Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොල්මන්වලට බය ඔරෙන් පෙලී ප්‍රේක්ෂකයන් ‘හොල්මන් කළ’ චිත්‍රපටයක් හැදූ හැටි

 ලෝක සිනමාව තුළ ත්‍රාසජනක සිනමා කලාවේ විප්ලවීය වෙනසක් සිදු කළ චිත්‍රපට ඉතා කලාතුරකින් බිහි වී තිබෙනවා. මෙවන් සුවිශේෂී නිර්මාණ නිසා පසුකාලීන ව තවත් එවැනි ම චිත්‍රපටි රැල්ලක් බිහි වන අයුරු දකින්නට පුළුවන්. 1970 දශකයේ මෝරුන් ආශ්‍රිත කතා තේමාවක් රැගත් “Jaws” චිත්‍රපටය එවැන්නක්. ඉන්පසු බිහිසුණු මෝරුන්ගේ කතා තේමා සහිත චිත්‍රපට රැසක් බිහි වෙන්න පටන් ගත්තා. 1980 දශකය ප්‍රචණ්ඩකාරී සහ වධ හිංසා සහිත දර්ශන ඇතුළත් “ස්ලෑෂර්” ප්‍රභේදයේ ත්‍රාසජනක චිත්‍රපටි රැල්ලක් උදෙසා වෙන්වුණා. Halloween, Nightmare On Elm Street සහ Friday the 13th වැනි ප්‍රකට චිත්‍රපට ඒ රැල්ල බිහි කිරීම සඳහා දායක වුණා.

 2000 වර්ෂයෙන් ඇරඹුණු දශකය තුළ ත්‍රාසජනක සිනමා කලාවේ එවන් සැලකිය යුතු වෙනසක් කිරීමට සමත් වූ චිත්‍රපටයක් ලෙස “පැරනෝමල් ඇක්ටිවිටි” හඳුන්වන්න පුළුවන්. “පැරනෝමල් ඇක්ටිවිටි” යනු නිවසක් තුළ සිදුවන අද්භූත සිදුවීම් දාමයක් මූලික කර ගත් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය සිනමා ශාලා සඳහා නිකුත් වුණේ 2009 වර්ෂයේදී යි. සමාජ මාධ්‍ය ජාලා දක්ෂ ලෙස හැසිරවීම සහ චිත්‍රපටයේ කතාව සත්‍ය සිදුවීමක් බවට වූ කටකතා නිසා “පැරනෝමල් ඇක්ටිවිටි” සාර්ථක ලෙස ප්‍රවර්ධනය වුණා.  සාර්ථකත්වය නිසා චිත්‍රපට මාලාවක් ලෙස “පැරනෝමල් ඇක්ටිවිටි” එළිදැක්වුණත්, පළමු චිත්‍රපටයේ වැදගත් සහ රසවත් කරුණු කිහිපයක් වෙත මෙහි දී අවධානය යොමු කරනවා.

චිත්‍රපටය රූගත කළ ඔරෙන් පෙලීගේ නිවස – infocusfilmschool.com 

චිත්‍රපටයේ වියදම ඩොලර් පහළොස්දහස යි!

 රුපියල් අගයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් 15,000ක් කියන්නේ සැලකිය යුතු මුදලක් වුණාට, හොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක් තුළ එවැනි අඩු පිරිවැයකින් චිත්‍රපටයක් තැනීම ඉතා අසීරු යි. ‘පැරනෝමල් ඇක්ටිවිටි’ ඒ අභියෝගය ජයගත් අතර, චිත්‍රපටය නිකුත් වීමත් සමඟ දැවැන්ත මූල්‍ය සාර්ථකත්වයක් අත්ක ර ගත්තා. ගෝලීය වශයෙන් චිත්‍රපටය ලැබූ ආදායම ඩොලර් මිලියන 193ක් පමණ වෙනවා. පසුකලෙක චිත්‍රපටයේ ශබ්ද ප්‍රයෝග සහ ස්ටීවන් ස්පීල්බර්ගේ ඉල්ලීම පරිදි චිත්‍රපටයේ අවසානය නැවත නිර්මාණය කළ නිසා අමතර මුදලක් පිරිවැයට එකතු වුණා. ඉතා අඩුම පිරිවැයකින් අති දැවැන්ත මුදලක් උපයා ගත් සිනමා නිර්මාණ අතර “පැරනෝමල් ඇක්ටිවිටි” අදටත් ඉහළින් ම තිබෙනවා.

