තේ කර්මාන්තයේ එදා, අද සහ හෙට දවස ?

ලංකාව ලෝකයට ප්‍රධාන වෙන්නෙ විශේෂ කරුණු දෙකක් නිසා. එකක් තමයි ක්‍රිකට්. අනිත් එක තමයි ‘තේ’. ක්‍රිකට් ගැන ඇති තරම් කතා බහ කෙරෙන හින්දා අපි හිතුවා තේ ගැන කතා කරන්න. පසුගිය දවසක තේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පවා ඇති වුණා. නමුත් ඒක දැන් සමථයකට පත් වෙලා තිබෙන්නෙ. කොහොම වුණත් තේ කර්මාන්තය තුළ නොයෙක් ප්‍රශ්න රාශියක් මතු වෙලා තිබෙනවා. ඉතින් තේ කර්මාන්තයේ ඉතිහාසය වගේම වර්තමාන තත්ත්වය ගැන කෙටියෙන් සාකච්ඡා කිරීමයි මේ සටහනේ මූලික අරමුණ.

තේ වගාවේ ඉතිහාසය

‘තේ’ පැළෑටියේ විද්‍යාත්මක නාමය තමයි කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) (Camellia sinensis).  මේක ඉන්දියාවට ආවේණික වූ ශාකයක්.  හිමාල කඳුවැටිය පාමුල ‘ඇසෑම්’ නැමැති පළාතේ වනාන්තරවල තමයි මුලින්ම ‘තේ’ වැවිලා තිබෙන්නෙ. ‘තේ’ පානයක් බවට මුලින්ම සොයාගෙන තිබෙන්නෙ චීනය විසින්. ‘තේ’යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයකින්. ඒ තමයි ‘ටේ'(Te)යන ශබ්දාර්ථය. (චීනයේ තේ හඳුන්වන්නෙ  ‘චා’ කියලා.  රුසියාවේ මිනිස්සු තේ වලට කියන්නෙ ‘චායි’ කියලා.)

මහා පරිමාණයෙන් මුල් වරට තේ අලෙවි කරලා තිබෙන්නෙ ලන්දේසි ජාතිකයන් කියලා තමයි කියන්නෙ. ෆිජි දූපත ලන්දේසීන්ගේ යටත් විජිතයක් බවට පත් වී තිබුණු වකවාණුවේදි තමයි ඒක සිද්ධ වෙලා තිබෙන්නෙ. ෆිජි දූපත කියන්නෙ තේ වගා කෙරුණු දූපතක්. ඒ  දූපත කාලයක් ලන්දේසින්ගේ යටත් විජිතයක්ව තිබුණා. අන්න ඒ කාලයේදී ඔවුන් මුදල් ඉපයීම ඉලක්ක කර ගනිමින් තේ අලෙවි කළා.

ලංකාවේ වාණිජ තේ කර්මාන්තය ආරම්භ වීම

ලංකාවට මුල්ම තේ බීජ ගෙනාවෙ 1824 වර්ෂයෙදි.  ලංකා‍වට දෙවන වතාවේදී තේ බීජ නැවත ගෙනැවිත් තිබෙන්නේ  1839 වර්ෂයදි. මෙම අවස්ථා  දෙකේදීම ලංකාවට තේ පැළෑටි ගෙනැවිත් තිබෙන්නේ වගා කිරීමේ අරමුණකින් නම් නෙමෙයි. එහෙම ගෙනාපු බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විශේෂ පැළෑටියක් වශයෙන් පමණයි ප්‍රදර්ශනය කරළා තිබෙන්නෙ. ජේම්ස් ටේලර්  තමයි ලංකාවෙ මුල් වරට වානිජ තේ වගාවක් ආරම්භ කළේ. ඒ 1860 අවුරුද්දෙ. ලංකාවේ වාණිජ තේ වගාවේ මූලිකයා විදියට තමයි ජේම්ස් ටේලර් සැලකෙන්නෙ. ඔහු මුල් වතාවට මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ලූල්කඳුර වතුයායේ තමයි වාණිජමය විදියට තේ වගා කරලා තිබෙන්නෙ. ඒ වගාව අක්කර 100ක වපසරියක් පුරා පැතිරී තිබුණා කියලා තමයි කියන්නෙ.

