මියැදී මිස නොනැමුනු වන අලි නායිකාව

දේවදත්තයෝ බුදුන් වහන්සේ පිඩුසිඟා වඩින මගට රා කල සොළොසක් පොවා මත් කර නාලාගිරි හස්තියා එවුයේය. මත් වූ නාලාගිරි ඇතා සහ බුදුන් වහන්සේ හමුව නැරඹීමට සිටින ජනයා ගැන විද්‍යාචක්‍රවර්තීගේ බුත්සරනේ සඳහන් වන්නේ මෙසේය.

“සියලු මනුෂ්‍යයෝ සෑම සෑම තැන මැසි මත්තෙහි මැසි බඳිමින්, සඳලු සිය දහස් පුරා නැඟෙමින්, පිටිසේනන්හි අතුරු අතුරු සිදුරු නැතිවැ හිඳිමින්, මහ රුක් උඩට නැ‍ඟෙමින්, පවුරු පදනම් පිටට නැඟෙමින්, මහා ප්‍රාසාද බිඳී නැමී යන පරිද්දෙන්, සමහර මැසි බිඳී නැමී යන පරිද්දෙන් පිරී ගොස්, දූ පුතුන් කර හිඳුවා නොයෙක් කුහුලින් සිටගත්හ.“

1950 අගොස්තු මස 11 වැනිදා පනාමුරේ ඇත් ගාල අවට ජනයා අතුරු සිදුරු නැතිව පිරී සිටගෙන සිටියේද හස්තිරාජයකු සහ මිනිසුන් අතර සටනක් දැක බලාගැන්මටය. රැස්ව සිටි මිනිස්සු එහි සිටි මෙල්ල නොවූ නායක හස්තියා දෙසත් මෙල්ල කිරීමට යන අය දෙසත් දෑස් අයාගෙන බලා සිටියේ මහත් වූ දෙගිඩියාවෙනි. ඒ හස්තියාට අලංකාර නමක් නොවීය. හස්තියා යැයි පසුකලෙක හැඳින්වුවද පනාමුරේ නායිකාව කුඩා දල කැබලි දෙකක් පමණක් සහිත කෙනරකි. පසුකාලීනව ඇතැම් සිංහල වාර්ථා වල ඌ සුවිසල් අලියෙකු ලෙස හඳුන්වාගත්තත්  අලිගාල නැරඹූ අයගේ අදහස අනුව පනාමුරේ අලියා එවක සිටි හීලෑ අලින්ට වඩා තරමක්  කුඩා එකෙකි. අලි සටන අවසානයේ අලියා පරාජය වුවත් එය අලි පරපුරට ජයග්‍රහණ අත් කොට දී අලිගාල් පැවැත්වීම තහනම් කිරීමට පනාමුරේ නායක කෙනරගේ වියෝව  හේතු විය.

අලි ගාල්

අලි ගාල් බිමේ පසුකාලිනව ඉදි වූ පනාමුරේ අලියාගේ ප්‍රථිමාව (2.bp.blogspot.com)

අලි ගාල් බිමේ පසුකාලිනව ඉදි වූ පනාමුරේ අලියාගේ ප්‍රථිමාව (2.bp.blogspot.com)

වන අලි රැසක් කොටු කරන ලද සුවිසල් වපසරියකට ගොනු කොට ඉන් පසු හීලෑ අලි මාර්ගයෙන් වන අලි කොටු කර, වන අලි රැසක් එකවර අල්ලා ගැනීමට අලි ගාල් එකල භාවිත ක‍ලේය. ලංකාවේ පමණක් නොව ආසියාවේ කාම්බෝජය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවලද අලි ඇල්ලීමට අලි ගාල් භාවිත කරන ලදී. පනාමුරේ යනු  නූතන නගරයක් වන ඇඹිලිපිටියේ සිට කිලෝමීටර 14ක දුරින් පිහිටා ඇති කුඩා උපනගරයකි. මෑත කාලයේ ඇඹිලිපිටියේ අලි දකින්නට නැති වුවත් කඹුරුපිටියේ වනරතන හිමි ගේ ලේඛන වලට අනුව ලන්දේසි යුගයේ මාතර ප්‍රදේශයේ පවා අලි ජීවත්ව සිට ඇත. ලන්දේසීන් අලි අල්වා අපනයනය කොට ඇති බවටද වාර්ථා වේ.

