බලංගොඩ මානව පරපුරේ ලෙන්වලට චාරිකාවක්

අපේ රටේ ගල් ලෙන් දහස් ගණනින් පැතිර තිබෙනවා. තෙත් කලාපයේ කඳුකර ප්‍රදේශවලත් වියළි කලාපයේත් පිහිටා තිබෙන ලෙන් පිහිටි භූමි හරිම සුන්දරයි වගේම අප සිත් අතීතයට කැන්දාගෙන යනවා. ලෙන් සොයායාම ඉතා සොඳුරු අත්දැකීමක් වන්නේ ඒ නිසයි. මේ ලෙන් අතරින් විශාල ප්‍රමාණයක් කටාරම් කොටා භික්ෂු වාසයට යොදාගෙන තිබෙනවා. සමහරක අපේ බලංගොඩ මානවයන් ජීවත්වූ බවට කැණීම් මගින් හෙළි වී තිබෙනවා. මේ උත්සාහය බලංගොඩ මානව පරපුර ජීවත් වූ ලෙන් කිහිපයක් සොයා යාමටයි.

බලංගොඩ මානවයා කියන්නේ කවුද?

බෙල්ලන්බැඳිපැලැස්සෙන් හමුවූ බලංගොඩ මානව ඇටසැකිල්ලක්  archaeology.lk

මධ්‍ය ශිලා හෙවත් මෙසොලිතික යුගයට අයත් මේ මානවයන් හඳුන්වන්නේ හෝමෝසේපියන්ස් බලන්ගොඩෙන්සිස් කියන නමින්. බලංගොඩ මානවයා කියන  නම ලබාදුන්නේ ආචාර්ය පි. ඊ. පී. දැරණියගල මානව විද්‍යාඥයායි. එයට හේතුව එම මානවයන් පිළිබඳ මුලින්ම සාක්ෂි ඔහුට ලැබුණේ බලංගොඩ මැණික් පතල් ආශ්‍රිතව  බලංගොඩ  බෙල්ලන්බැඳි පැලැස්සෙන් නිසයි. බෙල්ලන්බැඳි පැලැස්සෙන් හමු වූ මානව අස්ථි ශේෂ අවුරුදු 16,000 ක් පමණ පැරණි වන අතර බලංගොඩ මානවයා ලෙස නම් කරන මොවුන් ඔස්ට්‍රොලොයිඩ් වැදි ලක්ෂණ සහිතයි. විද්‍යාත්මක කාල නිර්ණයන් අනුව අප රටේ මෙසොලිතික සංස්‌කෘතිය ක්‍රිස්‌තු පූර්ව 40,000 ට පූර්වයෙහි සිට ක්‍රිස්‌තු පූර්ව 1,000 දක්‌වා කාලයක්‌ මෙරට බලපවත්වා තිබෙනවා.

අවුරුදු හතලිස්දහසක් පැරණි බටදොඹ ලෙන

වනගත බටදොඹ ලෙන mindastic.blogspot.com

අප රටේ කැණීම් කළ මුල්ම ලෙනක් වන මේ වෙතට කුරුවිට හන්දියෙන් එරත්න පාරේ කි. මී. දෙකක් ගමන් කර වලදුරේ වෙත යන අතුරු පාරේ ගමන් කර යළිත් වනය මැදින් පියමං කිරීමෙන් ළඟාවිය හැකියි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 500ක පමණ ඉහළින් කඳු අතර පිහිටි බටදොඹලෙන මුලින්ම කැණීම් කළේ 1937 වර්ෂයේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින්. ඊට පසු 1980 දී ආචාර්ය ශිරාන් දැරණියගල සහ ඩබ්.එම්. විජයපාල යන පුරාවිද්‍යාඥයන් විසින්ද මෙහි කැණීම් කටයුතු කළා.

ලෙන අවට වනපෙත mindastic.blogspot.com

ලෙන ආශ්‍රිතව සිදුකල කැණීම් තුළින් මෙරට මධ්‍යශිලා යුගයේ මානව ඇට සැකිලි, ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා දඩයම් කළ සතුන්ගේ අස්ථි කොටස් හමුව තිබෙනවා. දකුණු ආසියාවේ ඇති පැරණිම ප‍්‍රාග් ඓතිහාසික මානව ජනාවාසවලින් එකක් වන එය අදින් වසර 40,000ක් පැරණි යි. 2005 වසරේ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා යළිත් මෙහි කැණීම් කළා.  එහිදී අදින් වසර 27,000කට ඉහත විසූ බලංගොඩ මානවයන්ගේ ඇටසැකිලි සහ අවශේෂ ද, ජ්‍යාමිතික ශිලා මෙවලම්, සත්ත්ව ඇට කටු සහ තවත් පොසිල ද සොයා ගත්තා.

