සේනානායකවරුන්ගේ නිවහන: මීරිගම බෝතලේ වලව්ව

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නම් දැරූ පවුල් කිහිපයක් පිළිබඳ ව අපි අසා ඇත්තෙමු. ඒ අතර සේනානායක, බණ්ඩාරනායක, සහ විජේවර්ධන වැනි පවුල් ප්‍රධාන තැනක් ගනී. මෙම පරම්පරාවලින් පැවැත ආ කිහිප දෙනෙකු ම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළ ම තනතුරු වන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය වැනි තනතුරු දැරූහ. ඊට අමතර ව තවත් කිහිප දෙනෙක් එවැනි ප්‍රධාන පෙළේ තනතුරු නොදැරුවත්, විවිධ අමාත්‍ය ධූර දරමින් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආදී වශයෙන් දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටියහ.

ඒ අනුව මෙරට දේශපාලනයේ අමතක කළ නොහැකි එවැනි දේශපාලන පරපුරක් ලෙස සේනානායකවරුන් හැඳින්විය හැකි ය. විශේෂයෙන් ම නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා, එනම් මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් මෙම පරපුරේ සාමාජිකයකු වූ අතර ඔහුගෙන් පසු ව අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ ඔහුගේ පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක ය. ඉන් අනතුරු ව ඩඩ්ලි සේනානායකයන් අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ අතර ඊට අමතර ව සේනානායක පරපුරේ තවත් සාමාජිකයන් කිහිප දෙනකු මෙරට දේශපාලනයේ කැපී පෙනෙන තනතුරු දරා තිබේ.

සේනානායකවරුන්ගේ මුල් නිවහන ගම්පහ දිස්ත්‍රික්කයේ, මීරිගම ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර එය මීරිගම ‘බෝතලේ වලව්ව’ යන නමින් ජනතාව අතර ඉතා ප්‍රසිද්ධ ය. එම බෝතලේ වලව්වේ තතු මෙම ලිපියෙන් සොයා බලමු.

ස්පේටර් සේනානායක සහ කැතරිනා එළිසබෙත් යුවළ –  SenaSenanayakefamily.org

ආරම්භය

සේනානායක පරපුරේ මෑතකාලීන ආරම්භකයා ලෙස සැලකෙන්නේ 1848 වසරේ උපත ලැබූ දොන් ස්පේටර් සේනානායක වන අතර ඔහු තරුණ වියේදී ම මිනිරන් පතල් කැණීමේ ව්‍යාපාරවලට යොමු වීම හරහා විශාල ධනස්කන්ධයක් උපයා ගෙන ඇත. පසුකාලීනව වැවිලි කර්මාන්තයට සහ රේන්ද (අරක්කු) කර්මාන්තයට ද යොමු වී ඇති ඔහුට එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව  ‘මුදලි’ තනතුරක් ද ලබා දී ඇත.

ඔහු දෝන කැතරිනා එළිසබෙත් පෙරේරා ගුණසේකර සමඟ විවාහ වූ අතර මෙම යුවළට දොන් ස්ටීවන් සේනානායක (ඩී.එස්. සේනානායක), දොන් චාල්ස් සේනානායක, ෆ්‍රෙඩ්රික් රිචර්ඩ් සේනානායක සහ මරියා ෆ්‍රාන්සස් සේනානායක නමින් පුතුන් තිදෙනෙක් සහ එක දියණියක් විය.

වලව්ව ඉදිකිරීම

1865 වසරේදී පමණ මුදලි, දොන් ස්පේටර් සේනානායක මීරිගම, බෝතලේ ප්‍රදේශයේ පිහිටි අක්කර 35කින් යුතු ඉඩමක නිවසක් ඉදි කළ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට මුදලි තනතුරක් ලබා දීමෙන් අනතුරුව එය ‘වලව්ව’ යන නමින් හැඳින්විණි. බෝතලේ ප්‍රදේශයේ පිහිටා තිබීම හේතුවෙන් එය පසුකාලීන ව ‘බෝතලේ වලව්ව’ වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධ විය.

