Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෑත ඉතිහාසයේ දරුණුතම රසායනික අනතුරු හා ප්‍රහාර

රසායනික අනතුරු ඒ වගේම රසායනික ප්‍රහාර කියන්නේ ලෝකයේ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වූ විනාශකාරී අවස්ථා ලෙස හදුන්වන්න පුළුවන්. හිරෝෂිමා හා නාගසාකි වලට එල්ල වුණු පරමාණු බෝම්බ ප්‍රහාරය තුලින් රසායනික ද්‍රව්‍ය වලින් මොනතරම් දුරට මිනිසුන්, ගහකොළ හා සතුන් විනාශ කරන්නට පුළුවන්දැයි මුළු ලොවටම වැටහුනා.

එම රසායනික ප්‍රහාරයෙන් පසුව තවත් එවැනිම අනතුරු හා ප්‍රහාර කිහිපයක් සිදු වී ඇති බව මෑත ඉතිහාසය අධ්‍යනය කිරීමේදී පෙනී යනවා. මේ ලිපිය තුළින් අපි ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ මෑත ඉතිහාසයේ ලෝකයේ සිදු වුණු දරුණු රසායනික අනතුරු හා ප්‍රහාර කිහිපයක් පිළිබඳ විස්තරයි.

දහස් ගණන් ජනයා නිදි යහනේදී මරුමුවට පත් වූ ඉන්දියාවේ භෝපාල් ඛේදවාචකය

අනතුරින් පසු කර්මාන්තශාලාව දිස් වූ අයුරු. (Wikiwand)

අනතුරින් පසු කර්මාන්තශාලාව දිස් වූ අයුරු. (Wikiwand)

1984 දෙසැම්බර් දෙවන දා හා තුන්වන දා යන දෙදින තුළ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භෝපල් නගරයේ පිහිටා තිබූ කෘමිනාශක නිෂ්පාදන කර්මාන්තශාලාවක් වන යූනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් (UCIL) නම් සමාගමට අයිති ප්‍රධාන වශයෙන් මීතයිල් අයිසොසයනේට් (MIC) ටොන් 30ක් අඩංගු ටැංකියක් පුපුරා යාම ලෝක කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු වූ දරුණුතම රසායනික අනතුර ලෙස හදුන්වන්න පුළුවන්.

දෙසැම්බර් දෙවන දින අළුයම කාලයේ පුපුරා ගිය ටැංකියෙන් විෂ වායුව නොනවත්වාම නිකුත් වන්නට විය. අළුයම කාලය වූ බැවින් බොහෝ දෙනා මරණයට පත් වුයේ නින්දේදීය. අනතුර ගැන දැනගත් තවත් බොහෝ දෙනෙක් නින්දෙන් නැගිට දුවන්නට වීමෙන් ඔවුන්ගේ ශ්වසනය වේගවත් විය. වේගවත් ශ්වසනය නිසාම විෂ දුම ආඝ්‍රාණය වීමේ සිග්‍රතාවය ඉහළ ගිය බැවින් දිවූ සියල්ලන්ම පාහේ අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරු විය.

කර්මාන්ත අනතුරකින් සිදු වූ විශාලම මරණ සංඛ්‍යාව වාර්තා වීම

එක රැයෙන් මරණයට පත් වූ විශාල පිරිස. (India Roundup)

එක රැයෙන් මරණයට පත් වූ විශාල පිරිස. (India Roundup)

කර්මාන්ත ශාලාව අසළ පැල්පත් වාසීන් විශාල ගණනාවක් පදිංචි වී සිටිය බැවින් දෙදිනක් පුරා විෂ වායුවට නිරාවරණය වූ ගණන ඉතා විශාලය. ඉන්දියානු මධ්‍යම රජය පසුව නිකුත් කළ වාර්තාවක කුඩා ළමුන් ලක්ෂ 2 ක් හා ගැබිණි කාන්තාවන් 3000ක් ඇතුළු දෙදින පුරාම විෂ වායුවට නිරාවරණය වූ ගණන 558,125 ක් ලෙස දක්වා තිබෙනවා. පසුදින ක්ෂණික මරණ ගණන 2,259ක් බවත් වක්‍රාකාරව සිදු වූ මරණත් සමඟම විෂ වායුවට නිරාවරණය වූ නිසා සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 3,787 ලෙස රජය නිකුත් කළ දත්ත වාර්තාවේ සටහන් වෙනවා.

