Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීරයන් වූ දරුවෝ

ශ්‍රී ලාංකීය ඉතිහාසය පිරික්සීමේ දී කුඩා දරුවන් බොහෝ දෙනෙකුගේ ජීවිතය බේරාගෙන ‘වීරයන්’ වූ අවස්ථා අපට හමුවෙනවා. කලා වැව ආශ්‍රිතව කියැවෙන ‘කාල’ නම් ළමා වීරයාගේ කතාව එවැන්නක්. වර්තමානයේ ද එවැනි වීරක්‍රියා කළ දරුවන් පිළිබඳ ලොව නන් දෙසින් වාර්තා වෙනවා. මේ ඔවුන් පිළිබඳ ලියැවෙන ලිපි ද්විත්වයක පළමුවැන්න යි.

කමල් නේපාලි

Sangmo

නේපාලයේ සෙටී නදිය හිමාලයේ අන්නාපූර්ණා පෙදෙසේ සිට ආරම්භ වී එහි, ප්‍රධාන සංචාරක සංධිස්ථානයක් වන පොකාරා හරහා ගලා යනවා. මෙය උස බිම් හරහා, දොරුවක් ඔස්සේ ගලාබසින අතර 2008 වසරේ දී ආරාධනා ප්‍රධාන් නම් ළදැරිය මෙවැනි බිමක සිට ගංගාව ගලා බසින දොරුව දෙසට ඇද වැටී, අතරමඟ වූ කුඩා ගැට්ටක සිර වෙනවා. ළදැරිය නිරුපද්‍රිතව සිටින බැව් පෙනෙන්නට තිබුණත් ඇය සිරවී සිටි ස්ථානයට ළඟා වීම පහසු වූයේ නැහැ.

ආරාධනා දැරිය සිරවී සිටි දොරුව ඉතා පටු එකක් වුණා. එය පිහිටා තිබුණේ කඳු මුදුණේ සිට අඩි 60ක් පමණ පහළිනුයි. වහාම ජීවිතාරක්ෂක නිලධාරීන් කඳු මුදුනට ළඟා වුව ද ඔවුන් කිසිවෙකුට ඇය සිරවී සිටි පටු හිඩැස ඔස්සේ ඇය කරා ළඟා වීම උගහට වූයේ වැඩිහිටියෙකුගේ ශරීරයට වඩා එය විශාලත්වයෙන් අඩු වූ නිසා යි. මෙලෙස පැය 22ක් ගත වූ අතර අවසන ආරාධනාගේ හැඬීම ද නතර වුණා. බොහෝ දෙනා සිතුවේ ඇය මියගිය බව යි.

එක් ජීවිතාරක්ෂක නිලධාරියෙකු වූ සාලුම් නේපාලි හට ශිඛරයෙහි අඩි 20ක පමණ දුරක් යා හැකි වුණා. මීට වඩා දුරක් තමන්ට යා නොහැකි බැව් වටහාගත් ඔහු නැවත පැමිණ සිය 12 හැවිරිදි සොයුරා වන කමල්ට ඒ බැව් පැවසුවා. කෙසඟ සිරුරක් තිබූ දරුවෙකු වූ කමල්ට ඒ විවරය ඔස්සේ තවත් පහළට බැසිය හැකි බැව් ඔහුට ප්‍රත්‍යක්ෂ වී තිබූ අතර, කමල් දැරිය බේරාගන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වනවා. මුලින් ජීවිතාරක්ෂක නිලධාරීන් ඔහුගේ යෝජනාවට අකමැති වූවත්, අවසන ඊට කැමති වන්නේ දැරිය බේරාගන්නට වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් ඔවුන්ගේ සිත්වලට නොආ නිසා යි.

ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් මධ්‍යයේ ඝණ අඳුර ඔස්සේ කමල් ශිඛරය ඔස්සේ පහළට බැස්සේ ජීවිත අවධානමත් නොතකා යි. මිනිත්තු 30ක කාලයක් තුළ ඔහු දැරිය වෙත ළඟා වන්නට සමත් වෙනවා. කාගේත් ජයඝෝෂා මධ්‍යයේ ඔහු දැරිය කඳු මුදුනට රැගෙන එන අතර වහාම ඇය ආසන්නතම රෝහල කරා යැවෙනවා. ඉන් ඇගේ ජීවිතය බේරෙනවා. පසුකාලීනව කමල්ට තමන් කළ වීර ක්‍රියාව වෙනුවෙන් නේපාල සමාජය තුළ විශාල පිළිගැනීමක් ලැබෙන අතර ඔහු සම්මාන කිහිපයකින් ද පිදුම් ලැබුවා.

ටයිටස් හිල්

greeleytribune.com

රිය පදවමින් ජංගම දුරකථන භාවිතා කිරීම නිසා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රිය අනතුරු රාශියක් සිදුවෙනවා. එමෙන්ම හිම සහිත දේශගුණය නිසා වසරක් තුළ කොලරාඩෝ ප්‍රාන්තය තුළ පමණක් රිය අනතුරු 5,000ක් පමණ සිදුවෙනවා. 2002 වසරේ ටයිටස් හිල් දරුවාගේ පවුල මුහුණදුන් මාරක රිය අනතුරට මේ හේතු දෙකම බලපෑවා.