මුල් කාලයේදී මෙම වලව්ව සතුව ඉඩම් අක්කර 600කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර පසුකාලීනව හඳුන්වා දුන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අක්කර 50කට වැඩි වපසරියකින් යුතු ඉඩම් රජයට පවරා ගැනීම හේතුවෙන් මේ වන විට වලව්ව සතුව ඇත්තේ ඉඩම් අක්කර 50කටත් අඩු ප්‍රමාණයකි.

වලව්වේ ආලින්දය – Facebook- මීරිගම අපි – Mahesh Bandara

ගෘහ නිර්මාණ ශිල්පය

විශාල වත්තක් මධ්‍යයට වන්නට පිහිටා ඇති බෝතලේ වලව්වට පිවිසෙන ස්ථානයේ තරමක් විශාල කණු දෙකකින් දරා සිටින ගේට්ටුවක් පිහිටා ඇත. සොල්දරයක් ද සහිත නිවසක් වන බෝතලේ වලව්ව ඉදිරිපස ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත විශාල පෝටිකෝවක් සහිත ආලින්දයක් දැකිය හැකි ය.

ආලින්දයේ ඉදිරිපස විශාල ආරුක්කුවකුත්, ඊට දෙපසින් තරමක් කුඩා ප්‍රමාණයේ ආරුක්කු දෙකකුත් දැකිය හැකි ය. ආලින්දය දෙපසට වන්නට ද විශාල ප්‍රමාණයේ ආරුක්කු දෙකක් දැකිය හැකි ය. දැවයෙන් කරවන ලද දොර ජනෙල්වලින් යුතු වලව්වේ වහලයේ වර්තමානය වන විට රට උළු සෙවිලි කරවා තිබේ. වලව්වේ ආලින්දයේ බිමට මැටියෙන් සාදන ලද පිඟන් ගඩොල් අතුරා තිබේ.

ප්‍රධාන දොරට ඉහළින් දැකිය හැකි සේනානායක පරපුරේ ලාංඡනය- Facebook- මීරිගම අපි -Mahesh Bandara

වලව්වට ඇතුළු වීම සඳහා ඇති ප්‍රධාන දොරටුව දෙපස මුව හෝ ගෝන අං තට්ටු දෙකක් රඳවා තිබෙන අතර දොරට ඉහළින් බිත්තියේ සේනානායක පරපුරේ ලාංඡනය වන බෝධි අංකුරයක අනුරුවක් රඳවා තිබේ.

නිවස ඇතුළතත් විවිධ සතුන්ගෙන් ලබාගත් අං තට්ටු බිත්තියේ රඳවා තිබෙන අතර එක ස්ථානයක රයිෆලයක්, කෙටේරියක් සහ කඩුවක් ද රඳවා ඇති ආකාරය දැකගත හැකි ය. වලව්වේ ජිවත් වූ අය අතීතයේ දී ගමන් බිමන් යාම සඳහා භාවිතා කළේ යැයි සිතිය හැකි තිරික්කලයක් ද වලව්ව තුල තබා තිබෙයි. සේනානායකවරුන් භාවිත කළ ඇඳන්, හාන්සි පුටු, ලියන මේස වැනි ගෘහ භාණ්ඩ රාශියක් නිවස තුළ තබා තිබේ.

වලව්ව ඇතුළත- Facebook- මීරිගම අපි -Mahesh Bandara

වලව්වේ ඇතුළත බිත්තිවල සේනානායක පරපුරේ සහ තවත් නොයෙක් ඡායාරුප රාශියක් දැකගත හැකි ය. ඒ අතර දෙවැනි එළිසබෙත් මහා රැජනගේ සහ ඇගේ වල්ලභයා වූ එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමාරයාගේ ඡායාරුපයක් ද වේ.

තවත් විශේෂ කරුණක් ලෙස කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙරට අග්‍රාමාත්‍ය ධූරය සහ ජනාධිපති ධූරය දැරූ කිහිප දෙනකුගේ ම ඡායාරුප වලව්වේ එක බිත්තියක එල්ලා තිබෙනු අදට ද දැකගත හැකි ය. එම ඡායාරුප අතර පිළිවෙළින් ඩී.එස්. සේනානායක, සර්. ජෝන් ලයනල් කොතලාවල, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන අයගේ ඒවා වේ.