ස්වාභාවිකව කිසිදා නොසිඳෙන දිය බුබුලක් තිබූ බැවින් එතැන අලිගාලකට සුදුසු ස්ථානයක් විය. මඩුවන්වෙල දිසාව විසින් කලකට පෙර ද පනාමුරේ අලිගාලක් පවත්වා තිබුනි. එවකට ඉඩම් හිමි රදලයෙකු මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ඉහලම පුටුවක් වූ කථානයක තනතුරේ හිමිකරු වූයේ ෆ්‍රැන්සිස් මොලමුරේය. ඒ නිසාම ඔහු විසින් පවත්වන්නට යෙදුන පනාමුරේ අලිගාල රටේම පතල වූ සිද්ධියක් විය.

1950 අගෝස්තුවේදී මෙය සිදු වූවත් ඊට මාස ගනනකට පෙර දිය උල්පත වටා සුවිසල් දඩු වැටක් ඉදිකොට අලි ඇල්ලීම බලන්නට එන පිරිසට අවශ්‍යතා අනුව සැකසුනු කුඩා නගරයක් ද නිර්මාණය කොට පනාමුරේ අලි ගාල සැකසීමට බොහෝ කලක් ගත වන්නට ඇත. අලි ගාල සැකසීමෙන් පසු දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය ලබාගැනීමට විශේෂ පූජාවන්ද පවත්වන ලදී. දෙවියන් ගේ ආශීර්වාද කෙසේ වෙතත් අලිගාලේ හිමිකරු වූ මොලමුරේත්, අලි මන්තර විද්‍යාවේ කෙල පැමිණි අලි ඇල්ලීමේ විශේෂඥයෙකු වූ සෑම් ඇලපාතත් පනාමුරේ අලියාගෙන් ජීවිතය ගලවා ගත්තේ අනූ නමයෙනි.

සැලසුම අනුව අලි ගාල සකස්කොට වන අලින්ට එවැන්නක් ඇතැයි නොපෙනෙන්ට පිරිස ක්‍රියා කලෝය. ගාල සැදිමේදී වනයට දැඩිව හානි නොකිරීමෙනුත් ගිනි දැල්වීම් හා ශබ්ධ කිරීම් වලින් තොරව අලිගාල නිසොල්මනේ පවත්වාගැනීමෙනුත් අලින්ට මේ මිනිසුන්ගේ උගුලක් යයි වැටහීම අඩු කරයි.  ජලයට ඇති උවමනාව හේතුවෙන් කුඩා අලිපැටවුන් 2ක් සහිත 27ක් වූ අලි රැල පනාමුරේ දිය බුබුල කරා ඇදෙන්නට වූයේ ඔවුන් කොටුකොට ඇති වැටක් ගැන හාංකවිසියක් වත් නොදැනය.

පනා මුරේ අලි හීලෑ කල ආකාරය

පනාමුරේ ඇතාද මෙවන් වූ ඉතා කුඩා දල සහිත ඇතෙක් විය.

පනාමුරේ ඇතාද මෙවන් වූ ඉතා කුඩා දල සහිත ඇතෙක් විය.

හොඳින් කා බී විවේකයෙන් සිටින පුශ්ඨිමත් හීලෑ අලි දෙදෙනෙක් ආහාර මදකමෙන් දුර්වල වූ වන අලියා මැදි කරගනී. ඉන්පසු කෙමෙන් කෙමෙන් හීලෑ අලි දෙදෙනා විසින් තල්ලු කරන වන අලියාගේ කකුලකට සුවිසල් ගසක් කිට්ටු වන විට මන්දක් වැටේ. අලි ගාල හමාර වී වන අලි විකිනෙන තෙක්ම වන අලියාගේ කකුලට යොදන මන්ද හෙවත් තදකර බඳිනු ලබන කඹ මගින් වන අලියා ගසේ බැඳ තබයි.

