Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චන්ද්‍රයාගේ ගමන මුල් කරගත් “චීන අලුත් අවුරුද්ද”

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම සැමරෙන සිංහල සහ හින්දු ජාතිකයින් විසින් සමරනු ලබන අලුත් අවුරුද්ද උදා වන්නට ඇත්තේ තව මසක පමණ කාලයක් පමණයි. නමුත් ජනවාරි පළමුවනදාත් කිරි උතුරවමින්, කිරිබත් පිසිමින් ජයටම සැමරීමට අප පුරුදු වී සිටිනවා. රටින් රටට අනුව මේ “නව අවුරුදු උදාව” සැමරීම වෙනස් වනවා. මේ ලිපියෙන් roar.lk පාඨක ඔබ වෙත ගෙන එන්නේ “මකරුන්ගේ දේශය” නමින් විරුදාවලි ලත් චීන ජාතිකයින්ගේ නව වසර පිළිබඳව තොරතුරු කිහිපයකුයි.

සාම්ප්‍රදායික චීන චන්ද්‍ර චක්‍රය (Image Credit: wikipedia.com)

වසන්ත සෘතු උළෙල

චන්ද්‍රයාගේ නව අවුරුද්ද හෙවත් “Lunar New Year” නමින් හැඳින්වෙන චීන ජාතිකයින්ගේ අලුත් අවුරුද්ද වඩාත්ම ජනප්‍රිය වන්නේ “Chūnjié” හෙවත් චීන “වසන්ත සෘතු උළෙල” (Chinese Spring festival) ලෙසිනුයි. වසන්ත සෘතු උළෙල යන නමින් හැඳින්වුවත් මෙම උත්සවය පැවැත්වෙන්නේ චීනයේ ශීත සෘතුවට අයත් සමය තුළයි. නමුත් මෙම උළෙලෙන් අදහස් වන්නේ ශීත සෘතුවට පසුව එන වසන්ත සෘතුවේ ආරම්භය යි.

මේ වන විට ලොව වැඩිම පිරිසක් සමරන උත්සව පහ අතරට එක් වන්නටත් චීනයේ වසන්ත සෘතු උළෙලට හැකියාව ලැබී තිබෙනවා. මීට හේතු වන්නේ චීනයේ අධික ජනගහනයම නොවේ. චීන වැසියන්ට අමතරව ජපානය, කොරියාව, වියට්නාමය, සිංගප්පූරුව, මැලේසියාව හා තායිලන්තය පමණක් නොවෙයි, ඉන්දුනීසියාව, මොරිශස් සහ පිලිපීනය වැනි රටවල් වල වැසියන්ද මෙම උත්සවය මහත් හරසරින් යුතුව සමරනු ලබනවා. ලොව පුරා විවිධ රටවල් වල ඇති “චයිනා ටවුන්” හිදීත් මෙම උත්සවය සැමරෙනවා. නිව් යෝ(ර්)ක්, ලන්ඩන්, වැන්කූව(ර්), සිඩ්නි ඇතුළු ලොව ප්‍රධාන නගරවලත් චීන නව අවුරුදු උදාව සැමරීම දැන් සිරිතක් බවට පත්ව තිබෙනවා. මෙවර චීන නව අවුරුදු සැමරුම් උළෙලවල් මෙන්ම ඒ හා සබැඳි ප්‍රදර්ශ කිහිපයක් කොළඹ නගරය ආශ්‍රිතවද පැවතුණා. Travel China Guida වෙබ් අඩවිය පවසන අන්දමට නම් මේ වන විට චීන නව අවුරුදු උත්සවය සැමරීමට ලෝක ජනගහනයෙන් හයෙන් එකක් සහභාගී වනවා. රැකියාවන්හි නියුතු පුද්ගලයින්ට දින දොළහක අඛණ්ඩ නිවාඩු ලැබෙන නව අවුරුදු උළෙල චීනයේ දිගම මහජන නිවාඩු දිනය වීමත් තවත් එක් විශේෂත්වයක්.

සූර්යයාගේ ගමන් මග පාදක කරගනිමින් සාදන ලද ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව ජනවාරි පළමුවැනිදා නව අවුරුද්දක ඇරඹුම ලෙස සටහන් වනවා. නමුත් සාම්ප්‍රදායික චීන දින දර්ශනය සෑදී ඇත්තේ චන්ද්‍රයාගේ ගමන් මගට අනුරූපවයි. මේ නිසා ජනවාරි මස හෝ පෙබරවාරි මසදී චීන නව අවුරුද්ද උදා වනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසර උදා වන්නේ චන්ද්‍රයාගේ වසර උදාවන පළමුවන දිනයේදීයි. එය ග්‍රෙගෝරියානු දින දර්ශනය සමග සැසඳීමේදී චීන නව වසර උදා වන්නේ ජනවාරි මස විසිඑක් වන දිනත් පෙබරවාරි මස විසිවන දිනත් අතරමැද කාලයේදීයි. මෙම වසරේ චීන නව අවුරුදු නිවාඩුව ඇරඹුණේ පෙබරවාරි මස දහසය වන දිනයි.

