Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංචාරකයින් වැඩි වීමේ වාසිය රටට ලැබෙයි ද?

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පහුගිය මාස තුනෙහි සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එය ඉකුත් වසරේ මුල් කාර්තුවේදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී 13.8 ක වර්ධනයක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරය පැත්තෙන් ගතහොත් මෙම වර්ධනය සුබදායක එකක් වුවද එය රටේ ආර්ථිකයට දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර දෙන්නක් කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඇත්තේ ගැටලුවකි. සංචාරකයින්ගේ වැඩි වීමත්, සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීම සහ ඒ හා බැඳුණු අනාගත අභියෝග පිළිබඳවත් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

news.lk

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය

පසුගිය ජනවාරි මස සිට මාර්තු මස අවසන දක්වා මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් ගණන 474,540කි. එය ඉකුත් වසරේ මුල් මාස තුනේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසැඳීමේදී සියයට 13.8 ක වර්ධනයක් යැයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරී මාසය තුළ දි සංචාරකයින් 235,618 ක්ද හා මාර්තු මාසයේදී සංචාරකයින් 233,382 දෙනෙකුද වශයෙන් ගතවූ මාස තුනේදී විදේශිකයින් මෙරටට පැමිණ ඇතැයි සඳහන් වේ.

2018 ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්දියානු ජාතිකයින්ය. එම සංඛ්‍යාව 43,643 කි. මෙය ගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර චීන ජාතිකයින් 24,819 ක් පැමිණ ඇති අතර එම පැමිණීම පසුගිය ජනවාරි මාසයේදී සියයට 22 කින් පහළ ගොස් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ජනවාරි මාසයේදී තෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එලෙස පැමිණි සංඛ්‍යාව 14,985 කි. එය 2017 ජනවාරි මාසයේදී පැමිණි ජර්මන් සංචාරකයින්ගේ සංඛ්‍යාවට වඩා සියයට 20 ක වැඩිවීමකි.මීට අමතරව ප්‍රංශ සංචාරකයින් 12,209 ක්ද, රුසියානු සංචාරකයින් 11,634 ක්ද, ඕස්ට්‍රේලියාවෙන් 9948 ක්ද, ඇමෙරිකාවෙන් 7277 ක්ද, යුක්රේනයෙන් 6544 ක්ද, මාලදිවයිනෙන් 6194 ක්ද ලෙසින් සංචාරකයින් ඉකුත් ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබේ.

මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 30,583 ක් වේ.බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 30,366 ක්ද , ජර්මනියෙන් 24,423 ක්ද , චීනයෙන් 21,101 ක්ද, ප්‍රංශයෙන් 14,818 ක්ද , ඇමෙරිකාවෙන් 9701 ක්ද, රුසියාවෙන් 9089 ක්ද,ඕස්ට්‍රේලියාවෙන් 8932 ක්ද, මාලදිවයිනෙන් 7239 ක් සහ කැනඩාවෙන් 5113 ක්ද වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

news.lk

මහනුවර ගැටුම්කාරී තත්ත්වය සංචාරක ව්‍යාපාරය කෙරෙහි බලපෑම

මාර්තු මස මුලදී මහනුවර ප්‍රදේශයේ වාර්ගික ගැටුම් පැවතියද එම මාසය තුළදී සංචාරකයින් 233,382ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 24.1 ක වර්ධනයකි. මේ අනුව බලන විට මහනුවර සිද්ධිය සංචාරක ව්‍යාපාරය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර නොමැති බව පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් අප සංචාරක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ දුෂාන් වික්‍රමසූරිය මහතාගෙන් විමසුවෙමු.

‘‘නුවර සිදුවීම වුණ වෙලාවේ ITB Berlin කියන ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වුණා. විදෙස් මාධ්‍යවේදීන් වගේම යුරෝපයෙන් පැමිණි විදෙස් සංචාරකයිනුත් ඒ අවස්ථාවේදීම මේ පිළිබඳ සත්‍ය තත්වය වාර්තා කළ නිසා එම සිදුවීම සංචාරක ව්‍යාපාරය කෙරෙහි එතරම් තදින් බලපෑවේ නැහැ. නමුත් එය සෘණාත්මක නොවේ යැයි කියන්නට අපිට පුළුවන් කමක් නැහැ, එවැන්නක් සංචාරක ව්‍යාපාරයට බලපානවා. රටේ මෙවැනි අස්ථාවර තත්වයන් ඇති නොවීම සංචාරක ව්‍යාපාරයට හොඳයි. මොකද සංචාරකයින් ප්‍රධාන වශයෙන්ම සැලකිළිමත් වෙන්නේ තමන්ගේ ආරක්ෂාව ගැනයි.’’

figcoholidays.com

සංචාරකයින් වැඩි වීම නිසා රටේ විදෙස් විනිමය ප්‍රමාණය වැඩි වී තිබේද?

සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ විනිමය උපයන කර්මාන්ත අතර සිව්වන ස්ථානය හිමි කරගෙන සිටීමෙන්ම එය ආර්ථිකමය වශයෙන් කෙතරම් වැදගත් කර්මාන්තයක්ද යන්න පැහැදිලි වේ. මුල්‍යමය වශයෙන් වැදගත් වුවද සංචාරක ව්‍යාපාරයෙන් සමාජයට අහිතකර ප්‍රතිලාභද නැත්තේ නොවෙයි. මූල්‍යමය වශයෙන් ගතහොත් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව වෙනත් කර්මාන්ත හා සේවා බොහොමයක් රැඳී තිබෙන අතර, අන්තර්ජාලය හරහා සිදු වන සේවා ප්‍රමාණයද වැඩි වී තිබීම යහපත් ප්‍රවණතාවක් සේ සැලකිය හැකිය. එහෙත් සංචාරකයින් වැඩි වීම හරහා ඇත්තෙන්ම රටට ලැබෙන විදෙස් විනිමය ප්‍රමාණය වැඩි වී තිබේද යන්න ප්‍රධාන ගැටලුවකි. මන්ද සංචාරකයින් මෙරට පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම සහ සාමාන්‍ය හෝටල්වලින් ආහාර ගැනීම සුලබ දෙයක් බවට පත්ව තිබේ. පැකේජ්වලින් රටට එන සංචාරකයින්ද මුදල් වියදම් කරන්නේ අවම වශයෙන් වීම නිසා අපේක්ෂිත ප්‍රතිඵල රටට ලැබෙන්නේද යන්න ගැටලුවකි. මේ ගැන දුෂාන් වික්‍රමසූරිය මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.

‘‘කොළඹ, දකුණ ගත්තත් 70% ක් පමණ හෝටල්වල සංචාරකයින් නවාතැන් ගෙන තිබෙනවා. ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව අන්තර්ජාල සේවාවන් බොහොමයක් දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් රටට ආදායමක් ලැබෙන්නේ නැහැ කියලා කියන්න බැහැ. පසුගිය වසරේ සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබුණු වාර්ෂික ආදායම රුපියල් බිලියන 3.9 ක්. මේ වසරේ රුපියල් බිලියන 4.5ක ඉලක්කයක් තියෙනවා.

සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කරගන්න අපි ජාත්‍යන්තර වශයෙන් විශේෂ වැඩසටහන් දියත් කරලා තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය, ඩිජිටල් මැගසින්වල අපි මේ වන විටත් ඇඩ්වර්ටයිසින් පටන් අරගෙන තියෙනවා. යුරෝපය තුළ e advertiser, billboard advertising වගේ ලොකු ප්‍රචාරක වැඩසටහන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.’’

itourslanka.lk

මිරිස්ස සිදුවීම

ටික කාලයකට ඉහත දී මිරිස්‌ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනකුට හිරිහැර කිරීමේ සිද්ධියද මෙරට සංචාරක ව්‍යාපාරයට කැළලක් එක් කළේය. සංචාරක ව්‍යාපාරය මෙරට වැඩිම විදේශ විනිමය උපයා දෙන ක්‍ෂේත්‍රය බවට පත් කිරීමට රජය ක්‍රියා කරමින් සිටියදී මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙලෙස හිරිහැර විඳින්නට සිදුවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌ බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය. මින් ඉහත අවස්ථා ගණනාවකදීම මෙවැනි සිදුවීම් වාර්තා වූ අතර රීටා ජෝන්ස් දුෂණය කර මරා දැමීම, තංගල්ල හෝටලයකදී රුසියානු තරුණියකට අතවර කර ඝාතනය කිරීම ආදිය රටේ කිර්ති නාමයද බරපතල ලෙස පළුදු කරන්නට හේතු වූයේය.

දිවයින පුරා පිහිටි සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර තිබේ. මේ යටතේ සංචාරක ආකර්ෂණය ඉහළ ස්ථාන වශයෙන් හඳුනා ගෙන ඇති වෙරළ තීරයේ, කඳු ආශ‍්‍රිත විවිධ ස්ථාන 20 ක විදේශික සංචාරකයින්ගේ ආරක්ෂාව උදෙසා මෙලෙස නව සංචාරක අාරක්ෂක මුරපොළවල් රැසක් පිහිටුවීමට කටයුතු කෙරේ. පානදුර, කළුතර, බෙන්තොට, හික්කඩුව, උණවටුන, ආරුගම්බේ,  සීගිරිය, මීගමුව වැනි ප‍්‍රදේශ මීට පෙර සිටම වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් හඳුනාගෙන තිබූ අතර මිරිස්ස සහ ඇල්ල ප‍්‍රදේශයද මේ අතරට අලුතින් එක්ව ඇත.

