Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රස තවමත් මතක, අපි ඉස්සර කාපු සීනි බෝල

මතක ද පොඩි කාලෙ කපු පැණිරස ජාති, සීනි බෝල එහෙම? අද ඒ සමහර රස කෑම දකින්නත් නෑ. රටින් එන කැඩ්බරීස්, ෆෙරෙරො රෝචර් වගෙ නානාවිධ චොකලට් වර්ග, නම් මතක තියාගන්න බැරි තරමට තියෙන ටො‍ෆි සහ කැවිලි වර්ග අද නම් ඕනෙ තරම් ගන්න පුළුවන් වුණාට, පොඩි කාලෙ සත 25ට, 50ට කාපු, රුපියලට අහුරක්ම හම්බවුණු මේ රස කැවිලි ජාති නම් අමතක වෙන්නෙ නෑ. අදින් අවුරුදු 10කට විතර පස්සෙ පොඩි එවුන්ට “පුංචි කාලෙ කාපු පැණි රස කෑම” කිව්වම මතක්වෙන්නෙ ෆෙරෙරො රෝචර් වෙන්න හුඟක්ම ඉඩ තියෙනවා. ඒත් Roar පාඨකයින්ට නම් ඊට වඩා පාට පාට, පැණිම පැණි රස ළමා කාලයක් තිබ්බා කියලා අපට විශ්වාසයි. මේ, අපේ ඒ පාට පාට, පැණිම පැණි රස පොඩි කාලෙන් සීනි බෝල, ලොසින්ජර ටිකක්.

හූණු බෙටි (හූණු බිත්තර?)

අපි මේවා පැණි රසට කෑවට, ඉන්දියාවෙ නම් මේවා කන්නෙ ආහාර වේලකින් පස්සෙ මුව නැවුම් වෙන්න  (exportersindia.com)

එක එක විධියෙ නම් කීපයක්ම තියෙන මේ පාට පාට සීනි බෝල නම් කාටවත්ම අමතක වෙන්න විදියක් නෑ. සාමාන්‍යයෙන් “හූණු බෙටි” හෝ “මී බෙටි” කියන නමින් හැඳින්වුවත්, කන කෑමකට එහෙම නමක් කියනවට අකමැති කට්ටිය මේවා “කඩි බිත්තර”, “හූණු බිත්තර” කියන නම් වලිනුත් හැඳින්වූවා.

මැදට සූදුරු ඇටයක් දාලා, ඒ වටේ සීනි තවරලා පාට කරපු හූණු බෙටි ලොකු වීදුරු බෝතල්වල දාලා, කඩවල්වල කවුන්ටරේ තියලා තිබ්බා මතක ඇති. ටිකක් හොයලා බැලුවොත්, අදටත් මේවා පොඩි කඩේක එහෙම තිබිලා හොයාගන්න බැරිවෙන්නෙ නෑ.

බුල්ටො

මේ කාලෙ මේවා හොයාගන්නත් වාසනාව තියෙන්න ඕනෙ  (Toash – DeviantArt)

අවුරුදු 20කට හෝ ඊටත් කලින්, ලංකාවෙ ප්‍රසිද්ධම ටො‍ෆිය මොකද්ද කියලා ඇහුවොත්, “බුල්ටො” කියලා ඕනෑම කෙනෙක් කියයි. බුල්ටො තමයි ඒ දවස්වල පැණිරස ලෝකෙ අමිතාබ් භච්චන්. ටිකක් විනිවෙද පේන සුදු පාට තෙල් කොළේක ඔතලා එන මේ දිග ටොපියට හරි අමුතු පැණි රසක් තිබුණෙ.

පැය ගාණක් සූප්පු කරලත් කාලා ඉවරකරගන්න බැරි නිසාත්, හපලා කන්න නම් කොහොමත්ම බැරි නිසාත් (කන්න බැරි නෑ, හැබැයි ඊට පස්සෙ අලුතෙන් දත් සෙට් එකක් දාන්න වෙනවා), හොඳටෝම ලාබ නිසාත් වෙන්න ඇති මේ තද දුඹුරු පාට ටොපිය ඒ දවස්වල ඒ තරම්ම ජනප්‍රිය. ’80 දශකෙ සත 50ට විතර ගන්න පුළුවන් වුණු මේවා, ඊට කලින් කාලෙක ශතේකට​ ටොපි 5ක්ම ගන්නත් පුළුවන්කම තිබුනාලු. දැන් වැඩිපුර හොයාගන්න නැති මේ ටොපියක් හම්බවුණොත්, ඒක නිධානයක් හම්බවුණ වගේ වේවි.

