Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘Changeling’ චිත්‍රපටයට පාදක වූ වෝල්ටර් කොලින්ස්ගේ අතුරුදහන් වීම

වෝල්ටර් කොලින්ස් යනු එක්සත් ජනපදයට අයත් ලොස් ඇන්ජලීස් හි ලින්කන් හයිට්ස් පෙදෙසේ ජීවත් වූ නව හැවිරිදි පිරිමි දරුවෙක්. ඔහු ගේ මව, ක්‍රිස්ටීන්, දුරකථන ක්‍රියාකාරිණියක් ලෙස සේවය කළ අතර, ඔවුන් බොහොම සාමකාමී ලෙස ජීවත් වුණා.

1928 මාර්තු 10 වැනිදා කාලගුණය යහපත් වූ බැවින්, කොලින්ස් ඇතුළු ළමයින් කිහිප දෙනෙක් එළිමහනේ ක්‍රීඩා කරමින් සිටියා. චිත්‍රපටයක් නැරඹීම සඳහා වෝල්ටර් සිය මව ගෙන් මුදල් ඉල්ලා සිටියේ මේ අතරතුර යි. ඉල්ලූ මුදල ලැබුණු පසු ඔහු වහා ම දිව ගියේ නිවස අසල ම පිහිටා තිබූ සිනමා ශාලාව වෙතට යි. අඳුර වැටෙමින් තිබුණත්, වෝල්ටර් නැවත පැමිණියේ නැහැ. වෝල්ටර් ගේ යහළුවන් ඒ වනවිටත් නිවෙස් වෙත පැමිණ සිටි බැවින්, ඒ නිවෙස් වෙත ගොස් වෝල්ටර් ගැන තොරතුරක් සෙවීමට ක්‍රිස්ටීන් උත්සහ කළා. නමුත්, කිසිවෙක් වෝල්ටර් දැක තිබුණේ නැහැ.

අඳුරු මතකයක් මැදින්..

ලින්කන් හයිට්ස් ප්‍රදේශය ඒ වනවිටත් කම්පන සහගත සිදුවීමකට මුහුණ දී තිබුණා. වෝල්ටර් අතුරුදහන් වීමට මාස තුනකට පෙර මැරියන් පාකර් නමැති 12 හැවිරිදි දරුවෙක් පැහැර ගෙන ගොස් තිබීම ඊට හේතුව යි. මුල දී කප්පම් ඉල්ලා සිදු කළ පැහැර ගැනීමක් මෙන් පෙනෙන්නට තිබුණත්, පසුව මැරියන් පාකර්ට දරුණු වද හිංසා පමුණුවා මරා දමා තිබුණා. එ

ය සිදු කර තිබුණේ “The Fox” යන අන්වර්ථ නාමය පටබැඳුණු විලියම් හික්මන්. මනෝ ව්‍යාධියකින් පෙළුණු හික්මන්, අත් අඩංගුවට ගත්ත ද සිදුවීමේ කම්පනය බොහෝ කලක් යනතුරු ලින්කන් හයිට්ස් හි වැසියන් අනර පැවතුණා.

ක්‍රිස්ටීන් කොලින්ස් – alonewithnature.medium.com

ක්‍රිස්ටීන්ට සිය දරුවාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදු වුණේ මේ අඳුරු මතකය ද සිහි තබා ගනිමින්. ඇය පොලිසියට පැමිණිලි කළ වහා ම විශාල අවධානයක් ඒ වෙත යොමු වුණා. වෝල්ටර් සොයා ගැනීමේ මෙහෙයුම දැවැන්ත මට්ටමකින් සංවිධානය කිරීමටත් පොලිසිය කටයුතු කළා.

