Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සතුන් වෙනුවෙන් වෙනස් වූ ‘ලෙකෝස්ට්’ වෙළඳ ලකුණ

ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවුණත් ලෝක ප්‍රකට රෙදිපිළි වෙළඳ ලකුණක් ලෙස ‘ලෙකෝස්ට්’ හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවෙයි. ‘කිඹුලා’ යන විරුදාවලිය ලද ප්‍රංශ ටෙනිස් ශූරයෙකු වූ රෙනේ ලෙකෝස්ට් සහ අන්ද්‍රේ ගිලියර් විසින් 1933 වර්ෂයේ දී ආරම්භ කරන ලද එය දැනට ප්‍රංශයේ පවතින ගොතන ලද ඇඳුම් නිෂ්පාදනය කිරීම සඳහා වන දැවැන්ත සමාගමක්. සපත්තු, සුවඳ විලවුන්, සම් නිෂ්පාදන සහ අත් ඔරලෝසු වැනි නිෂ්පාදිත රැසක් ම ඔවුන් අලෙවි කළ ද ‘ලෙකෝස්ට්’ සමාගම ලෝකය පුරා වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ටෙනිස් ක්‍රීඩාවේ දී යොදා ගන්නා කරපටියක් සහිත ටී-ෂර්ට් හෙවත් ‘පෝලෝ කමිස’ නිපදවීම සඳහා යි.

© Wikimedia Commons

නමුත් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් බිලියන කිහිපයක වටිනාකමින් යුක්ත ‘ලෙකෝස්ට්’ වෙළඳ ලකුණ වෙනුවට අලුත් වෙළඳ ලකුණු කිහිපයක් හඳුන්වා දීමට ‘ලෙකෝස්ට්’ සමාගම කටයුතු කර තිබුණා. ඒ වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සතුන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන්. ඒ අනුව ‘Save Our Species’ නම් ව්‍යාපාරයේ වැඩපිළිවෙළක් ලෙස වඳ වී යාමේ වර්ජනයට ලක් වූ සතුන් දස දෙනෙකුගේ රුව ඇතුළත් කරන ලද වෙළඳ ලකුණු සහිත ගණනින් 1,775 ක් තරම් වන සීමිත පෝලෝ කමිස ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට ‘ලෙකෝස්ට්’ සමගම කටයුතු කළා. ගෙවී ගිය මාර්තු 1 වැනි දින ඒවා එළි දක්වන ලද්දේ පැරිස් විලාසිතා සතිය අතරතුර දී යි.

කිඹුල් රුව රැගත් ‘ලෙකෝස්ට්’ වෙළඳ ලකුණ

© Wikimedia Commons

විලාසිතා සහ ඇඟලුම් කර්මාන්තය තුළ වඩාත් ජනප්‍රිය සහ පහසුවෙන් හඳුනාගත හැකි වෙළඳ ලකුණක් වන ‘ලෙකෝස්ට්’ වෙළඳ ලකුණ නිරූපණය කරන්නේ අඳුරු කොළ පැහැ කිඹුලෙකුගේ රුවක්. ‘ලෙකෝස්ට්’ සමාගම එවැනි අසාමාන්‍ය වෙළඳ ලකුණක් යොදා ගැනීම පිටුපස සැඟ වී ඇති කථාන්තරය ද අපූරු යි.

‘ලෙකෝස්ට්’ සමාගම ආරම්භ කරන ලද රෙනේ ලෙකෝස්ට් නම් ප්‍රංශ ටෙනිස් ශූරයාට ‘කිඹුලා’ යන නාමය ලබා දී ඇත්තේ ඇමෙරිකානු පුවත්පත් විසින්. ප්‍රංශ ඩේවිස් කුසලාන ටෙනිස් කණ්ඩායමේ නායකයා, රෙනේ ලෙකෝස්ට් සමග ටෙනිස් ක්‍රීඩාවක ජය ලබා ගැනීම ගැන ඔට්ටු අල්ලා ඇති අතර එය ජය ගතහොත් කිඹුල් සමින් නිම වන ලද අලංකාර සූට්කේසයක් තෑගි කිරීමට පොරොන්දු වී තිබෙනවා. එහි ජයග්‍රහණය රෙනේ ලෙකෝස්ට් හිමි වී ඇති අතර ඉන් පසු ව ඔහු ව හඳුන්වා ඇත්තේ ‘කිඹුලා’ යන නාමයෙන්.

