Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකාව තුළ ගබ්සාව නීතිගත කළ ‘රෝ එදිරිව වේඩ්’

ගබ්සාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දැනට පවතින නීතිය අතිශය දරදඬු නීතියක් බව පැවසීමේ වරදක් නැහැ. 1883 අංක. 2 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ 303 වැනි වගන්තිය ප්‍රකාරව ස්ත්‍රීන්ගේ ජීවිතය බේරීමේ කාර්යය සඳහා සද්භාවයෙන් කරනු ලබන ගබ්සා කිරීමක් නොවන ගබ්සා කිරීමක් සැලකෙන්නේ අවුරුදු 3ක් දක්වා කාලයකට බන්ධනාගාර ගත කිරීමකින් සහ/ හෝ දඩයකින් දඬුවම් කළ හැකි අපරාධමය වරදක් ලෙස යි. ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීත්‍යනුකූල නොවුණ ද, සෑම දිනක දී ම දිවයින තුළ ගබ්සාවන් 658ක් සිදුවන බව යි 2016 දී සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් එළිදක්වන ලද වාර්තාවක සඳහන් වුණේ.

(© Statista) ගබ්සාව සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිමය තත්ත්වය

බරපතල භ්‍රෑණ විකෘතිතා (serious foetal impairments) සහිත කලලයන් සහ වසය අවුරුදු 16 අඩු ස්ත්‍රියක ලිංගික අඩත්තේට්ටමකට ලක් වීම හේතුවෙන් ගැබ් ගැනීම සිදු වූ අවස්ථාවක දී ගබ්සාව නීතිගත කිරීම සඳහා මෑතකාලීන ව කෙටුම්පත් ඉදිරිපත් වුව ද, ආගමික නායකයින්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් එකී කෙටුම්පත් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ නැහැ. ගබ්සාව නීතිගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින්නේ එවැනි වාතාවරණයක් වුව ද, ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගබ්සාව අපරාධමය වරදක් ලෙස සැලකීම හඳුනාගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස යි. ඒ අනුව 1973 දී තීරණය කරන ලද රෝ එදිරි ව වේඩ් නඩු තීන්දුව මඟින් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මඟින් හඳුන්වා දෙන ලද ‘පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය’ යන්නට ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා කාන්තාවකට ඇති අයිතිය ඇතුළත් වන බව තීරණය කර තිබෙනවා.

අලුත් නීතියක් සඳහා පසුබිම සැකසූ නෝමා මැකෝවි

1969 ජූනි මාසයේ දී එවකට 21 හැවිරිදි වියේ පසු වූ නෝමා මැකෝවිට ඇය තෙවැනි වරටත් ගැබ් ගෙන ඇති බව දැන ගැනීමට ලැබී තිබෙනවා. හදාවඩා ගැනීමේ අපහසුව හේතුවෙන් ඇය, මින් පෙර ලද දරුවන් දරුකමට හදා ගැනීම සඳහා ලබා දී තිබුණු අතර, ඇගේ තෙවැනි ගැබ් ගැනීම පිළිබඳ ව දැනගත් හිතවතුන් ඇයට උපදෙස් ලබා දුන්නේ ලිංගික අඩත්තේට්ටමකට ලක් වූ බව පවසමින් නීත්‍යනුකූල ගබ්සාවක් සිදුකිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගන්නා ලෙස යි. නෝමා මැකෝවි වාසය කළ ටෙක්සාස් ප්‍රාන්තය තුළ ලිංගික අඩත්තේට්ටම් සහ ව්‍යාභිචාරය (incest) හේතුවෙන් ගැබ් ගැනීම සිදු වූ අවස්ථාවක දී ගබ්සාව නීත්‍යනුකූල වීම එයට හේතු වූ බවට සැකයක් නැහැ. නමුත් ලිංගික අඩත්තේට්ටමකට ලක් වීම සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් නොමැති වීම හේතුවෙන් ඇගේ උපක්‍රමය සාර්ථක නොවූ බව යි සඳහන් වන්නේ.

(© IMDb) 1989 දී එළිදක්වන ලද ‘රෝ එදිරි ව වේඩ්’ චිත්‍රපටියේ පෝස්ටරය

නීත්‍යනුකූල නොවන ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා ඇය ගත් උත්සාහය ද අසාර්ථක වුණේ, අදාළ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද බලපත්‍ර රහිත ගබ්සා මධ්‍යස්ථානය පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන්. අවසානයේ දී නීතියේ පිළිසරණ සොයා ගිය ඇය, 1970 දී ලින්ඩා කොෆී සහ සාරා වෙඩින්ටන් නම් නීතිඥයින් හරහා ටෙක්සාස් හි උතුරුදිග දිසා අධිකරණයේ ජේන් රෝ යන අන්වර්ථ නාමය ඔස්සේ නඩුවක් පවරා තිබෙනවා. එහි විත්තිකරු ලෙස නම් කරන ලද්දේ ටෙක්සාස් ප්‍රාන්තය භාර දිසා නීතීඥ (District Attorney) ලෙස කටයුතු කළ හෙන්රි වේඩ්. ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින ලද්දේ නීත්‍යනුකූල ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස යි.