පනාමුරේ අලි ගාලේ මුල් අවධියේදී නායක හස්තියා  සන්සුන්ව සිටි සතෙකි. නමුත් සිය නෑයින් මිතුරන් එකිනෙකා ගස් බඳින විට ඌගේ චර්යාව වෙනස් වන්නට විය. සාමාන්‍යයෙන් අලි ඇල්ලීමකදි වෙනත් සතුන් හීලෑකර ගැනීමකදී මෙන්ම මුලින්ම බැඳ තබන්නේ කුඩා වුන් සහ දුර්වල සතුන්ය. ජීව විද්‍යාත්මක සැලකුවහොත් අලියා කම්පනයට දැඩි වෙහෙසට ලක්වන විට පිරිමි අලින් ඉක්මනින්ම මද කිපෙන දරුණු අවස්ථාවට පැමිණේ. අලියාට කරන ලද හිංසා හේතුවෙන් අලියා එම තත්වයට ලං වන්නට ඇති බවට වන ජීවින් පිළිබ ද විද්වතුන්ගේ  මතයයි.

නායක පනාමුරේ අලියා විටෙක හීලෑ අලින්ට පහර දෙයි. ඇතැම් විට දඩුවැට අසලට ගොස් දඩුවැට කඩාදමන්නට උත්සාහ ගනී. වන අලින් නැරඹීමට තැනූ අට්ටාල අමුත්තන්ට තැනූ සුඛෝපබෝගී මට්ටමේ ස්ථාන අලිගාල අවටද ඉදි වුයේ වර්ථමානයේ ක්‍රිකට් තරඟ නරඹන විට බොහෝ සුවපහසු ආසන පංක්තීන් පොහොසතුන්ට හිමිවනවාක් මෙනි. පනාමුරේ අලියාට මේ කිසිවෙකු වගේ වගක් නොවීය. වරෙක මේ කලබල අලියා ලගින් දැක බලාගන්නට අලි ගාලට බට එවකට ලංකාණ්ඩුකාර සෝල්බරි සාමි සහ ප්‍රභූ පිරිසක් පිටුපස එලවා ගොස් අලියා නැවතුනේ සෝල්බරි සාමි අලි වැටෙන් එලියට ම එලවා දැමීමෙනි.

දින දෙක තුනක් ගිය තැන නායක අලියා හැර සියලුම අලි ගස් වලට අල්ලා දැඩිව බැඳ තබන ලදී, එක් කකුලක් ගසට තබා බැන්ද පසු අලි වේදනාවෙන් සිය සිරුරම ඉදිරියට දමමින් එයින් මිදෙන්නට වෑයම් කරයි. නමුත් පොටවල් රැසකින් යුත් වරපට නිසි පෝශනයක් නොමැති දුර්වල වන අලියා කෙසේ නම් බිඳ හෙලන්නද? වාර රැසක් උත්සාහ කොට කකුලේ ඇතැම් විට අස්ථීන් දක්වා වරපට වලින් කැපී යනතෙක් කකුලේ විලංගු තුවාල වන‍වනතෙක් උත්සාහ ගෙන,  කරකියා ගත දෙයක් නොවූ කල් හී කඳුලු පිරි දෙනෙතින් අසරණව බලා සිටී.

හැකි සෑම අවස්ථාවකම පනාමුරේ හස්තියා කරන්නේ සිය සගයින් මුදා ගැනීමට වෑයම් කිරීමයි. එසේම පනාමුරේ හස්තියා අල්ලන්නට පැමිණෙන හීලෑ අලින්ට උන්ගේ හීලෑ ජීවිත කාලයේ මුහුනදෙන්නට සිදු වූ දැවැන්තම නින්දාවන්ට මුහුන දෙන්නට සිදු විය.වරක් දෙකක් හොඳින් පහර කෑ දක්ෂ සුවිසල් හීලෑ අලි නැවත පනාමුරේ නායක අලියා දෙසට දක්කන්නටද අපහසු වන්නට ඇත. අලි ඇල්ලීමට පතල යැයි වහසි කිවූ අලි ඇල්ලීමේ දක්ෂ පනික්කියන් රැසක් උත්සාහයන් දෙක තුනක් ව්‍යර්ථ වනු දෑසින්ම දුටු පසු ඔව්හු පනාමුරේ හස්තියා අසලටවත් යෑමට අකමැති විය.

