බොට්ස්වානාවට​ නිදහස ලබාදුන් රූත් සහ කාමාගේ ආදර අන්දරය

බොට්ස්වානාව යනු අප්‍රිකා මහද්වීපයේ දකුණු අප්‍රිකා කෙළවරේ පිහිටි අභ්‍යන්තර රටකි. ලංකාව මෙන් 8 ගුණයකටත්  වඩා විශාල එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 581,730කි. අප රට ජනගහණය මෙන් දහයෙන් එකකටත් අඩු බෝට්ස්වානාවේ වාසය කරන්නේ මිලියන 2කට ආසන්න ජනතාවක් පමණි. අප්‍රිකානු මහද්වීපයේ තිබෙන රටවල් අතුරින් දේශපාලනික ව වඩාත් ස්ථායී යම් තාක් දුරක සංවර්ධනයක් කාලාන්තරයක් තිස්සේ පවත්වාගන්නට බොට්ස්වානාව සමත් වී තිබේ. සතර වටින්ම තවත් රටවල් වලට මායිම් ව ඇති අභ්‍යන්තර රටවල් සංවර්ධනය වීම තරමක් මන්දගාමී වුවත් බෝට්ස්වානාව ඒකපුද්ගල ආදායම වැඩිම අප්‍රිකානු රටක් බවට පත්ව තිබේ. දියමන්ති ඇතුළු පතල් කර්මාන්තය දියුණු වීමත්,ඉහල මට්ටමේ සංචාරකයින් ආකර්ෂණය වීමත් සහ භූමි ප්‍රමාණයට සාපේක්ෂව අඩු ජනගහණයක් පැවතීම බොට්ස්වානාවේ ඒකපුද්ගල ආදායම වැඩි වීමට හේතු වී තිබේ.

අප්‍රිකානු මහද්වීපයේ දියුණුම රට වුවද බොට්ස්වානාවට ඒඩ්ස් වලින් නම් අඩුවක් නැත. අවුරුදු 15-45 වයස් කාණ්ඩයේ ජනගහණයෙන් සියයට 25 කටම එච් අයි වී ආසාදනය වී තිබේ. එම නිසාම අප්‍රිකාවේ සංවර්ධිතම රට වුවද එහි ජනයාගේ ආයු අපේක්ෂාව අවුරුදු 53 ක් වැනි පහල අගයක් ගනී.

බොට්ස්වානාවේ සංචාරක පිරිසක් (africanbudgetsafaris.com)

රූත් සහ කාමාගේ ආදර අන්දරය

ලන්ඩනයේ කුඩා ශාලාවක බාල් නැටුමකි. එයට සහභාගී වන රූත් විලියම්ස් නැමැති ලිපිකරු තරුණියව එහි සිටි කළු ජාතික තරුණයකුගේ නෙත ගැටේ. මෙම තරුණයා අප්‍රිකාවේ කෙළවර රටක රාජ පරම්පරාවක ජීවමාන හිමිකාරයා ය. මේ දෙදෙනාගේ පළමු  හමුවීම ම ආදරයකට මුල පුරන්නට විය. එය 1947 එම කාලයේදී ලන්ඩනයේ පවා සුදු කළු බේදය යම්තාක් මට්ටමකට තදින්ම පැවතුනි. එකල දකුණු අප්‍රිකාව සුදු ජාතිකයින් පාලනය කළ බ්‍රිතාන්‍ය කොලනියකි. දකුණු අප්‍රිකාව සුදු කළු ලෙසින් සමේ වර්ණයෙන් දරුණු ලෙස බෙදුණු ජාතියක් විය.

කෙසේ වෙතත් සුදු ජාතික රූත් සහ කලු ජාතික සරේට්සෙ කාමා පෙමින් වෙලේ. සිය ජාතිය යටත් කරගෙන සිටින සුදු ජාතික කාන්තාවක හා විවාහ වීම කළු ජාතික කාමා කුමාරයාගේ ඔටුන්න ඔවුන්ගේ ස්වදේශිකයින් විසින් ප්‍රතික්ෂේප කිරීමට දැඩි හේතුවකි. එසේම සුකුමාර කෙලිලොල් යුවතියක වූ රූත්ට සිය රැකියාව, නෑසියන් මෙන්ම රට පවා ප්‍රේමය වෙනුවෙන් හැරදා යෑමට සිදු වේ. එම අනාගත අනතුර හොඳින්ම දෙදෙනාම දැන සිටියෝ ය.ඒ සියළු අනාගත කළු වලාවන් එසේම තිබියදී සාමාන්‍ය ක්‍රිස්තියානි පල්ලියෙන් විවාහය ප්‍රතික්ෂේප කරන විට වෙනත් නිකායක් සමබන්ධ කරගෙන දෙදෙනා ලන්ඩනයේ දී විවාහ ගිවිස ගනී.