රජයේ වාර්තා වල මරණ සංඛ්‍යාව අඩුවෙන් සටහන් කරන්නට උත්සාහ දරා ඇති බවත් සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 8,000 ඉක්මවන බවත් ඉන්දියානු පරිසරවේදියෙකු වන ආචාර්ය මෝහා සිං සදහන් කරනවා.

ගවයන්, එළුවන් හා බල්ලන් වැනි ගෘහ ආශ්‍රිත සතුන් 2000ක් පමණ පසුද දකින්නට ලැබුණි. සිද්ධියෙන් සදාකාලික අකර්මන්‍යතාවයට පත් වූ ගණන 3900ක් වන අතර විවිධ දුබලතාවයන්ට පත් වූ ගණන 38,478ක් වන බව රජයේ වාර්තාවේ සටහන් කර තිබෙනවා. පසුව මෙම ප්‍රදේශයේ මළ දරු උපත් ප්‍රමාණය 300%කින් ඉහළ ගිය බවත් බිලිදු මරණ සංඛ්‍යාව 200%කින් වැඩි වූ  බවත් ආචාර්ය මෝහා සිං තවදුරටත් සදහන් කරනවා.

MIC නම් උග්‍ර විෂ සහිත රසායනිකයෙන් තොරව කෘමිනාශක නිෂ්පාදනය කිරීමේ ක්‍රමයක් ඒ කාලයේදිත් සොයාගෙන තිබු නමුත් ඒ සඳහා වැය වන අධික වියදම නිසා දිගින් දිගටම UCIL ආයතනය  MIC යොදාගෙන නිසි ප්‍රමිතියකින් තොරව හා ප්‍රමාණයට වඩා ගබඩා කිරීම අනතුරට හේතුව ලෙස අනාවරණය විය.

කෙසේ නමුත් ලොව බිහිසුණුම කර්මාන්ත රසායනික අනතුරට වගකිය යුත්තන් වූ සමාගමේ විධායක නිලධාරීන් හත් දෙනාට දඬුවම වූයේ ඇමරිකන් ඩොලර් 2000 බැගින් දඩයක් හා වසර දෙකක සිරදඬුවමක් පමණයි.

“ඔපරේෂන් රෑන්ච් හැන්ඩ්” – වියට්නාම් වනාන්තරයට විෂ ලීටර 76,000,000 ක්

විෂ රසායනිකය ඉසින ගුවන් යානා. (Avgeekery.com)

විෂ රසායනිකය ඉසින ගුවන් යානා. (Avgeekery.com)

මෙම රසායනික ප්‍රහාර මාලාව මෙතෙක් ඇමරිකානු රජය තවත් රටකට එරෙහිව කළ විශාලම අමානුෂික රසායනික ප්‍රහාරයයි. 1950 දශකයේ අගභාගය වන විට ඇමරිකා එක්සත් ජනපදය වියට්නාමය ආක්‍රමණය කිරීමට ගොස් ඉතාමත් අසීරු තත්වයකට වැටී සිටියා. කෙසේ හෝ යුධ ජයග්‍රහණය කිරීමට ඔවුන් ඒ සඳහා අමානුෂික යුධ උපක්‍රමයක් ලෙස “මොන්සැන්ටෝ කෙමිකල්” නැමති බහු ජාතික සමාගමේ නිෂ්පාදනයක් වන  “ඒජන්ට් ඔරේන්ජ්” නම් විෂ රසායනික දියරය වියට්නාම් වගා බිම් හා වනාන්තර වලට ගුවන් මඟින් මුදා හැරීමට තීරණය කරනු ලැබුවා.