මෙම සාම්ප්‍රදායික චීන දින දර්ශනය වසර හැට බැගින් වූ “චන්ද්‍ර චක්‍ර” වලින් හෙවත් “Lunar cycles” වලින් සමන්විත වනවා. එම චක්‍ර නැවතත් වසර දොළහ බැගින් වූ කොටස් පහකට වෙන් කර තිබෙනවා. ඉන් එක් එක් වසර නියෝජනය කිරීම සඳහා සත්වයකුද සිටිනවා. ඒ මීයා, හරකා, කොටියා, හාවා, මකරා, නයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, සුනඛයා සහ ඌරා යන සත්වයින් දොළොස් දෙනායි.

මේ වූ-ෂූගේ වසරයි

2018 වසර යනු මින් එක් චක්‍රයක තිස්පස් වන වසරයි. ඒ අනුව මෙම වර්ෂය වූ-ෂූ සුනඛයාට (Wu-Xu Dog) අයත් වර්ෂයක් වනවා. චීන රාශි ක්‍රමයට අනුව සුනඛයා යනු විශ්වාසනීයත්වය, වගකීම් සහගත බව, ධෛර්යය, ශක්තිය, උත්සාහවන්ත බව, මෘදු සිත් ඇති බව, මිතුදම මෙන්ම වීරත්වය ඇතුළු අනර්ඝ ගුණාංගයන්ගෙන් හෙබි සත්වයෙක්.

වාසනාව ගෙනෙන රතු පැහැති ලියුම් කවර (Image Credit: aliexpress.com)

ලොව කොතැනක සිටියත් නව අවුරුදු උදාව සැමරීම පිණිස චීන ජාතිකයින් සියලුම දෙනා තම පවුලේ අය සමග එකතු වනවා. කුමන රාජකාරිය තිබුණත් හැකි ඉක්මනින්ම තම නෑ හිත මිතුරන් වෙත ළඟා වී මෙම උත්සවය සැමරීමටයි චීන වැසියන් පුරුදු වී සිටින්නේ. අවුරුදු උදාවට පෙර තම නිවෙස් පිරිසිදු කොට පැරණි වසරේ අසුබ සලකුණු සටහන් වන දෑ පවත ඉවත ලෑමට චීන වැසියන් පුරුදුව සිටිනවා. මනා ලෙස සිය නිවෙස් පිරිසිදු කිරීමෙන් අනතුරුව සිදු වන්නේ නව අවුරුදු සැරසිලි වලින් නිවෙස අලංකාර කිරීමයි. චීන ජාතිකයින්ට අනුව රතු පැහැය යනු ඉතාමත්ම සුබ වර්ණයක්. සතුට, සාමය, ධනය සහ සෞභාග්‍යය ළඟා කර දීමට මෙන්ම අවාසනාව සහ හානිකර භූතාත්මයන් පලවා හැරීමටත් මෙම වර්ණයට හැකියාව ඇති බව ඔවුන් විශ්වාස කරනවා. ඕනෑම සුබ කටයුත්තකදී රනින් සහ රත් පැහැයෙන් යුත් සැරසිලි භාවිතා කරන්නට ඔවුන් පෙළඹෙන්නේ එබැවිනුයි.

සුබ පැතීම්

“Guo Nian Hao” යනු “සුබ අලුත් අවුරුද්දක් වේවා” යනුවෙන් චීන බසින් සුබ පතනා ආකාරයයි. “gōngxǐ fācái” යනුවෙන් මැන්ඩරින් බසිනුත්, “Kung hei fat choi” යනුවෙන් කැන්ටොනීස් බසිනුත් සුබ පැතීම මෙම උත්සව සමයේදී සිදු කෙරෙනවා. කැන්ටොනීස් බසින් සුබ පැතීමේ දීර්ඝ අරුත වන්නේ “ඔබට සුබ නව වසරක් සහ සෞභාග්‍යමත් නව වසරක් වේවා” යන්නයි. පසුගිය වසරේදී ඇතිවුණු නොහොඳ නෝක්කාඩු අමතක කොට තම මිතුදම් සහ බැඳීම් අලුත් කරගැනීමට මේ සමය ඉතා සුදුසු බව චීන ජාතිකයින්ගේ විශ්වාසයයි.