කිතුල්ගල බෙලි ලෙන

බෙලිලෙනට සංචාරකයන් ඇවිත් srilankaexpeditions.com

බෙලිලෙනට යාම සඳහා කිතුල්ගල නගරයේ සිට මහබාගේ දක්වා ඇදී යන අතුරු මාවතේ කි.මී. 5ක් පමණ ගමන් කළ යුතුයි. මහබාගේ දක්වා බස් රථයක් ද ධාවනය වනවා. මෙම මාවත ඇදී යන්නේ ඉංඔය රබර් වතුයාය මැදින් දිවෙන කඳුකර මාර්ගයකයි. දොළොස්බාගේ කඳුවැටියට අයත් කඳු හිස් පිරිවරාගත් මේ පරිසරය ඉතා සුන්දරයි. කඳු තරණය කරමින් ගමන් ගන්නා මාවතේ ඈතින් වනය පලාගෙන දිස් වන බෙලි ලෙන දැකගත හැකියි. ලෙන් මස්තකයෙහි සිට පෙණ විසුරුවමින් ඇද හැලෙනා කුඩා දිය ඇල්ල ඉතා සුන්දරයි.

බෙලිලෙන කැණීම් වළ srilankaexpeditions.com

ගොළුබෙල්ලන් අධිකව හමුවන නිසා බෙලිලෙන යයි මේ නම් ලැබූ මෙය ලෙන් තුනකින් යුක්ත යි. ලෙන් ද ඇතුළත් අක්කර 28ක භූමියක් පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් නම්  තිබෙනවා. කැණීම් කර ඇත්තේ මැද පිහිටි විශාල ලෙනෙහි ය. අදින් අවුරුදු 25000 කට පෙර අතීත මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි හමුවී තිබෙනවා. අළු, අඟුරු, සත්ත්ව ඇටකටු සමඟ මිනී ඇටසැකිලි හමුවීමෙන් පෙනී යන්නේ මිනී මස් කෑමේ සිරිතක් හෝ මිනී කපාකොටා වළ දැමීමේ සිරිතක් තිබූ බව යයි මෙහි කැණීම් මෙහෙය වූ ආචාර්ය ශිරාන් දැරණියගල “ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය” කෘතියේ සඳහන් කර තිබෙනවා. කිතුල්ගලින් අවම තරමින් පුද්ගලයන් 30 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවී තිබෙනවා.  එදා මානවයන් භාවිත කළ ක්ෂුද්‍ර ශිලා මෙවලම් රාශියක් මින් හමුවුණා. ඒවා මීට වසර 27,000 සිට 34,000 දක්වා ඈත යුගයකට අයත්. ශිලා මෙවලම් හැරුණුවිට සත්ව ඇටකටු වලින් තනාගත් මෙවලම් ද පාවිච්චි කර තිබෙනවා. මෙම ආයුධ තනාගෙන ඇත්තේ වඳුරා, අලියා, මුවා, ගෝනා, මී හරකා වැනි සතුන්ගේ අස්ථි කොටස්වලින්.

බෙලිලෙන තුළ සිට බැල්මක් srilankaexpeditions.com

උල් ඇටකටු මෙවලම්, පැතලි ඇටකටු මෙවලම් මෙන් ම ඇටකටු හෝ අංවලින් තනන ලද පබළු ද කැණීම්වල දී හමු වුණා.  පබලු වැනි ශරීර අලංකරණ ආභරණ හමුවීමෙන් පෙනෙන්නේ මේ ආදි මානවයා යම්කිසි කලා රසඥතාවකින් යුක්ත ව සිටි බව යි. මෙම මානවයන් දඩයම් කළ සතුන් අතර ප‍්‍රමුඛත්වය ගෙන ඇත්තේ මිනිසාගේ ළඟම නෑදෑයා වූ වඳුරා ය. ඊට අමතරව අලි පැටව්, ගවරා (වඳවී ගිය සතෙකි), කුළුමීමා, ඌරා, ගෝනා, මීමින්නා, ඉත්තෑවා, හාවා, වලිකුකුළා, හබන් කුකුළා ආදී සතුන් ද සර්පයන් හා මත්ස්‍ය වර්ගද ඔවුන්ගේ ආහාරය බවට පත්ව තිබුණා. තවත් ප‍්‍රධාන ආහාරයක් වූයේ ගස් ගොළුබෙල්ලන් ය.