සාර්ථකත්වයේ රහස

 අද්භූත හෝ පැහැදිලි කළ නොහැකි ගූඪ සිදුවීම් හරහා ත්‍රාසය උපදවන සාර්ථක චිත්‍රපට ඔබ කොතෙක් නරඹා තිබුණත්, මෙතරම් අවම වියදමකින් තැනූ “පැරනෝමල් ඇක්ටිවිටි” පිටුපස තිබූ සාර්ථකත්වයේ රහස කුමක් ද?

 ඒ සඳහා දිය හැකි සරල ම පිළිතුර වන්නේ චිත්‍රපටයේ කතාව ඉදිරිපත් කරන ආකාරය යි. “ෆවුන්ඩ් ෆූටේජ්” නම් ශිල්ප ක්‍රමය භාවිතයෙන් පැරනෝමල් ඇක්ටිවිටි චිත්‍රපටයේ සිදුවීම් දිග හැරෙනවා. ඔබ අතේ විඩීයෝ කැමරාවක් තිබෙනවායැ යි සිතන්න. එය භාවිතයෙන් ඔබ නිවසේ හෝ කාර්යාලයේ හෝ අවට පරිසරයේ සිදුවීමක් රූපගත කොට තවත් කෙනකුට නැරඹීමට දුන්නොත්, එයත් එක්තරා ආකරයක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි යි. 

පැරනෝමල් ඇක්ටිවිටි දෙවන චිත්‍රපටයේ එන දර්ශනයක් – independent.co.uk

 පැරනෝමල් ඇක්ටිවිටි චිත්‍රපටයේ සිදුවීම් දිග හැරෙන්නේත් මේ ආකාරයෙන්. එහිදී  සීසීටීවි කැමරා සහ චිත්‍රපටයේ රංගනයට දායක වූ මිනිසුන් අතේ තිබෙන කැමරාවල පටිගත වූ ආකාරයෙන් තමයි චිත්‍රපටය ඉදිරිපත් කරන්නේ. මේ හේතුව නිසාම ෆවුන්ඩ් ෆූටේජ් ආකාරයේ චිත්‍රපටවල දර්ශන ගුණාත්මක බවින් අඩු යි. එහි සාමාන්‍ය සිනමා නිර්මාණයක වගේ දියුණු කැමරා කෝණ සහ වර්ණ සංකලන දකින්න ලැබෙන්නේ නැහැ.

 ප්‍රේක්ෂකයා දකින සිදුවීම අතිශයින් යතාර්ථවාදී බව හැඟවීම සඳහා කැමරාවේ සෙලවීම්, ස්වභාවික හැසිරීම්, ෆවුන්ඩ් ෆූටේජ් චිත්‍රපටයකට ඇතුළත් වෙනවා. අද්භූත රසය කුළුගැන්වෙන සිනමා නිර්මාණ උදෙසා මේ ක්‍රමය අතිශයින් සාර්ථක වන බවක් පෙනී යනවා. එවැනි චිත්‍රපට ගණයක් ෆවුන්ඩ් ෆූටේජ් ක්‍රමයට කළ විට ලැබෙන අත්දැකීම බොහොම සමීප හා පෞද්ගලික ලෙස ප්‍රේක්ෂකයාට දැනෙන්න පුළුවන්. පැරනෝමල් ඇක්ටිවිටි සත්‍ය සිදුවීමක් බව කටකතා පැතිරුණෙත් ඒ නිසා යි. හැමෝටම ෆවුන්ඩ් ෆූටේජ් ආකාරයේ චිත්‍රපටියක් බලා රස විඳින්න නොහැකි වෙන්න පුළුවන්.

