Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඳුරු සමක් සහ නිල් දෑස් හිමි මුල් ම බ්‍රිතාන්‍ය වැසියා

කාලයක් නිහඬ ව සිටි මහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ගෙවී ගිය වසරේ දෙසැම්බර් මාසයේ දී යළිත් වාරයක් දෙස් විදෙස් මාධ්‍යයන් හි පමණක් නොව ලොව පුරා දහස් සංඛ්‍යාත වැසියන් අතර පුවත් මවන්නෙකු බවට පත් වුණේ ඇමෙරිකානු නිළි මේගන් මාකල් සමග ඔහුගේ විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කිරීම සමඟ යි. 2018 මැයි 19 වැනි දින පැවැත්වීමට නියමිත රාජකීය මංගල්‍යය ගැන බොහෝමයක් බ්‍රිතාන්‍ය වැසියන් ඔවුන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කර තිබුණ ද සාම්ප්‍රදායික මත දරණ ඇතැම් බ්‍රිතාන්‍යයන් වැසියන් සහ මාධ්‍ය නාලිකා අප්‍රිකානු සම්භවයක් සහ තරමක් අඳුරු සමක් හිමි තැනැත්තියක් වන මේගන් මාකල් ව බ්‍රිතාන්‍ය රජ පවුලට එක් කර ගැනීම පිළිබඳ ව ප්‍රසිද්ධියේ ම සිය අප්‍රසාදය පළ කර තිබුණා.

(© Tom Barnes)
ලන්ඩන් නුවර ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පර්යේෂකයන්

නමුත් පසු ගිය දිනෙක පර්යේෂකයන් කණ්ඩායමක් පුරාතන බ්‍රිතාන්‍ය වැසියෙකුගේ ඇට සැකිල්ලකින් ලබා ගත් ඩී. එන්. ඒ. යොදාගෙන මුහුණ ප්‍රතිනිර්මාණය (facial reconstruction) කිරීමක් සිදු කර ඇති අතර එයින් හෙළිදරව් වී ඇත්තේ වසර 10,000 ක පෙර ජීවත් වූ මුල් කාලීන බ්‍රිතාන්‍ය වැසියන් දීප්තිමත් නිල් පැහැ දෑස්, යන්තමින් කැරලි ගැසුණු හිස කෙස් සහ අඳුරු පැහැ සමක් හිමි අය බව යි. මේ ඒ පිළිබඳ ව තොරතුරු බිඳක්.

සියවසකට පෙර හමු වූ ‘චෙඩාර් මිනිසා’

මෙම පර්යේෂණ කටයුතු සඳහා ලන්ඩන් නුවර ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ පර්යේෂකයන් ඩී. එන්. ඒ. ලබා ගෙන ඇත්තේ 1903 දී අනාවරණය කර ගත් දැනට බ්‍රිතාන්‍යයෙන් හමු වී ඇති පැරණිත ම සම්පූර්ණ ඇට සැකිල්ල ලෙස සැලකෙන ‘චෙඩාර් මිනිසා’ ගෙන්. පසු ව ලන්ඩන් සරසවි විද්‍යාලයේ පර්යේෂකයන් එම ජාන විශ්ලේෂණයේ ප්‍රතිඵල මුහුණ ප්‍රතිනිර්මාණය කිරීමක් සඳහා යොදාගෙන තිබෙනවා.

© Antonio Fowler

මෙය ප්‍රාග්-ඓතිහාසික බ්‍රිතාන්‍ය වැසියෙකුගේ ජාන විශ්ලේෂණයක් සිදු කරන ලද ප්‍රථම අවස්ථාව වන අතර පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ නූතන බ්‍රිතාන්‍ය වැසියන් සතු සුදු පැහැ සම, පසු කාලීන ව සිදු වූ ස්වභාවික සංසිද්ධියක ප්‍රතිඵලයක් විය හැකි බව යි. එසේ ම මෙම ජාන විශ්ලේෂණය මගින් අවසන් අයිස් යුගයට පසු ව බ්‍රිතාන්‍යයේ යළි ස්ථාපනය වූ මුල් ම පදිංචිකරුවන් ගැන වටිනා තොරතුරු රැසක් අනාවරණය කරන බව පර්යේෂකයන් පවසනවා.

අදින් වසර 115 කට පෙර චෙඩාර් මිනිසාගේ ෆොසිල කොටස් සොයා ගන්නා ලද්දේ සමර්සෙට් ප්‍රාන්තයේ චෙඩාර් කුරුබිලයේ (gorge) පිහිටා ඇති ගව්ගේ ගුහාවෙන්. පසු ව සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මිය යන විට විසි වැනි වියේ පසු වූ චෙඩාර් මිනිසා අඩි 5 අඟල් 5 ක පමණ උසකින් යුතු වූ අයෙක් බව යි. එසේ ම මූලික උපකල්පනයන්ට අනුව ඔහුට හිමි වුණේ සුදුමැලි සමක් සහ ළා පැහැ හිස කෙස්.