විශාල ම ලෙන පාහියංගල

පාහියංලෙන – සමන්ත ප්‍රදීප්

කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්දුන් කෝරළයේ පිහිටි පාහියංගලට බුලත්සිංහල අතුර හන්දියෙන් හැරී යටගම්පිටිය ගම්මානයට ගමන් කිරීමෙන් ළඟාවිය හැකියි. බුලත්සිංහල සිට කි. මී. 8ක් පමණ දුරින් එය පිහිටා තිබෙනවා.  ලෙන පිහිටා ඇත්තේ අඩි 400ක් පමණ ඉහළ කඳු බෑවුමේය. ලෙන පාමුල භූමියේ නූතන විහාර සංඝාවාසය සහ පිරිවෙන් ගොඩනැගිලි පිහිටා තිබෙනවා.

ලෙන් දොරෙහි පළල අඩි 270ක් පමණ වන අතර උස අඩි 150ක්. විවරයේ සිට ලෙනෙහි ඇතුළට මුළු දිග අඩි 280ක්. ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ලෙන වශයෙන් පාහියංගල ප්‍රකටයි.

මෙම ලෙන වෙත පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ 1986දීයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආචාර්ය ශිරාන් දැරණියගලගේ අධීක්ෂණයෙන් එහි කැණීම් ඇරඹුණා. එහිදී ලැබුණු අවුරුදු 25,000ක අතීතයකට අයත් ක්ෂුද්‍ර ශිලා මෙවලම්, ආසියාවෙන් ලැබුණු නවීන මානවයාගේ පැරුණිම හිස් කබල් ශේෂ (අවුරුදු 31,000ක් පැරුණි) වැදගත් සාධක වුණා.

වර්ෂ 2012දී පාහියංගල ලෙනෙහි නැවත කැණීම් ආරම්භ කළේ ආචාර්ය ශිරාන් දැරණියගලගේ උපදේශකත්වයෙන් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්ෂණයෙන්. එහිදී කළ කාල නිර්ණ අනුව මෙහි අවසාන පස් තට්ටුව වසර 48,000-43,000 දක්වා පැරණි බව හෙළි වුණා. ප්‍රථම වරට සම්පූර්ණ මානව ඇටසැකිල්ලක් හමුවීමද එහි වැදගත්කම ඉහළ නැංවුණා. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය කළ කාල නිර්ණ අනුව එම ඇටසැකිල්ලේ වයස අවුරුදු 10,000 – 12,000 අතරට අයත්.

කාලගුණ කැළඹීම හමුවේ පාහියංගල කන්දේ කොටසක් පසුගිය ජුනි මස නායගොස් 23කගේ ජීවිත විනාශ වුණා. ජාත්‍යන්තර පුරාවිද්‍යා ස්ථාන අතර ද ඉහළම වැදගත්කමක් හිමිකර ගන්නා පාහියංලෙනත් නායයාමේ අවදානමට ලක්ව තිබෙනවා. විහාරයේ වැඩවිසූ භික්ෂූන් වහන්සේටද ආරක්ෂිත ස්ථාන කරා යාමට සිදුවෙලා.

පනාන

පනාන ගම්මානය -කුසුම්සිරි විජයවර්ධන

බලංගොඩ කල්තොට මාර්ගයේ කි. මී. 25ක් දුරින් කල්තොට ආසන්නයේ පනාන ගම්මානය පිහිටා තිබෙනවා. ගම පසුබිමෙන් ඉහළ නගින්නේ පනන් කන්දයි. හෙල්මලු ක්‍රමයට සැකසූ කෙත්යායන්, ඇළ දොළ වන වදුලු පිහිටි පනාන ගම්මානයේ පැරණි ගැමි සිරිය තවමත් දැකගත හැකියි. පනාන ගමේ සිට කි. මී. එකහමාරක් අඩිපාරක ගමන් කිරීමෙන් කැණීම් කළ පරගහචඩිත්ත ලෙනට ළඟාවිය හැකියි. වර්ෂ 2016 දී මෙහි කැණීම් කළේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක්.

