Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීරයන් වූ තවත් දරුවෝ

කුඩා වයසේ දීම සිය නුවණ මෙහෙයවා තවකෙකුගේ දිවි බේරාගත් ළමා වීරයින් තිදෙනෙක් පිළිබඳව පසුගිය ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා. එහි දෙවන කොටස වන මේ ලිපියෙනුත් අප එවැනිම තිදෙනෙකු පිළිබඳව ඔබ වෙත ගෙන එන්නට තීරණය කළා.

එල්ස්පෙත් ‘බීනි’ මාර්

ABC News

යම් කිසිවක් ශ්වාසනාලයෙහි සිරවීම නිසා මියායාමට සිදුවීම ඉතා වේදනාකාරී අත්දැකීමක්. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් අතර මේ තත්ත්වය බහුල අතර ඇමෙරිකාව තුළ මාසයක කාලයක දී දළ වශයෙන් කුඩා දරුවන් සය දෙනෙකු මේ නිසා මියයනවා.

සැක්‍රමැන්ටෝහි පාසලක ඉගෙනුම ලබමින් සිටින් එල්ස්පෙත් ‘බීනි’ මාර් දිවා විවේකයේ දී ආහාර ගනිමින් සිටියා. ඇගේ මිතුරියක වන ආන්යා රිජ්මේඩ්න් ද ආහාර ගනිමින් සිටි අතර එක්වරම ඇපල් කැබැල්ලක් පිට උගුරේ ගොස් ඇය අපහසුතාවයට පත් වෙනවා. මේ නිසා ඇගේ ශ්වාසනාලය සම්පූර්ණයෙන්ම අවහිර වන අතර ඇය දඟලන්නට පටන්ගන්නවා.

මේ අවස්ථාවේ දී ඉතා සන්සුන්ව ක්‍රියා කළ එල්ස්පෙත්, ආන්යා වෙත ගොස් ඇය පසුපසෙන් අල්ලාගෙන, ප්‍රථමාධාර පාඨමාලාවක දී සමාන්‍යයෙන් උගන්වන නිසි ක්‍රමවේදයට අනුව තෙරපනවා. කෙටි වේලාවක දී ආන්යාගේ ශ්වාසනාලයෙහි සිරව තිබූ ඇපල් කැබැල්ල ඉවතට ගැනීමට ඇය සමත් වෙනවා.

එල්ස්පෙත්ගේ මේ වීර ක්‍රියාව කාගේත් පැසසුමට ලක් වූ අතර, බොහෝ දෙනා කතා වූයේ හදිසි අවස්ථාවේ දී ඇය ක්‍රියා කළ සන්සුන් විලාශය පිළිබඳව යි. එමෙන්ම සය හැවිරිදි ඇය මෙවැනි අවස්ථාවක දී ක්‍රියාත්මක කළ යුතු නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේදය ඉගෙනගෙන ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව කාටත් තිබුණේ ප්‍රහේලිකාවක්. ඇය පසුකාලීනව ප්‍රකාශ කළේ තමන් එය ඉගෙනගත්තේ රූපවාහිනියේ විකාශය වූ ඩිස්නි වැඩසටහනකින් බව යි.

මයිකල් බෝරොන්

Lincoln Baker/Sunday Times

කුඩා නගරයක් වන බොනී රොක් පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ යි. මෙය අනෙකුත් නගරවලින් සෑහෙන තරම් ඈතට වන්නට පිහිටා ඇති අතර එහි විශාල ජනකායක් ද ජීවත් වන්නේ නැහැ. මේ නිසා හදිසි අවස්ථාවන්හි දී උදව් ලබා ගැනීමත් එතරම් පහසු වන්නේ නැහැ.

බොනී රොක්හි ජීවත් වූ ජස්ටින් බෝරොන්, සිය 12 හැවිරිදි දරුවා වන මයිකල් සමග අවශ්‍යතාවක් සඳහා යමින් සිටිය දී ජනශුන්‍ය පෙදෙසක දී තරමක් දරුණු අනතුරකට මුහුණපානවා. මේ නනතුරෙන් ඔවුන් ගමන්ගනිමින් සිටි ට්‍රක් රථය උඩු යටිකුරු වූ අතර, අනතුරෙන් ජස්ටින්ගේ හිස්කබල පැලී දරුණු ලෙස රුධිරය ගලායන්නට පටන්ගත්තා. මේ වන විට ඔවුන් සිටි ස්ථානයේ සිට ළඟම ඇති රෝහලට කිලෝමීටර 50ක දුරක් තිබූ අතර, කිලෝමීටර 200ක දුරක් තුළ වෛද්‍යවරයෙක් සිටියේ නැහැ. මේ අනුව ජස්ටින්ගේ ජීවිතය තිබුණේ අවදානම් අඩියක යි.

අනතුරෙන් මයිකල්ට ද සෑහෙන තරම් තුවාල වී තිබුණා. මේ නිසා සිය පියාට ආධාර ඉල්ලා ගමන් කරන්නට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. ට්‍රක් රථයෙන් ඉවතට බඩගෑ ඔහු අපහසුවෙන් රථයේ තිබූ රේඩියෝ පණිවුඩ හුවමාරු කරගන්නා මයික්‍රෆෝනය සොයාගත්තා. කෙසේ නමුත් අනතුර නිසා රේඩියෝවට ද අලාභහානි සිදුවී එය ක්‍රියා විරහිතව තිබුණා.