අන්නාසි ලොසින්ජර

ටිකක් මේ වගේ නේද? (ohnuts.com)

ලා කහ පාටට, හපලා කන්න පුළුවන් පෙත්තක් විදියට ආපු මේ ලොසින්ජර නම් මෑතක් වෙනකල්ම කඩවල්වල තිබුණා. අන්නාසි රස කහ පාට පෙති විතරක් නෙවෙයි, දොඩම් රස තැඹිලි පාට පෙතිත්, පෙපර්මින්ට් රස සුදු පාට පෙතිත් ලොකු වීදුරු බෝතල්වල දාලා කඩවල තියලා තිබුණා ගොඩ දෙනෙකුට මතක ඇති.

සත 25 කාසියකට වඩා පොඩ්ඩක් පොඩියට, ඊට වඩා ඝනකම මේ ලොසින්ජර 4ක් රුපියලකට මිළට ගන්නට පුළුවන්කම තිබුණා 2000 ගණන්වල මුල හරියෙදි නම්.

ජෙම් බිස්කට්

මේවයෙ කන්නෙ අයිසින් කෑල්ල විතරයි (gallery.dcview.com)

චුට්ටන් බිස්කට් එකක් උඩ පාට අයිසින් මලක් එක්ක ආපු මේ බිස්කට් ’80 දශකෙ විතර ඉපදුණු අයට නම් හොඳට මතක ඇති. කහ, කොළ, රෝස, සහ සුදු පාට හතරෙන් විතරයි අයිසින් මල ආවෙ නම්. හැබැයි මේ පාට හතරෙම බිස්කට් තිබුණෙ එක මිශ්‍රණයක් විදියට. පොඩි කාලෙ මේවා සල්ලි දීලා ගනිද්දි බිස්කට් එකකටත් එක්ක මුදල් ගෙවුවට, කෑවෙ නම් අයිසින් මල විතරයි.

ඊට පස්සෙ අර බිස්කට් එක අම්මට හොරෙන් වීසි කරනවත් ගොඩ දෙනෙකුට මතක ඇති!

සීනි බෝල

මේ වගේම සීනි කූරුත් තිබුණා මතක ද?  (ThePinsta)

ජිල් බෝලෙකට වඩා ටිකක් පොඩි, ඒ වුණාට ඒ තරමටම හයිය මේවා ඉස්සර ඉස්කෝලෙ යන ළමයි අතරෙ ප්‍රසිද්ධ කෑමක්. සුදු පාට සීනි බෝලෙ රතු පාටින්, කොළ පාටින්, හෝ කහ පාටින් රවුමට රවුමට ඉරි වැටිලා තිබුණා. අඩු ගාණකට අහුරක්ම ගන්නත් පුළුවන් වුණු, සෑහෙන වෙලාවක් රස බලන්නත් පුළුවන් වුණු මේ සීනි බෝල අද නම් පුංචි කඩවල නැහැ. ඒ වෙනුවට ඒවා පැකට් වෙලා සුපිරි වෙළඳසැල් වල විකිණෙන්නෙ ඉහළ මිළ ගණන් වලට.

චොකලට් කාසි

මේවයින් එකක් ගන්නවා කියන්නෙ ඒ දවස්වල ටිකක් ලොකු වැඩක්  (momentmag.com)

රත්තරන් කාසියක පෙනුම එන විදියට රත්තරන් පාට කොළේක ඔතලා ආපු මේවා නම් මෑතක් වෙනතුරු කඩවල විකිණුනා. අම්මෝ ඒ දවස්වල ඒවයෙ තිබුණු ලොකුකම! එකක් රුපියල් 5ක්ම වුණු නිසා, ඒ දවස්වල මේවයින් එකක් මිළට ගන්නවා කියන්නෙ ඉස්කෝලෙ යන ළමයෙකුට ලොකු වැඩක්. මෙයින් එකක් මිළට ගත්තු ළමයෙක් ඒක ලේසියෙන් කන්නෙ නෑ. ඉස්කෝලෙ ගෙනිහින්, යාළුවන්ටත් ලොකු කමට පෙන්නලා තමයි කන්නෙ.

