Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හඳෙන් හාල් ගෙන්වන දිනය වැඩි ඈතක නොවේ

1970 දශකයේ ශ්‍රී ලංකාවේ පැවති මහමැතිවරණයක් අබිමුව එක්තරා ප්‍රකට දේශපාලන චරිතයක් වේදිකාවක දී ප්‍රකාශ කළේ, තමන් ‘හඳෙන් හෝ හාල් ගෙන්වා’ මිනිසුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරන බව යි. මේ කියමන පිළිබඳ ව වසර ගණනාවක් යන තුරු සමහරක් දෙනා කතා කළේ උපහාසයෙනුයි. ඒ එය කිසිදා සිදුනොවන සිදුවීමක් ලෙස අර්ථකථනය කරමිනුයි. කෙසේනමුත්, මේ කියවන සැබෑවක් වීමේ පෙරලකුණු පහළ වී තිබෙනවා. පසුගිය දා චන්ද්‍රයා මත ප්‍රථම බීජ ප්‍රරෝහණය සිදුකිරීමට චීනය සමත් වුණා. මේ ඒ පිළිබඳ තොරතුරු යි.

චීනයේ සාර්ථක ප්‍රයත්නය

චීනය විසින් දියත් කරන ලද චැන්ග් ඊ-4 මෙහෙයුම මඟින් චන්ද්‍රයා වෙත ගෙන යන ලද බීජ ප්‍රරෝහණය වී තිබෙනවා. මේ චන්ද්‍රයා මත යම් ජෛවීය ද්‍රව්‍යයක් වැඩුණු ප්‍රථම අවස්ථාව යි. මෙය අනාගතයේ සක්වල ජයගැනීම සඳහා වූ මෙහෙයුම්වලට උරදීම සඳහා වන සාර්ථක පියවරක් බැව් මෙහෙයුමට සහභාගී වූ විද්‍යාඥයින් පවසනවා.

චැන්ග් ඊ-4 යානයේ අනුරුවක්- news.com.au

චැන්ග් ඊ-4 මිනිසා විසින් චන්ද්‍රයාගේ දුර පෙදෙසට හෙවත් පෘථිවියට නොපෙනෙන අර්ධයට ගොඩබස්වන ලද ප්‍රථම යානාව යි. එය 2019 වසරේ ජනවාරි මස 3 වන දා සාර්ථක ව චන්ද්‍රයාගේ පෘෂ්ඨය කරා ළඟා වුණා. ප්‍රධාන වශයෙන් මෙය සමන්විත වනුයේ චන්ද්‍ර පෘෂ්ඨය ගවේෂණය කළ හැකි තාක්ෂණික උපකරණ වලිනුයි.

මීට පෙර ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සාර්ථක ව බීජ ප්‍රරෝහණය කර ඇති නමුදු කිසි දිනෙක චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත මෙවැන්නක් උත්සාහ කර තිබුණේ නැහැ. යම් හෙයකින් දිගින් දිගටම මේ මෙහෙයුම සාර්ථක වුවහොත්, එය අනාගත අභ්‍යාවකාශ චාරිකාවල දී උද්ගත වන ආහාර ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරක් සපයනු ඇති.

මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු

මෙම යානාව මඟින් චන්ද්‍රයා මතට කපු හා අර්තාපල් බීජ මෙන්ම යීස්ට් හා ගෙමැස් බිත්තර අඩංගු පස් සාම්පල ගෙන ගොස් තිබෙනවා. මේවා මුද්‍රා තබන ලද බහාලුමක හොවා ඇති අතර, ඒ තුළ බීජ ප්‍රරෝහණයට ප්‍රශස්ත වූ පාරිසරික සාධක පවත්වාගෙන යන පරිදි වූ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන පරිදි එය තනා තිබෙනවා. මීට අමතර ව එහි ප්‍රභාසංස්ලේෂණය හා ශ්වසනය නිර්ණය කළ හැකි පරිදි ප්‍රතිග්‍රාහක පද්ධතියක් ද සවිකොට තිබෙනවා. මේ සියල්ල සෙ. මී. 18ක් උස, කි. ග්‍රෑ. 3ක් බර රඳවනයක් තුළ තැන්පත් කර තිබෙනවා.

උසස් තාක්ෂණයෙන් යුතු බහාලුම තුළට නිසියාකාර වායු හා පෝෂක සැපයුමක් ඇති අතර, ඒවා අවස්ථානුකූල ව සැපයෙන පරිදි පද්ධතිය සකසා තිබෙනවා.

පසුගිය අඟහරුවාදා නිල නිවේදනයක් නිකුත් කරමින් චීන ජාතික මාධ්‍ය කියා සිටියේ, ඒ වන විට කපු බීජ ප්‍රරෝහණය වී ඇති බව යි. මේ අනුව තමන් ‘චන්ද්‍රයා මත මිනිසා විසින් සිදුකරන ලද ප්‍රථම ජීව විද්‍යාත්මක පර්යේෂණය සාර්ථක ව සම්පූර්ණ කළ’ බව කියා සිටියා.

