Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කරඳහෙළ කන්දේ පිහිටි ලෙන්

වර්තමානයේ තරුලෙන්ගල ආරණ්‍යය සේනාසනය ලෙසින් හඳුනාගන්නා ස්ථානයේ දක්නට ලැබෙන ලෙන්වල පිහිටීම ඇත්තෙන් ම විශ්මයජනක යි. කරඳහෙළ ආරණ්‍යය සේනාසනය ලෙසින් ද හඳුනාගන්නා මේ ස්ථානය වඩාත් වැදගත් වන්නේ ආසියාවේ පිහිටි දිග ම කටාරම් කොටන ‍ලද ලෙන ද ඇත්තේ මෙහි වන නිසයි.

මුහුදු මට්ටමේ සිට අඩි 633ක් උස කරඳහෙළ  

(twitter.com) කරඳහෙළ තරණය

රුදුරු වන සතුන්ගේ නිවහනක් වන කරඳහෙළ තරණය කිරීම පහසු කාර්යයක් නම් නොවේ. මුහුදු මට්ටමේ සිට අඩි 633ක උසකින් ය, කරඳහෙළ පිහිටා ඇත්තේ. පාළු ස්වභාවයක් ගන්නා මේ කඳු ගැටය තරණය කිරීමේ දී ගල්තලා කිහිපයක් ඔස්සේ ගල විද සකස් කර ඇති අත් වැට අල්ලාගෙන දුෂ්කර ගමනක් යා යුතු යි.  

ගොඩනැගිලි ශේෂයන්

කන්ද තරණය කිරීමේ දී මුලින් ම හමුවන්නේ විනාශ වී ගිය ගොඩනැගිලිවල නටඹුන් ය. ඒ අතර කෙළින් අතට තිබෙන ගල් කණු 9ක් වන අතර, අසලින් පැරණි වූ සඳකඩ පහනක් සහ පියගැට පෙළක් ද තවමත් දක්නට ලැබේ.

මුලින් ම හමුවන මේ ගොඩනැගිලිවලට ඉහළ පැත්තෙන් සමතලා බිමක් දැකගත හැකි වන අතර එහි ද ගොඩනැගිලිවල ශේෂ දැකගත හැකියි.

ඒ ආසන්නයෙන් ම තවත් විශාල ගොඩනැගිල්ලක කුලුනු මුල් ගල් නවයක් දැකගත හැකි වන අතර, එය බොහෝ විට පැරණි උපෝෂතාගාරයක නටඹුන් විය හැකි බවට යි සැක කරන්නේ. මේවාට අමතර ව තවත් බොහෝ ගොඩනැගිලි ශේෂයන් ද මේ අවටින් දැකගත හැකියි.

කටාරම් සහිත ලෙන්

කරඳහෙළ කන්දේ ලෙන් කිහිපයක්ම දැකගත හැකි වන අතර මේ සියල්ලක ම පාහේ කටාරම් කොටා තිබේ. මේ සියල්ල ම ස්වභාවික නිර්මාණයන් බව යි පැවසෙන්නේ.

රාජ ලෙන

ආසියාවේ දිග ම ගල් ලෙන වන්නේ මෙය යි. කඳු මුදුනේ වන ගල් ලෙන් පේළියෙන් පසු ව කරඳහෙළ කඳු බෑවුමේ අනෙක් කොටසට වන්නට මෙය හමුවෙයි. ලෙන සම්පුර්ණයෙන් ම කටාරම් කොටා ඇත.

(amazinglanka.com) රාජ ලෙන

ලෙන පාමුල ඇත්තේ සමතලා භූමියක්. එම භුමිය තට්ටු 8කින් යුක්ත වන අතර බිත්ති බැඳ තිබෙන බවට සැලකෙන ගඩොල්, තැන තැන විසිරී තිබෙනු දැකගත හැකියි.

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කරන පරිදි උන්වහන්සේ විසින් මෙරට දුටු විශාලතම ගල් ලෙන වන්නේ මෙය යි. උන්වහන්සේ “රාජ ලෙන” ලෙස යි මෙය හඳුනාගන්නේ.

යෝධ ලෙන

(srilankatravelnotes.com) යෝධ ලෙන

රාජ ලෙනට බස්නාහිර පැත්තට වන්නට මීටර් 100ක් පමණ දුරින් තවත් ලෙන් කිහිපයක් ම දැකගත හැකි වන අතර ඒවා පිහිටා ඇත්තේ එක දිගට පිහිටි ලෙන් තුනක් වශයෙන්. ඒවායේ ද කටාරම් කොටා ඇති අතර පැරණි බිත්තිවල ගඩොල් දැකගත හැකියි. එල්ලාවල මේධානන්ද හිමියන් මේ ලෙන හඳුනාගන්නේ “යෝධ ලෙන” ලෙස යි.

