Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෲනෝ ආපිට්ස් සහ “වෘකයන් අතර නග්නව”

දෙවන ලෝක යුද සමයේ අවසන් දිනවල ජර්මන් දේශපාලන සිර කඳවුරක සිදු වන කතා පුවතක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද “වෘකයන් අතර නග්නව​” කෘතිය පිළිබඳ ව ඔබ අසා ඇති.

බෲනෝ ආපිට්ස් විසින් ජර්මානු බසින් Nackt unter Wölfen නමින් ලියන ලද​ මෙම නවකතාව පළ කරන ලද්දේ 1958 දී නැගෙනහිර ජර්මනියේ දී යි. පසුව 1960 දී රූපවාහිනී කතාවක් ලෙස නිර්මාණය වූ එය 1963 දී චිත්‍රපටයකට නැගුණා. එහි ම තවත් චිත්‍රපටයක් 2015 දී තිරගත වුණා. ඊඩිත් ඇන්ඩර්සන් විසින් කරන ලද මෙම නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය 1967 දී නිකුත් කරන ලද්දේ නැගෙනහිර ජර්මනියේ සෙවන් සීස් ප්‍රකාශකයෝ විසින්. පසු කලෙක සිරිල් සී. පෙරේරා විසින් එය සිංහලයට ද පරිවර්තනය කෙරුණා. ලොව වටා භාෂා තිහකට පමණ මෙම නවකතාව පරිවර්තනය වී තිබෙන බව සඳහන් වනවා.

කතා පුවත​

දෙවන ලෝක යුද්ධයේ අවසානය එළඹෙමින් තිබෙන අවස්ථාවේ දිනෙක ජර්මනියේ බුකන්වෙල්ඩ් සිර කඳවුර වෙත සූට්කේසයක් තුළ සඟවා ළමයෙකු රැගෙන එනු ලබනවා. මෙම කුඩා ළමයා බේරාගැනීම සඳහා සිරකරුවන් විශාල උත්සාහයක් දරනවා.

සූට්කේසයේ සැඟවුණ ළමයා – 2015 දී තිරගත වූ වෘකයන් අතර නග්නව චිත්‍රපටයෙන් (UFA Pictures)

මේ අතර සිරකරුවන් කැරැල්ලක් සඳහා සූදානම් වෙනවා. මෙය සැලසුම් කරන්නේ එහි යටිබිම්ගත කොමියුනිස්ට් සංවිධානය විසිනුයි. ඒ සඳහා ආයුධ එකතු කිරීම සහ ඒවා සඟවා ගැනීම සිදුකරන අයුරු ද නවකතාව තුළ විස්තර කෙරෙනවා. මේ වන විට මිත්‍ර හමුදා ජර්මනියට ඇතුළු වී තිබුණු අතර පිටත ලෝකයේ සිදුවීම් සිරකරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම සැඟවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. 1945 අප්‍රේල් 11 වන දා ඇමෙරිකානු හමුදා ප්‍රදේශයට ළඟා වන අතර, ඒ සමග ම සිර කඳවුර තුළින් කැරැල්ලක් හට ගන්නවා. එතෙක් කුඩා ළමයා බේරාගැනීමට සිරකරුවන් සමත් වෙනවා.

බෲනෝ ආපිට්ස්

කම්කරු පවුලක 12 වන දරුවා ලෙස ජර්මනියේ ලයිප්සිග් නගරයේ දී බෲනෝ ආපිට්ස් උපත ලද්දේ 1900 අප්‍රේල් 28 වන දා යි. ඔහු 1914 පටන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කම්කරු සංගමයේ සාමාජිකයෙකු වුණා. එකල පළමු ලෝක යුද්ධය දියත් වූ කාලය යි. ආපිට්ස් 1917 දී යුධ විරෝධී රැස්වීමක දී අත්අඩංගුවට ගන්නා ලද අතර මාස 19කට සිරගත කෙරුණා. නමුත් ඔහු 1918 දී සිරෙන් නිදහස් කෙරුණා.

ආපිට්ස් 1927 දක්වා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයකු වූ අතර ඉන්පසු ව ජර්මන් කොමියුනිස්ට් පක්ෂයට එක් වුණා. ඒ සමග ම ඔහු තරුණ කොමියුනිස්ට් ලීගයේ සාමාජිකයකු බවට ද පත් වුණා.

ආපිට්ස් නාට්‍ය පිටපත් ලිවීම ඇරඹූයේ තරුණ වියේ දී ම යි. 1927 සිට ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ලයිප්සිග් නගරයේ “ඇජිට්ප්‍රොප්” (උද්ඝෝෂණ සහ ප්‍රචාරණ) අංශය වෙනුවෙන් නාට්‍ය පිටපත් රචකයෙකු ලෙස ද කටයුතු කළා. 1930 – 33 සමයේ ආපිට්ස් ලයිප්සිග් හි නිර්ධන පාන්තික විප්ලවකාරී ලේඛකයන්ගේ සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළා.