Getty Images

අප්‍රිකාවට ගොඩ බැසීම

කාමාගේ උරුමය සහිත බොට්ස්වානාවට මෙම සුදු කළු යුවල 1950 දී ගොඩ බහින විට එතැන ඇතිවන්නේ ද විශාල අවුලකි. එවකට අප්‍රිකාවේ කුඩා අවන්හල් පවා සුදු කලු ලෙස වෙන් කොට තිබුණි. එවන් වටපිටාවක රූත්ටත් සරේට්සෙ කාමාටත් ඇතිවන පීඩනය සුළුපටු එකක් නොවේ.

කාමා ස්වදේශික ජනයාගේ මීළඟ නියෝජිතයා ලෙස තෝරා ගන්නට ඔහුට විවාහයක් කර සිය ජනතාවට නායකත්වය ලබා දෙන්නට ඔහුගේ ජනතාව බලා සිටියෝ ය. එහෙත් සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. ඉගෙන ගන්නට ලන්ඩනයට යැවූ කාමා එන ගමන සුදු ජාතික කෙල්ලෙක්ද  සරණපාවා රැගෙන එයි. එහිදී සරේට්සෙ කාමාගේ ඥාතින් සහ එවකට ගෝත්‍රයේ ඉහළ පුටුවල සිටි ඔහුගේ මාමා ඇතුළු නෑයින් කාමා ගේ නායකත්වය පිලිගන්නේ නැත. එහෙත් මහජනතාව හමුවේ උද්වේගකර කතාවක් කරමින් කාමා “ සිය ජනතාව කෙරේ වූ දයාව තමා සතුව එලෙසම තිබෙන බවත් සුදු ගෑනියක කසාද බැඳීමෙන් එය විනාශ වී නොයන බවත්’’  ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ ය. ජනතාව සරේට්සෙ කාමා සමග එකතු වුනි. නමුත් වසර සිය ගණනක් තිස්සේ තමුන්ගේ කුල ගොත් පරම්පරා විසින් රැකගෙන ආ සම්ප්‍රදායයන් වෙනස් කරන්නට ප්‍රභූන් අකමැති විය.

නැවත කාමා ලන්ඩනයට

1951 දී සරේට්සෙ කාමාට සහ බිරියට නැවත ලන්ඩනයට එන්න යැයි ඇරයුම් පතක් බ්‍රිතාන්‍ය පාලකයින් වෙතින්  ලැබේ. එහෙත් කාමාගේ සුදු ජාතික බිරිය වූ රූත් බොට්ස්වානාවේ තනි කර කාමා පමණක් ලන්ඩනයට පැමිණේ.  සුදු ජාතිකයින්ගේ අණසක යටතේ ඒ වන තෙක් පැවති මෙම බොට්ස්වානාවෙන් කාමාගේ බිරිය නැවත ලන්ඩනයට පැමිණියේ වී නම්  යම් ලෙසකින් බ්‍රතාන්‍යය විසින් තහනම් කළහොත් නැවත බොට්ස්වානාවට හිමිකම් කීමට සරේට්සෙ කාමාට අයිතියක් නැති වනු ඇත. කාමා සිතූ දේ නැවැරදිය. නැවත බොට්ස්වානාවට යෑමට කාමාට තහනම් නියෝගයක් පැනවිණි. ඔහු ලන්ඩනයේය. බිරිය බොට්ස්වානාවේ ය.

මේ සත්‍ය සිදුවීම පාදක කොටගත් A United Kingdom හි රූපරාමුවක්. (Daily Mail)

මෙය එකල බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පවා සම්බන්ධ වුණු එකල සමාජය දෙවනත් කළ මහා ක්‍රියාදාමයකි. ඒ කාලයේදීම බොට්ස්වානා බිමෙන් වටිනා දියමන්ති ආකර සොයා ගනී. උපායශීලි කාමා ඒ දියමන්ති සම්බන්ධ දත්ත ඔහු සන්තකයට ගැනීමට ක්‍රියා කළේ ය. වසර දෙක තුනකින් රූත් නැවත ලන්ඩනයට පැමිණෙන විට එතෙක් පියා නොදුටු රූත්ගේ පළමුවෙනි දරුවාද ඇයගේ ඇකයේය. මුලින් දැඩි සේ විරුද්ධ වුවත් ජනමාධ්‍යවල ද කතාබහ වුණු ප්‍රබල කතාන්දරයක් වූ නිසා රූත්ගේ දෙමාපියෝ ද ඇයට ආශීර්වාද කරන්නට පෙර මග බලා සිටියෝ ය.