පනාන ලෙනෙහි කැණීම් – කුසුම්සිරි විජයවර්ධන

අදින් වසර පන්දහස් පන්සියයකට පෙර එදා ගල් ලෙන් තුළ ජීවත් වූ දඩයක්කාර මානව ප්‍රජාව  භාවිතා කළ සත්ත්ව ඇති කැබලි වලින් නිෂ්පාදනය කළ පුරා වස්තු මින් හමුවුණා. මෙම කැණීම් වලදී සත්ත්ව ඇට කැබලි වලින්  නිෂ්පාදනය කළ ගෙල පලඳනා, ඊට අමතරව ගල් වලින් නිෂ්පාදනය කළ මැද සිදුරක් ඇති කවයක්, දඩක්කාර මානව ප්‍රජාවගේ දත් දෙකක්  ඇතුළු පුරා වස්තු රැසක්  හමු වී තිබෙනවා.

බටතොට ලෙන

බටතොට ලෙනෙහි බුදුමැදුර Wikipedia.org

කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටතොට ලෙනට යාමට එරත්න පාරෙන් හැරී ශ්‍රීපාද මාර්ගයේ කි. මී10 ක් පමණ ගමන් කළ යුතුයි. මුහුදු මට්ටමේ සිට මීටර 700ක් පමණ උසකින් ඉතා සොඳුරු කඳුකර වටපිටාවක මේ ලෙන පිහිටා තිබෙනවා. ලෙන පහළින් වන වදුලු මැදින් ගලායන්නේ කුරු ගඟයි. ගම්මාන මැදින් ඇදී යන අතුරු මාර්ගයක පියමං කර කඳු නැග්මකින් පසු ලෙනට ළගාවීමට පුළුවන්.  මෙහි සිට සමනල කන්දේ අලංකාර දර්ශනයක් දැක ගත හැකියි. මෙහි 1940 දශකයේ දී ආචාර්ය පී. ඊ. පී. දැරණියගල විසින් කැණීම් කර බලංගොඩ මානව සාධක සොයාගත්තා. නමුත් පසුව මෙම ලෙන විහාරයක් බවට පත්කිරීම නිසා පුරාවිද්‍යාත්මක සාධක විනාශ වෙලා. මෙම ලෙන දිවා ගුහාව වශයෙන් සමහරු විශ්වාස කරනවා.

අලවල

අලවල ලෙන Serendib.btoptions.lk

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ අත්තනගල්ලට ආසන්නව පිහිටා තිබෙන අලවල ගල්ලෙන පහතරට තෙත් කලාපයට අයත් ලෙනක්‌. මේ ගල් ලෙනේ වර්ෂ 2008-2009 කාලයේ කැණීම් කළ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි අදිකාරි ඇතුළු පිරිසට ජනාවාස පස්‌ තට්‌ටු කිහිපයක්‌ හඳුනා ගැනීමට හැකි වුණා. මේ පස්‌ තට්‌ටු අදින් වසර 12,000 සිට 8,000 දක්‌වා කාල පරාසයකට අයත් වෙනවා. ලෙනට නුදුරින් අලවල ලෙන් විහාරය ද පිහිටා තිබෙනවා.මින් හමුවූ මානව අස්‌ථි ශේෂ අතර හිස්‌ කබලේ කොටස්‌ 26ක්‌ හඳුනා ගැනීමට හැකි වුණා. මෙයට අමතරව ලෙහෙල්ලා, මස්‌පෙතියා, අංකුට්‌ටා, හුංගා, මගුරා වැනි මත්ස්‍යයන් ගේ අස්‌ථි කැබැලි රැසක්‌ ද දඩයම් කළ සත්ත්ව විශේෂ රැසක ගේ අස්‌ථි කොටස්‌ ද හමු වුණා. හමුවූ සත්ත්ව විශේෂ අතර වඳුරන්, වැලි මුවන්, මී මින්නන්, වල් ඌරන් ද සිටිනවා.

Related Articles