බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය බ්‍රෙක්සිට් නමින් හඳුන්වනු ලබනවා. ඒ සඳහා 2016 වසරේ දී බ්‍රිතානයේ පැවති ජනමත විචාරණයකින් වැඩි ජනතා කැමැත්ත හිමිවෙනවා. ඉන් පසුව එරට විවිධ දේශපාලනික හැලහැප්පීම් මධ්‍යයේ (බ්‍රිතාන්‍ය අගමැතිවරුන් දෙදෙනෙකුගේ ඉවත් වීම ද සිදුවන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ දී පැණ නැගුනු විවිධ හේතු නිසායි) 2020 වසරේ ජනවාරි 31 වන දා බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා. ඒ අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සර්වේටිව් පක්ෂයේ දේශපාලන මැදිහත් වීම මත යි. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් මේ වසරේ ජනවාරි 31 වන දා ඉවත් වුවත් 2020 වසරේ දෙසැම්බර් 31 දක්වා ඔවුන් පරිවාස කාල සීමාවකට යටත් වෙනවා. ඒ සමගම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය සමග ඇති බොහෝ ආර්ථික සම්බන්ධතා, වෙළඳ හා ආරක්ෂක සම්බන්ධතා අත්හැරීමට නියමිත යි. 

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම, තෙවන ලෝකයේ රටක් මෙන්ම GSP ප්ලස් බදු සහනයක් හිමි රටක් වන ශ්‍රී ලංකාවට කෙලෙස බලපෑම් එල්ල විය හැකි ක්‍රියාවක් ද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ යි. 

බ්‍රෙක්සිට් යනු?

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම (ft.com)

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යාම බ්‍රෙක්සිට් ලෙස සරලව හඳුන්වනු ලබනවා. 2016 ජූනි 23 වන දා බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විමසුමකින් ජනතාව බහුතරය කියා සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව යි. මේ අනුව බ්‍රිතාන්‍යය ලිස්බන් ප්‍රඥප්තියේ 50 වන වගන්තිය ක්‍රියාවට නැගුවේ 2017 මාර්තු 29 වන දා යි. මෙම වගන්තිය ක්‍රියාවට නගා වසර දෙකකින් අදාල රට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යි.

නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස ආර්ථික​, ආරක්ෂක ආදී විවිධ ගිවිසුම්වලට පැමිණ තිබෙනවා. ඉතින් බ්‍රිතාන්‍යය එම සංවිධානයෙන් ඉවත් වීමේ දී එම ගිවිසුම්ව පිළිබඳ යම් එකඟතාවක් ඇතිව ඉවත්වීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වෙනවා. එම කාල සීමාව තුළ විවිධ යෝජනා පාර්ලිමේන්තුවට ගෙන ආ අතර ඒවා සියල්ල පාහේ පරාජයට පත් වීමෙන් බ්‍රෙක්සිට් වීම ක්‍රමක්‍රමයෙන් කල් යනවා.

මේ එකඟතාවන් 2019 ජනවාරි 15 වන දා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකට ලක් කෙරුණා. එහිදී ඊට පක්ෂව ඡන්ද 202ක් ද විපක්ෂව ඡන්ද 432ක් ද ලැබුණා. පවතින රජයක් පාර්ලිමේන්තුවේ දී ලද බරපතලම පරාජය ලෙස මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක් වුණා.

මෙහිදී තිබුණු මූලික ප්‍රශ්නය වුණේ අයර්ලන්ත දේශසීමාව පිළිබඳ ගැටළුව යි. අයර්ලන්ත අර්බුදය සමථයකට පත් කිරීම සඳහා අත්සන් කෙරුණ මහ සිකුරාදා ගිවිසුමෙන් පසු අයර්ලන්තය සහ උතුරු අයර්ලන්තය අතර දේශසීමා බාධක ඉවත් කෙරුණා. නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ විට මෙම දේශසීමාව පිළිබඳ​ ගැටළුවක් මතු වනවා. අයර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජිකයකු වීම ඊට හේතුව යි. 

මෙවැනි තත්ත්වයක් මත දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2019 අවසන් භාගයේ පැවති මැතිවරණයෙන් වැඩි බලයක් හිමි කරගැනීමට කන්සවේටිව් පක්ෂයේ නායක මෙන්ම වත්මන් එරට අගමැති බොරිස් ජොන්සන් සමත් වෙනවා. අනතුරුව බ්රෙක්සිට් ජයග්‍රහණය කිරීමට අගමැතිවරයා සමත් වෙනවා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද?

