Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සියවස් පහක ඉතිහාසය දිග හරින පැරීසියේ වර්සායි මන්දිරය

සියවස් කිහිපයකට පෙර ප්‍රංශ රාජධානියේ සිහසුන හෙබ වූ රජවරුන් තිදෙනෙකුට සෙවණ දුන් වර්සායි මන්දිරය සැලකෙන්නේ එවකට ප්‍රංශ ආණ්ඩුව රැස් වූ ප්‍රධාන මූලස්ථානය ලෙස යි. නමුත් 1789 දී සිදු වූ ප්‍රංශ විප්ලවය සමග ස්ථිර රාජකීය වාසස්ථානය ලෙස එයට හිමි වී පැවති තත්ත්වය ක්‍රමයෙන් නැති වී ගියා.

© Lynn Foerster

පැරිස් නුවර සිට කිලෝ මීටර් 16 ක් පමණ නිරිත දෙසින් වර්සායි නම් නගරයේ පිහිටා ඇති එය අතීතයේ දී රජ මැදුරක් ලෙස භාවිතා වුවත් වර්තමානයේ දී සංචාරකයන් අතර ජනප්‍රිය වී ඇත්තේ කෞතුකාගාරයක් විදියට යි. 17 වැනි සියවසේ දී දහ හතර වැනි ලුවී රජු විසින් වර්සායි මැදුර ගොඩ නංවන විට වර්සායි නගරය කුඩා ගම්මානයක් වුණත් ප්‍රංශ විප්ලවය පැවැත්වෙන සමය වන විට එහි මුළු ජනගහනය 60,000 ඉක්මවා තිබුණේ එය ප්‍රංශයේ විශාලත ම නගරයක් බවට පත් කරමින්.

රජ මැදුරක් වූ දඩයම් බංගලාව

 

දහ තුන් වැනි ලුවී රජු (© Philippe de Champaigne)

ප්‍රංශයේ කිරුළ දැරූ සිව් වැනි හෙන්රි රජුගේ වැඩිමල් පුත්‍රයා (පසු කාලීනව දහ තුන් වැනි ලුවී රජු) ක්‍රිස්තු වර්ෂ 1607 අගෝස්තු මාසයේ දිනයක දී වර්සායි ගම්මානය වෙත පැමිණියේ ඔහුගේ පළමු වැනි දඩයම් චාරිකාව සඳහා යි. මෙසේ වර්සායි ගම්මානයට පැමිණි ඔටුන්න හිමි කුමරු දශකයක් ම එහි ගත කළ බව යි ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. පසු ව ප්‍රංශයේ රජු ලෙස සිහිසුනට පත් වූ ඔහු නැවත වරක් ක්‍රිස්තු වර්ෂ 1621 දී ඒ වෙත පැමිණ ඇත්තේ වර්සායි ගම්මානය කෙරෙහි ඔහුගේ සිතේ පැවති නොමඳ කැමැත්ත නිසාවෙන් ම යි. පැරීසියේ පිහිටි ඇති තමන්ගේ රජ මැදුරට වඩා ගහකොළින් පිරී ගිය නිරන්තරයෙන් ම වන සතුන් ගැවසුණු වර්සායි හි සොඳුරු පරිසරයට ඇලුම් කළ දහ තුන් වැනි ලුවී රජු  ක්‍රිස්තු වර්ෂ 1623 දී වර්සායි හි දඩයම් බංගලාවක් ඉදි කර තිබෙනවා. මුල් කාලයේ දී කුඩා ගැමි නිවසක් මෙන් පෙනුන එය යළිත් වරක් දහ තුන් වැනි ලුවී රජු විසින් ම ක්‍රිස්තු වර්ෂ 1631 දී අලුත්වැඩියා කරන ලද්දේ ප්‍රභූ මැදුරක ස්වරූපයට එයට ලබා දෙමින්. ඒ කාලයේ දී ම වර්සායි නින්දගමෙන් කොටසක් රජතුමා විසින් තම භුක්තියට මිල දී ගෙන තිබෙනවා. මෙසේ භාවිතයට පැමිණි වර්සායි මැදුර, මුල් කාලයේ දී භාවිතා කර ඇත්තේ ප්‍රංශ රාජකීයයන්ට තමන්ගේ විවේකය නිදහසේ ගත කළ හැකි ස්ථානයක් ලෙස යි.