පැරනෝමල් ඇක්ටිවිටි චිත්‍රපටයේ නිර්මාතෘ ඔරෙන් පෙලී – indiewire.com 

පලපුරුද්දක් නොමැති අධ්‍යක්ෂවරයා

 සිනමා අධ්‍යක්ෂවරයකු වීමට නම් ඒ පිළිබඳ මනා හැදෑරීමක් සහ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත වීම ඉතා වැදගත්. ‘පැරනෝමල් ඇක්ටිවිටි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ඔරෙන් පෙලී, එවන් පුහුණුවක් හෝ චිත්‍රපට නිෂ්පාදනය ගැන පළපුරුද්දක් තිබුණු කෙනෙක් නොවෙයි. ඔහු වෘත්තියෙන් වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙක්. තමාගේ පරිකල්පනය සිනමාවට නැඟීමේ සහජ දක්ෂතාව සහ ආශාව නිසා ඔහු අධ්‍යක්ෂවරයකු වුණා. වර්තමානයේ දී ඔරෙන් පෙලී දිගට ම තමාට පුරුදු වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කිරීමේ වෘත්තියට කැප වෙමින් චිත්‍රපට නිෂ්පාදනය සඳහාත් දායක වෙනවා.

නළු නිළියන්ගේ ගාස්තුව ඩොලර් 500 යි!

 හොලිවුඩ් කියන්නේ ඩොලර් මිලියන ගණන්වලින් ගාස්තු අය කරන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සිටින සිනමා කර්මාන්තයක්. එවැනි වාතාවරණයක් මැද ‘පැරනෝමල් ඇක්ටිවිටි’ සඳහා ගිය වියදම මෙතරම් අවම වීම පිටුපස කාරණා කිහිපයක් තිබෙනවා.

 මෙම සිනමා කර්තව්‍යය සඳහා යොදාගෙන ඇත්තේ අවස්ථාවක් සොයමින් සිටින ආධුනික රංගන ශිල්පීන් දෙදෙනෙක්. ඔවුන්ට ලැබුණ ගෙවීම ඩොලර් පන්සීයයක් පමණ යි. මුදලට වඩා අවස්ථාව අගය කළ ඔවුන්, ඔරෙන් පෙලීගේ අමුතු ම සිනමා ප්‍රයාමයට දායක වුණා. ඔවුන්ගේ තීරණය කොතරම් සාර්ථක ද යන්න වග අද කාටත් පෙනී යන දෙයක්.

 අඩු පිරිවැයකින් චිත්‍රපටයක් නිපදවීමේ දී පසුතල දර්ශන ගැනත් සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. මේ හේතුව නිසා ‘පැරනෝමල් ඇක්ටිවිටි’ පළමු චිත්‍රපටය සඳහා පසුතලය ලෙස භාවිතා කළේ අධ්‍යක්ෂකවරයාගේම නිවස යි. ‘පැරනෝමල් ඇක්ටිවිටි’ කියන්නේ ඔරෙන් පෙලීගේ සිහිනයක්. ඒ සිහිනය සැබෑ කර ගන්නට ඔහුට තනි මහන්සියක් දරන්න සිදු වුණා. වෙනස් ම සංකල්පයක් නිසා පමණට වඩා මුදල් යොදවන්න නිෂ්පාදකවරුන් සූදානම් වුණේ නැහැ. ඒ නිසා ඩොලර් තුන්දහසක වටිනාකමක් ඇති කැමරාවක් චිත්‍රපටයේ වැඩකටයුතු වෙනුවෙන් මිලට ගන්න ඔහුට සිදු වුණා. අනෙකුත් චිත්‍රපට සඳහා භාවිත කරන කැමරා සමඟ සසඳන විට ඔරෙන් පෙලී මිලට ගත්තේ ඉතාමත් ලාභ කැමරාවක්.