චන්ද්‍රයා මත පවතින්නේ පෘථිවියට සාපේක්ෂ ව අඩු ගුරුත්වයක්. මෙවැනි ස්ථානයක සාර්ථක ව බීජ ප්‍රරෝහණය කිරීමට හැකියාව ලැබීමෙන් අනාගතයේ දී අභ්‍යාවකාශ යානා තුළ ආහාර සඳහා පමණක් නොව, ඉන්ධන හා ඇඳුම් වැනි දේ තැනීම සඳහා ද ශාක වැවීමට හැකි වනු ඇතැ යි විද්‍යාඥයින් මත පළ කරනවා.

ප්‍රරෝහණය වූ කපු ශාකය- AFP/Getty

මෙම යානය පෘථිවියේ සිට චන්ද්‍රයා කරා ළඟා වීමට දින 20ක් ගෙන තිබෙන අතර, ඒ කාලය තුළ නවීන තාක්ෂණය යොදා ගනිමින් බීජ ප්‍රරෝහණය නොවී තබා ගන්නට විද්‍යාඥයින් සමත් වුණා. බීජ ප්‍රරෝහණය වීමේ ජයග්‍රහණයයට අමතර ව චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ඡායාරූප රාශියකුත් පෘථිවියට එවන්නට චැන්ග් ඊ-4 යානය සමත් ව තිබෙනවා.

නවතම තත්ත්වය

මිනිසා විසින් සඳ මත දී පළමු ශාකය ප්‍රරෝහණය කළ බව සැලවීමත් සමග, ලොව පුරා බොහෝ දෙනා එහි වැඩීම ඇතුළු අනාගත ක්‍රියාවලීන් සිදුවන්නේ කෙසේදැ යි සොයා බලන්නට උත්සුක වුණා. කෙසේ නමුත්, ජනවාරි 16 වන දා වන විට ඔවුනට අසන්නට ලැබෙන්නේ ඒ තරම් සුබවාදී තොරතුරක් නොවේ. ප්‍රරෝහණයෙන් දින දෙකක ඇවෑමෙන් කපු බීජය මියගොස් තිබෙනවා.

චන්ද්‍රයාට රාත්‍රිය උදාවීමත් සමග එහි පෘෂ්ඨය මත උෂ්ණත්වය ඉතා දැඩි ලෙස පහත යනවා. කෙතරම් සුරක්ෂිත ව තැබුවත් බීජ ආරක්ෂා කිරීම සඳහා වූ බහාලුමේ උෂ්ණත්වය සම්පූර්ණයෙන් ම පාලනය කළ නොහැකියි. ප්‍රරෝහණයෙන් පැය ගණනාවක් ගත වූ පසු බහාලුම තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 52 දක්වා පහත වැටී තිබෙන අතර, අවසානයේ කපු ශාකය මියගොස් තිබෙනවා.

සඳමතට යවන ලද සෙසු බීජ සමග සලකන කල්හි වඩා අහිතකර හා කටුක පරිසරයක ප්‍රරෝහණය වීමට හා පැවතීමට වැඩි හැකියාවක් කපු ශාකය දරනවා. කපු බීජ පමණක් ප්‍රරෝහණය වන්නට ඇත්තේත් මේ නිසා ම බැව් විද්‍යාඥයින් පවසනවා. කෙසේ නමුත්, අවසානයේ එයටත් දරාගත නොහැකි තරම් පාරිසරික තත්ත්වයන්ගේ කටුක බව ප්‍රබල වී තිබෙනවා.

පැය කිහිපයක ඇවෑමෙන් ප්‍රරෝහණය වන ලද කපු ශාක මියගියත්, පර්යේෂණය අසාර්ථක නොවූ බව එයට සහභාගී වූ විද්‍යාඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ, කෙසේ හෝ සඳ මත දී බීජයක් ප්‍රරෝහණය කර ගැනීමට ලැබීම ම විශාල ජයග්‍රහණයක් බව යි. අනාගතයේ දී ද මේ පිළිබඳ ව වූ පර්යේෂණ පවත්වන බව පවසන ඔවුන් අනාගතයේ දී ඉහළ තාක්ෂණයක් උපයෝගී කරගෙන වඩා සාර්ථක ව බීජ ප්‍රරෝහණය කළ හැකි බවට විශ්වාසය ඵල කරනවා.

චැන්ග් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්

සඳමත ඔබමොබ යන චැන්ග් ඊ-4 රෝවරය- nasaspaceflight.com

චන්ද්‍රයා ජයගැනීම කලෙක පටන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හා රුසියාවේ මෙන්ම චීනයේ ද සිහිනයක් වී තිබුණා. ඒ අනුව ඔවුන් 21 සියවසේ උදාවත් සමග චැන්ග් මෙහෙයුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඊට අනුව ඔවුන් සාර්ථක ව චැන්ග් ඊ1 හා 2 යානා පිළිවෙලින් 2007 වසරේ දී හා 2010 වසරවල දී චන්ද්‍රයා වටා කක්ෂගත කළා. ඉන් අනතුරුව 2013 වසරේ දී ඔවුන් චැන්ග් ඊ3 යානාව චන්ද්‍රයාගේ ආසන්න අර්ධයට හෙවත් පෘථිවියට පෙනෙන පැත්තට සාර්ථක ව ගොඩබස්සවන්නට සමත් වුණා. සාර්ථක චැන්ග් ඊ4 මෙහෙයුමෙන් පසුව ඔවුන්ගේ බලාපොරොත්තුව 2019 වසර තුළ දී ම චැන්ග් ඊ5 මෙහෙයුමත් දියත් කිරීම යි.

Related Articles