cdn2.i-scmp.com

සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම

මෙම වසරේදී රජයේ ඉලක්කගත සංචාරකයින් ප්‍රමාණය මිලියන 2.5 – 3 අතර වේ. සංචාරක ව්‍යාපාරය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන අනෙකුත් ආසියාතික රටවල් හා සසඳා බලද්දී ක්‍රය ශක්තිය හිමි සංවර්ධිත රටවල්වල සංචාරකයින් ශ්‍රී ලංකාවට අද්දවා ගැනීමට හැකියාවක් තිබේද සහ එවැනි සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අනෙකුත් රටවලට සාපේක්ෂව අපගේ සේවාවන්, යටිතල පහසුකම් ප්‍රමාණවත්ද යන්න ගැටලුකාරීය.

ශ්‍රී ලංකාව සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සමත් සෑම සම්පතකින්ම අනූනය. සමකාසන්නයේ ඝර්ම කලාපීය රටක් ලෙස ඉන්දියන් සාගරයේ දූපතක් වූ ශ්‍රී ලංකාව විවිධ භූ විෂමතා, විවිධ දේශගුණික තත්වයන් සහ කෙටි කාල සීමාවක් තුලදී ළඟා විය හැකි ස්වභාවික හා මානව නිර්මිත ආකර්ෂණයන් සංචාරකයින්ට තිළිණ කරන සංචාරක ගමනාන්තයකි. පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළ දී දිවයිනේ ඕනෑම සංචාරක ස්ථානයකට ළඟා වීමේ හැකියාව ලංකාවේ සංචාරක කර්මාන්තය ලද විශේෂිත වරප්‍රසාදයකි.

ඉන්දියාව වැනි රටක එක් පෞරාණික නගරයක සිට තවත් පෞරාණික නගරයකට හෝ සුන්දර වෙරළකට ලඟා වීමට දීර්ඝ මගක් ගෙවාගෙන යාමටත් සමහරවිට දින කිහිපයක් ගමන් කිරීමටත් සිදු වේ. මාලදිවයින ගතහොත් ඔවුන්ට සංචාරකයින්ට පෙන්විය හැකි සංචාරක නිෂ්පාදිතය මුහුදු වෙරළ පමණි. මුහුදු වෙරළ පමණක් නොව පෞරාණික නටබුන්, ආගමික සිද්ධස්ථාන, ස්වභාවික සෞන්දර්යය, විවිධ දේශගුණ තත්ත්වයන්, වන සතුන් ආදීන් විවිධාකාර සංචාරක ආකර්ෂණයන්ගෙන් සපිරි, සුළු කාලයක් තුළ අඩු වියදමකින් නිවාඩුවක් ගත කළ හැකි සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව විදේශ සංචාරකයින් අතර වඩා ප්‍රකට ය.

ascentura.com

ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන අපට සතුටු විය හැකිද?

ලංකාවේ සංචාරකයින් වැඩි වූවා කියා සංචාරක ව්‍යාපාරය ගැන අපට සතුටු විය නොහැක. මූලිකම ගැටලුව වන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැතිකමය. නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් නොමැති වීම හේතුවෙන් බලයට පත්වන සෑම රජයක්ම තමන්ගේ ප්‍රතිපත්ති අනුව සංචාරක කර්මාන්තය හසුරුවනු ලබයි.

සංචාරක ව්‍යාපාරය යනු සේවාවන් මූලික කරගත් කර්මාන්තයකි. එහෙත් සංචාරක කර්මාන්තයට අදාළව ලෝක මට්ටමින් ඇති වී තිබෙන නව වර්ධනයන් අපේ රට තුළ තවමත් ස්ථාපිත වී නොමැති වීම කණගාටුවට කරුණකි. ලෝකයේ වෙනත් රටවල් සංචාරක කර්මාන්තයෙන් ඉපයීම සඳහා විදේශ ආයෝජකයො ගෙන්වන නමුත් අපේ රටේ එය හරියාකාරව සිදු වන්නේ නැත. තවද ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින ප්‍රමුඛතා මොනවද කියා රජය තවම හඳුනාගෙන නැත. මේ නිසා සංචාරක ව්‍යාපාරයෙන් සැබෑ ලෙස රටට අත්කරගත හැකි ප්‍රතිලාභ තවමත් ලබා ගත නොහැකි වී තිබීම කණගාටුවට කරුණකි.

කවරයේ රූපය : srilankabrief.org

Related Articles