Paranormal Activity: The Ghost Dimension චිත්‍රපටයේ එන දර්ශනයක් – bloody-disgusting.com 

මයිකා ස්ලෝට්ගේ සැඟවුණු දක්ෂතාව

 ‘පැරනෝමල් ඇක්ටිවිටි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකෙන් එකකට රංගන දායකත්වය සපයන්නේ මයිකා ස්ලෝට් නමැත්තෙක්. ඔහු චිත්‍රපටයේ කැමරාකරු ලෙසත් කටයුතු කර තිබෙනවා. රංගනයෙන් මෙන් ම කැමරාකරණයේදීත් මයිකා ස්ලෝට් ඉතා හොඳින් කටයුතු කළ අතර, පුහුණු කැමරා ශිල්පියකු චිත්‍රපටය සඳහා දායක වී ඇති බව ඇතැමුන් සිතුවා. මයිකා ස්ලෝට් සැබැවින් ම පාසල් යන අවදියේදී කැමරාකරුවකු ලෙස සේවය කර තිබෙනවා. වසර ගණනාවක් තමාට මඟ හැරී තිබූ දක්ෂතාවක් නැවත මතු කර ගැනීමට ඔරෙන් පෙලී හරහා ඔහුට පුළුවන් වුණා.

 ඔරෙන් පෙලී තම සිනමා කර්තව්‍යයට මුල පිරුවේ නිෂ්පාදන කණ්ඩායමක සහය නොමැතිව යි. මේ නිසා මයිකාගේ කැමරාකරණ හැකියාව ඔරෙන්ට ලොකු රුකුලක් වුණා. සංස්කරණ කටයුත්තේදී ඔරෙන්ට අමතර මහන්සියක් දරන්න සිදු වුණා. ඔහු චිත්‍රපටයේ වැඩ කටයුතු කර ගෙන යන අතරතුරේ ම සංස්කරණ ශිල්පය ඉගෙන ගත්තා. චිත්‍රපටයේ වැඩ කටයුතු අවසාන වීමෙන් පසු තවත් අවුරුද්දක කාලයක් සංස්කරණ කටයුතු සඳහා ඔරෙන් පෙලී තම ශ්‍රමය කැප කළා.

ප්‍රේක්ෂකයන් සිනමාහලෙන් නැඟිට යයි!

 දශක පහකට පමණ පෙර නිකුත් වූ “The Exorcist” චිත්‍රපට‍යේ අන්තර්ගතය දරාගත නොහැකි ව ප්‍රේක්ෂකයන් සිනමාහලෙන් නැඟිට ගිය බව සඳහන් වෙනවා. ප්‍රේක්ෂකයන් එතරම් ම සංත්‍රාසයට පත් කරන්න “The Exorcist” සමත් වුණා. මෑත කාලයේ දී ත්‍රාසජනක චිත්‍රපටි සිනමාහල්වලට කොතෙක් පැමිණියත්, ප්‍රේක්ෂකයන් පමණට වඩා භීතියට පත් වුණේ නැහැ. ත්‍රාසජන චිත්‍රපටි නිර්මාණය කිරීමෙහි ලා නමක් දිනා ගත් අධ්‍යක්ෂකවරුන් පවා තම නිර්මාණවල අඩංගු භීතිය ගැන යම් යම් දේවල් ප්‍රචාරය කළත්, ඒවා නැරඹීමට පැමිණි මිනිසුන් සෑහීමට පත් වුණේ නැහැ

පැරනෝමල් ඇක්ටිවිටි බොහොම අවධානයෙන් නැරඹිය යුතු චිත්‍රපටි මාලාවක් – nytimes.com

 ‘පැරනෝමල් ඇක්ටිවිටි’ සිනමාහලට පැමිණීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වුණා. දශක පහකට පසු නැවතත් භීතිය නිසා මිනිසුන් සිනමාහලෙන් නැඟිට යාමට පටන් ගත්තා. අඩු වියදම් චිත්‍රපටයක් වීම සහ ෆවුන්ඩ් ෆූටේජ් ස්වභාවය නිසා ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්වූ බව නිර්මාණකරුවන් සිතුවා. ඔවුන් භීතියට පත් ව තිබුණේ ‘පැරනෝමල් ඇක්ටිවිටි’ ගෙන දුන් ඒ වෙනස් අත්දැකීම නිසාම යි. බොහොම සරල කතාවක් වුවත්, ඉදිරිපත් කිරීමේ තාත්වික බව නිසා ‘පැරනෝමල් ඇක්ටිවිටි’ අනපේක්ෂිත ආකර්ෂණයක් ලබා ගත්තා.