නව අවුරුද්දේ විශේෂිත ආහාර

නව අවුරුදු සමය පිළිබඳව කතා කිරීමේදී ආහාර වර්ග පිළිබඳවත් අමතක කරන්න බැහැ. “Jiaozi” හෙවත් ඩම්ප්ලින්ග්ස් නැමති සාම්ප්‍රදායික ආහාරයත්, බත් වලින් සාදනු ලබන “niangao” හෙවත් “Rice cakes” නමැති ආහාරයත් මෙහිදී මුල් තැනක් ගන්නවා. එමෙන්ම ස්ප්‍රින්ග් රෝල්ස් සමග පිසින ලද මාළු වර්ගත් කෑම මේසයට වරදින්නේ නෑ. කුකුල් මස්, ඌරු මස් සහ තාරා මස් වලටත් මෙහිදී අනිවාර්යයෙන්ම ඉඩක් වෙන් වෙනවා. මීට අමතරව, පලතුරු වර්ග, රසකැවිලි වර්ග සහ විවිධ ඇට වර්ගත් ආහාරයට ගැනෙනවා. පිටි වලින් සාදනු ලබන ඩම්ප්ලින්ග්ස් නැමති ආහාරය නම් වඩාත්ම ජනප්‍රිය වන්නේ උතුරු චීනයට අයත් පළාත් තුළයි. මීට අමතරව, පලතුරු වර්ග, රසකැවිලි වර්ග සහ විවිධ ඇට වර්ගත් ආහාරයට ගැනෙනවා. පිටි වලින් සාදනු ලබන ඩම්ප්ලින්ග්ස් නැමති ආහාරය නම් වඩාත්ම ජනප්‍රිය වන්නේ උතුරු චීනයට අයත් පළාත් තුළයි.

නව අවුරුද්ද රසවත් කරන ආහාර (Image Credit: baliplus.com)

වාසනාවන්ත මුදල්

සාමාන්‍යයෙන් අප කෙනෙකුට ත්‍යාගයක් දෙන විට එය අලංකාරවත් කඩදාසියකින් ඔතනු ලැබුවත් චීන ජාතිකයින් අතර ඔතන ලද තෑගි දීමේ පුරුද්දක් නැහැ. “Lucky money” හෙවත් “වාසනාවන්ත මුදල්” වලින් පිරුණු රතු පැහැති ලියුම් කවර හුවමාරු කිරීමක් මෙහිදී සිදු වනවා. බාල මහලු සියලු දෙනා තම තමන් අතර මෙසේ ලියුම් කවර හුවමාරු කරගැනීම එක් අවුරුදු චාරිත්‍රයක් ලෙසත් හඳුනාගත හැකියි. මෙසේ තමන් හට ලැබෙන මුදල් අවුරුදු සමයේදී තමා රිසි පරිදි වියදම් කරන්නට කුඩා දරුවන් හට අවස්ථාව සැලසෙනවා.

වසන්ත උලෙළේ අවසානය සනිටුහන් කරන පහන් කූඩු උළෙල

විනෝදයෙන් ගෙවෙන නව අවුරුදු සමය දින පහළොවකින් පමණ සමන්විත වනවා. පහළොස්වන දිනය වෙන් වන්නේ “Lantern festival” හෙවත් අලංකාරවත් පහන් කූඩු උළෙල වෙනුවෙනුයි. සාම්ප්‍රදායික ගැමි නර්තනාංග රඟ දැක්වීම, “yuánxiāo” නැමති විවිධ පිරවුම් යොදා සාදන ලද බත් බෝල ආහාරයට ගැනීම, තේරවිලි ඇසීම, මල්වෙඩි පත්තු කිරීම මෙන්ම විවිධාකාරයට සාදන ලද පහන් කූඩු වලින් වර්ණවත් වූ වීදි සංදර්ශන පැවැත්වීමද මේ දිනයේදී සිදු කෙරෙනවා. මේ දිනයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එම දිනය “චීනයේ වැලන්ටයින් දිනය” ලෙසින් හඳුන්වනු ලැබීමයි. තනිකඩ තරුණ තරුණියන්ට මෙදින තම සහකාරිය හෝ සහකාරයා මුණ ගැසීමට හැකි බව චීන ජාතිකයින් විශ්වාස කරනා බැවින් එම දිනයට මේ නමත් පටබැඳී තිබෙනවා.

රනින් සහ රත් පැහැයෙන් දිදුලන සාම්ප්‍රදායික සැරසිලි (Image Credit: asiaexpatguides.com)

කෙසේ වෙතත්, කුමන රටක වුවත්, වසරේ කුමන දිනයක වුවත්, නව වසරක් ලැබීමේදී සියලු දෙනාගේ බලාපොරොත්තුව වන්නේ සාමය, සතුට සහ සෞභාග්‍යය ළඟා කරගැනීම බව මේ චාරිත්‍ර පිළිබඳව සිදු කෙරෙන කියවීම් වලින්ද පැහැදිලි වනවා.

කවරයේ ඡායාරූපය – eastwestbank.com  

තොරතුරු උපුටා ගැනීම – www.livescience.com වෙබ් අඩවියේ “Chinese New Year: Customs and Traditions” ලිපිය ඇසුරිනි.

Related Articles