හිල් පවුල සතුව ට්‍රක් රථයක් තිබුණා. 2002 වසරේ දැඩි හිම පතනයක් සතිත දිනක ටැමී හිල් ඇගේ එක්, සතර හා සත් හැවිරිදි දරුවන් තිදෙනා කැටුව නැවත නිවෙස කරා එමින් සිටියේ රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමෙන් අනතුරුව යි. එක්වරම ඇගේ ජංගම දුරකථනය නාද වූ අතර එයට ප්‍රතිචාර දැක්වීමට ගිය නිමේෂයේ දී ට්‍රක් රථය ඇගේ පාලනයෙන් ගිලිහෙනවා. මාර්ගයෙන් ඉවතට විසි වන එය හිම මත රැඳෙනවා. අනතුරෙන් දරුවන් කිසිවෙකුට හානියක් සිදු නොවුණත් ඔවුන් කිසිවෙකුත් ශීත කාලගුණයකට ඔබින ඇඳුමෙන් සැරසී සිටියේ නැහැ. බිඳී ගිය ජනේල තුළින් ශීත සුළං රථය තුළට හමා එමින් තිබුණා. රථයෙන් ඉවතට විසිවී සිටි ඔවුන්ගේ මව වන ටැමී සිටියේ සිහි විසඥව යි.

සත් හැවිරිදි ටයිටස් සිය කුඩා සොයුරියන් දෙදෙනා පරීක්ෂා කළ අතර ඔවුන්ට හානියක් නොමැති බැව් සනාථ කරගත් පසු තනිවම උදව් ඉල්ල යන්නට තීරණය කරනවා. මේ වන විට ඔහු පිජාමා ඇඳුමකින් පමණක් සැරසී සිටි අතර පාවහන් ද පැළඳ සිටියේ නැහැ. රථයෙන් ඉවතට බට ඔහු අධික ශීතලට මුහුණදෙමින්, නිරුවත් දෙපාවලින් හිම මත සැතපුම් බාගයක් පමණ ඇවිද ගියා. අවසන ඔහුට කිරි ගොවිපොළක් හමුවන අතර ඉන් උදව් ලබාගන්නට සමත් වෙනවා.

හෙද නිලධාරීන් ටයිටස්ගේ මව කරා ළඟාවන විට ඇය ඉතා බරපතල තත්ත්වයේ පසුවුණා. ඇගේ අස්ථි දහයකට වැඩි ගණනක් බිඳී තිබූ අතර තව පමාවූවා නම් ජීවිතය අහිමි වන තත්ත්වයේ පසුවුණා. කෙසේ නමුත් ටයිටස්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා ඇගේ ජීවිතය බේරුණා.

වික්ටර් ෆ්ලෝරස්

listverse.com

දියෙහි ගිලී මියයාම ඉතා වේදනාකාරී අත්දැකීමක්. මේ හේතුව නිසා දියෙහි ගිලී හුස්ම සිර වන විට මිනිසුන් හැසිරෙන්නේ වියරුවෙන්. මෙවැනි අවස්ථාවක දී අන් අයෙකු බේරාගන්නවා තබා මොළය මෙහෙයවා තමන්ගේ දිවිය හෝ බේරාගන්නට බොහෝ අය අසමත් වෙනවා. කෙසේ නමුත් වික්ටර් ෆ්ලෝරස් නම් ඇමෙරිකානු ජාතික දරුවා ශීතල ජලයේ ගිලෙමින් සිටි තමන් ද බේරී සිය මිතුරාව ද බේරාගත්තා.

2009 දෙසැම්බර් මාසයේ දී වික්ටර් සිය මිතුරා වන ඒඩන් සමග සිය සීයාගේ ගෙවත්තට ගොස් සිටියේ නිවාඩු දිනකයි. එදින දැඩි හිම පතනයක් තිබූ අතර ගෙවත්තෙහි වූ මිදී ගිය පොකුණක් මතින් ඇවිදයන්නට ඒඩන්ට සිතක් පහළ වුණා. වික්ටර් ඊට විරුද්ධ වුව ද ඒඩන් ඔහුගේ කීම පිළිගත්තේ නැහැ.

පොකුණ මත සෑදී තිබූ තුනී අයිස් තට්ටුව ඔස්සේ ඒඩන් ගමන් කරන්නට පටන්ගත් අතර හදිසියේම ඔහුට පහළින් වූ අයිස් තට්ටුව කැඩී ඒඩන් පොකුණෙහි වූ ශීතල ජලය තුළට වැටෙනවා. වහාම ක්‍රියත්මක වන වික්ටර් සිය මිතුරා බේරාගැනීම සඳහා උත්සාහ කළත් ඔහුත් පොකුණ තුළට වැටෙනවා.

මේවන විට පොකුණෙහි ජලය මිදී යාමට ආසන්න උෂ්ණත්වයක තිබූ අතර මෙය කුඩා දරුවන් දෙදෙනාට ඉවසා දරාගැනීම ඉතා අසීරු වුණා. ඔවුන්ගේ හිස්වලට ඉහළින් නැවත් තුනී අයිස් තට්ටුවක් බැඳීමේ අවදානමක් ද තිබුණා. වියරුවෙන් සිටි ඒඩන් තව තවත් වික්ටර් ජලය තුළට ඇදගන්නට උත්සාහ කළා.

මේ අවස්ථාවේ ඉවසීමෙන් ක්‍රියාකළ වික්ටර් කෙසේ හෝ ඒඩන් ගෙන් මිදී පොකුණෙන් ගොඩට විත්, වහාම අසල වූ ලී කෝටුවක් සොයාගෙන එහි එක් අන්තයක් පොකුණ තුළට දැමීම සිදුකළා. මෙහි එල්ලී ඒඩන් පොකුණෙන් ඉවතට පැමිණියා. පසුකාලීනව මේ ක්‍රියාව පිළිබඳව වික්ටර් ගරු බුහුමන් ලැබුවා.

කවරයේ පින්තූරය- everestuncensored.org

Related Articles