භීතියට පත් ස්ටීවන් ස්පීල්බර්ග්

 ඇතැමුන් මෙය එක්තරා කටකතාවක් ලෙස සැලකුවත්, ‘පැරනෝමල් ඇක්ටිවිටි’ සම්බන්ධයෙන් සම්භාවනීය සිනමා අධ්‍යක්ෂවරයකු වූ ස්ටීවන් ස්පීල්බර්ග් දැක්වූ භීතියත් මෙහි දී සඳහන් නොකර බැහැ. 

 ‘පැරනෝමල් ඇක්ටිවිටි’ චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු “ඩ්‍රීම්වර්ක්ස් ස්ටුඩියෝස්” ආයතනය හරහා සිදු කිරීමට ඇති හැකියාව ගැන තීරණයක් ගැනීම සඳහා ස්පීල්බර්ග්, චිත්‍රපටයේ  DVD පිටපතක් තම නිවසට රැගෙන ගොස් තිබෙනවා. චිත්‍රපටය නරඹමින් සිටියදී ස්පීල්බර්ග් සිටි කාමරයේ දොර හදිසියේ අගුලු වැටුණ බවත්, අගුල විවෘත කරගැනීම සඳහා යතුරු සාදන්නකුගේ සේවය ලබා ගත් බවත්, සඳහන් වෙනවා. පැරනෝමල් ඇක්ටිවිටි නරඹන අතරතුර මේ ඇබැද්දිය සිදු වූ නිසා චිත්‍රපටය ගැන යම් භීතියක් උපදවා ගත් ස්ටීවන් ස්පීල්බර්ග්, නැවත DVD පිටපත කාර්යාලයට රැගෙන ගොස් තිබෙන්නේ කුණු බෑගයක දමා ගෙනයි! තැතිගැන්ම නිසා ම ස්පීල්බර්ග් චිත්‍රපටයට කැමති වූ බව කියවෙනවා. චිත්‍රපටයට අලුත් අවසානයක් යෝජනා කිරීමටත් ඔහු උනන්දු වී තිබෙනවා.

එක චිත්‍රපටයක්, අවසානයන් රැසක්

 පැරමවුන්ට් සමාගම චිත්‍රපටය මිලදී ගත් පසු ඔරෙන් පෙලී චිත්‍රපටය අවසන් කළ ආකාරය ගැන ඔවුන් එතරම් කැමැත්තක් දැක්වූවේ නැහැ. නව අවසානයක් රූගත කරන ලෙස සමාගමෙන් ඉල්ලීමක් ඔරෙන්ට ලැබුණ අතර, මුල් අවසානය සම්පූර්ණයෙන් ම අහෝසි කර දැමුණා. ඔරෙන් එහි අවසානය බහුවිධ අවසානයක් බවට පත් කිරීමත් සමඟ ඉදිරි ‘පැරනෝමල් ඇක්ටිවිටි’ චිත්‍රපට උදෙසා වස්තු බීජ ලැබුණා. කෙසේ නමුත්, ඔරෙන් පෙලී තමාගේ නිර්මාණය චිත්‍රපට මාලාවක් ලෙස කරගෙන යෑමට අදහස් කළේ නැහැ. එහි අවසානය ඔහු කලින්ම තීරණය කර තිබුණා. චිත්‍රපටයේ අනපේක්ෂිත සාර්ථකත්වයත් සමඟ ඔරෙන් පෙලීගේ අදහසට සමාගම් කැමති වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ‘පැරනෝමල් ඇක්ටිවිටි’ චිත්‍රපට හයක් මේ දක්වා පැමිණ තිබෙනවා.

