රුසියාවේ බුද්ධාගම​

ලෝකයේ විශාල ම රට වන රුසියාවේ ප්‍රධාන ආගම වන්නේ ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය යි. ඊට අමතර ව වෙනත් ආගම් අදහන්නෝ ද රුසියාවේ ජීවත් වනවා. ඒ වගේ ම ආගම් අදහන්නේ නැති විශාල පිරිසක් ද එරටේ සිටිනවා.

රුසියාවේ බෞද්ධ ජනගහනය සමස්ථ ජනගහනයෙන් සියයට එකකට මඳක් අඩු බව යි සැලකෙන්නේ. 2012 වන විට රුසියාවේ 700,000ක් පමණ බෞද්ධයින් සිටි බව යි සඳහන් වුණේ. එවකට එය ජනගහනයෙන් සියයට 0.5ක් පමණ වුණා. වර්තමානයේ දී බෞද්ධයන් මිලියනයක් පමණ රුසියාවේ සිටින බව යි කියැවෙන්නේ.

එරට බෞද්ධයින් සැලකිය යුතු පිරිසක් වාසය කරන ප්‍රදේශ හතරක් වන අතර, ඊට අමතර ව ඇතැම් නගරවල ද සැලකිය යුතු බෞද්ධ ජනතාවක් වාසය කරනවා.

රුසියාවේ බෞද්ධයින් එක් එක් ප්‍රදේශයන් හි ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස (Wikimedia Commons)

රුසියාවේ බෙහෙවින් ප්‍රචලිත ව ඇත්තේ ටිබෙට් බුදු දහම යි. මෙය මොංගෝලියාව දෙස සිට රුසියාවට පැමිණ තිබෙනවා. රුසියාවේ බොහෝ බෞද්ධයින් වාසය කරන ප්‍රදේශ ඇත්තේ මොංගෝලියානු දේශසීමාව අසල යි. මීට අමතර ව යුරෝපයේ එකම බෞද්ධ ප්‍රදේශය ලෙස සැලකෙන කල්මිකියාව පිහිටා තිබෙන්නේ ද රුසියාවේ යි.

රුසියාවේ බෞද්ධ ප්‍රදේශ​

රුසියාවේ බෞද්ධයන් ජීවත් වන ප්‍රධාන ප්‍රදේශ හතරක් වනවා. එම ප්‍රදේශයන් වන්නේ ටුවා, බුර්යාටියා, සබයිකල්ස්කි ප්‍රදේශය, සහ කල්මිකියාව යි. මෙයින් මුලින් සඳහන් කළ ප්‍රදේශ තුන ම මොංගෝලියානු දේශසීමාව අසල පිහිටා තිබෙනවා.

මෙම ප්‍රදේශයන් අතුරින් ටුවා ප්‍රදේශයේ පමණක් සියයට පනහකට වඩා ජනතාව බෞද්ධයින් වනවා. එහි සමස්ථ ජනගහනය 300,000ක් පමණ වන අතර, බෞද්ධ ප්‍රතිශතය සියයට 61ක් පමණ වනවා. බුර්යාටියාවේ ජනගහනය මිලියනයක් පමණ වන අතර, බෞද්ධ ජනගහනය ඉන් පහෙන් එකක් පමණ වනවා. සබයිකල්ස්කි ක්‍රායි හි (සබයිකල්ස්කි ප්‍රදේශයේ) ද මිලියනයක පමණ ජනතාවක් වාසය කරන අතර, ඉන් සියයට 6ක් පමණ බෞද්ධයින්. කල්මිකියාවේ 300,000ක පමණ ජනගහනයෙන් සියයට 48ක් පමණ බෞද්ධයින් වනවා.

බෞද්ධයින්ගේ ආගමනය

රුසියාවට විශාල වශයෙන් බෞද්ධ ජනයා පැමිණෙන්නට ඇති බව සඳහන් වන්නේ 17 වන සියවසේ දී යි. ඊට පෙර ද බෞද්ධයින් එහි එන්නට ඇති නමුත් ඔවුන් එහි ස්ථාවර ව විශාල ජනතාවක් වූයේ නැහැ. 17 වන සියවසේ දී පමණ මොංගෝලියානු දේශසීමාව ආශ්‍රිත ප්‍රදේශයන් හි බුද්ධාගම පැතිරුණා. එමෙන්ම එයට සමකාලීන ව ම කල්මික් ජනතාව වොල්ගා නදී ප්‍රදේශයට දකුණු දෙසින් වූ ප්‍රදේශය කරා සංක්‍රමණය වී, එහි සිටි ජනයා පළවා හැරි බව සඳහන් වනවා.

එලිස්ටා හි ශාක්‍යමුණි ස්වර්ණමය විහාරය (Legion Media)

කල්මික් ජනයා එම ප්‍රදේශයට පැමිණ වැඩි කලක් යාමට මත්තෙන් එහි රුසියානු බලය ව්‍යාප්ත වූ අතර, දේශසීමාව ආරක්ෂා කිරීමේ වගකීම ඔවුන් විසින් බාරගෙන රුසියාව සමග එකඟතාවයකට පැමිණියා.

ටුවා ප්‍රදේශය 20 වන සියවස මුල් කාලය වනතුරු පැවතියේ පැරණි චීන අධිරාජයේ පාලන ප්‍රදේශයේ යි. එම නිසා එහි රුසියානු බලපෑම මෙහි සඳහන් වූ අනෙකුත් ප්‍රදේශයන්ට වඩා සාපේක්ෂ ව අඩු වුණා.

