Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 ඇමති මණ්ඩලය මුහුණ දෙන අභියෝග

2020 මහා මැතිවරණය අවසන් වීමෙන් පසුව බිහිවුණු නව රජයේ අමාත්‍ය මණ්ඩලය පසුගිය අගෝස්තු 12 වැනිදා දිවුරුම් දුන්නේ මහනුවර මඟුල් මඩුවේ දී යි. එහිදී අමාත්‍යාංශ 28ක් සඳහා කැබිනට් ඇමතිවරුන් 26කුත්, රාජ්‍ය අමාත්‍යවරුන් 39කුත් පත්කරනු ලැබුවා. එසේම, මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිධුරයන් සඳහා ද පත්කරනු ලැබුවේ මන්ත්‍රීවරුන්. බොහෝ දිස්ත්‍රික්කවල එම තනතුර සඳහා නවක මන්ත්‍රීවරුන් පත්කර තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. ජනතාව මෙවර මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනවරම ලබාදුන්නේ බලාපොරොත්තු රැසක් සිත් තබාගෙන යි. එම නිසා අභිනවයෙන් පත් වුණු ඇමති මණ්ඩලයට ලැබී ඇත්තේ ලෙහෙසි පහසු අභියෝගයක් නොවෙයි. ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් ඔවුන්ට සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් සෑම අංශයකින්ම රට සංවර්ධනය කිරීම මෙහෙයවිය යුතු වෙනවා. එහි දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති ගැටළු කිහිපයක් අපි මෙසේ ලැයිස්තු ගත කරමු.  

කෘෂිකර්මය සහ වැවිලි කර්මාන්ත නඟා සිටුවීම 

ශ්‍රී ලංකාව අතීතයේ සිටම කෘෂිකර්මය සහ වැවිලි කර්මාන්ත මත යැපුණු රටක්. වර්තමානයේ ද ලාංකිකයන් බොහෝ දෙනෙකු එම ක්ෂේත්‍ර හරහා සිය ජීවිකාව ගෙනයනවා. එම නිසා කෘෂිකර්ම සහ වැවිලි ක්ෂේත්‍රයන් නඟා සිටුවීම තුළින් විශාල පිරිසකට සහන සැලසිය හැකියි. මෙවර අමාත්‍ය මණ්ඩලය සකස් කිරීමේ දී කෘෂිකර්ම සහ වැවිලි ක්ෂේත්‍රයන් පිළිබඳව විශාල අවධානයක් යොමුකර ඇති බව පැහැදිලිවම පෙනෙන කරුණක්. එහි ප්‍රතිඵලයක් වශයෙන් කෘෂිකර්මය සහ වැවිලි කර්මාන්ත යන විෂයයන් සඳහා ඇමතිවරුන් රැසක් පත් කර තිබෙන්නේ පහත දැක්වෙන ආකාරයට යි.

1) කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය

2) වැවිලි කැබිනට් අමාත්‍ය

3) පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන සහ අපනයන විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

4) උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

5) පොහොර නිෂ්පාදන සහ සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

6) සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

7) ග්‍රාමීය කුඹුරු සහ ආශ්‍රිත වැව් ජලාශ සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

8) වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු, සහ අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

9) පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි, බිත්තර ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

ඉහත අමාත්‍ය තනතුරුවල විෂය පථයන් නිරීක්ෂණයෙන් පෙනීයන්නේ මෙවර කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන ක්ෂේත්‍ර තුළින් රටේ ආර්ථිකය ගොඩනැගීමට සැලසුම් කර ඇති බව යි. එය ලංකාව වැනි රටකට වඩාත් උචිත ක්‍රමයක් බව පිළිගත යුතු නමුත්, මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර සේම, රටේ ගොවිතැනේ ප්‍රයෝගික පසුබිම පිළිබඳව ද මනා අවබෝධයක් තිබිය යුතු යි.

ඒ සඳහා, අමාත්‍යවරයා විෂය ගැන දැනුම්වත් නිලධාරීන්ට ඇහුම්කන් දී වැඩ කටයුතු මෙහෙයවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේම, කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රවල නිලධාරින් සහ වගාකරුවන් අතර ද මනා සබඳතාවයක් තිබිය යුතු යි. අදාළ අමාත්‍යවරුන් අඛණ්ඩව තම ක්ෂේත්‍රයට අදාළ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලිය යුතු යි. 

නව කැබිනෙට්ටුව මින් සති දෙකකට පෙර දිවුරුම් දුන්නා (සාගර ලක්මාල් ඩි මෙල්/ ජනාධිපති මාධ්‍ය අංශය)

කර්මාන්ත දියුණු කිරීම 

පසුගිය කාලයේ මෙරට ග්‍රාමීය කර්මාන්තවල යම් පසුබෑමක් දක්නට ලැබුණා. මෙවර අමාත්‍ය මණ්ඩලය සකස් කිරීමේ දී ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කර ඇති බව පෙනීයනවා. එසේම වසා දමා තිබුණු ඇතැම් කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම සඳහා මෙම රජය තුළ වැඩපිළිවෙළක් තිබෙන බව අනුමාන කළ හැකි වන්නේ පසුගිය කාලයේ වාලච්චේන කඩදාසි කම්හල යළි විවෘත කිරීම වැනි ක්‍රියාවන් නිසා යි.

කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් වත්මන් රජය පත් කර තිබෙන අමාත්‍යවරුන් මෙසේ යි:

1) කර්මාන්ත කැබිනට් අමාත්‍ය

2) බතික්, අත් යන්ත්‍ර රෙදි, සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය 

3) මැණික් සහ ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය

4) වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

මැටි, පිත්තල, බතික්, වේවැල්, මැණික්, ලී බඩු, ස්වර්ණාභරණ වැනි කර්මාන්ත බොහෝ දුරට ක්‍රියාත්මක වන්නේ ග්‍රාමීයව යි. මෙවැනි කර්මාන්තවල නිරත වන බොහෝ දෙනෙකු පාරම්පරිකව එම කර්මාන්තවල නිරත වන්නන්. කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත අමාත්‍යවරුන්ට ලැබී ඇති අභියෝගය වන්නේ එම කර්මාන්ත වැඩි දියුණු කර, එම නිෂ්පාදන අපනයනය කිරීම මඟින් රටට විදේශ විනිමය ලබාදීමට කටයුතු කිරීම යි. 

අධ්‍යාපන ක්ෂේත්‍රය නව මඟකට යොමු කිරීම 

ඕනෑම රටක් සංවර්ධනය වීමට නම් එම රටේ අධ්‍යාපන ක්‍රමය දියුණු මට්ටමක පැවතිය යුතු යි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තරගකාරී අධ්‍යාපන ක්‍රමයක් පැවතිය ද එහි විවිධ අඩුපාඩු දක්නට ලැබෙනවා.

දැනට අප රට තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන තුළින් නිර්මාණශීලී, ප්‍රායෝගික දරුවෙකු බිහිවීමට තිබෙන අවස්ථාවන් ඇහිරී තිබෙනවා. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කඩඉම්වල දී අසාර්ථක වන දරුවන්ට අනාගතයේ දී යම් කිසි වෘත්තීයක නියැලීම සඳහා වටපිටාවක සකස් කර දීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් තවදුරටත් පුළුල් විය යුතු යි. එසේම, ලංකාවේ විශ්වවිද්‍යාල ආශ්‍රිතව තිබෙන ගැටලු විසඳිය යුතු අතර, රැකියා වෙළඳපළට ගැළපෙන ආකාරයට විශ්වවිද්‍යාල උපාධිවල විෂය පථයන් සකස් විය යුතු යි. එවිට ‘රැකියා විරහිත උපාධිධාරීන්’ යන යෙදුම අනාගතයේ දී ඇසීමට සිදු නොවනු ඇති. 

ග්‍රාම සංවර්ධනය

ලංකාවේ වැඩි පිරිසක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව යි. වර්තමාන රජය බලයට පත්කිරිම සඳහා ග්‍රාමීය ජනතාව විශාල වශයෙන් සිය ඡන්දය භාවිතා කර තිබුණා. අදටත් ලංකාවේ ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ගෙවන්නේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්.

මැතිවරණ සමයේ දී දේශපාලඥයන් විසින් ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කෙරෙන ආකාරය පිළිබඳව ජනතාවට පොරොන්දු රැසක් ලබාදෙන  නමුත්, එම පොරොන්දු බොහෝ විට ඉටුවන්නේ නැහැ. එම නිසා මෙවර ග්‍රාම සංවර්ධනය ආශ්‍රිත විෂයයන් ලැබී ඇති අමාත්‍යවරුන්ට ලැබී තිබෙන අභියෝගය වන්නේ ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම යි. අදාළ අමාත්‍යවරුන් එම අභියෝගය භාරගෙන ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කළහොත් ඉදිරි මැතිවරණවලදීත් වත්මන් රජයට පහසු ජයක් ලැබෙනු ඇති. 

රටේ අපරාධ මර්ධනය කිරීම 

පසුගිය දශකයක පමණ කාලය තුළ මෙරට අපරාධ රැල්ල සීඝ්‍රයෙන් වර්ධනය වුණා. වර්තමානය වන විට ළමා හා කාන්තා අපචාර පිළිබඳ සිදුවීම් ද නිතරම අසන්නට ලැබෙනවා. මෙරට අපරාධ සංඛ්‍යාත්මකව වැඩිවීම සඳහා විනාශකාරී මත්ද්‍රව්‍ය ද විශාල බලපෑමක් කර තිබෙනවා. 

මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ඇති අඩුලුහුඬුකම් සහ සිදුරු නිසා බොහෝ දෙනෙකු අපරාධයක් කිරීමට බිය වන්නේ නැහැ. ඒ අනුව, නව රජයට පැවරී ඇති තවත් අභියෝගයක් වන්නේ දැඩි නීතිරීති හඳුන්වාදෙමින් අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දී, සෑම පුරවැසියෙකුටම බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම යි.

දූෂණය සහ නාස්තිය අවම කිරීම 

පසුගිය කාලයේ අමාත්‍යවරුන්ට මහජන මුදල් නාස්ති කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරීම වැනි චෝදනාවන් එල්ල වුණා. එම නිසා මහජන නියෝජිතයන් ජනතා අප්‍රසාදයට පත්වන ආකාරය දක්නට ලැබුණා. එම ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කිරීම මෙම රජයට ලැබෙන ප්‍රබලතම අභියෝගයක්. 

වර්තමානයේ ‘දේශපාලනඥයා’ යන වචනය ඇසෙන විට පවා ජනතාව පිළිකුල් කරන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. නමුත් වර්තමාන අමාත්‍ය මණ්ඩලය දූෂණය මුලිනුපුටා දමමින්, නාස්තිය අවම කරමින් කටයුතු කළහොත් දේශපාලනඥයන්ට ජනතාවගේ ගරුත්වය නිසි පරිදි ලැබෙන බවට නම් සැකයක් නැහැ..

කවරයේ ඡායාරූපය- ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (Reuters)

Related Articles