වර්සායි මැදුරට ඇලුම් කළ රජතුමා

දහ හතර වැනි ලුවී රජු (© Hyacinthe Rigaud)

දහ තුන් වැනි ලුවී රජුගෙන් පසු ව ඔහුගේ වැඩිමල් පුතු, දහ හතර වැනි ලුවී හෙවත් ශ්‍රේෂ්ඨ ලුවී, ප්‍රංශ කිරුළ භාර ගත් අතර කුඩා කල සිටි ම වර්සායි මැදුරට දැඩි ලෙස ඇලුම් කළ බව පැවසෙනවා. මේ නිසා ම තම පියා ගඩොලින් ගොඩනැංවූ දඩයම් බංගලාව, ගම්බද රජ මැදුරක් බවට පරිවර්තනය කිරීමට දහ හතර වැනි ලුවී රජු තීරණය කර ඇති අතර එය සැලසුම් කිරීමේ කාර්යය සිදු කර ඇත්තේ ද ඔහු විසින් ම යි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1661 දී වර්සායි මැදුර, ගම්බද රජ මාලිගාවක් බවට පත් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති අතර ක්‍රිස්තු වර්ෂ 1715 දී දහ තුන් වැනි ලුවී රජු මිය යන තෙක් ම විවිධ කොටස් කොටස් එක් වෙමින් වර්සායි මැදුර ක්‍රමයෙන් අද පවතින තත්ත්වයට පත් වුණා.

වර්සායි මන්දිරය ගොඩ නැංවීම (© Adam Frans van der Meulen)

එය නිල ප්‍රංශ රාජකීය මන්දිරය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ද දහ හතර වැනි ලුවී රාජ සමයේ දී යි. රජ මැදුරට අමතර ව ප්‍රංශ පරිපාලන මධ්‍යස්ථානය ද වූ වර්සායි මැදුර 18 වැනි සියවස ආරම්භ වන විට ප්‍රංශ රාජ්‍යත්වයේ සලකුණ බවට පත් වී තිබෙනවා.

පහළොස් වන ලුවී රජ සමයේ දී

නමුත් ක්‍රිස්තු වර්ෂ 1715 සැප්තැම්බර් මාසයේ දී සිදු වූ දහ හතර වැනි ලුවී රජුගේ මරණයෙන් පසු ව නිල රජ මැදුර නැවත වරක් පැරීසියට ගෙන ගොස් ඇති අතර වර්සායි මන්දිරයේ නඩත්තු කටයුතු ආණ්ඩුකාරවරයා වෙත භාර වුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1722 ජූනි මාසයේ දී පහළොස් වැනි ලුවී රජු නැවත වරක් වර්සායි මන්දිරයට  පැමිණීමට තීරණය කර ඇති අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ තම මුත්තණුවන් ඇරඹූ විශිෂ්ට නිර්මාණය සම්පූර්ණ කිරීම යි. වර්සායි මන්දිරය පුරා පැතිරී පැවතුණු විවෘත අවකාශයන් බොහෝමයක් ඔහු කුඩා කුටි බවට පත් කර තිබෙනවා. නමුත් පහළොස් වැනි ලුවී රජු ඔහුගේ පියා හෝ පියාගේ පියා ලෙස නිරන්තරයෙන් ම වර්සායි හි වාසය කර නැහැ.

පහළොස් වැනි ලුවී රජු (© Hyacinthe Rigaud)

එසේ වුවත් වර්සායි මන්දිරයේ ඇතුළත මෙන් ම පිටත උද්‍යානය ද සුන්දරත්වය පිරවීමට කටයුතු කළ ඔහු රජ මැදුර තුළ විශාල රඟමඬලක් ද ගොඩ නංවා තිබෙනවා. සම්භාව්‍ය සංගීතඥයෙකු වන ඔස්ට්‍රියානු ජාතික මෝසාට් පවා පහළොස් වැනි ලුවී රජ දවස, වර්සායි මන්දිරයට පැමිණ සංගීත සංදර්ශනය පවත්වා ඇති බව කියැවෙනවා.