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සමරන බ්‍රිතාන්‍ය වැසියන් (insider)

යුරෝපා සංගමය වෙත ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අපනයනවලින් සැලකිය කොටසක් අපනයනය කරනු ලබනවා. ඒ අතරින් බ්‍රිතාන්‍යය යනු ශ්‍රී ලංකාවේ අපනයන ගමනාන්තවලින් ප්‍රධානම රාජ්‍යයක් ලෙස හැදින්විය හැකි යි.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන ගමනාන්තය ලෙස යුරෝපා සංගමය සඳහන් කළ හැකි යි. 2019 වසරේ පවා තනි රටවල් අතින් ගත් කළ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාවේ දෙවන අපනයනකරුවා ලෙස සඳහන් කළ හැකි යි. 2019 වසර සලකන විට ශ්‍රී ලංකාවේ අපනයනවලින් 30%ක් පමණ යවා තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවලට යි. GSP ප්ලස් පහසුකම නැවත ලැබීම හා යුරෝපා වෙළඳපොල වෙත ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදිත අපනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමේ බලපෑම මින් පිළිඹිබු වන බව ශ්‍රී ලංකා මහා බැංකුව කියා සිටිනවා. 2019 වසරේ දී සම්පූර්ණ අපනයනවලින් 8%ක් ගමන් කර තිබෙන්නේ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම ගැනුම්කරුවා වන බ්‍රිතාන්‍යයට යි. නමුත් එය 2018 වසරට වඩා යම් අඩුවීමක් පෙන්නුම් කරනවා.

තෝරාගත් භාණ්ඩ සඳහා යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාව ඇතුළු තෙවන ලෝකයේ රටවලට GSP ප්ලස් බදු සහනය ලබා දී තිබෙනවා. (siyathanews)

යුරෝපා සංගමයේ සෙසු රටවල ද ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් වුව ද, බ්‍රිතාන්‍යය තරම් එම කිසිදු රටක් මෙරට සමග වෙළෙඳ සබඳතා නොපැවත්වීම ද විශේෂ කරුණක් ලෙස සඳහන් කළ හැකි යි. බ්‍රිතාන්‍යය ද ඇතුළත් වූ යුරෝපා සංගමය වෙත මෙරටින් සිදු කෙරෙන අපනයන ප්‍රධාන ලෙසම සමන්විත වන්නේ ඇඟලුම් නිෂ්පාදනයන්ගෙනි. ඊට අමතරව මත්ස්‍ය නිෂ්පාදන, රබර් හා තේ ද අඩංගු වෙනවා.

ඒ අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වීම තාවකාලිකව හෝ බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට සෘණාත්මක බලපෑම් එල්ල කළහොත්, ශ්‍රී ලංකාව වෙත ද එහි සෘණාත්මක බලපෑම එල්ල වනවා නොඅනුමාන යි. යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් එක්සත් රාජධානියට බොහෝ විට ඇමෙරිකානු වෙළෙඳ වාසි නොලැබිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් ප්‍රකාශ කර තිබීම එම සැකය තීව්ර කිරීමට සමත් වෙනවා.

එසේම ශ්‍රී ලංකාව මේ වන විට බ්‍රිතාන්‍යය ද ඇතුළත් යුරෝපා සංගමයේ GSP බදු සහනය ද භුක්ති විදිමින් සිටිනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ විගස GSP වැනි එකඟතාවලින් ද එම රට ඉවත්වීමක් සිදු වෙනවා. එබැවින් බ්‍රිතාන්‍ය සමග එවැනි එකඟතා   සම්බන්ධයෙන් නැවත සාකච්ජා කිරීමට සිදු වෙනවා. එය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපා සංගමය හරහා බ්‍රිතාන්‍ය සමග ගනුදෙනු කළ සියලු රටවලට පොදු කරුණක් වෙනවා. එය පෙර පැවති තත්ත්වයට වඩා වාසිදායක වේ ද, නැතහොත් අවාසිසහගත වේ ද යන්න තවම නිශ්චිතව පැවසිය නොහැකි බව යි ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (Joint Apparel Association Forum) හිටපු මහ ලේකම් හා වර්තමානයේ කමිටු සභාපතිවරයකු වන රොහාන් මාසකෝරාළ පවසන්නේ.

කවරයේ පින්තූරය - preciseinvestors

මූලාශ්‍රයයන් - 

Cbsl.gov.lk

Bbc.com