පිපුණු හත්තක හැඩය ගත් ලෙන

පිපිණු හත්තක හැඩය ගන්නා දර්ශනීය ලෙනක් ද මේ කඳු තරණයේ දී දැකගත හැකියි. මෙහි රවුම් අඩි 101ක් වන අතර කටාරම් කොටා ඇති ලිපියක් ද මෙහි දැකගත හැකියි. ලිපියේ උස අඟල් 8ක්.

පිළිම ලෙන

srilankatravelnotes.com නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වූ සැතපෙන බුදු පිළිමය

කරඳහෙළ කන්දට ඇතුළු වන ස්ථානයේ ම තවත් ලෙනක් දැකගත හැකි වන අතර මෙය දිගින් අඩි 175ක් වේ. සම්පුර්ණයෙන් ම කටාරම් කොටා ඇති මේ ලෙන තුළ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳුවා ඇත. මැටි හා ගඩොල් භාවිතයෙන් සකස් කර ඇති මෙය දිගින් අඩි 41ක්. උරහිස අඩි 6ක් වන අතර සිරි පතුලේ දිග අඩි 4ක්. පිළිම වහන්සේගේ ලැම පෙදෙස නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වීම නිසා විනාශ වී ඇත්තේ අවාසනාවන්ත ලෙස යි.

කරඳහෙළ විහාරයේ මුල් ම දායකයා

කරඳහෙළ විහාරයේ මුල් ම දායකය වන්නේ කාකවර්ණ තිස්ස රජු වන බව සෙල්ලිපියක සඳහන් වන බව යි පැවසෙන්නේ. ඒ අනුව මෙහි මුල් ම දායකයා ලෙසින් නම් වන්නේ මොහු යි. බ්‍රාහ්මි ලිපියක සඳහන් වන ආකාරයට සෝමදේව, උත්තිය, සහ තිස්ස විසින් මේ විහාරයට ලෙන් 3ක් ද පුජා කර තිබෙන අතර ඒ අනුව එකල ඔවුන් ද මෙහි ප්‍රධාන දායකයින්.

කරඳහෙළ ජනප්‍රවාද

කරඳහෙළට ඊසාන පැත්තෙන් ගලා බසින්නේ කරඳ ඔය යි. “කරඳහෙළ”ට මේ නම එන්නේ කරඳ ඔය නිසා බව යි ජනප්‍රවාද පවසන්නේ.

මෙහි ඇති රාජ ලෙන තුළ කාවන්තිස්ස රජු නැවතී සිටි බවක් ද ජනප්‍රවාදයේ එයි. කරඳහෙළ විහාරයේ සිට ලාහුගල මඟුල් මහා විහාරයටත් එහි සිට දහම්පල දුටුගැමුණු මාළිගාවටත් යාම සඳහා මාර්ගයක් තිබු බවත්, මේ මාර්ගය ඔස්සේ කාවන්තිස්ස රජු නිතර කරඳහෙළ විහාරයට ගමන් ගත් බවත් ජනප්‍රවාද පවසයි.

කරඳහෙළ පුරාවස්තු

පුරාවස්තුවලින් සපිරි මේ කරඳහෙළ ගැන මුල් ම ගවේෂණය සිදුකර ඇත්තේ සී. ඩබ්ලිව්. නිකලස් මහතා යි. නමුත් මෙහි පුරාවස්තු සම්බන්ධයෙන් පූර්ණ ගවේෂණයක් සිදු කිරීමට හැකි ව ඇත්තේ පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන්ට යි. 1965 වර්ෂයේ මුලින් ම උන්වහන්සේ එහි යාමෙන් පසු ව නැවත 1981 වර්ෂයේ දී එහි යන උන්වහන්සේ දින ගණනාවක් එහි නතර ව සිට ඒ සම්බන්ධ දීර්ඝ ගවේෂණයක් සිදු කර තිබෙන බව යි වාර්තා වන්නේ.

twitter.com කරඳහෙළ ලෙනක දර්ශනයක්

කරඳහෙළ වටා වැව් කිහිපයක් ම දැකගත හැකියි. නමුත් කරඳහෙළ වැව හැර අන් සියලු වැව් මේ වන විට කැලෑ වී ගොස්.

කවරයේ කතාව-   srilankatravelnotes.com 

මූලාශ්‍රයයන්:

amazinglanka.com

ancientdeegavapi-ampara.blogspot.com

tourismdirectory.lk

sundaytimes.lk

Related Articles