ප්‍රංශ විප්ලවය නිසා අත් හළ සොඳුරු රජ මැදුර

පහළොස් වැනි ලුවී රජුගෙන් පසු ව විසි හැවිරිදි වියේ දී සිහසුනට පත් වූ දහ සය වැනි ලුවී රජු සහ ඔහුගේ බිසව, මරී ඇන්ටොනෙට්, වර්සායි මන්දිරයේ දී විචිත්‍රවත් සාද පවත්වමින් විනෝදයෙන් කල් ගත කළ බව නොරහසක්. තමන්ගේ බිසවට ඉමහත් ආදරයක් දැක් වූ දහ සය වැනි ලුවී රජු, ක්‍රිස්තු වර්ෂ 1774 දී රජු මැදුර ආසන්නයේ පිහිටි ට්‍රිඇනන් වතු යාය ඇය වෙනුවෙන් මිල දී ගෙන එහි මන්දිරයක් ගොඩ නගා ඇති අතර පසු කාලීන ව එය වර්සායි මන්දිරයේ ම කොටසක් ලෙස සලකා තිබෙනවා.

දහ සය වැනි ලුවී රජු (© Antoine-François Callet)

කාලය ගෙවී යන විට රාජකීයයන් කෙරෙහි මහජනයා සතු ප්‍රසාදය කෙමෙන් වියැකී ගොස් ඇති අතර එයට වැඩි වශයෙන් බලපා ඇත්තේ ඉහළ බදු ප්‍රතිශතයන් සහ මරී ඇන්ටොනෙට් බිසවගේ පමණ ඉක්මවා සිදු කර ඇති වියදම්. මේ හේතුවෙන් ප්‍රංශ ආර්ථිකය බිඳ වැටීමට පටන් ගත් අතර ප්‍රංශ විප්ලවයට ද පසුබිම සැකසුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1789 ඔක්තෝබර් මාසයේ දී දහ සය වැනි ලුවී රජුට සහ මරී ඇන්ටොනෙට් බිසවට වර්සායි මන්දිරය හැර දා පැරීසියට යන ලෙස බල කෙරුණා.

19 වැනි සියවසේ දී

රාජකීයයන් වර්සායි මන්දිරය හැර ගිය ද විශ්මයජනක ලෙස ප්‍රංශ විප්ලවයෙන් එයට හානියක් සිදු වුණේ නැහැ. ඒ අනුව එහි අනාගත භාවිතය පිළිබඳ ව විවිධ යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලද අතර එයින් එක් යෝජනාවක් වුණේ වර්සායි මන්දිරය, කෞතුකාගාරයක් බවට පත් කළ යුතු බව යි. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1833 දී ප්‍රංශයේ ශ්‍රී විභූතිය පෙන්නුම් කිරීම සඳහා වර්සායි මන්දිරය, කෞතුකාගාරයක් බවට පත් කළ යුතු බවට වූ යෝජනාව සම්මත වුණා. මධ්‍යතන යුගයේ ප්‍රංශ ඉතිහාසය පෙන්නුම් කරන කෞතුකාගාරයක් ලෙස එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1837 දී යි.

වර්සායි මන්දිරය අද

© David Rubino

20 වැනි සියවස ආරම්භයේ දී පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් වර්සායි මන්දිරය වසා තබන ලද නමුත් වාසනාවකට පළමු ලෝක සංග්‍රාමයෙන් එයට හානි සිදු වුණේ නැහැ. ක්‍රමයෙන් කෞතුකාගාරයක් ලෙස වර්සායි මන්දිරය ජනප්‍රිය වුණේ එහි ප්‍රදර්ශනය සඳහා පැවති කෞතුක භාණ්ඩ ගණන ද ඉහළ දමමින්. ක්‍රිස්තු වර්ෂ 1919 දී වර්සායි මන්දිරය කෙරෙහි නැවත වරක් මුළු ලෝකයේ ම අවධානය යොමු වුණේ වර්සායි සාම ගිවිසුම අත්සන් කිරීම හේතුවෙන්.