(© Andrew and Annemarie)
සමර්සෙට් ප්‍රාන්තයේ චෙඩාර් කුරුබිලය

චෙඩාර් මිනිසාගේ හිස් කබල මතුපිට ඇති භග්නයන් පෙන්වා දෙන්නේ ඔහුගේ මරණය සාහසික ක්‍රියාවක ප්‍රතිඵලයක් විය හැකි බව යි. එසේ ම ඔහුගේ සිරුර ගව්ගේ ගුහාවේ තැන්පත් කර ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳ ව පර්යේෂකයන් අවසන් නිගමනයකට පැමිණ නැති අතර ඔහුගේ ගෝත්‍රයේ පැවති චාරිත්‍රය එය විය හැකි බව සැලකෙනවා.

චෙඩාර් මිනිසා මිනීමස් අනුභව කරන්නෙක් ද?

ඩී. එන්. ඒ. පර්යේෂණ මගින් අනාවරණය වූ තවත් කරුණක් වන්නේ ඔහු ශිලා යුගයේ වාසය කළ මිනිසුන්ට නොඑසේ නම් ස්පාඤ්ඤය සහ හංගේරියාව ආශ්‍රිත ව වාසය කළ බටහිර මස් වැද්දන්ට (Western Hunter-Gatherer) සමීප නෑකමක් දක්වන බව යි.

(© AFP)
බටහිර මස් වැද්දෙකුගේ ප්‍රතිනිර්මාණය කරන ලද මුහුණ

එසේ ම චෙඩාර් මිනිසා සොයා ගත් ගව්ගේ ගුහාවෙන් වැඩිහිටියන් දෙදෙනෙකුගේ සහ වයස අවුරුදු 3 ක් පමණ වන දරුවෙකුගේ හිස් කබල යොදාගෙන සැකසූ කෝප්ප තුනක් සොයාගෙන තිබෙනවා. මෙයට අමතර ව ගව්ගේ ගුහාවේ ඇති මිනිස් ඇට කැබලි දරුණු මනුෂ්‍ය ඝාතනයක ස්වභාවය පෙන්නුම් කරනවා. බොහෝ සිරුරුවලින් මස් ඉරාගෙන ඇති අතර සඳහා ඇට මිදුළු ලබා ගැනීම සඳහා ඇට කැබලි කුඩු කර තිබෙන්නේ කෝප්ප සෑදීම සඳහා හිස කඳෙන් වෙන් කිරීමට පෙර යි.

නමුත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම කෝප්ප, මිය ගිය සතුරන්ගේ සිරුරු කොටස්වලින් සකසන ඒවා නොවන බව යි. ඒ අනුව චෙඩාර් මිනිසා මෙසේ කෝප්ප නිපදවීම සඳහා තමන්ගේ ගෝත්‍රයේ ම අය ස්වභාවික ව මරණයට පත් වන තෙක් බලා සිටින්නට ඇති බව සැලකෙනවා. එසේ ම ගව්ගේ ගුහාවේ ඇති ඇට කැබලි පුරාතන බ්‍රිතාන්‍ය වැසියන් අනුගමනය කරන ලද මිනීමස් කෑමේ චාරිත්‍ර පිළිබඳ සාක්ෂි සපයන බව පර්යේෂකයන්ගේ මතය යි.

(© Derek Adams/Natural History Museum)
කෝප්පයක් ලෙස භාවිතා කරන ලද හිස් කබලක්

මැද පෙරදිගින් පැමිණි සුදු මිනිසුන්

මුල් කාලීන බ්‍රිතාන්‍ය වැසියන්ට අඳුරු සමක් හිමි වූ බව හෙළි වීමෙන් පසු ව පර්යේෂකයන් නිගමනය කර ඇත්තේ සුදු සමක් සහිත වත්මන් බ්‍රිතාන්‍ය වැසියන් වසර 6,000 කට පමණ පෙර මැද පෙරදිග සිට පැමිණි සංක්‍රමණිකයන් විය හැකි බව යි. නොඑසේ නම් මුල් කාලීන ගොවියන් ලබා ගන්නා ලද විටමින් ඩී ඌන ධාන්‍යමය ආහාර නිසාවෙන් එවැනි සුදු පැහැ සමක් උරුම වන්නට ඇති බව සැලකෙනවා.

© BBC News

සමේ පැහැය පිළිබඳ අවසන් නිගමනයකට පැමිණීමට පර්යේෂකයන්ට හැකි වුව ද චෙඩාර් මිනිසා සතු නිල් පැහැ දෑස් ගැන පැහැදිලි අර්ථකථනයක් ලබා දීමට පර්යේෂකයන් සමත් වී නැහැ. අඳුරු පැහැ සම සමග දීප්තිමත් නිල්වන් දෑස් පැවතීම අසාමාන්‍ය කරුණක් වන අතර පර්යේෂකයන් පවසන්නේ එය ස්වභාවික වරණයේ ප්‍රතිඵලයක් විය හැකි බව යි.

එසේ ම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වත්මන් බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් 10% ක් පමණ බ්‍රිතාන්‍යයේ මුල් උරුමකරුවන් වන චෙඩාර් මිනිසාගෙන් පැවත එන්නන් බව යි.

කවරයේ පින්තූරය : © Channel 4

Related Articles