සාධාරණ සැකයක සේයාවක්

අවාසනාවකට මෙන් සෝදිසි මෙහෙයුම සාර්ථක වූයේ නැහැ. මේ අතර සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රදේශයට උතුරින් වෝල්ටර් ගේ පෙනුමැති පිරිමි දරුවෙක් දුටු බව එක්තරා පුද්ගලයෙක් ප්‍රකාශ කර සිටියා. ඔහු ගේ සාක්ෂියට අනුව ග්ලෙන්ඩේල් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල වාහනයක වෝල්ටර් සිටින අයුරු ඔහු දැක තිබුණා. ඉන්ධන පිරවුම්හලේ හිමිකරු ලබාදුන් සාක්ෂි අනුව වාහනයේ රියදුරු ඉතාලි ජාතිකයෙක්යැ යි අනුමාන කළ හැකි විදේශිකයකු වූ අතර, ආගන්තුකයා සමඟ කාන්තාවක් සිටි බවත් ප්‍රකාශ කර සිටියා.

අතුරුදහන් වූ වෝල්ටර් කොලින්ස් – marcianosmx.com

මෙම සාක්ෂිය පැමිණි වහාම වෝල්ටර් කොලින්ස් පැහැරගෙන ඇති බව ක්‍රිස්ටීන් සහ පොලිසිය සැක පහළ කළා. ඊට හොඳ හේතුවකුත් ඔවුන් සතු ව තිබුණා. වෝල්ටර් ගේ පියා සන්නද්ධ මංකොල්ලකෑම් හේතුවෙන් සිරගත කර සිටි අතර, ඔහුට සතුරන් බොහෝ දෙනෙක් සිටි බැවින්, පළිගැනීමේ චේතනාව මත ඔහුගේ පුත්‍රයා පැහැරගෙන ඇතැයි අනුමාන කළා. කෙසේ නමුත්, එම සැකය තහවුරු කිරීමේ ප්‍රබල සාක්ෂියක් ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවට හමු වුණේ නැහැ.

වෝල්ටර් කොලින්ස් ගේ අතුරුදහන් වීමට ජාතික මට්ටමේ අවධානයක් ලැබුණේ මේ අතරතුර යි. එහි ප්‍රතිපලයක් ලෙස ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව වෙත විශාල මහජන පීඩනයක් එල්ල වූ අතර, සිය ගණනක් වාර්තා සහ මඟ පෙන්වීම් පසු විපරම් කිරීමටත් ඔවුන්ට සිදු වුණා. එහෙත්, නැවතත් ඔවුන් අසාර්ථක වුණා.

මේ මගේ පුතා නොවෙයි!

වෝල්ටර් අතුරුදහන් වී මාස පහක් ගත වූ පසු අනපේක්ෂිත යමක් සිදු වුණා. ඉලිනොයිස් ප්‍රාන්තයේ ඩීකැල්බ් පෙදෙසෙන් වෝල්ටර් සොයා ගත් බව වාර්තා වීම ඊට හේතුව යි. කුඩා දරුවෙක් තමා වෝල්ටර් කොලින්ස් ලෙස හඳුන්වා ගනිමින් බලධාරීන්ට භාර වී තිබූ අතර, ඔහු සොයාගත් ඩීකැල්බ් පෙදෙස ලොස් ඇන්ජලීස් සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටා තිබීමත් විශේෂත්වයක්.

ඉන්පසු ලොස් ඇන්ජලීස් පොලිසිය මහජන රැස්වීමක් සංවිධානය කරමින් ආයතනයට ලැබී තිබුණු අයහපත් ප්‍රතිචාරය බිඳ දැමීමට උත්සහ කළා. නමුත්, ක්‍රිස්ටීන් සහ ඩීකැල්බ් පෙදෙසින් සොයා ගත් දරුවා නැවත එක් වූ විට ඒ වෝල්ටර් කොලින්ස් නොවන බව ක්‍රිස්ටීන් ප්‍රකාශ කළ බැවින්, විශාල අර්බුදයකට මඟ පෑදුණා.