මෙසේ සියවස් පහක ප්‍රංශ ඉතිහාසයට සාක්ෂි දරණ වර්සායි මන්දිරයේ දී දැක ගැනීමට ඇති දේ බොහෝම යි. අලංකාර කාමර ගණනාවකින් සමන්විත ප්‍රධාන මාලිගාව, මරී ඇන්ටොනෙට් බිසවගේ ට්‍රිඇනන් වතු යාය, වර්සායි උද්‍යානය සහ රාජකීය අස්හල ඒ අතරින් සුවිශේෂී තැනක් හිමි කර ගන්නවා.

ප්‍රංශ රාජ්‍යත්වයේ සලකුණ

© Didier Gozzo

දශක තුනක කාලයක් තිස්සේ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති වර්සායි මන්දිරය සැලකෙන්නේ 17 වැනි සියවසේ ප්‍රංශ කලා ශිල්පයන්ගේ විශිෂ්ටත ම නිර්මාණයක් ලෙස යි. කාමර 2,300 කින් සමන්විත වර්සායි මන්දිරය වර්ග මීටර් 63,154 ක භූමි ප්‍රදේශයක් පුරාවට පැතිරී තිබෙනවා. සඳුදා හැරුණු විට සතියේ සෑම දිනක ම උදෑසන 9 සිට සවස 6.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වර්සායි මන්දිරයට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු යි. වර්සායි මන්දිරයේ දී දැක ගත හැකි සුවිශේෂි අංගයක් කිහිපයක් ම පවතිනවා.

  1. කැඩපත් ශාලාව

© Château de Versailles : Official Website

වර්සායි මන්දිරයේ ඇති ප්‍රසිද්ධ ම ශාලාව ලෙස සැලකෙන මෙය ගොඩ නංවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1678 – 1684 කාලයේ දී යි. ශාලාව තුළ කැඩපත් 357 ක් දක්නට ලැබෙන අතර ක්‍රිස්තු වර්ෂ 1919 ජූනි 28 වැනි දින වර්සායි සාම ගිවිසුම අත්සන් කර ඇත්තේ ද මෙහි දී යි.

  1. රජුගේ රාජ්‍ය මැදිරි

© Château de Versailles : Official Website

රජතුමා විසින් අනෙකුත් රාජ්‍ය නායකයන් සහ ප්‍රභූවරුන් පිළි ගැනීම සඳහා යොදා ගන්නා ලද රාජ්‍ය මැදිරි කිරුගරුඬෙන් නිම කර ඇත අතර සිවිලිම සම්පූර්ණයෙන් ම පාහේ සිතුවම් මගින් අලංකාර කර තිබෙනවා. බොහෝ අවස්ථාවල දී රාජ්‍ය මැදිරි අලංකාර කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ඉතාලි සැරසිලි යි.

  1. රාජකීය දෙව් මැදුර

© Château de Versailles : Official Website

ක්‍රිස්තු වර්ෂ 1710 දී වැඩ කටයුතු අවසන් කරන ලද රාජකීය දෙව් මැදුර ගොඩ නංවා ඇත්තේ දහ හතර වැනි ලුවී රජ දවස යි. එය සැලසුම් කර ඇත්තේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වන අතර එය ශාන්ත ලුවී වෙනුවෙන් කැප කර තිබෙනවා. බොහෝමයක් රාජකීය විවාහ මංගල්‍යයන්, බෞතීස්ම කිරීම් සහ අනෙකුත් ආගමික උත්සව පවත්වා ඇත්තේ මෙහි යි.

  1. සම්මන්ත්‍රණ සභාව

© Château de Versailles : Official Website

19 වැනි සියවසේ දී සම්මන්ත්‍රණ සභාව ගොඩ නංවා ඇත්තේ ප්‍රංශ ආණ්ඩුවේ නිලතල දැරූවන්ට රැස් වී සාක්ච්ඡා කිරීම සඳහා යි. තරමක් දුරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක ස්වරූපය ගන්නා එය සාමාන්‍යයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන්නේ නැහැ. නමුත් ප්‍රකාශයට පත් කරන ලද විශේෂිත දිනවල දී එය නැරඹීමේ හැකියාව පවතිනවා.