මෙයින් එකක් අරගෙන ගෙදර යද්දි, තමන් රත්තරන් කාසියක් ගෙනියන පොහොසතෙක් කියලා හිතින් මවාගත් විදියත්, කොළේ ගලවලා චොකලට් එක කන්න කලින් කොළේ පිටින්ම චොකලට් පෙත්ත හෙමිහිට හපලා බලපු විදියත් මේවා රස බලපු අයට මතක ඇති.

බෝල චුයින්ගම්

මේ වගේ හත‍රැස්, පෙති පෙති චූවින් ගම් ජාතියකුත් තිබ්බා ද?  (ohnuts.com)

අද නම් හරි විදියට “චූවින් ගම්”, “බබල් ගම්” කිව්වට, ඒ දවස්වල නම් සත 50ක් කඩේ අංකල්ට දීලා අපි ඉල්ලන්නෙ “බෝල චුවිංගම්”. පාට පාට බෝල විදියට ආපු, ඇතුල සුදු පාටට හිස්ව තිබුණු මේවයෙ අමුතුම පැණි රසක්. පාටයි පැණිරසයි තිබුණෙ හැබැයි බෝලෙ පිට පොත්තෙ විතරයි. ටික වෙලාවක් යද්දි මේවයෙ පැණි රස නැතිවෙනවා.

ඒ වුණාට ඒක වීසි කරන්න ලෝබ කමටත්, පුරුද්දටත්, පැය ගාණක් දිගට මේවා හක්කෙ තියාගෙන, වහු පැටව් වගෙ හප හපා හිටියා ඒ කාලෙ. පන්තියෙදිත් හප හපා ඉන්න ගිහින්, ටීචර්ලගෙන් බැණුනුත් අහලා, එළියට ගිහින් චුවිංගම් හපේ වීසි කරලා එන්න වුණු අවස්ථාත් අඩු නැහැ.

තද නිල් පාට – දම් පාට කවරෙකින් ඔතලා ආපු, උඩට ඉස්සුණු දාර දාර තිබුණු පැතලි, රෝස පාට, නිකන් මකනයක් වගෙ “බබල් ගම්” ජාතියකුත් තිබුණා. ඒවා ආවෙ කවරෙට ඇතුලෙන්, බබල් ගම් එක ඔතලා තිබුණු පච්චෙකුත් එක්කයි. ගම් එක කාලා, පච්චෙ එක්කො අතේ, නැත්නම් පොතක් පිටිපස්සෙ, ඉස්කෝලෙ ඩෙස්ක් එකේ විතරක් නෙවේ, බිත්තිවල ගහපු අයත් මේක කියවන අය අතරෙ ඇති.

ලොලිපොප් (pinkfrosting.com.au)

ඉතින් අපේ “සීනි බෝල” කතාව ඔහොමයි. මේක කොට, අසම්පූර්ණ ලැයිස්තුවක් තමයි. මේකට තව සීනි සුරුට්‍ටු, බොම්බයි මොටයි (ඒවා නම් තවම තියෙනවා), ඉඟුරු ඇඟිලි, නාරං බික්, බන්ටි ටොපි, බෙන්සන් ටොපි (ඒවත් තවම තියෙනව නේද?), පහේ චොකලට්, සීනි මුරුක්කු, ගෝනි ලොසින්ජර, තනි පාටට විනිවිද පේන ලොලිපොප්, ග්ලූකෝරස, බොංචි ඇට ජුජුබ් (දැන් කියන්නෙ ජෙලි බීන්ස් කියලා) වගෙ හුඟක් දේවල් එකතු වෙන්න ඕනෙ. අපි සඳහන් නොකරපු සීනි බෝල ජාති තවත් තියෙනවා ද?

Cover image: Wikipedia

Related Articles