ඊට පස්සෙ තේ වගාව ව්‍යාප්ත වීම ආරම්භ වුණේ, ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමත් එක්ක. එතැන් සිට ඔවුන් විසින් තේ වගාව රට තුළ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් සියලු මැදිහත්වීම් කළා. තේ කර්මාන්තයට අදාලව මහා මාර්ග, දුම්රිය මාර්ග වගේ යටිතල පහසුකම් පවා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව තුළ ඇති කළා.  එක්දහස් නවසිය හතලිස් අටේ ලංකාවට නිදහස ලැබුණට පස්සෙ මෙරට ප‍්‍රධාන ආර්ථික භෝග වශයෙන් හැඳින්වුණු තේ, රබර්, පොල් යන ආර්ථික භෝග අතරින් ලාංකීය තේ සඳහා ලෝක වෙළෙඳපොළ තුළ  ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වුණා. පසුකාලීනව ලංකාවෙ තේ සිලෝන් ටී කියන කීර්ති නාමයෙන් පවා පිදුම් ලැබුවා.

‘සිලෝන් ටී’ කීර්ති නාමය ලංකාවට ලැබුණෙ ඇයි ?

ලෝකයේ ප‍්‍රධානතම කළු තේ නිෂ්පාදකයා වශයෙන් ‘සිලෝන් ටී’ නම ප‍්‍රචලිත වීමට හේතු වෙලා තිබෙන්නෙ අපේ රට තුළ පවතින දේශගුණික විවිධත්වය සහ පසෙහි ඇති පී.එච්. අගය, වාතයේ ආර්ද්‍රතාවය, සුළඟ වැනි කාරණා නිසා. ඔන්න ඔය දේවල් තේ වගාවෙහි ගුණාත්මකභාවය සහ රස කෙරෙහි දැඩි බලපෑමක් කරනවා.  රසයෙන් එකිනෙකට වෙනස් වූ තේ නිෂ්පාදන 14ක් වැනි ප‍්‍රමාණයක් මෙරට පවතින පාරිසරික විවිධත්වය අනුව නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ තිබෙන ව්‍යාපාරික වැවිලි කර්මාන්ත අතුරින් මුල් ස්ථානය හිමි වෙන්නෙත් තේ වගාවට. නුවර එළිය, මහනුවර, තලවාකැළේ, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, මොණරාගල, කුරුණෑගල, බදුල්ල, කෑගල්ල සහ හම්බන්තොට යන ප්‍රදේශ වල තමයි දැනට තේ වගා කෙරෙන්නෙ.  මේ වෙනකොට අපේ රටේ සමස්ත තේ වගා බිම් ප්‍රමාණය( 2015 වන විට) හෙක්ටෙයාර 202.4 ක්.  වර්තමානය වෙන කොට උඩරට මහා පරිමාණ තේ වතු අභිබවා යමින් ලාංකීය තේ නිෂ්පාදනයෙහි වැඩි කොටසක් නියෝජනය කරන්නෙ මැද රට සහ පහත රට කුඩා පරිමාණ තේ වතු හිමියන් විසින්. ඒක සමස්ත ලාංකීය තේ නිෂ්පාදනයෙන් සියයට 70 ක ප‍්‍රතිශතයක්.