සෑම් ඇලපාත නැමැති අලි මන්තර විද්‍යාවේ කෙල පැමිණි අලි අල්ලන නිලමේ ද නායක අලියා ඇල්ලීමට හීලෑ අලියෙකු පිට නැගී වීරයෙකු පරිද්දෙන් පනාමුරේ අලියාගේ පෙරමුණට ගියේය. අසුරු සැනින් පැමිණි පනාමුරේ නායක අලියාගෙන් හොඩ පහරක් කාගෙන වැටුන හීලෑ අලියා දමා සෑම් අප්පෝ පණබේරාගන්නට දුවගොස් නැවතුනේ ඇලක් උඩින් පැනීමෙනි. දැන් කාලයේද ඇතැම් මිත්‍යාදෘෂ්ඨිකයින් හිස්මුදුනින් පිලිගන්නා අලි මන්තර ගින්නට ලූ පුලුන් රොදක් සේ දැවී අලුවී ගියේ එසේය. ඇලපාතයන්ගේ ජීවිතය දානය ලැබුනේ අසල තිබූ ඇලට පින්සිද්ද වන්නටය. එසේම දෙවියන්ට පූජා තබා පේවී පටන් ගත් අලි ගාල දෙස දෙවියන්ට බලන්නට අමතක වූ හෙයින්දෝ ගාල අවසාන වූයේද ඛේදවාචකයිකිනි.

දේශපාලන ප්‍රතිරෝධය

ඇත් ගාලේ සේයාරුවක්. (kanchana2015.blogspot.com)

ඇත් ගාලේ සේයාරුවක්. (kanchana2015.blogspot.com)

පනාමුරේ නායක අලියාගේ ක්‍රියාකලාපය නිසා අනෙකුත් අලි අල්ලා ගස් බැඳගන්නටද වෙනදාට වඩා කාලයක් ගතවිය. දින දෙකෙන් සියලු අලි අල්ලා හීලෑ කොට ගාලින් පිටමං කරගන්නවා යැයි පෙරදී ප්‍රකාශ කල අලි ගාල මෙහෙයවූවන්ට එය දින 4-5ක් යනතෙක් අවසාන කරගත නොහැකි විය.  වරක් නායක අලියා නිදහස් කරන අදහසින් අලි ගාලේ දොර හැරපියා තැබුවද සිය රැල එහි තබා නායක අලියා අඩියක් වත් ගාලෙන් පිටට තැබුවේද නැත. නායක අලියා සිටියදී අනෙකුත් අලි වෙන්දේසි කිරීමද කල නොහැක. මෙසේ හෙයින් දින දෙක තුනකදී සියලු කටයුතු හමාර කිරීමට සිටි අලිගාල් හිමිකරුවන්ට අලි ගාල දිගින් දිගට ඇදීයෑම වලක්වන්නට පුලුවන් කමක් නොවීය.

අලින්ට වැඩි මනක් හිරිහැර නොදී අලි අල්ලනවා යැයි කියා රටේම පතල කොට සර් ෆ්‍රැන්සිස් මොලමුරේ විසින් වැඩේ පටන් ගන්නට යෙදුන නිසා රටේම අවධානයද අලිගාල වෙත යොමු විය. එවකට ලංකාවේ සිටි බොහෝ ප්‍රභූන් මෙන්ම ආර් ඇල් ස්පිටල් වැනි කීර්ථිමත් සුදු ජාතිකයින්ද අලි ගාල ගැන දැඩි අවධානයෙන් වූහ.

බැදීම නිසා කකුල තුවාල වූ අලියෙක්..මෙම අලියා හීලෑ කරන්නට උත්සාහ කලද අවසන තුවාල වන වීමෙන් අකාලයේ මරණයට පත් විය.

බැදීම නිසා කකුල තුවාල වූ අලියෙක්..මෙම අලියා හීලෑ කරන්නට උත්සාහ කලද අවසන තුවාල වන වීමෙන් අකාලයේ මරණයට පත් විය.

කථානායක තුමාම වනසතුන්ට දුක් දෙමින් අලි අල්ලන්නට වූ කල්හී වැරදි කාරයින්ට දඩුවම් කරන්නේ කෙසේද? මේ ආකාරයට රටේ වන සතුන් ආරක්ෂා කරගන්නේ කෙසේදැයි අසමින් හඬ නැගූ ඇන් ඇම් පෙරේරා ප්‍රමුඛ වාමාංශිකයින් වටා ජනතාව රොද බඳින්නට විය. බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ද අලි ගාල පිළිබඳව දැරුවේ අලින්ට සානුකම්පිත ස්ථාවරයකි. එක් අවස්ථාවක වන සතුනට හිංසා කරනවා යැයි චෝදනා බුර බුරා එනවිවිට මොලමුරේ පාර්ශවය ඒ පනාමුරේ ඉඩම මොලමුරේට අයිති එකක් යැයිද? එය රජයේ ඉඩමක් හෝ වනාන්තරයක්කැලෑවක්  නොවේ යැයිද තර්ක කලෝය.