අපරාධ සිද්ධිය භාරව සිටි නිළධාරියා වූ ජෝන්ස් – jhgraham.com

වෝල්ටර් කොලින්ස් අතුරුදහන් වීම අදටත් එක්සත් ජනපද අපරාධ ඉතිහාසයේ විශේෂ තැනක් ලබා ගැනීමට හේතුව වන්නේත් මේ ප්‍රතික්ෂේප කිරීම යි. ඉන්පසු පොලිසිය ප්‍රතිචාර දැක්වූ අන්දම හේතුවෙන් සිදුවීම තවදුරටත් සංකීර්ණ ස්වභාවයකට හැරුණා. ක්‍රිස්ටීන් ගේ ප්‍රතික්ෂේප කිරීම පොලිසිය නොපිළිගත් අතර, අපරාධ සිද්ධිය භාර ව සිටි නිළධාරියා වූ ජේ. ජේ. ජෝන්ස් ඇතුළු පොලිසිය සති කිහිපයකට හෝ දරුවා රැගෙන යන ලෙස ක්‍රිස්ටීන්ට බලපෑම් එල්ල කළා.  ඇය පොලිසියේ බලපෑම හමුවේ නොසැලී සිටීමට උත්සහ කළ නමුත්, අසරණභාවය නිසා ම දරුවා රැගෙන යාමට එකඟ වුණා.

“උඹ මහා මෝඩයෙක්!”

ක්‍රිස්ටීන්ට තවදුරටත් අසත්‍ය සමඟ කටයුතු කිරීමට හැකි වුණේ නැහැ. සති තුනකට පසු “ව්‍යාජ වෝල්ටර් කොලින්ස්” නැවත පොලිසිය වෙත භාර දීමට ඇය කටයුතු කළා. ඇය නැවත පැමිණියේ සිය පුත්‍රයා ගේ දන්ත වෛද්‍ය වාර්තා සහ භාර දුන් පිරිමි ළමයා වෝල්ටර් කොලින්ස් නොවන බව එකඟ වූ මිතුරන් කණ්ඩායමක සාක්ෂි වලින් සන්නද්ධව යි. එහෙත්, නිළධාරී ජේ. ජේ. ජෝන්ස්, තම ස්ථාවරයේ ම සිටිමින් ක්‍රිස්ටීන් ගේ සාක්ෂි පිළි නොගැනීමට කටයුතු කළා.

“මොකක්ද මේ කරන්න හදන්නේ?

අපි හැමෝ ම මෝඩයෝ කරන්නද හදන්නේ?

නැතිනම්, අම්මා කෙනෙක් විදිහට වගකීම් පැහැර හැරලා දරුවව රජයට භාර දෙන්න උත්සහ කරනව ද?

මං මෙතෙක් දැනගෙන සිටි කුරිරු ම හදවත ඇති කාන්තාව තමයි උඹ!

උඹ මහා මෝඩයෙක්!”

වංචාව පෙනි පෙනී ක්‍රිස්ටීන්, පොලිස් නිළධාරියා හමුවේ ගර්හාවට පාත්‍ර වුණේ ඒ අයුරින්. 

ආතර් හචින්ස්

පසුව ජේ. ජේ.ජෝන්ස්, ක්‍රිස්ටීන් ගේ මානසික සෞඛ්‍යයේ ගැටලුවක් මවාපාමින් ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත මහ රෝහලේ මනෝචිකිත්සක වාට්ටුවට භාර දුන්නා. ක්‍රිස්ටීන් දින පහක් එම රෝහලේ ගත කළ අතර, ඒ කාල පරාසය අතරතුර ව්‍යාජ වෝල්ටර් කොලින්ස් ගේ සත්‍ය අනන්‍යතාව සොයා ගැනීමට ජේ. ජේ. ජෝන්ස් සමත් වුණා. ඔහු ගේ සත්‍ය නම වූයේ ආතර් හචින්ස්.

