Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මගුලට උපතට අනාවැකියට චීන ජනතාවට අත්‍යාවශ්‍ය වන රාශ්‍රි චක්‍රය

කේන්දර බැලීම ලග්න විශ්වාස කිරීම ආදී දේ නූතන තාක්ෂනික යුගයට නොගැලපෙන්නේ යයි ඇතැම් පිරිස් තර්ක කලත්, යුරෝපයේ මෙන්ම ඉන්දියාව, චීනය ඇතුළු රටවල් ගනනාවක තවමත් මෙම කේන්ද්‍ර රාශි චක්‍රය විශ්වාස කරනු ලබනවා. යමක් පටන්ගන්නා විට සුභ වේලාවකට ආරම්භ කිරීම, විවාහ මංගල උත්සව වලදී චාරිත්‍ර අනුගමනය කිරීම ආදී දේවලදී අපේ රටේද මෙම සාම්ප්‍රදායික පාරම්පරික විශ්වාසයන් මහ ඉහලින් සලකනු ලබනවා. අප්‍රේල් මස දී සිංහල අපිට උදාවන සිංහල අවුරුද්ද සූර්යයා මීන රාශියෙන් මේස රාශියට සංක්‍රමනය විමක් ලෙස හඳුන්වනවා. චීනයේදී ඔවුන්ගේ තිබෙන කැලැන්ඩරය සහ රාශ්‍රි චක්‍රය මදක් වෙනස්. චීනයේ චන්ද්‍රමාස සහ සූර්ය ලෙස කැලන්ඩර් දෙකක් භාවිතා වනවා. අපට මෙන්ම චීනයේද රාශි 12ක් තිබෙන මුත් ඒවා හදුන්වන්නට ඔවුන් සංකේත ලෙස සතුන් යොදාගෙන තිබෙනවා.

චීන රාශි චක්‍රය සහ අදාල වර්ශයන් (vincequek.com)

චීන රාශි වලට සතුන්ගේ නම් වැටුන හැටි

තාඕ දහම අනුව දිව්‍ය ලෝකය පාලනය කරන අධිරාජ්‍යයා විසින් අලුත් අවුරුද්දට සුබ පතන්නට සතුන්ට තමාව බැහැදකින්නට එන ලෙස ආරාධනා කරනවා. ඒ සතුන් පැමිනෙන පිළිවෙල අනුව රාශි චක්‍රය නම් කරන්නට නියම වුනා. දැන් අදාල දිනයක් යොදාගෙන සතුන් එනතෙක් දිව්‍ය අධිරාජයා මග බලාගෙන ඉන්නවා.

මේ ගමනට මහා විශාල ගංගාවක් තරණය කරන්නත් තිබෙනවා. මීයා සහ බළලා ඒ කාලේ හොඳ මිතුරන්.. මේ දෙදෙනා ගවයා සමඟ කතාබහ කර ගවයාගේ පිටේ අධිරාජයා බැහැ දකින්නට යන්න තීරණය කරගත්තා.. වතුරේ ටික දුරක් එද්දි කපටි මීයා, බළලාව ජලයට​ තල්ලු කලා. චීන පුරාවෘත්තයට අනුව බළලා සහ මීයා අතර ජන්මාන්තර ආරෝව ඇරඹෙන්නේ එතැනින්.. අනික් කන්ඩායම් වලට වඩා ජවසම්පන වෘෂභයා (ගවයා) ඉක්මනින් ඉවුරට ළඟා වුනා. සටකපට​ මීයා වෘෂභයාගේ පිට උඩ එනගමන් කණට කරලා ගීතයක් මුමුණමින් ගවයාගෙ හිත දිනාගත්තා. නමුත් ඉවුරට ළඟා වූ සැණින්  මීයා, ගවයාගෙ පිට උඩින් පැන දිවගොස් පළමුවෙන්ම​ අධිරාජයා ඉදිරියේ පෙනී සිටියා..ඒ අනුව පළමුවැනියටත් ගවයා දෙවැනියටත් අධිරාජයා බැහැදකින්නට පැමිණියා..