(© Agence De Presse Meurisse)
රෙනේ ලෙකෝස්ට්

පසු කාලීන ව ඔහුගේ මිතුරෙකු වූ රොබට් ජෝර්ජ්, රෙනේ ලෙකෝස්ට් වෙනුවෙන් රතු, කොළ සහ සුදු පැහැයන් මිශ්‍ර කිඹුල් රැවක් සහිත ලාංඡනයක් නිර්මාණය කර ඇති අතර ඔහු සහභාගී වූ සෑම තරඟයක දී  රෙනේ ලෙකෝස්ට් භාවිතා කර ඇත්තේ එම ලාංඡනය සහිත කමිස සහ පිට කබා යි. ඒ අනුව යමින් ඔහු විසින් නිර්මාණය කරන ලද සමාගම සඳහා කිඹුල් රුවක් සහිත වෙළඳ ලකුණක් භාවිතා කිරීමට ඔහු තීරණය කර ඇති බවට සැකයක් නැහැ.

වඳ වී යාමේ තර්ජනය ලක් වූ සතුන් වෙනුවෙන් වෙනස් වූ ලෙකෝස්ට්

නුදුරු අනාගතයේ දී මිහිතලයෙන් සදහට ම වඳ වී යාමේ තර්ජනයට ලක් වූ සතුන් වෙනුවෙන් හඬ නැගීමට ‘ලෙකෝස්ට්’ සමාගම, පරිසර සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය (International Union for Conservation of Nature හෙවත් IUCN) සමග අත්වැල් බැඳ ගත්තා. කිඹුල් රුවක් සහිත ‘ලෙකෝස්ට්’ වෙළඳ ලකුණ තාවකාලික ව වෙනස් වුණේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.

© Lacoste

සීමිත සංස්කරණයක් ලෙස නිකුත් වූ අලුත් වෙළඳ ලකුණු සහිත ‘ලෙකෝස්ට්’ පෝලෝ කමිස, එළි දක්වන ලද දිනයේ දී ම අලෙවි වී තිබෙනවා. එසේ ම නිෂ්පාදනය කළ යුතු කමිස ප්‍රමාණය තීරණය කර ඇත්තේ වෙළඳ ලකුණ සඳහා යොදා ගන්නා ලද සත්ත්ව විශේෂයන්ගෙන් දැනට මිහිමත ඉතිරි වී ඇති සමස්ත සත්ත්ව ගහනයේ එකතුව යි. ඒ අනුව වඳ වී යාමේ තර්ජනය ලක් වූ සත්ත්ව විශේෂ 10 ක් වෙනුවන් කමිස 1,775 ක් නිපදවීමට ‘ලෙකෝස්ට්’ සමාගම කටයුතු කර තිබුණා.

(1) කැලිෆෝනියා බොක්කේ මුහුදු ඌරා

නොගැඹුරු ජලයේ තනි ව වාසය කිරීම ප්‍රිය කරන කැලිෆෝනියා බොක්කේ මුහුදු ඌරා ප්‍රමාණයෙන් මීටර් බාගයක් සහ බරින් කිලෝග්‍රෑම් 48 ක් පමණ වන සාගර ක්ෂීරපායී සත්ත්වයෙක්. මත්ස්‍ය දැල්වල පැටලීම හේතුවෙන් මිහිමතින් වඳ වී යන ඔවුන් දැනට ඉතිරි ව ඇත්තේ 30 දෙනෙකු පමණ යි.

(2) බුරුමයේ බැටගුවර් කැස්බෑවා

© Philbert Charles Berjeau

මිරිදියේ වාසය කරන දීප්තිමත් පැහැයෙන් යුතු බුරුමයේ බැටගුවර් කැස්බෑවුන් දැනට ඉතිරි ව ඇත්තේ 40 දෙනෙකු පමණක් වන අතර එයට හේතු වී ඇත්තේ මිනිස් පරිභෝජනය සඳහා ඔවුන්ගේ බිත්තර විශාල වශයෙන් යොදා ගැනීම යි.