ලංකාවේ තේ අපනයනය

එක්දහස් නවසිය අසූව අනූව කාලවකවාණුවෙදි ලංකාව තමයි  ලෝකයේ ප්‍රධාන තේ අපනයනකරුවා වුණේ. ඒ කාලෙ අපි  ලෝක වෙළඳපලේ තේ අපනයනයෙන් සියයට විසි එකක් (21%) සපයනු ලැබුවා. 1990 වර්ෂයේදී ලංකාව තේ අපනයනයේ වාර්තාගත සටහනක් පවා තැබුවා. ඒ තමයි එම වර්ෂයේදී ලංකාව තේ කිලෝ ග්‍රෑම් මිලියන 215.6ක් අපනයනය කරමින් ලොව අධිකතම තේ ප්‍රමාණය අපනයනය කළ රට බවට පත් වීම. එය විශාලතම තේ නිෂ්පාදකයා වන ඉන්දියාව පවා අභිබවා යාමක්.   නමුත් අද ඉන්දියාව, කෙන්යාව, බුරුමය ආර්ජන්ට්නාව, බ්‍රසීලය වැනි රටවල් ඉතා හොඳ තේ සමඟ තේ වෙළඳපල ආක්‍රමණය කරමින් සිටිනවා. කෙන්යාව අද ලෝක වෙළඳපලේ ප්‍රධාන සැපයුම්කරුවා බවට පත්ව තිබෙනවා. ඒ නිසා ලංකාවට ලෝක වෙළඳපලේ අනෙකුත් රටවල් සමග තරඟ කිරීමට සිදුවෙලා තිබෙනවා.  මේ නිසා ලංකාවට සිද්ධ වෙලා තිබෙනවා අගය වැඩිකරන ලද තේ අපනයනය සඳහා යොමු වෙන්න.

ලංකාවෙන් තේ මිලදී ගන්නා රටවල් අතර මැදපෙරදිග රටවල්, යුරෝපීය රටවල් සහ අනෙකුත් කාර්මික රටවල් කිහිපයක් තිබෙනවා. ඒ රටවල් අතර ඉරානය, කුවේට්, සවුදි අරාබිය, යේමනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, එංගලන්තය , ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය , ඇෆ්ගනිස්ථානය, චිලී, හොංකොං, පකිස්ථානය, තුර්කිය යන රටවල් ප්‍රධානයි. ලංකාව ලෝක වෙඳපොලට විවිධාකාර තේ වර්ග නිෂ්පාදනය කරනවා. එහිදී තේ වලට එක් එක් රටවලින් ඇති ඉල්ලුම විවිධාකාරයි.  පකිස්ථානය, ජපානය, මොරොක්කෝ වගේ රටවල් වලට යවන්නෙ හරිත තේ. කළු තේ වැඩිපුර යවන්නෙ මැදපෙරදිග රටවල් වලට. ලොව පුරා රටවල් 144 ක් වැනි විශාල සංඛ්‍යාවකට මෙරට තේ නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාවක් අපට තිබෙනවා.  සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 23 ක ප‍්‍රතිශතයක් එනම්, හතරෙන් තුනකට ආසන්න ප‍්‍රමාණයක් මිල දී ගනු ලබන්නෙ මෙරට කළු තේ වලට ඉමහත් කැමැත්තක් දක්වනු ලබන රුසියාව විසින්.   2015 වර්ෂයේදි ලංකාවෙ තේ අපනයන ආදායම රුපියල් බිලියන 182.05 ක්.

රුසියාව අපේ තේ තහනම් කළේ ඇයි ?