ඊළඟට එනවා ව්‍යාඝ්‍රයා. ව්‍යාඝ්‍රයා තමුන්ට ගමනේ සිදුවූ අපහසු කම් ගැන අධිරාජ්‍යයාට කිව්වා. හතරවන තැනට ආවේ හාවා. පීනන්න බැරි නිසා ඌ ගල් ගොඩක් තිබෙන තැනකින් ගඟ ගලෙන් ගලට පනිමින් ගග තරණය කරන්න උත්සාහ අරගෙන, එකතැනකදී ගඟට වැටෙන්නත් ගිහින් බේරිලා, යන්තම් කොටේක එල්ලිලා පාවෙලා අධිරාජයා අසලට ඇවිත් තිබුනා.

ඊළඟට මකරා එනවා. බොහෝ දේට දක්ෂ අහසින් උනත් එන්නට පුලුවන් මකරා මොකද පරක්කු කියලා අධිරාජයා අහද්දි ඌ තමන් ප්‍රමාද වූ හේතුව පැහැදිලි කළා. මකරා මගදි දැක තිබුනා නියඟයෙන් පීඩා විඳින​ මිනිස්සු. ඒ ගමන වැසි වස්සවන්න පුලුවන් මකරා වැස්සකුත් වස්සවලා ඒ ජනතාව සනසවලා එන්න හැරෙද්දි මෙන්න දකිනවා හාවා ලී කොටේක එල්ලිලා අමාරුවෙන් ගඟ තරනය කරනවා.හාවාත් ඉවුරට තල්ලු කරලා තමයි මකරා අධිරාජයා බැහැදකින්න එන්නේ. අධිරාජයා මකරා ගැන බොහෝම සතුටු වුනා.

ශක්තිමත් ගවයා මීයාද පූසාද පිටමත තබාගෙන ගඟ තරනය කරන අයුරු. (youtube screengrab)

ඒත් එක්කම අශ්වයත් පැමිණියා. අශ්වයා එනවිට අශ්වයාගේ කුරයක සැඟවිලා උන්නු නයා අශ්වයාට කලින් පැන්නා. ඒ නිසා හයවැනි තැන නයාටත් හත් වැනි තැන අශ්වයාටත් හිමි වුනා. කුකුලා බැටලුවා සහ වඳුරා එන්නේ පහුරක. පහුර නවත්තගන තියෙන්නේ කුකුලා ඉන් පස්සේ මග හිටිය බැටළුවයි වඳුරයි පහුරට එකතු කරගෙන තුන්දෙනාම හබල් ගාගෙන ඒ තුන්දෙනාම ආවා. එතනදී අට වන තැන බැටළුවාටත්, නවය වඳුරාටත් දහය කුකුලාටත් හිමි වුනා.

එකොලොස්වන තැන බල්ලාට හිමි වුනේ. බල්ලා වෙහෙසුනාට පස්සේ හොඳට නානවා. ඉතිං පීනන්න සහ නාන්න දෙකට ම කාලේ කැප කරපු බල්ලා ටිකක් ප්‍රමාද වුනා එද්දි. අවසානයා ඌරා. සාමාන්‍යයෙන් කෑදරයකු වන ඌරා මගදි බඩ කට පුරා කෑම අරන්, ඒ නිසාම ආපු නිදිමත හේතුවෙන් හොඳ නින්දකටත් වැටිලා, නැගිටලා එද්දි අනෙක් සියල්ලන්ම ඇවිත්. මේ ආකාරයට දිව්‍යෙලා්කයට අධිපති අධිරාජයා බැහැදකින්න ආපු පිළිවෙලට අනුව රාශි චක්‍රයේ දවස් තීරණය වෙනවා.