අමානුෂික ප්‍රහාරය එල්ල කිරීමට හේතූන්

විනාශයට පත් වූ වනාන්තර  (National Museum of the US Air Force)

විනාශයට පත් වූ වනාන්තර  (National Museum of the US Air Force)

“ඔපරේෂන් රෑන්ච් හැන්ඩ්” මෙහෙයුම යටතේ ඇමරිකානු ගුවන් හමුදාව විසින් 1962 ජනවාරි 09 වන දින විෂ රසායනික ඉසීමේ පළමු අමානුෂික ප්‍රහාරය එල්ල කළා. යුද්ධය අවසන් වන විට ඇමරිකානු ගුවන් හමුදාව රසායනික ඉසීම් 6542ක් සිදු කර තිබුණා. වියට්නාමයේ වනාන්තර ප්‍රදේශයෙන් හා වගා බිම් වලින් 20%ක් වැනසීමට මේ මගින් ඔවුන්ට හැකියාව ලැබී තිබුණා. වනාන්තර විනාශ කිරීමේ මුලික අරමුණ වුයේ වනයේ සැඟවී ඇමරිකානු හමුදාවන්ට දැඩි ප්‍රහාර එල්ල කරන වියට්කොන් ගරිල්ලා භටයන් විනාශ කිරීම හා ඔවුන් වනාන්තර වලින් පිටතට ඇද ගැනීමයි. වගා බිම් වලට රසායනික ප්‍රහාර එල්ල කරනු ලැබුවේ රට තුළ ආහාර හිඟයක් ඇති කර වියට්නාම් ගරිල්ලා භටයන්ව ශාරීරිකව හා මානුෂිකව අඩපණ කිරීමයි.

වනාන්තර හා ගොවිබිම් හෙක්ටයාර මිලියන ගණනින් විනාශ වූවාට අමතරව මෙම රසායනිකය හේතුවෙන් ලක්ෂ හතරක වියට්නාම් ජනතාවක් මිය යනු ලබනවා. විෂ රසායනිකය හේතුවෙන් විකෘති දරු උපත් ලක්ෂ 5කට වැඩි බවත් 1960 හා 70 දශකයේ මහා ජන සංහාරයට අමතරව අදටත් මේ හේතුවෙන් වියට්නාමයේ විකෘති දරු උපත් සිදු වන බව වියට්නාම් රජය පවසනවා.

වසර තිස් හයක් මිනමාටා රෝගය ජනනය කළ කිසෝ කම්හල

කිසෝ කම්හල (Free Keyword suggestion tool)

කිසෝ කම්හල (Free Keyword suggestion tool)

1940 සිට ජපානයේ දියුණු වෙමින් පැවති කිසෝ කෝපරේෂන් රසායනික පොහොර සමාගමේ විශාලම කර්මාන්ත ශාලාව පිහිටා තිබුනේ කුමමොටෝ ප්‍රදේශයේ මිනමාටා නගරයේයි. වර්ෂ 1952 දී කිසෝ කර්මාන්තශාලාව අවට පදිංචිව සිටි කුඩා ළමුන් 8 දෙනෙක් හදීසියේම අසනීපවී රෝහල් ගත කරනවා. මොවුන් අට දෙනාම එක හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. මෙය මීට කලින් හදුනා නොගත් අසාමාන්‍ය ස්නායු රෝගයක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මේ අමුතු රෝගය පිළිබඳව සොයා බැලීමට පර්යේෂණ කණ්ඩායමක් පත් කරන ලද්දේ ඉන් අනතුරුවයි.

මිනිසුන් පමණක් නොව සුනඛයන් බළලුන් හා ඌරන් පවා මේ අමුතු ස්නායු රෝගයට ලක් වී මිය යන බවත් තවද මිනමාටා මුහුදු බොක්කේ මත්සයින් විශාල ප්‍රමාණයක් මරණයට පත් වී තිබෙන අතරම පක්ෂීන්ට පියෑඹීමේ හැකියාව අහිමි වී පොළවට ඇද වටෙන බවත් පර්යේෂකයන් විසින් හදුනා ගත් තවත් ගැටළු වුණා.

මොකක්ද මේ අමුතු රෝගයට හේතුව

මිනමාටා රෝගය පැතිරෙන අන්දම (Free Keyword suggestion tool)

මිනමාටා රෝගය පැතිරෙන අන්දම (Free Keyword suggestion tool)

ලෝකයේ පළමු වතාවට මිනමාටා නගරයෙන් වාර්තා වුණු මෙම අමුතු රෝගය පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පැවැත්වූ පර්යේෂකයන්ට හේතුව සොයා ගන්නට හැකිවිය – ඒ කිසෝ කර්මාන්තශාලාවේ අපවහන ජලයේ ඇති උග්‍ර විෂ රසායනිකයක් වූ මෙතිල් මර්කරි නම් රසායනිකයයි. 1932 සිට 1968 දක්වා වර්ෂ 36ක් පුරා අපවහන ජලය මුදා හැර තිබුනේ මිනමාටා මුහුදු බොක්කටයි. මෙම වර්ෂ 36 පුරාවටම මාළුන් හා මුහුදු සත්වයින් මාර්ගයෙන් මිනිසුන්ට හා අනෙකුත් සත්වයන්ට අමුතු ස්නායු රෝගය වැළදී තිබුණා.