පැරනෝමල් ඇක්ටිවිටි චිත්‍රපට හයක් මේ දක්වා නිකුත් වී තිබෙනවා – amazon.com 

 බහුවිධ අවසානය නිසා චිත්‍රපටය තිරගත වන අතරතුර යම් යම් ගැටලුකාරී වාතාවරණයක් ලෝකය පුරා ප්‍රේක්ෂකයන් අතර ඇති වුණා. එක් කලාපයකට බෙදාහැරි චිත්‍රපටයේ අවසානයට වඩා වෙනස් අවසානයක් අනෙක් කලාපයට බෙදාහැරි චිත්‍රපටයේ අන්තර්ගත ව තිබුණා. ඒ නිසා ඔබ පැරනෝමල් ඇක්ටිවිටි තවම නරඹා නැත්නම්, එහි නියත අවසානයක් නොමැති බව තේරුම් ගැනීම වැදගත්. මේ වෙනස් වෙනස් අවසාන සහිත ‘පැරනෝමල් ඇක්ටිවිටි’ දැන් අන්තර්ජාලයෙන් නැරඹිය හැකි යි.

හොල්මන්වලට බය ඔරෙන් පෙලී

 ලෝකයට මතක හිටින ත්‍රාසජනක චිත්‍රපටි මාලාවක් ලබාදීමට මුල් වූ ඔරෙන් පෙලී, හොල්මන්, අවතාර සම්බන්ධ චිත්‍රපටි නරඹන්න බියක් දක්වනවා. ළමා කාලයේදී “The Exorcist” චිත්‍රපටය නැරඹීම නිසා ඔහු අධික භීතියට පත් ව තිබෙනවා. ඉන්පසු හොල්මන් අවතාර සම්බන්ධ එහෙත්, ප්‍රහසන චිත්‍රපටයක් වූ “Ghostbusters” පවා ඔහුට නරඹන්න හැකි වුණේ නැහැ. එවැනි පුද්ගලයෙක් පසුකලෙක ‘පැරනෝමල් ඇක්ටිවිටි’ වැනි සිනමා කටයුත්තක් සිදු කිරීම සැබැවින් ම විස්මය දනවන්නක්. තමා තුළ පවතින බිය අවංකව ම සිනමාවට ගෙන ආ නිසා ඔරෙන් පෙලී සාර්ථක වුණා.

 “මම අලුත් නිවසක පදිංචියට ගිය පසු රාත්‍රියේ දී අමුතු ශබ්ද ඇසෙන්න පටන් ගත්තා. නිවසේ හොල්මන් තිබෙන බව මං විශ්වාස කළේ නැහැ. ඒත් ඇත්තටම මං සිතන්න පෙලඹුණා. යමකු තම නිවසේ හොල්මන් තිබෙන බව සිතුවොත්, ඔහු කොහොමද ඒක ඔප්පු කරගන්නේ? එවැන්නකුට පුළුවන් නිවසේ වීඩියෝ කැමරාවක් සවි කරලා වෙනදා වගේ නින්දට යන්න. පහුවදා මුළු රාත්‍රියේ ම පටිගත වූ දේවල් එක දිගට නරඹන අතරේ කිසියම් බිහිසුණු යමක් දැක්කොත් මොනවා හිතේවි ද? මං ගොඩක්ම උද්දීපනය වන්නේ “Blair Witch Project”, “Rosemary’s Baby” වගේ මන්දගාමී ලෙස ගලායන ත්‍රාසජනක චිත්‍රපටවලට. ඒ වගේ නිර්මාණවලින් කෙළින් ම ප්‍රේක්ෂකයා බියට පත් කරනවාට වඩා පරිකල්පනය තුළින් බියට පත් වීමක් සිදුවෙනවා. මං චිත්‍රපටයක් හදන්න යනවා කියලා කාටවත් කිව්වේ නැහැ. මගේ අසල්වැසියන්වත්, එකට වැඩ කරන අයටවත් කිව්වේ නැහැ. මගේ කුඩා කාර්ය මණ්ඩලය, මව්පියන් සහ පෙම්වතිය පමණක් ඒ ගැන දැනගෙන හිටියා.”

ඔරෙන් පෙලී තමාගේ සුවිශේෂී සිනමා කර්තව්‍යය ගැන එලෙස අදහස් දක්වා තිබුණා.

කවරයේ ඡායාරූපය:  පැරනෝමල් ඇක්ටිවිටි පළමු චිත්‍රපටයේ එන දර්ශනයක් - mentalfloss.com 

මූලාශ්‍ර:

hollywoodreporter.com

mentalfloss.com

screenrant.com 

ultimatepopculture.fandom.com 

Related Articles