Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විශේෂිත භූගෝලීය පිහිටීමක් සහිත අගනුවර 6ක්

වර්තමානයේ ලොව රටවල් 200කට අධික සංඛ්‍යාවක් පවතිනවා. මින් සමහර රටවල අගනුවරවල් විශේෂිත වන්නේ ඒවා පිහිටා ඇති ස්ථාන භූගෝලීය අතින් සුවිශේෂී වන නිසා යි. වර්ෂාපතනය, උන්නතාංශය වැනි හේතු සාධක රාශියක් නිසා මේවා සුවිශේෂී වෙනවා. ඒ ආකාරයෙන් ලොව පුරා පරසිදු වූ අගනුවර 6ක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

ලොව ඉහළින්ම පිහිටි අගනුවර – ලා පාස් (බොලිවියාව)

Julien Capmeil/cntraveller.com

ලොව ඉහළින්ම පිහිටි අගනුවර වෙන්නේ ලතින් ඇමෙරිකානු රටක් වන බොලිවියාවේ අගනුවර වන ‘ලා පාස්’ නුවර යි. මෙහි අටලක්ෂයකට ආසන්න ජනතාවක් වෙසෙන අතර මුහුදු මට්ටමේ සිට මීටර 3,640ක උසකින් පිහිටා තිබෙනවා. ලා පාස් වසර 500කට ආසන්න ඉතිහාසයක් ඇති නුවරක්. උන්නතාංශය නිසා උප නිවර්තන කඳුකර දේශගුණයක් පැවතිය ද සමකාසන්නව පිහිටීම නිසා වසර පුරාවට එහි සාමාන්‍ය දෛනික දේශගුණ තත්ත්වවල සිදුවන්නේ අඩු වෙනසක්.

ලොව පහළින්ම පිහිටි අගනුවර – බාකු (අසර්බයිජානය)

suitcasemag.com

ලොව පහතින්ම පිහිටා ඇති අගනුවර වන්නේ අසර්බයිජානයේ අගනුවර වන බාකු නුවර යි. අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ මෙය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමට වඩා මීටර 28ක් පහතිනුයි. බාකු කැස්පියන් මුහුදට ආසන්නව පිහිටා ඇති අතර දේශගුණය අර්ධ ශුෂ්ක කලාපීය ලක්ෂණ පෙන්වනවා. මිලියන 2කට අධික ජනකායක් මෙහි වර්තමානයේ ජීවත් වෙනවා.

ලොව තෙත්ම අගනුවර – මොන්රෝවියා (ලයිබීරියාව)

Youtube

මධ්‍යම අප්‍රිකාවේ පිහිටි ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියා ලොව වැඩිම වර්ෂාපතනයක් ලැබෙන අගනුවර ලෙස සැලකෙනවා. මධ්‍යම අප්‍රිකාවේ ස්ථානගත වී ඇති ලයිබීරියාවේ බොහෝ පෙදෙස්වලට අධික වැසි ලැබෙන අතර මොන්රෝවියාවට වාර්ෂිකව ලැබෙන සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර 4,624ක්. මින් බහුතරය මැයි සිට ඔක්තෝබර් අතර වූ වැසි කාලයේ දී ලැබෙනවා. මොන්රෝවියා දශලක්ෂයක් පමණ වූ ජනකායකට නවාතැන සපයන අතර වසර 200ක පමණ ඉතිහාසයක් තිබෙනවා.

ලොව වියළිම අගනුවර – ලීමා (පේරු)

ලොව වඩාත් වියළිම අගනුවර ලෙස සැලකෙන්නේ ලතින් ඇමෙරිකානු රටක් වන පේරු හි අගනුවර වන ලීමා යි. වියළි බව අතින් ලීමා ඊජිප්තුවේ අගනුවර වන කයිරෝවට වඩා සිව් ගුණයක් වියළි වෙනවා. පැසිෆික් සාගරය හා අන්දීස් කඳු පන්තිය අතර සුළං මුවාවක පිහිටා ඇති මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 6.4ක් පමණ යි. ලීමා අගනුවරට වසර 500ක පමණ ඉතිහාසයක් තිබෙන අතර මිලියන 10ක පමණ ජනකායක් ජීවත් වෙනවා.

ලොව වඩාත් උෂ්ණාධිකම අගනුවර- කාර්ටුම් (සුඩානය)

lonelyplanet.com

ලොව උෂ්ණාධිකම අගනුවර වන්නේ අප්‍රිකා මහාද්වීපයේ පිහිටි රටක් වන සුඩානයේ අගනුවර වන කාර්ටුම් නුවර යි. සහරා කතර ආසන්නව පිහිටි මෙහි මිලියන 5කට අධික ජනකායක් වෙසෙනවා. සහරාවෙන් එන උණුසුම් වායු ධාරා නිසා වසර පුරාවට මෙහි උෂ්ණාධික දේශගුණයක් පවතින අතර සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 29.9ක් වෙනවා. මෙහි මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.8ක්.

ලොව වඩාත් ශීතාධිකම අගනුවර-  උලාන්බටර් (මොංගෝලියාව)

cleverdeverwherever.com

ලොව ශීතාධිකම අගනුවර ලෙස හඳුනාගෙන ඇත්තේ මධ්‍යම ආසියානු රටක් වන මොංගෝලියාවේ අගනුවර වන උලාන්බටර් නුවර යි. සමකයෙන් සෑහෙන තරමින් උතුරුදිගට වන්නට පිහිටීමත්, ඉහළ උන්නතාංශයත්, සයිබීරියන් තැන්නෙන් හමන ශීත සුළං ධාරාත් නිසා නිබඳවම මෙහි පවතින්නේ ශීතල දේශගුණයක්. උලාන්බටර්හි සාමාන්‍ය දෛනික උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක 0ටත් පහලිනුයි. එය සෙල්සියස් අංශක ඍණ 0.4ක් වන අතර මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක ඍණ 42.2කුයි. කෙසේ නමුත් ගිම්හානය එළැඹෙන ජුනි හා ජූලි මාසවල දිවා කාලයේ මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට වඩා ඉහළ යන අවස්ථා ද ඉඳ හිට එළැඹෙනවා. උලාන්බටර් නුවරට ද දීර්ඝ ඉතිහාසයක් ඇති අතර වර්තමානයේ එහි මිලියනයකට වඩා වැඩි ජනකායක් ජීවත් වෙනවා.

කවරයේ පින්තූරය- Christian Heeb, LAIF/REDUX

Related Articles