ආපිට්ස් (දකුණු කෙළවරේ) නැගෙනහිර ජර්මනියේ වෘකයන් අතර නග්නව චිත්‍රපටය රූගත කෙරෙන අවස්ථාවක ෆ්‍රෑන්ක් බේයර් සමග (bruno-apitz.de)

1933 ජනවාරි මාසයේ දී ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලයට පැමිණුනා. එම වසරේ ම මැයි මාසයේ ආපිට්ස් අත්අඩංගුවට ගන්නා ලද අතර නට්සීන් විසින් පිහිටවන ලද පළමු දේශපාලන සිරකඳවුරු දෙකක් වූ කොල්ඩිට්ස් සහ සක්සෙන්හවුසන් යන කඳවුරුවල රඳවා තිබුණා. එවර ඔහු වැඩිකල් රඳවා ගත්තේ නැහැ. නමුත් 1934 ඔක්තෝබරයේ දී ඔහු අත්අඩංගුවට ගන්නා ලදු ව 1945 වන තුරු ම රඳවනු ලැබුණා. මෙයින් අවසන් වසර අට ඔහු ගත කළේ බුකන්වෙල්ඩ් කඳවුරේ යි.

1945 ගිම්හානයේ දී පළ වූ Das war Buchenwald (එය බුකන්වෙල්ඩ් විය) නම් කෘතියට ඔහු ද දායක වුණා. මේ අතර 1946 දී ජර්මනියේ සෝවියට් පාලන කලාපයේ පිහිටි කොමියුනිස්ට් පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒකාබද්ධ කරනු ලැබුණා. මෙසේ නිර්මාණය වූ සමාජවාදී ඒකාබද්ධතා පක්ෂයට ආපිට්ස් ආරම්භක සාමාජිකයෙකු ලෙස එක් වුණා.

වෘකයන් අතර නග්නව (1963) චිත්‍රපටය රූගත කිරීමක් අතරතුර (Getty Images)

ඔහු සංස්කාරකයෙකු, නාට්‍ය සහ ගුවන් විදුලි පිටපත් රචකයෙකු ආදී වශයෙන් කලක් සිය වෘත්තීය ජීවිතයෙහි යෙදුණ අතර 1954 පටන් නිදහස් ලේඛකයෙකු බවට පත් වුණා. වෘකයන් අතර නග්නව නවකතාව 1958 දී පළ වූ පසු 1959 දී ආපිට්ස් විසින් ලියන ලද “එස්තර්” නම් නවකතාව ද පළ කෙරුණා. එය ඔහු විසින් කඳවුරේ සිටිය දී ලියන ලද්දක් බව සඳහන් වෙනවා.

එමෙන්ම ආපිට්ස් ලියූ වයිමාර් ජනරජ සමයේ කම්කරු පවුලක් වටා ගෙතුණ Der Regenbogen (දේදුන්න) නම් නවකතාව 1976 දී පළ කරනු ලැබුවා. 1961 සිට නැගෙනහිර ජර්මන් කලා ඇකඩමියේ සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

1965 දී ආපිට්ස් මාර්ලිස් කික්හේෆර් සමග​ විවාහ වූ අතර ඔවුනට එම වසරේ දී ම සැබීන් නම් දියණියක ලැබුණා. ආපිට්ස් 1979 අප්‍රේල් 7 වන දා බර්ලිනයේ දී මිය ගියා.

චිත්‍රපට

වෘකයන් අතර නග්නව නවකතාව පාදක කරගෙන චිත්‍රපටයක් මුලින් ම තිරගත වූයේ 1963 දී යි. කළු සුදු චිත්‍රපටයක් වූ එය අධ්‍යක්ෂණය කළේ නැගෙනහිර ජර්මනියේ ප්‍රකට ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ෆ්‍රෑන්ක් බේයර් විසින්. 1950 දශකයේ සිට චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූ බේයර් පසු කලෙක ප්‍රසිද්ධ වූයේ ඇකඩමි සම්මාන උලෙළක් සඳහා නිර්දේශ වූ එක ම නැගෙනහිර ජර්මන් චිත්‍රපටයේ නිර්මාපකයා ලෙස යි.

වෘකයන් අතර නග්නව 1963 චිත්‍රපටයේ පෝස්ටරයක් (ddr-museum.de)

බේයර්ගේ චිත්‍රපටය බොහෝ දුරට නවකතාව ම පාදක කරගත් එකක් වුණා. එහි තිර රචනය සඳහා ආපිට්ස් ද දායක වීම ඊට එක් හේතුවක් වූ බව සිතිය හැකියි. ආපිට්ස් ද එම චිත්‍රපටය රූගතකිරීම් අවස්ථාවට දායක වුණා.

2015 වසරේ දී ෆිලිප් කැඩෙල්බාක් විසින් මෙම නවකතාව තවත් චිත්‍රපටයක් ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණා.

Cover Image: Naked Among Wolves (UFA Pictures)

මූලාශ්‍රයයන්:

Bruno Apitz (Buchenwald Memorial)

Naked Among Wolves (DEFA Film Library, University of Massachusetts Amherst)

Related Articles