වෝල්ටර් කොලින්ස් (වම) සහ ඔහු ගේ අනන්‍යතාවයෙන් වංචනිකව පෙනී සිටි ආතර් හචින්ස් (දකුණ) – allthatsinteresting.com

අයෝවා ප්‍රාන්තයේ දිවි ගෙවූ ආතර් හචින්ස්, සිය පියාගේ සහ කුඩම්මාගේ ද්වේෂ සහගත සැලකීම් හමුවේ පලා යමින් සිටි දරුවෙක්. එක්සත් ජනපදය පුරා ඇවිදිමින්, කුලී වැඩ කරමින්, ඔහු දිවි රැක ගෙන තිබුණා. එක්තරා දවසක ආතර් හචින්ස්, ඉලිනොයිස් ප්‍රාන්තයේ ආපන ශාලාවක සිටින අතරතුරේ දී රටපුරා පුවත්පත්වල වෝල්ටර් කොලින්ස් ගේ අතුරුදහන් වීමට විශාල ප්‍රචාරයක් දෙන අයුරු දුටුවා. අතුරුදහන් වූ දරුවා ගේ හැඩරුවට තමා යම් දුරකට සමාන බව වැටහුණු බැවින්, අවස්ථාව මඟ නොහැරීමට ආතර් තීරණය කළා.

ව්‍යාජ වොල්ටර් කොලින්ස් ගේ අනන්‍යතාව තහවුරු වී දින කිහිපයකට පසු ක්‍රිස්ටීන් රෝහලෙන් නිදහස් කෙරුණා. ඉන්පසු ඇය ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහි ව නඩුවක් ගොනු කළ අතර, එය ජය ගැනීමටත් ක්‍රිස්ටීන් සමත් වුණා. කෙසේ නමුත්, ඇයට ගෙවන ලෙස නියම කළ වන්දි මුදල ගෙවීම ජේ. ජේ. ජෝන්ස් පැහැර හැරි බව පැවසෙනවා. පොලිසි‍යේ වංචනික ක්‍රියාකලාපයෙන් ක්‍රිස්ටීන් ගැලවුණ ද වෝල්ටර් කොලින්ස්ට අත් වූ ඉරණම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තවමත් ලැබුණේ නැහැ.

දාම ඝාතකයකු ගේ ක්‍රියාවක් ද?

“වයින්විල් කුකුළු ගොවිපලේ ඝාතන” ලෙස හැඳින්වූ දාම ඝාතන රැල්ලක් සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී තිබුණේ මේ අතර යි. වයින්විල් මිනීමැරුම්, 1926-1928 අතර කාල පරාසයේ කැලිෆෝනියාවේ රිවර්සයිඩ් ප්‍රදේශය ආශ්‍රිත ව සිදු වූ ඝාතන රැල්ලක් වන අතර, වෝල්ටර් කොලින්ස් අතුරුදහන් වුණෙත් මේ කාල පරාසය අතරතුර යි.

එහි චූදිතයා වූ ගෝර්ඩන් ස්ටුවර්ට් නෝත්කෝට්, දරුවන් පැහැර ගෙන ගොස් වයින්විල් කුකුළු ගොවිපළේ දී අපයෝජනයට ලක් කර, වද හිංසා පමුණුවා මරා දමන බව හෙළි වී තිබුණා. මේ අමානුෂික ක්‍රියා සඳහා ගෝර්ඩන් ගේ මව පවා උපකාර කළ බව යි සඳහන් වන්නේ. පොලිසිය කුකුළු ගොවිපළ වටලන අවස්ථාවේ දී මිනිස් ශරීර කොටස් එහි තිබී සොයා ගත් අතර, වෝල්ටර් කොලින්ස් ගේ අවශේෂත් ඒ අතර තිබිය හැකි බව අනුමාන කළා. 

ගෝර්ඩන් නෝර්ත්කොට් ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කළ සැබෑ පිරිමි ළමයින් සංඛ්‍යාව තවමත් නොදන්නා අතර, වෝල්ටර් කොලින්ස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ද ඔහු කිසිදු වගකීමක් භාර ගත්තේ නැහැ – allthatsinteresting.com

ක්‍රිස්ටීන්ට සිර දඬුවම් විඳිමින් සිටි ගෝර්ඩන් නමැති ඝාතකයා හමුවීමට අවස්ථාවක් ලැබුණා. පළමු හමුවීමෙන් පසු තම පුත්‍රයා තවමත් ජීවතුන් අතර සිටින බව ඇය විශ්වාස කළා. ගෝර්ඩන් තම පුත්‍රයා මරාදැමූ බවට සහතිකයක් ඇයට නොලැබීම ඊට හේතුව යි. ගෝර්ඩන්, ක්‍රිස්ටීන් හමුවේ ලබා දුන් අස්ථීර සහ නොගැළපෙන පිළිතුරු හමුවේ වෝල්ටර් සම්බන්ධයෙන් වූ බලාපොරොත්තු තවදුරටත් ඉදිරියට යෑම පමණයි සිදු වුණේ.