අවසානයේ දැඩි තීරණයක් ගන්නට ෆැන්සිස් මොලමුරේට සිදුවිය. අලියා අල්ලන්නට තැත් කිරීමේදි වානේ කම්බියක් යොදා පනාමුරේ අලියාට මන්දක් ගැසීමට උත්සාහ කොට තිබුනි. ඒ අවස්ථාවේදී අලියාගේ කකුලේ නියපොත්තක් ගැලවී ගොස් පෑරුනු තුවාලයක් ලෙස තිබූ නිසා අලියා බොහෝ සෙයින් ප්‍රචන්ඩ වන්නට ඇත.

එහෙත් ෆැන්සිස් මොලමුරේ මහතා අද දේශපාලකයින්ට වඩා නම් මදක් ඉදිරියෙන් සිට ඇති බවනම් කිව යුතුමය. අද මෙවැන්නක් සිදු වීනම් අලි ගාලේ තත්වය නරකට හැරෙද්දී වහා පාට වෙනස් කරන දේශපාලකයෝ  “මම ඒක හෙලා දකිනවා. මම එහෙම දෙයක් දන්නේ නෑ. මගේ ගෝලයො කරන හැමදේම මම දැනගෙන ඉන්නේ නෑ, මමත් අලින්ට ආදරෙයි” ආදී වදන් භාවිතා කර වැඩෙන් ගැලවී වෙනත් අය පිට වරද පටවනු නියතය. නමුත් ෆැන්සිස් මොලමුරේ තමාගේ මූලිකත්වයෙන් ඇරඹුනු අලිගාල අවසානයේ දේශපාලනිකව අවාසි සහගත තත්වයකදී වුව වගකීම හිස මතට ගෙන එයට සාධාරන විසදුමකින් අවසාන කරන්නට උත්සාහ කලේය.

නවපොට විලංගුව මුදාගැනීමට වෑයම් කරන අලියෙක්. (amazinglanka.com)

නවපොට විලංගුව මුදාගැනීමට වෑයම් කරන අලියෙක්. (amazinglanka.com)

මුලින්ම ෆැන්සිස් මොලමුරේ රත්නපුර පොලීසියට පැමිණෙන්නට නියම කල මුත් එක් වෙඩි පහරකින් අලියා බිම හෙලීමට හැකිවේදැයි ඔවුන්ට සැකයක් වූ බැවින් මොලමුරේ ඔවුන් එලවා දැමුවේය. අලියා ගැන අනුකම්පාවෙන් එවකට ප්‍රකට ප්‍රභුවරයෙකු වූ මඩුවන්වෙල පුංචි කෝරාල ෆැන්සිස් මොලමුරේ ගේ දෙකකුල් අල්ලා අලියා නොමරන ලෙස ඉල්ලීය.ඒ ඉල්ලීම මොලමුරේ විසින් ප්‍රතික්ෂේප කලේ ඔහු ඉවතට තල්ලු කිරීමෙනි.

ඉන් පසු ෆැන්සිස් මොලමුරේ ගේ කැඳවීමෙන් නාවික හමුදාවේ නිලධාරී සෑම් කදිරගාමර් සිය රයිෆලය රැගෙන විත් අලිගාල වෙත ප්‍රවේශ වන්නට විය. දිව එන හස්තියා වෙත තැබූ කදිරගාමර් මහතාගේ ඉලක්කය නිවැරදි විය. හස්තියාගේ මොල පසාරු කරගෙන ගිය උණ්ඩය එතෙක් කිසිවෙකුට නොනැමී සිටි සද්දන්තයා පොලවට බාර කරන්නට සමත් විය. . එසැනින්  කුපිත වූ බඳින ලද වන අලි තවත් පෙරළි කරන්නට විය. එයින් තරුණ අලි දෙදෙනෙක් එතෙක් නොවූ විරූ ශක්තියක් කෙසේ හෝ ගොනුකොට ගෙන වරපට මුදාගෙන අලි පරපුර වෙනුවෙන් ජීවිත පූජා කල  සිය සගයා වෙනුවෙන් සොව පලකිරීමට පැමිණ තිබුනි.