(3) උතුරුකරයේ ලෙපිලීමර්

දැනට ගණනින් 50 ක් පමණක් ඉතිරි වී ඇති උතුරුකරයේ ලෙපිලීමර් ප්‍රමාණයෙන් සෙන්ටීමීටර් 50 ක් පමණ උස කුඩා වඳුරු විශේෂයක්. කෘෂිකාර්මික කටයුතු සඳහා බහුල වශයෙන් සිදු කරන වනාන්තර කපා දැමීම හේතුවෙන් මැඩගස්කරයේ උතුරු සීමාවේ පිහිටා ඇති වනාන්තරයන් හි වසන ඔවුන්ට ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන අහිමි වී තිබෙනවා.

(4) සොන්ඩ් හි රයිනෝසිරස්

© Katie Steel

ඉන්දුනීසියාවේ නිවර්තන වැසි වනාන්තරයන් හි පමණක් වාසය කරන සොන්ඩ් හි රයිනෝසිරස් සතුන් දැනට ඉතිරි වී ඇත්තේ 67 ක් පමණ යි.

(5) කෝ-විත් හි ගිබන්

ලොව දුර්ලභ වඳුරු විශේෂයක් වන කෝ-විත් හි ගිබන් වාසය කරන්නේ චීන-වියට්නාම් දේශ සීමාවේ පිහිටා ඇති වනාන්තරවල යි. වන විනාශය හේතුවෙන් වඳ වී යාමේ තර්ජනය ලක් වී ඇති ඔවුන්ගේ ප්‍රමාණය මේ වන විට 150 කට සීමා වී තිබෙනවා.

(6) කැකපෝ ගිරවා

© Chris Birmingham

ලොව සමස්ත කැකපෝ ගිරවුන් සංඛ්‍යාව 157 ක් වන අතර ඔවුන් වාසය කරන්නේ නවසීලන්තයේ යි. අඳුරු කොළ පැහැ සිරුරක් සහ කහ-දුඹුරු පිහාටු හිමි ඔවුන් නිශාචාර ගිරවුන් විශේෂයක්.

(7) කැලිෆෝනියා කොන්ඩෝ

ඇමෙරිකාවේ දී දැක ගැනීමට ලැබෙන විශාලත ම පක්ෂියා වන කැලිෆෝනියා කොන්ඩෝ, ප්‍රමාණයෙන් මීටර් 3 කට ආසන්න වෙනවා. රතු හෝ තැඹිලි පැහැ හිසක් සහ කළු පැහැ පියාපත් සහිත ඔවුන්ගේ සමස්ත ගහනය 231 කට සීමා වී ඇත්තේ පරිසර දූෂණය හේතුවෙන්.

(8) සරෝලා

වියට්නාමයේ සහ ලාඕසයේ කඳුකර ප්‍රදේශවල දී දැක ගැනීමට ලැබෙන සරෝලා සතුන්, ශාක් භක්ෂකයින් වන අතර තනි ව වාසය කිරීමට ප්‍රිය කරනවා. මේ වන විට මිහිමත ඉතිරි ව ඇත්තේ සරෝලා සතුන් 250 ක් පමණ යි.

© News Aktuell

(9) සුමත්‍රානු කොටියා

ඉන්දුනීසියාවේ වාසය කරන ගණනින් 350 ක් පමණක් වන සුමත්‍රානු කොටින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇත්තේ දිගින් දිගට ම සිදු වන වන විනාශය හේතුවෙන්. සාමාන්‍යයෙන් රාත්තල් 100 ක් පමණ බරින් යුතු ඔවුන් දිගින් මීටර් 2 ක් පමණ වෙනවා.

(10) ඇනෙගැඩා දූපත් හි සුළි කුණාටුව

ඇනෙගැඩා දූපත් හි සුළි කුණාටුව ලෙස හඳුන්වන ඉගුවානා විශේෂයෙන් දැනට ඉතිරි ව ඇත්තේ සතුන් 450 ක් පමණක් වන අතර ශාක භක්ෂකයින් වන ඔවුන් ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 60 ක් පමණ වෙනවා. ඔවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇත්තේ වන විනාශය නිසා ස්වභාවික වාසස්ථාන අහිමි වීම හේතුවෙන්.

කවරයේ පින්තූරය : © Trendland

Related Articles