තීරණාත්මක නඩු තීන්දුවක්

නඩු විභාග අතරතුර දී නෝමා මැකෝවි විසින් ඇගේ තෙවැනි දරුවාට උපත ලබා දුන්න ද, නඩුව දිගටම පවත්වාගෙන යාමට ඇය කටයුතු කළා. ඇය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලන ලද ටෙක්සාස් හි උතුරු දිග දිසා අධිකරණය, 1970 ජූනි මාසයේ දී තීරණය කරන ලද්දේ ගබ්සාව සම්බන්ධයෙන් ටෙක්සාස් ප්‍රාන්තය තුළ පවතින නීතිය ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව යි. දිසා අධිකරණයේ තීන්දුව මඟින් අතෘප්තිය පත් දිසා නීතීඥවරයා විසින් එය ඉවත දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අභියාචනය මෙහෙය වන ලද්දේ විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් යුතු විනිසුරු මඬුල්ලක් ඉදිරියේ යි.

(© The Cut) ගබ්සාවට සහාය දක්වන ඇමෙරිකානුවන්

රෝ එදිරිව වේඩ් හි අභියාචනය පිළිබඳ ව තීරණයක් ලබා දීමට පෙර ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය සහ එය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් බලාත්මක වන අන්දම විග්‍රහ කර 1965 දී තීරණය කරන ලද ග්‍රිස්වෝල්ඩ් එදිරිව කනෙක්ටිකට් නඩු තීන්දුව විශාල වශයෙන් සලකා බලා තිබෙනවා. ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා කාන්තාවකට සම්පූර්ණ අයිතියක් ඇති බවට ජේන් රෝ විසින් ඉදිරිපත් කරන ලද තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොපිළිගන්නා ලද නමුත්, පෞද්ගලිකත්වය සඳහා කාන්තාවකට ඇති අයිතිය සහ ගබ්සාවන් පාලනය කිරීම සඳහා රජයට ඇති බැඳියාව කෙරෙහි විනිසුරු මඩුල්ලේ අවධානය යොමු වූ බව යි වාර්තා වන්නේ.

ඒ අනුව යමින් 1973 ජනවාරි 22 වැනි දින 7 – 2ක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් තීරණය කරන ලද්දේ ගබ්සාව අපරාධමය වරදක් ලෙස සැලකීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව යි. එසේ ම ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මඟින් හඳුන්වා දෙන ලද ‘පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතිය’ යන්නට ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා කාන්තාවකට ඇති අයිතිය ඇතුළත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර තිබෙනවා. කෙසේ වුව ද එම අයිතිය, ගබ්සාවන් පාලනය කිරීම සඳහා රජයට ඇති බැඳියාව (එනම් ගර්භිණී කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඇති විභවතාව) සමග සමපාත විය යුතු බව යි ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව තීන්දු කරන ලද්දේ ගර්භිණීභාවයේ තෙවැනි කාර්තුවේ ආරම්භය සිදුවන තුරු (එනම් කලලයට කෘතිම සහාය ඇති අවස්ථාවක දී පවා මවගේ ගර්භාෂයෙන් පිටත ජීවත් වීමට ඇති හැකියාව සැලකිය යුතු තරම් පහළ මට්ටමේ දී) සිදුකරන ලබන ගබ්සාවන් නීත්‍යනුකූල බව යි.

(© Wikimedia Commons) ‘රෝ එදිරි ව වේඩ්’ නඩුවේ තීන්දුව පිළිබඳ ඇමෙරිකානු මහජන මතය දැක්වෙන සටහනක්

1992 දී ප්ලෑන්ඩ් පේරන්ට්හුඩ් එදිරිව කේසි නඩු තීන්දුව මඟින් රෝ එදිරිව වේඩ් නඩු තීන්දුවේ දී අධිකරණය විසින් පනවන ලද ‘ගර්භිණීභාවයේ තෙවැනි කාර්තුවේ ආරම්භය’ යන මිනුම බැහැර කරන ලද අතර, කලලයට කෘත්‍රිම සහාය ඇති ව මවගේ ගර්භාෂයෙන් පිටත ජීවත් වීමට ඇති හැකියාව වෛද්‍යවරුන් විසින් තීරණය කළ යුතු බව සහ කලලයට ජීවත් විය නොහැකි බව වෛද්‍යවරුන් විසින් තීරණය කරන ඕනෑම අවස්ථාවක දී ගර්භිණීභාවය අවසන් කිරීමට කාන්තාවකට අයිතිය ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය: © Yahoo Finance

Related Articles