වලව්වේ දැකිය හැකි මෙරට රාජ්‍ය නායකයන්ගේ ඡායාරූප – Facebook- මීරිගම අපි – Mahesh Bandara

 බෝතලේ වලව්වේ විශාල මුළුතැන්ගෙයක් පිහිටා තිබෙන අතර අතීතයේදී එහි දර පෝරණු හතරක් හෝ පහක් පමණ පිහිටා තිබු බව පැරැණි අය සඳහන් කරති. ඊට අමතර ව සේනානායක පරපුරට අයත් කුඹුරුවලින් ලබාගන්නා වී අස්වැන්න ගබඩා කර තැබීම සඳහා භාවිතා කල වී අටුවක් ද වලව්ව තුළ දැකගත හැකි ය.

සොහොන් ගෙය

බෝතලේ වලව්වට යාබදව තරමක් විශාල ප්‍රමාණයේ සොහොන් ගෙයක් දැකගත හැකි අතර මුලින් ම එය ඉදි කරවා ඇත්තේ ඩී.එස්. සේනානායකයන්ගේ පියා වූ දොන් ස්පේටර් සේනානායක අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී ය. සුදු පැහැයෙන් පින්තාරු කර ඇති එම සොහොන් ගෙය තුළ පසුකාලීන ව ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන අයගේ ද භෂ්මාවශේෂ තැන්පත් කර තිබේ.

පවුලේ කැපී පෙනෙන සාමාජිකයන් – ඩී.එස්. සේනානායක

1884 වසරේ ඔක්තෝබර් මස 21 වන දින මීරිගම දී උපත ලැබූ ඩී.එස්. සේනානායක කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරු ව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වශයෙන් සේවය කළේ ය. කෙසේ නමුත් කෙටි කලකින් එම රැකියාවට සමු දෙන ඩී.එස්. සේනානායකයන් සිය සහෝදරයා වූ චාර්ල්ස් සේනානායකයන් සමඟ එක්ව පවුලේ ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ ය.

1924 වසරේදී මිගමුව ප්‍රදේශය නියෝජනය කරමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වන ඩී.එස්. සේනානායකයන් 1925 වසරේදී බුද්ධගයාවට ගොස් සිටි සිය සහෝදරයා වූ එෆ්.ආර්. සේනානායකගේ හදිසි මරණයෙන් පසුව ඔහු (එෆ්.ආර්. සේනානායක) විසින් නායකත්වය දැරූ මෙරටට නිදහස ලබා ගැනීමේ ව්‍යාපාරයේ නායකත්වය ගෙන කටයුතු කළේ ය. 1931 වසරේදී නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වන ඔහු කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යවරයා වශයෙන් තේරී පත් විය.

පැරණි පාර්ලිමේන්තුව – wikimedia.org

1947 වසරේ පැවති මහා මැතිවරණයේදී ප්‍රථම වරට මීරිගම ආසනයෙන් තරග කළ ඔහු වැඩි ඡන්ද 16,000ක් ලබා ගෙන පාර්ලිමේන්තුවට පිවිසෙයි. ඔහු ඉදිරිපත් කළ යෝජනාවක අවසන් ප්‍රතිපලය වශයෙන් බ්‍රිතාන්‍ය රජය ලංකාවට අර්ධ නිදහසක් හෙවත් ඩොමිනියන් තත්ත්වයේ පාලනයක් ලබා දිණි. එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධූරය දැරූ හෙන්රි මුවර්, මෙරට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය පිහිටුවීමට හා අග්‍රාමාත්‍යවරයා වශයෙන් රාජකාරි භාරගැනීමට සේනානායකට ආරාධනා කළ අතර ඒ අනුව ඩී.එස්. සේනානායක නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් විය.