දින කිහිපයක් මුළුල්ලේ සිය වර්ගයා වෙනුයෙන් අලියාගේ සටන එසේ ශෝකජනක ලෙස නිමාවිය. නමුත් මොලමුරේ වැනි වංශක්කාරයින්ට තවත් අලිගාල් මෙරට පවත්වන්නට තවදුරටත් ඉඩකඩක් ලැබුනේ නැත. එවක වූ  සාමාන්‍ය ජනයා මෙන්ම ගුණපාල මලලසේකර වැනි වියත්හුද ඇන් ඇම් වැනි වාමාංශිකයින්ද අලි ඇල්ලිමටත් වන සත්ව හිංසාවටත් දැඩිසේ විරුද්ධ වුනි. අලි ගාල් පැවැත්වීම සම්පූර්ණයෙන්ම නීතියෙන්ම තහනම් වූ අතර වනජීවින් සංරක්ෂණයට නව නීති රෙගුලාසිද අලුතින් බිහි වන්නට විය.

වෙඩිපහරින් සැලී ඇද වැටෙන පනාමුරේ අලියා. (trips.lakdasun.org)

වෙඩිපහරින් සැලී ඇද වැටෙන පනාමුරේ අලියා. (trips.lakdasun.org)

ඉන්දියාවේ සමහර පලාත්වලද දකුණු අග්නිදිග ආසියාවේ ද ඇතැම් තැන්වල මීට වසර සියයකට දෙසීයකට ප්‍රථම ඇතැම් ස්ථාන වල විසූ අලින් දැන් එම භූමිවලින් සම්පූර්ණයෙන්ම වඳ වී ගොසිනි. යම් විදියෙකින් දිගින් දිගටම අලිගාල් පවත්වමින් අලින් අපනයනය කරන්නට හෝ හීලෑ කරන්නට වූයේ නම් ලංකාවේද අලින් ලාංඡන ධජ වලට පමණක් පෙනීසිටින වර්ගයක් වන්නට ඉඩ තිබුනි.

අවසාන ගාලට ප්‍රථම ගලේවෙල ප්‍රදේශයේ පැවති අලි ගාලකදී අල්ලා ගන්නා ලද සියළුම අලි මියගොස් තිබුනි. වැඩිමනක් හිංසාවක් නැතැයි කියමින් පටන් ගන්නට යෙදුනු පනාමුරේ අලි ගාල අවසාන වූයේ විසල් ඛේදවාචකයිකිනි. පනාමුරේ ගාල අවසානයේදී මියගිය අලියාට අමතරව තවත් අලි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

මිනිසුන් වෙනුවෙන් කඩේ යන වැඩපල කරදෙන කීකරුව සිටින නිසා ඇතැම් අලි ඇතුන් මිනිසුන් අතර වඩාත් ජනප්‍රිය වෙති. අලි ඇතුන් ආගමික භක්තිකයින්ගේ පූජා භාන්ඩ පිට තබාගෙන යෑමෙන්ද විවිධ කෙලි සෙල්ලම් වල නිරත වීමෙන්ද මිනිස්සු සතුටු කරති.  

නමුත් සිය වර්ගයා වෙනුවෙන් ජීවිතය කැප කල පනාමුරේ අලියා වනාහී තිරිසන් වුවත් මනුෂ්‍යය ජාතියටත් වඩා උතුම් වූ ගුණාංගයන් හෙබි වූ සත්වයෙකි.  ඈ සිය වර්ගයාට හිංසා කරන මිනිසුන්ට අවනත වීම අවසාන මොහොත දක්වාත් ප්‍රතික්ෂේප කළාය. අවසාන වශයෙන් සිය වර්ගයා ගාල් කර හිංසා වට පත් කරන අලි ගාල් පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා ලීමට පනාමුරේ හස්තියා සමත් විය. පනාමුරේ අලියාගේ මරණයෙන් මතු වනසතුන් ගැන මිනිසුන්ගේ ඇති වූ කතිකාවත් බලධාරින් විසින් ඇති කල නව නීති රෙගුලාසිත් නිසා තවත් සිය දහස් ගනනක් අලින්ගේ වනසතුන්ගේ ජිවිත මිනිසාගෙන් ආරක්ෂා කරගන්නට පනාමුරේ අලියාගේ ජීවිත පරිත්‍යාගය හේතු විය.

Related Articles