කාමා ලන්ඩනයෙන් නැවත බොට්ස්වානාවට

වසර කිහිපයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අරගල කරමින් සිටි සරේට්සෙ කාමා 1956 දී සිය නෑසියන් දැකබලා ගැනීමට යැයි සතියක අවසර පතක් ලබාගෙන කාමා බොට්ස්වානාවට යයි. විරසක වී සිටි ඥාතින් සහ මාමාවරුද නම්මා ගන්නට කාමා සමත් වේ. දැන් සියළු කළු ජාතික ස්වදේශිකයෝ එක මිටකි. එයින් පසු එවකට සුදු ජාතික පාලකයින් සමග ද දියමන්ති ආකර සම්බන්ධ රහස බෙදාගන්නා කාමා දීර්ඝ අරගලයකින් පසු 1965 දී  බොට්ස්වානාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් වේ. බෝට්ස්වානාව 1966 දී නිදහස් දේශයක් ලෙස බ්‍රිතාන්‍ය පාලකයින්ගෙන් නිදහස්ව සිය ජනරජයක් පිහිටුවා ගන්නේ සෙරේට්සේ කාමාගේ දිර්ඝ කාලීන කැපවීම හේතුවෙනි.

මේ සත්‍ය සිදුවීම පාදක කොටගත් A United Kingdom හි රූපරාමුවක්. (collider.com)

ආදරය ඇති වන්නට එක් නිමේශයක හමු වීමක් ප්‍රමාණවත් වුවද ආදරය දළුලා එය සාර්ථක විවාහයක් මල්පල ගන්නට බොහෝ කාරණා සම්පූර්ණ විය යුතුය. කළු සුදු බේදය දැඩි කලෙක ඔවුහු බොහෝ දේ කැප කරමින් ආදරය වෙනුවෙන් එකිනෙකා වෙනුවෙන් කැප වූහ. එසේම හැඟීමටම මුල් තැන දෙන්නේ නැතිව අවශ්‍ය තැන් හි කැප කිරීම් කරමින් උපායශීලිව සිය කිරුළ රැක ගන්නට ද මෙහිදී සරේට්සෙ කාමා සමත් වේ. කෙසේ වෙතත් බලයට පත් වීම සේම පාලනයේදී ද දක්ෂයෙක් වූ කාමා අප්‍රිකානු බිමෙන් බෝට්ස්වානාව දියුණු මට්ටමකට ඔසවා තබන්නට පාලකයෙකු ලෙසද දායක විය. ස්රේට්සේ කාමා 1980 කලක් තිස්සේ පැවති රෝගාබාධ තත්වයන් හේතුවෙන් මිය පරළොව ගියේ ය.

මේ ආදර කතාව නිසා ස්රේට්සේ කාමාගේ දේශපාලනික දිවියට මෙන්ම බෝට්ස්වානාවට ද විශාල වාසියක් අත්පත් කර දුන්නේ ය. සුදු ජාතික බ්‍රිතාන්‍යයන් තව දුරටත් ස්රේට්සේ කාමා තවත් අප්‍රිකානුවෙකු ලෙසත් බොට්ස්වානාව පසුගාමී රටක් ලෙසත් නොදකින්නට රූත් සහ ස්රේට්සේගේ නිකලැල් ආදර කතාව හේතු විය. මේ සත්‍ය සිදුවිම් දාමය  අලලා ‘A United Kigdom’ යනුවෙන් චිත්‍රපටයක් ද නිපදවා තිබේ. එකිනෙකට වංශයෙන් ධනයෙන් බලයෙන් සහ වර්ණයෙන් වෙනස් වූ යුවලකගේ එකතු වීම බොට්ස්වානාව නම් දේශයක් ඇති වීමටත් එය අප්‍රිකාව අභිබවා සංවර්ධනය වීමටත් මනා රුකුලක් ම විය.

Cover Image:  රූත් සහ කාමා (The Telegraph)

Related Articles