රාශ්‍රි චක්‍රයේ භාවිතාවන්

චීන අවුරුද්ද උදා වන්නේ ජනවාරි හෝ පෙබරවාරි හෝ මාසවල දිනයකයි. චීන අවුරුදු විශ්වාසයන් අනුව ඒ ඒ අවුරුද්ද අයිති වන සතුන් සිටිනවා. මේ ගෙවෙන 2017 ජනවාරි 28න් ආරමභ වන චීන අවුරුද්ද කුකුලාගේ අවුරුද්ද. ඒ කුකුලාගේ වසරට කුකුලාග් රුව ඇතුලත් සැරසිලි වලින් නිවෙස් සරසන්නට චීන ජනයා කටයුතු කලා. ඒ අනුපිලිවෙල අනුව පසුගිය වසර වඳුරාගේ අවුරුද්ද වූ අතර ඊලග 2018 අවුරුද්ද බල්ලාගේ අවුරුද්ද වෙනවා. මේ වර්ශයේ උපදින අය ඒ අදාල වර්ශයේ සතුන්ගේ ගතිගුණ පෙන්නුම් කරනවා කියලා චීන විශ්වාසයක් තිබෙනවා. දිනකට තිබෙන පැය 24ත් මෙසේ එක් සතකුට පැය දෙක බැගින් වෙන ලෙස වෙන්කර ඇති චීන ජනතාව ඒ තුලිනුත් ඒ ඒ හෝරාව කුමන සතාගේද කියලා හොයලා යම් යම් නිගමන වලට එළඹෙනවා.

චීන කැලැන්ඩරයට අනුව මේ 2017 කුකුලාගේ වර්ශයයි.මෙහි චීන අගනුවර බේජිං නගරයේ වූ සැරසිල්ලක් දිස් වේ (AP)

රාශි අනුව පොරොන්දම් බැලීම

ලංකාවේද කේන්දර බැලිම් වලින් පොරොන්දම් බැලිම් වලින් පසුව යෝනිය සහ ලිංගය යන සංකල්පයක් මගින් ඒ ඒ පුද්ගල ගති සොබාව තීරනය කෙරෙන පාරම්පරික විශ්වාසයක් තිබෙනවා. ඒ අනුව හස්ති යෝනි , මූසික ලිංග වැනි යෙදුම් පොරොන්දම් ගැලපිම් වලදී ගැලපෙනවාද යැයි සොයා බලන අවස්ථා තිබෙනවා. චීන ක්‍රමයට තමුන්ගේ උපන් වර්ශය, වේලාව අනුව සතුන් වෙන්කරගෙන ඒ සතුන්ගේ ගතිගුණ අනුව එකිනෙකා ගැලපේදැයි බලන චාරිත්‍රයක් තිබෙනවා.

චීන ජනයා අතරත් මේ ඩිජිටල් යුගයේ පවා මේ සාම්ප්‍රදායික රාශි චක්‍රය ගැන වූ විශ්වාසය පළුදු වී නැහැ. ඒ අනුව ව්‍යාපාර කටයුතු අලුත් සොයාගැනීම් ආදී දේ සදහාද මෙම සතුන් ඇතුලත් රාශි චක්‍රෙය් පිහිට ආරක්ෂාව චීන ජනතාව ලබාගන්නවා.

අපි නම් ඔය හනමිටි අදහස් විශ්වාස කරන්නේ නෑ. කියා බොහෝ දෙනා කිව්වත් දරුවෙකු ලබාගැනීමේදී ශක්තිමත් වසරකදි සිය දරුවා ලබාගැනීමට බොහෝ චීන දෙමාපියන් කැමතියි. එසේම සහකරුවෙක් හෝ සහකාරියක සොයාගැන්මේදීත් චීන ජනයා අනෙකාගේ ගතිගුණ ආදිය බලාගැනිමට මෙම රාශි චක්‍රය මිනුමක් ලෙස භාවිතා කරනවා. මේ අනුව වසර සිය දහස් ගනනක් තිස්සේ එන චීන ජනයාගේ රාශි චක්‍රය මෙම නූතන යුගයේදීත් ඔවුන් බොහෝ දෙනෙකුගේ සිත් සතන්හි ගැබ් වී පවතින විශ්වාසයක් බව නොරහසක්.

cover image: චීන නව වසර සඳහා උත්සව භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සැලක් (Reuters)

Related Articles