‘කප්රා බීට්ල්’ නම් කුරුමිණි කීටයකු හමුවීම නිසා පසුගියදා අපේ තේ නිෂ්පාදන මිලදී ගැනීම රුසියාව විසින් ප්‍රතික්ෂේප කළා. මේක එවැනි සිදුවීමක් වෙච්ච පළවෙනි අවස්ථාව නම් නෙමෙයි. මීට පෙරත්  රුසියාවට අපනයනය කරපු තේ ඇසුරුම්වල කැරපොත්තෙකු , කාන්තාවකගේ කරාබු කොටසක් සහ මාලයක කොටසක් හමු වෙලා තිබෙන බව වාර්තා වෙනවා. තව වතාවක් රුසියාවට යවපු තේ තොග වශයෙන් පුස් බැඳී තිබුණා කියලත් වාර්තා වුණා.  කෙසේ වෙතත් සිලෝන් ටී කීර්ති නාමය හිමි අපේ තේ රුසියාව විසින් තහනම් කිරීම විශාල කැළලක්. ඇත්තටම මේ ප්‍රශ්නයට වග කිව යුත්තෙ කව්ද ? මේ ප්‍රශ්නයට වගකිව යුත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය යි.

තේ මණ්ඩලය වගකිව යුත්තේ ඇයි ?

මොකද තේ මණ්ඩලයට ( Tea Board)  පැවරී තිබෙන වගකීමක් ඒක. තේ සඳහා වෙළෙඳපොළ සොයා ගැනීම, මෙරට තේ නිෂ්පාදනයන්හි ප‍්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වීම, තේ කර්මාන්තයට අදාළව නිර්මාණය වන නීති විරෝධී තත්ත්වයන් පිළිබඳව කරුණු සෙවීම ආදී වගකීම් රැසක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වන ශී‍්‍ර ලංකා තේ මණ්ඩලයට පැවරී තිබෙනවා. ජාතික තේ කර්මාන්තය සංවර්ධනය කිරීම, නියාමනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීමත් තේ මණ්ඩලයට පැවරෙන මූලික කාර්යභාරයන්.  ඒ නිසා තේ මණ්ඩලයට මේ වගකීමෙන් මිදෙන්නට බැහැ. මොකද තේ කර්මාන්තයේ අග්‍රස්ථ ආයතනය වශයෙන් තමයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය කටයුතු කරන්නෙ. නමුත් අද වෙනකොට මේ ආයතනය අකර්මණ්‍ය තත්ත්වයකට පත්වෙලා.

තේ කර්මාන්ත ශාලාවක යන්ත්‍රයක ඡායාරූපයක්.

සෙස් බද්දේ ප්‍රශ්නය

මේ ආයතන අකර්මණ්‍ය වෙන්න බලපාලා තිබෙන ප්‍රධාන හේතුවක් තමයි සෙස් බද්ද තේ මණ්ඩලයට ලබා නොදීම. සෙස් බද්ද කියලා කියන්නෙ මෙරටින් අපනයනය කරනු ලබන සෑම තේ කිලෝවකින්ම අය කරනු ලබන බද්දට. ඔය බදු අය කිරීම ආරම්භ වුණේ එක්දහස් නවසිය අසූ ගණන් වල. අනූ හත අනූ අට කාලෙ වෙනකොට අපනයනය කරන සෑම තේ කිලෝවකින්ම 13.5 ක සෙස් බද්දක් අය කළා. ඒ සෙස් බදු මුදල සම්පූර්ණයෙන් ම තේ මණ්ඩලයට ලබා දුන්නා. ඒ හරහා තමයි තේ මණ්ඩලය ඇතුළු ආයතන නඩත්තු වුණේ. නමුත් දෙදහා වසරෙදි මේ සෙස් බද්ද තේ මණ්ඩලයට සෘජුව ලබා නොදීමට තීරණය වුණා. දැන් සෙස් බද්ද යන්නෙ ඒකාබද්ධ අරමුදලට. එතනින් පොඩි මුදලක් ආපසු තේ මණ්ඩලයට ලැබෙනවා තමයි. නමුත් එම මුදල තේ මණ්ඩලය සහ ඒ ආයතන නඩත්තු කරන්න ප්‍රමාණවත් නැහැ. මේ නිසා තේ මණ්ඩලය අද අකර්මණ්‍ය වෙලා තිබෙනවා.   මේ නිසා මෙම කර්මාන්තය සඳහා ආයතනික වශයෙන් සිදු කළ හැකි මැදිහත් වීම්, පර්යේෂණ ආදී කටයුතු මේ වන විට මුළුමනින්ම අකර්මණ්‍ය වෙලා තිබෙනවා. එම ආයතන වල සේවයේ නියුතුව සිටි විද්‍යාඥයින් පර්යේෂකයන් මෙන්ම කර්මාන්තය පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇත්තන් බොහෝ දෙනෙකු මේ වන විට එම ආයතන හැර ගිහිල්ලා කියලත් වාර්තා වෙනවා.