  1. රාජකීය ඔපෙරා ශාලාව

© Hartnoll Phyllis

පහළොස් වැනි ලුවී රජුගේ රාජ්‍ය සමයේ දී ගොඩ නංවන ලද රාජකීය ඔපෙරා ශාලාව සැලකෙන්නේ එ් සමයේ යුරෝපයේ පැවති විශාල ම රඟහල ලෙස යි. ක්‍රිස්තු වර්ෂ 1770 දී දහ සය වැනි ලුවී රජුගේ සහ මරී ඇන්ටොනෙට් බිසවගේ විවාහ භෝජන සංග්‍රහය ද මෙහි පවත්වා තිබෙනවා.

  1. සංග්‍රාම සිතුවම් මැදිරිය

© Gilbert Sopakuwa

වර්සායි මන්දිරයේ ඇති විශාලත ම කාමරය වන සංග්‍රාම සිතුවම් මැදිරිය වෙන් කර ඇත්තේ ප්‍රංශ ඉතිහාසයේ සිදු වූ විවිධ සංග්‍රමයන් හි සිතුවම් ප්‍රදර්ශනය සඳහා යි. ක්‍රිස්තු වර්ෂ 1837 දී විවෘත කරන ලද එහි සිතුවම් 30 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මරී ඇන්ටොනෙට් බිසව වෙනුවෙන් තැනූ ට්‍රිඇනන් වතු යාය

© Château de Versailles : Official Website

දහ සය වැනි ලුවී රජු විසින් මරී ඇන්ටොනෙට් බිසව වෙනුවෙන් වෙන් කරන ට්‍රිඇනන් වතු යායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ එයට බොහෝ කාලයකට පෙර ක්‍රිස්තු වර්ෂ 1687 දී යි. ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට හානියක් සිදු නොවන අයුරින් අලංකාර කර ඇති ට්‍රිඇනන් වතු යාය තුළ මරී ඇන්ටොනෙට් වෙනුවෙන් ගොඩ නංවන ලද කුඩා මන්දිරයක් ද දැක ගැනීමට ලැබෙනවා.

සමමිතියේ කලාව පෙන්වන වර්සායි උද්‍යානය

© Château de Versailles : Official Website

කැඩපත් ශාලාවේ කවුළුවකින් පිටත බැලූ විට ම දක්නට ලැබෙන වර්සායි උද්‍යානය මුල්වරට සැලසුම් කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1660 දී යි. ඉන් පසු ව විවිධ රජවරුන් යටතේ විවිධ වෙනස්කම්වලට ලක් වුව ද එහි සුන්දරත්වය බිඳකින්වත් අඩු වී නැහැ. අලංකාර වතුර මල් සහ ප්‍රතිමා යොදාගෙන අලංකාර කර ඇති වර්සායි උද්‍යානයේ ඇති සුවිශේෂී ම අංගය වන්නේ දොඩම් අරඹ යි. හෙක්ටයාර තුනක පමණ භූමි ප්‍රමාණයක් පුරා විහිදි ඇති එය සතු ව දොඩම් ගස් 1,055 ක් පමණ ඇති බව පැවසෙනවා.

අස් සේනාවේ බලය පෙන් වූ රාජකීය අස්හල

© Château de Versailles : Official Website

දහ හතර වැනි ලුවී රජුගේ ඉල්ලීමකට අනුව ක්‍රිස්තු වර්ෂ 1679 – 1682 අතර කාලයේ දී ගොඩ නංවන ලද රාජකීය අස්හල, 18 වැනි සියවස වන විට අසුන් 2,000 ක අධික ප්‍රමාණයකට සෙවණ සැපයූ බව සඳහන් වෙනවා. එසේ ම අස්හලේ සේවය පමණක් සේවකයන් 1,500 ක් යොදවා තිබෙනවා.

කවරයේ පින්තූරය : (© Château de Versailles : Official Website)

Related Articles