සියලු කරුණු පැහැදිලිව අනාවරණය වූ පසු මිනිසුන්ට වැළදුණු ස්නායු රෝගය මිනමාටා රෝගය (Minamata Disease) ලෙසත් සිහිය විකල් වී නටන සතුන්ගේ රෝගය ඩාන්සින් කැට් ෆීවර් (Dancing Cat Fever) ලෙසත් නම් කරන ලදී. 2001 වන විට පුද්ගලයන් 2265කට මෙම විෂ ශරීර ගත වී ඇති බවත් ඉන් 1784ක් මියගොස් ඇති බවත් තහවුරු වුණා.

ලෝකයේ දෙවන දරුණුම න්‍යෂ්ටික පිපිරුම – ෆුකුෂිමා

ගිනිගත් බලාගාරය  (Fukushima Watch)

ගිනිගත් බලාගාරය  (Fukushima Watch)

2011 මාර්තු 11 වන දින ජපානයේ ටෝහොකු භුමි කම්පාව හා සුනාමි තත්වයේ ප්‍රතිඵලයක් ලෙස වායු ගෝලයට මෙන්ම මුහුදු ජලයට විශාල වශයෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් වුණා.

මෙහිදී මුහුදු ජලයට එක් වූ ප්‍රධානතම රසායනික ද්‍රව්‍ය වුයේ සීසියම් 137 නම් විකිරිණශීලි මුලද්‍රව්‍යයි. මාර්තු 12 වන දින බලාගාරයේ සිට කිලෝ මීටර් 200ක් ඈතින් වූ මුහුදෙන් ලබා ගත් ජල සාම්පලයක මෙම මුලද්‍රව්‍ය අඩංගු විය. අනතුරුව මාර්තු 14 දින නැගෙනහිර රුසියාවෙන්ද, 15 දින ඕස්ට්‍රේලියානු මුහුදෙන්ද, 16 දින වන විට එක්සත් රාජධානියේ  බටහිර වෙරළින්ද ගත් ජල සාම්පල වල විකිරණශීලි මුලද්‍රවය අඩංගු වුණා. වාසනාවකට මෙන් වාතයට එක වූ විකිරණශීලි  අයඩින් 131 රසායනයේ අර්ධ ආයු කාලය අඩු බැවින් (දින 8යි) ඉක්මනින්ම එය ක්ෂය වීමකට ලක් වුනි. එසේ නොමැති වූවානම් වාතයට එක් වූ මුලද්‍රවය වර්ෂාවත් සමඟ නැවතත් ගොඩ බිමට පතිත වීම තුළින් විශාල වශයෙන් දරුණු තත්වයක් ඇති වීමේ හැකියාවක් තිබුණා. කෙසේ නමුත් මුහුදට එක් වූ සීසියම් මුලද්‍රව්‍ය නම් තවත් අවුරුදු 300ක කාලයක් පුරා පවතිනු ඇත. ඔබ මේ ලිපිය කියවන මොහොතේත් එම රසායනයෙන් මිනිසා ඇතුළු ජිවින්ට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

අපි ලියා දැක්වුයේ මෑත කාලයේ සිදු වූ අනතුරු හා ප්‍රහාර කිහිපයක් පිළිබඳව පමණයි. දැක්වූ සිදුවීම් කිහිපය හේතුවෙන් කොතරම් මිනිස් ජිවිත ප්‍රමාණයක් අකාලයේ විනාශයට පත් වන්නට ඇත්දැයි ලිපිය කියවන විට ඔබට වැටහෙනු ඇත. මිනිසා නිර්මාණය කරන රසායනනිකයන් මිනිසා නැසීමට නොව මිනිස් උන්නතිය උදෙසා යොදවනවානම් ලෝකය කොතරම් සුන්දර වේවිද ?

මුලාශ්‍ර-  Wikipedia

Related Articles