප ඇතුළත් කිරීමට ඊජිප්තු වැසියන් අමතක කළේ නැහැ.

මළවුන්ගේ ග්‍රන්ථයෙහි සටහන් (Metropolitan Museum of Art)

මළවුන්ගේ ග්‍රන්ථය විවිධ සම්ප්‍රදායයන් ගණනාවක කතා එකතුවක් ලෙස පවා සැලකෙනවා. එසේ සැලකීමට හේතුවක් වන්නේ මෙහි පැමිණෙන ඇතැම් කථාංගයන්ගේ සහ මන්ත්‍රයන්ගේ භාෂාව අනෙක් ඒවාට සාපේක්ෂ ව වෙනස් වීම යි. ඊජිප්තු වැසියන් දක්වන්නේ යමෙකු මියගිය පසු ව Hall of Two Truths නමැති ශාලාවට ඇතුල් වන අතර, Anubis නමැති ඊජිප්තු දෙවියා තරාදියක් අතැති ව එහි සිටින බවත්, තරාදියේ එක් පැත්තක පැස්බර පිහාටුවක් තබා ඇති බවත්, අනෙක් තරාදි පියන මතට මියගිය පුද්ගලයාගේ හදවත ගෙන තබන බවත්, එම හදවත කුරුලු පිහාටුවට වඩා සැහැල්ලු වන්නේ නම් අදාළ පුද්ගලයා යහපත් ජීවිතයක් ගත කළ පුද්ගලයෙකු ලෙස දෙවියන් අතරට එක් වන බවත් ය. මෙම ග්‍රන්ථයට අනුව දැක්වෙන්නේ ඔවුන්ගේ දෙවිවරුන්ගේ අරමුණු විවිධාකාර බව යි. එක් දෙවියෙක් පුද්ගලයන්ගේ විස්තර සටහන් කරගන්නා අතර, තවත් දෙවියෙක් අයහපත් ආත්මයන්ට දඬුවම් පමුණුවන බව ඊජිප්තු වැසියන් විශ්වාස කරයි. දුප්පත් පුද්ගලයන් මරණයෙන් මතු ද දුප්පත් බවත්, ධනවත් පුද්ගලයන් මරණයෙන් පසු ව ද ධනවත් ව වසන බවත් ඔවුන් තවදුරටත් විශ්වාස කරනවා.

මළවුන්ගේ ග්‍රන්ථයෙහි පිටපතක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි තබා තිබෙන අතර, 1876 දී සැමුවෙල් බ්‍රිච් නමැති රචකයා විසින් මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් සිදුකර කෞතුකාගාරයෙහි ස්මරණයන් ගොන්න අතරට එකතු කර තිබෙනවා.

කවරයේ පින්තූරය: Memphis Tours Egypt Blog – WordPress.com

මූලාශ්‍රයයන්:

  • Egyptian Book of the Dead, ancient.eu
  • Ancient Egyptian Book of the Dead, britishmuseum.org
  • Book of the Dead, crystalinks.com
  • Book of the Dead, ucl.ac.uk
  • Book of the Dead, www.historyforkids.net

 

Related Articles