ඩඩ්ලි සේනානායක

ඩී.එස්. සේනානායක සහ මොලී දුනුවිල යුවළගේ වැඩිමහල් දරුවා ලෙස 1911 වසරේ ජූනි 19 දින උපත ලැබූ ඩඩ්ලි සේනානායක ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ අතර පසු ව ඔහු එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් හි පිහිටි උසස් අධ්‍යාපන ආයතනයකින් උසස් අධ්‍යාපනය හැදෑරුවේ ය. ඉන් අනතුරුව බැරිස්ටර්වරයකු ලෙස සුදුසුකම් ලබා නැවත මෙරටට පැමිණි ඔහු 1936 වසරේදී මුල් වරට දේශපාලනයට පිවිසුණේ ය. 1936 වසරේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඔහු 1946 වසරේදී සිය පියා වූ ඩී.එස්. සේනානායක දැරූ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ධූරයට ද තේරී පත් විය. එතැන් පටන් වසර පහක්, එනම් 1952 දක්වා එම ධූරයේ කටයුතු කළේ ය.

Walala A. Rathnayake Central College Archives - www.alpanthiya.lk
ඩී.එස්. සේනානායක – www.alpanthiya.lk

පසුව සිය පියාගේ හදිසි අභාවයෙන් පසුව ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත් වූ ඔහු සෞඛ්‍ය හේතු මත 1953 වසරේදී එම ධූරයෙන් ඉල්ලා අස් විය. නැවතත් 1957 වසරේදී ක්‍රියාකාර දේශපාලනයට පිවිසි ඔහු 1960 වසරේදී මාස හතරක කාලයක් පමණ නැවතත් අගමැතිවරයා වශයෙන් කටයුතු කළේය. 1960 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රජයක් පිහිටුවීම සමග 1965 වසර දක්වා විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළ ඩඩ්ලි සේනානායකයන් 1965 වසරේ සිට 1970 වසර දක්වා නැවතත් අග්‍රාමාත්‍ය ධූරය දැරී ය.

1970 වසරේ දී නැවතත් සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වය දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල ඩඩ්ලි සේනානායක 1973 වසරේ අප්‍රේල් මස 13 වන දින අභාවප්‍රාප්ත විය.

වලව් භූමියේ පිහිටා ඇති සොහොන් ගෙය – Facebook- මීරිගම අපි – Mahesh Bandara

වර්තමාන තත්ත්වය

ඩී.එස්. සේනානායක දරුවන් දෙදෙනා වූ රොබට් පරාක්‍රම සේනානායක සහ ඩඩ්ලි සේනානායක අතරින් විවාහ වූයේ රොබට් සේනානායක පමණකි. ඔහුට දේවින්ද, රංජිනී, රංජිත්, රුක්මන් සහ යස්මින් නමින් දරුවන් පස් දෙනකු විය. ඒ අතරින් රුක්මන් සේනානායක ද පසුකාලීනව දේශපාලනයට පිවිසි අතර ඔහු සිය මුත්තණුවන්, එනම් ඩී.එස්. සේනානායක පිහිටු වූ එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙසත්, 2002 සිට 2004 දක්වා වූ කාලය තුළ පරිසර සහ ස්වාභාවික සම්පත් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.

 පසුකාලීනව දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ සේනානායකවරුන් ලෙස රුක්මන් සේනානායක සහ වසන්ත සේනානායක වැනි අය හැඳින්විය හැකි ය. සේනානායක පරපුර මෙරට තවත් ප්‍රධාන පෙලේ දේශපාලන පවුල් සමග විවාහ සබඳතා ඇති කර ගත අතර ඒ අනුව සේදවත්තේ විජේවර්ධන පවුල සහ සේනානායකවරුන් අතර සමීප සබඳතාවක් ඇත.

රොබට් සේනානායකයන්ගේ දරුවන්ට හිමි බෝතලේ වලව්ව 1999 වසරේ සැප්තැම්බර් මස ආරක්ෂිත ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර ඇත.

කවරයේ පින්තූරය- බෝතලේ වලව්වේ ඉදිරිපස ඡායාරූපයක් - Facebook- මීරිගම අපි - Mahesh Bandara

මූලාශ්‍ර:
Senanayakefamily.org
සිළුමිණ
www.parliament.lk
www.britannica.com
www.is

Related Articles