මේ මොහොතේ දී කෙසේ හෝ රේඩියෝව අලුත්වැඩියා කරගෙන ඒ මඟින් උදව් ඉල්ලීම සිය පියාගේ ජීවිතය බේරාගැනීමට ඇති එකම මඟ බැව් කුඩා මයිකල් වටහාගන්නවා. වහ වහා ක්‍රියාත්මක වූ ඔහු සුන්බුන් ගොඩෙන් අමතර බැටරියක් සොයාගෙන ඉන් අනතුරුව රේඩියෝවේ ඇති වයර් කැබලි ගලවා, නැවත ඒවා සවි කරනවා. අනතුරුව බැටරිය පරිපථයට සම්බන්ධ කරන ඔහු එය ක්‍රියාකාරී කරවන්නට උත්සාහ කරනවා. මේ කාලය පුරාවටම ට්‍රක් රථයේ එන්ජිම ක්‍රියාත්මකව තිබූ අතර එය පුපුරා යාමේ අවදානමක් ද තිබුණා. 

මඳ වේලාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව රේඩියෝව ක්‍රියාත්මක කරගැනීමට මයිකල් සමත් වෙනවා. ඔහු වහා ආධාර ඉල්ලා සිටින අතර නිවැරදිව තමන් සිටින් ස්ථානය දන්වන්නට ද සමත් වෙනවා. වහාම ගිලන් රථයක් ඔවුන් සිටි ස්ථානයට ගෙන්වාගන්නට ඔහු ක්‍රියා කරන අතර මේ නිසා ඔහුගේ පියාගේ දිවිය රැකෙනවා. තුවාල ලබා තිබියදීත් ඔහු කළ මේ වීරක්‍රියාව පසුකාලීනව ඇගයීමට ලක් වෙනවා.

ටිමී මයිල්ස්

ABC News

ගේලින් මයිල්ස් නම් ඇමෙරිකානු ජාතික කාන්තාව මානසික ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා තිබුණා. 2000 වසරේ ඇය රෝහල්ගතව සිටින විට දී ඇගේ සැමියා වන ටිම් ඇය කෙරෙන් දික්කසාද වුණා. මේ යුවලට දරුවන් තිදෙනෙක් වුණා. දික්කසාදයෙන් අනතුරුව ඇගේ ඉදිරි ජීවිතය එතරම් සැනසිලිදායක වූයේ නැහැ. 2011 වසර වන විට නැවත වතාවක් ඇගේ මානසික ආබාධය ඉස්මතු වන අතර, ජීවිතය තොර කරගන්නට ඇය තීරණය කරනවා. ඒ ඇගේ දරුවන් තිදෙනා සමග යි.

2011 වසරේ ජනවාරි මාසයේ දී ඇය සිය දරුවන් තිදෙනා තම කාරයේ නංවාගෙන නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ජන ශුන්‍ය පෙදෙසකට යනවා. අනතුරුව ඇය සිය දරුවන් තිදෙනාටම නිදි පෙති දුසිමක් ගණනේ පොවනවා. ඇය ද එම ප්‍රමාණයම පානය කරනවා. අනතුරුව මරණය අපේක්ෂාවෙන් කාරය තුළ රැඳී සිටින්නේ සිය දරුවන් තිදෙනාද එහි රඳවාගෙන යි.

මේ අවස්ථාවේ දී ඇය නොපැතූ දෙයක් සිදුවෙනවා. කාරයේ ගින්නක් හටගන්නේ කාර්මික දෝෂයක් නිසා යි. ගින්න හා දුම ඉක්මණින් පැතිරී යන අතර ඒ මොහොතේ දී ක්‍රියාත්මක වන දෙටු පුත් 13 හැවිරිදි ටිම් වහාම සිය 11 හැවිරිදි සොයුරා හා 10 හැවිරිදි සොයුරිය ඉවතට රථයෙන් ඉවතට ඇදගන්නවා. මව ද ඉවතට ඇදගන්නට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැහැ.

ගින්න නිවෙන තුරු සිටි දරුවන් තිදෙනා නැවත කාරය තුළට පැමිණ එහි රාත්‍රිය ගත කරනවා. හිරු උදා වූ පසු තිදෙනාම උදව් සොයාගෙන යන අතර කෙටි වේලාවකින්ම ප්‍රදේශවාසීන්ට ඔවුන් හමුවනවා. වහාම ඔවුන් රෝහල්ගත කෙරෙන අතර එහිදී පිළිස්සුම් තුවාලවලට මෙන්ම ශරීරගත වූ ඖෂධ අධිමාත්‍රාවටත් ප්‍රතිකාර කෙරුණා. වාසනාවට ඖෂධ ඔවුන් කිසිවෙක් කෙරෙහි දරුණු ලෙස ඖෂධ අධිමාත්‍රා ක්‍රියා කර තිබුණේ නැහැ. උක්ත අවස්ථාවේදී ස්ථානෝචිත ප්‍රඥාව මෙහෙයවා ක්‍රියාත්මක වී සිය සොහොයුරා හා සොහොයුරිය මරණයෙන් බේරාගත් ටිමී කාගේත් ප්‍රසාදයට හා ගෞරවයට ලක්වුණා.

කවරයේ පින්තූරය- pinterest.com

Related Articles