කසළ තේ ජාවාරම

ඊළඟට අපිට බලපාලා තිබෙන තව ප්‍රශ්නයක් තමයි කසළ තේ ජාවාරම. වෙනත් රටවලින් බාල තේ වර්ග ගෙනැල්ලා අපේ තේ සමග මිශ‍්‍ර කරලා ප‍්‍රතිඅපනයනය කරනවා. ඒකට තමයි කසළ තේ ජාවාරම කියලා කියන්නෙ. කසළ තේ මිශ‍්‍ර කිරීමේ ජාවාරම බහුල වශයෙන් කි‍්‍රයාත්මක වන බවට මෙයට පෙර අවස්ථා ගණනාවක දී තොරතුරු හෙළිදරවු වුණා. ඉතින් කසළ තේ ජාවාරමත් අපේ තේ වල ගුණාත්මකභාවයට මරු පහරක් වෙලා තිබෙනවා.

තේ කර්මාන්තය සහ නිෂ්පාදනය යාවත්කාලීන නොවීම

කෙසේ වෙතත් වසර එකසිය පණහක තේ නිෂ්පාදනය පිළිබඳ ඉතිහාසයක් තිබෙන අපි තවමත් ගත කරමින් සිටින්නෙ තේ කර්මාන්තයේ ප‍්‍රාථමික අවධියෙ. මොකද තවමත් අපි අපනයනය කරන්නෙ තේ අමුද්‍රව්‍යයක් වශයෙන් පමණයි. අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් විවිධ රසයන්, හැඩයන් එකතු කිරීම මෙන්ම තේ ආශ‍්‍රයෙන් නිෂ්පාදනය කළ හැකි  නව නිෂ්පාදන වලට අපි යොමු වෙලා නැහැ. කෙටියෙන්ම කියනවානම් ලෝක වෙළඳපළේ අවශ්‍යතාවය  අනුව අපි යාවත්කාලීන වෙලා නැහැ. උදාහරණයක් විදියට බිස්කට්, යෝගට් වැනි නිෂ්පාදන සඳහා අපිට යොමු වෙන්න පුළුවන්. අපිට ලෝක වෙළඳපළත් එක්ක තරග කරන්න නම් රෙඩිමේඩ් ටී වැනි නිෂ්පාදන වලට යන්න වෙනවා. මොකද දැන් ලෝකය ඉල්ලන්නෙ ක්ෂණික දේවල්.

දැනට එවැනි කාර්යයන් වල නිරත වෙමින් ඉන්නෙ මෙරට තේ කර්මාන්තයේ නියැළෙන පෞද්ගලික සමාගම් කිහිපයක් පමණයි. නමුත් මේ  ආයතන නියාමනය කිරීමට පවා රජය මැදිහත් වෙන්නෙ ඉතාම අඩුවෙන්. ඒ අනුව අපගේ තේ කර්මාන්තය මේ වන විට රැඳී තිබෙන්නෙ පෞද්ගලික සමාගම්, වෙන්දේසිකරුවන් වැනි බාහිර පුද්ගලයන් කිහිප දෙනෙක් අතේ.  ඉතින් මේක තේ කර්මාන්තය ට අනතුරුදායක සහ භයානක තත්ත්වයක්.

(සියළු ඡායාරූප උපුටා ගැනීම – ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වෙබ් අඩවියෙනි)

Related Articles