බලාපොරොත්තු මැද අතරමං වීම

1930 ඔක්තෝබර් මාසයේ දී ගෝර්ඩන් විදුලි පණිවිඩයක් යවමින් ක්‍රිස්ටීන්ට දන්වා සිටියේ වෝල්ටර් ඔහු ගේ ගොදුරක් නොවන බව පැවසූ සියල්ල අසත්‍ය බව යි. පෞද්ගලික ව පැමිණ හමුවිය හැකි නම් සත්‍යය පැවසිය හැකි බවත් ගෝර්ඩන් දන්වා තිබුණා. මේ සියල්ල සිදු වූයේ ඔහු ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දින කිහිපයක් ඉතිරි ව තිබියදී යි. නමුත්, ඇය පැමිණි විට ගෝර්ඩන් ගෙන් ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිචාරයක්.

“මට ඔයාව දකින්න ඕන නෑ!

මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මං අහිංසක යි!”

ක්‍රිස්ටීන්, පිළිතුරක් නොමැති, වේදනාකාරී බලාපොරොත්තු මැද අතරමං වූ අහිංසක මවක් යන තැනට නැවතත් ඇද වැටුණා.

ක්‍රිස්ටීන් ගෝර්ඩන් ව මුණ ගැසුණත්, ඇයට ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිචාරයක් – br.ifunny.co

ගෝර්ඩන් මරණය පත් කර වසර පහකට පසු ඔහු ඝාතනය කළායැ යි විශ්වාස කළ පිරිමි ළමයින් අතරෙන් එක් අයෙක් ජීවතුන් අතර සිටින බව අනාවරණය වුණා. මේ කුඩා ප්‍රවෘත්තිය ක්‍රිස්ටීන් ගේ බලාපොරොත්තු තවදුරටත් තීව්‍ර කිරීමට සමත් වුණා. වසර 36 ක් පුරා අතුරුදහන් වූ තම පුත්‍රයා සොයා ගැනීමට ක්‍රිස්ටීන් වෙහෙසුණා.

ඇය කිසිම විටෙක වෝල්ටර් මිය ගිය බව විශ්වාස කළේ නැහැ. 1964 දෙසැම්බර් මස 8 වැනිදා ක්‍රිස්ටීන් අවසන් හුස්ම හෙළූ බැවින්, ඇය ගේ බලාපොරොත්තුව සදාතනික හැඟීමක් බවට පත් වුණා.

“Changeling” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

2008 දී මේ සිදුවීම අළලා “Changeling” නම් හොලිවුඩ් චිත්‍රපටය එළි දැක්වුණා. ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ සම්මානනීය චිත්‍රපටය වෙනුවෙන් ඇන්ජලීනා ජොලී ප්‍රධාන රංගනයෙන් දායක වුණා. ඇය පණ පෙව්වේ මෙතෙක් අපේ කතා නායිකාව වූ ක්‍රිස්ටීන් කොලින්ස් ගේ චරිතයට යි.

ක්‍රිස්ටීන් මුහුණ දුන් ඒ ඛේදවාචකය අති සංවේදී අයුරින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට ඇන්ජලීනා සමත් වුණා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය – www.youtube.com

කවරයේ ඡායාරූපය: Changeling චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක යෙදුණු ඇන්ජලීනා ජොලී
https://letterboxd.com/film/changeling/

මූලාශ්‍ර:
https://alonewithnature.medium.com/what-really-happened-to-walter-collins-f9b9e8c96c4b
https://www.mamamia.com.au/walter-collins/
https://www.latimes.com/archives/la-xpm-1999-feb-07-me-5769-story.html
https://www.imdb.com/title/tt0824747/

Related Articles