ප්‍රධාන බෞද්ධ ආරාම

රුසියාවේ බෞද්ධ ආරාම ගණනාවක් තිබෙන අතර, ඉන් ලෝක ප්‍රසිද්ධ බෞද්ධ ආරාම අතර ඉවොල්ගාන්ස්කි ඩට්සාන්, ශාක්‍යමුණි ස්වර්ණ විහාරස්ථානය​, ඩට්සාන් ගුන්සිචොයිනෙයි ආදිය ප්‍රකට යි.

ඉවොල්ගාන්ස්කි ඩට්සාන් යනු රුසියාවේ බුද්ධාගමෙහි කේන්ද්‍රස්ථානයක් වනවා. එය එහි ප්‍රධානම බෞද්ධ සරසවියක් ලෙසත් ක්‍රියාත්මක වනවා. බුර් යාටියාවේ අගනුවර උලාන් උඩේ සිට කි. මී. 38ක් පමණ දුරින් පිහිටි මෙහි විශේෂත්වය නම් ආගමික ඇදහීම් සඳහා සීමා පනවා තිබූ ජෝසප් ස්ටාලින් පාලන සමයේ දී සෝවියට් බලධාරීන්ගේ අවසරය ඇති ව එය ඉදිකිරීම යි. 1945 දී මෙම විහාරය ඉදිකෙරුණ අතර ඒ වනවිට, එවකට සෝවියට් දේශයේ බොහෝ විහාරස්ථාන වසා දමනු ලැබ තිබුණා. ඒවා යළි විවෘත කෙරුණේ සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු ව යි.

ඉවොල්ගාන්ස්කි ඩට්සාන් (Legion Media)

ඉවොල්ගාන්ස්කි ඩට්සාන් ඉතා ම ප්‍රසිද්ධ වූ අනෙක් හේතුව වන්නේ ඉටිගිලොව් ලාමාවරයාගේ සිරුර එහි තැන්පත් කර තිබීම යි. ඉටිගිලොව් ලාමාවරයා මිය ගියේ 1927 දී යි. නමුත් ඔහුගේ සිරුර දිරාපත් නොවී ආරක්ෂා වී තිබුණා. ඔහු මියයාමට පෙර ඉල්ලා තිබූ අයුරින් ඔහු මියගොස් වසර 75ක් ගිය තැන ඔහුගේ සිරුර ගොඩගනු ලැබුණා. ඒ වන විටත් එම සිරුර බොහෝ සේ ආරක්ෂිත ව පැවතුණා.

එම සිරුර මේ වන විට ඉවොල්ගාන්ස්කි ඩට්සාන් හි වෙන ම ශාලාවක තැන්පත් කර තිබෙනවා.

කල්මිකියාවේ අගනුවර වන එලිස්ටා හි පිහිටා තිබෙන ශාක්‍යමුණි ස්වර්ණ විහාරය විවෘත කරන ලද්දේ 2005 දී යි. එය එලිස්ටා හි සෑම ප්‍රදේශයකට ම දර්ශනය වන ලෙස ඉදිකර තිබෙන උස් ගොඩනැගිල්ලකින් සමන්විත යි. එමෙන්ම එහි මීටර 9ක් උස බුදුන් වහන්සේගේ හිඳි පිළිමයක් ඉදිකර තිබෙනවා. රන් ආලේපිත එම පිළිමය යුරෝපයේ උස ම බුදු පිළිමය ලෙස සැලකෙනවා.

ඩට්සාන් ගුන්සිචොයිනෙයි (Legion Media)

ඩට්සාන් ගුන්සිචොයිනෙයි යනු රුසියාවේ ප්‍රධාන වශයෙන් බෞද්ධයින් ජීවත්වන ප්‍රදේශයක පිහිටි විහාරයක් නොවේ. එය පිහිටා ඇත්තේ සාන්ත පීතර්බුග් නගරයේ යි. එම විහාරය රුසියාවේ වඩාත් ම උතුරින් පිහිටි බෞද්ධ විහාරය වනවා.

මෙම විහාරය ඉදිකෙරුණේ 1909 දී එවක සාර්වරයා වූ දෙවන නිකුලස්ගේ පාලන සමයේ දී යි. ඒ ඔහුගේ විශේෂ අවසරයක් මත යි. එකල ඕර්තඩොක්ස් පල්ලිය මෙම විහාරය ඉදිකිරීම කෙරෙහි තම විරුද්ධත්වය ප්‍රකාශ කළා.

1938 දී මෙම විහාරය රජයට පවරා ගනු ලැබුණා. එය යළි විවෘත කෙරුණේ 1990 දී යි. රුසියාවේ පිහිටි විචිත්‍රවත් ම බෞද්ධ විහාරයක් ලෙස මෙය සැලකෙනවා.

දිනකට මෙම විහාරය වෙත 300ක් සහ 500ක් අතර පිරිසක් පැමිණෙන බව සඳහන්. එමෙන්ම සාන්ත පීතර්බුග් හි බෞද්ධ ජනගහනය 15,000ක් පමණ වේයැ යි ඇස්තමේන්තු කර තිබෙනවා.

කවරයේ පින්තූරය: එලිස්ටා හි ශාක්‍යමුණි ස්වර්ණමය විහාරය (Pinterest)

Related Articles