Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ටෙස්ට් ක්‍රිකට් යෝධයන් දණගැස්සූ අපේ සිංහයන්ගේ ඉතිහාසය

පසුගියදා නිමාවූ ටෙස්ට් තරඟාවලියත් සමගම ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වන විට අංක එක ස්ථානයේ පසුවෙන සුපිරි ඕස්ට්‍රේලියානුවන් පරදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගන්නට සමත් වුනා. (Whitewash-ටෙස්ට් තරඟාවලියක සියළුම තරඟවලදී ප්‍රතිවාදීන් දවා ලබාගන්නා තරඟාවලි ජයග්‍රහණය) මේ ආකාරයට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණ තුනක් වාර්තා කර ඇති අතර ඒ බංග්ලාදේශය, පාකිස්තානය හා කොදෙව්වන්ට එරෙහිවයි.

වොන් මුරලි ටෙස්ට් තරඟය ජයගත් අපේ ක්‍රීඩකයෝ  (indianexpress.com)

වොන් මුරලි ටෙස්ට් තරඟය ජයගත් අපේ ක්‍රීඩකයෝ  (indianexpress.com)

3-0 ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් උනා. මේ සිදුවීමත් එක්ක ඉතිහාසය තුළ අපේ කණ්ඩායම ටෙස්ට් තරඟවලදී ප්‍රබල රටවල් දණගැස්සූ ආකාරය පොඩ්ඩක් අවුස්සලා බලන්න අපිට හිතුණා. ඉතින් මේ ලිපිය ලියවෙන්නේ ජයග්‍රාහී අතීතයේ  අපේ විශිෂ්ඨ ටෙස්ට් තරඟ ගැන. පොඩ්ඩක් කියවලම බලන්නකෝ. ප්‍රබලයෝ කියල හිතං ඉන්න රටවල් කීයකට අපි පාඩම් උගන්නලා තියනවද කියල.

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඒ වගේම පාකිස්ථානය මෙයාල තමයි ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල මේ දවස් වල උඩින්ම ඉන්නේ. හැබැයි මෙයාල ඒ කාලේ අපෙන් හොදටම බැටකාපු හැටිනම් ගොඩක් රසවත්. ඒ වගේ ටෙස්ට් තරඟ කිහිපයක විස්තර මේ ලිපිය තුළින් ගෙන එනවා. හැබැයි මේ ශ්‍රී ලංකික ටෙස්ට් ළදරු අවදිය. ඒ කියන්නේ අපි ටෙස්ට් වරම් ලබාගෙන ඉතාමත් කෙටි කාලෙකින් ලබාගත්ත ජයග්‍රහණ. තවත් ඒ වගේ ඉතිහාසගත තරඟ ගැන දන්නවනම් comment එකක් දාගෙනම යන්න.

ලෝක ශූර ඉන්දියානුවන් අන්දමන්ද කළ මංගල ටෙස්ට් ජයග්‍රහණය

ශ්‍රී ලංකාව වසර 3ක ටෙස්ට් අත්දැකීම් සහිතව ටෙස්ට් තරඟ 12කට මුහුණ දී ඉන් 8ක් පරාජය වී 4ක් ජය පැරදුමකින් තොරව නිම වී තිබෙන ලාබාල අවදියක. හැබැයි ඉන්දියාව මේ කාලයේ (1985 වසර මුල) ඉන්නේ ලෝක ශූර මට්ටමේ. 1985 දී ටෙස්ට් ක්‍රීඩාකළ  සියළු රටවල සහභාගිත්වයෙන් පැවතී බෙන්සන් හා හෙජස් ටෙස්ට් ලෝක ශුරතාවය ජයග්‍රහණය කරලා තමයි මේ කණ්ඩායම ලංකාවට එන්නේ.

බෙන්සන් හා හෙජස් ලෝක කුසලානය දිනු ප්‍රබල ඉන්දීය පිළ (www.mid-day.com)

බෙන්සන් හා හෙජස් ලෝක කුසලානය දිනු ප්‍රබල ඉන්දීය පිළ (www.mid-day.com)

අපේ මංගල ජයග්‍රහණය ලෝක ඉතිහාසයේ 1024 වන ටෙස්ට් තරඟය. මේක තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟය. පැවැත්වෙන්නේ කොලඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී. ආදරේට අපි කියන්නේ සරා පිටිය කියල. 1985 සැප්තැම්බර් හය එකොළහ දින අතර තමයි තරඟය පැවැත්වුනේ.

පළමු ටෙස්ට් තරඟය ජය පැරදුමකින් තොරව නිමකරන්න පුළුවන් උනා. තව ටිකක් කාලය තිබුනානම් ටෙස්ට් තරඟය ජය ගන්න තිබුණ කියල නායක දුලිප් මෙන්ඩිස් ප්‍රකාශ කරනවා.

මුල්ම පන්දුවට 6ක් -ලෝක වාර්තාවක්

පළමු ඉනිම ආරම්භයේදීම පිටියට පිවිසි අරවින්ද ද සිල්වා හා නායක දුලිප් මෙන්ඩිස් අපූරු සම්බන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා. අරවින්ද සිල්වා කපිල් දෙව් එවන පළමු පන්දුවටම ආකර්ශණිය ලෙස හයේ පහරක් එල්ල කරමින් ටෙස්ට් තරඟයේදී ආරම්භක පන්දුවට හයේ පහරක් එල්ල කල පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් වලට එක් වන්නේ ජයග්‍රහණය පිළිබඳව අනාවැකි පළකරමින්.

ශ්‍රී ලංකාවෙන්  බිහිවූ අසහාය පිතිකරු අරවින්ද ද සිල්වා (www.espncricinfo.com)

ශ්‍රී ලංකාවෙන්  බිහිවූ අසහාය පිතිකරු අරවින්ද ද සිල්වා (www.espncricinfo.com)

අර්ජුන-මඩුගල්ලේ සුසංයෝගය ඉන්දියානුවන්ට මරු පහරක් වූ හැටි

ශ්‍රී ලාංකික ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සලකුණු තැබූ දීප්තිමත් ක්‍රීඩක යුගලක් වන අර්ජුන රණතුංග හා රන්ජන් මඩුගල්ලේ කුළුදුල් ටෙස්ට් ශතක ලබාගන්නෙත් මේ තරඟයේදී. අර්ජුන හතරේ පහර 4ක් හා එක හයේ පහරක් සමගින් ලකුණු 111 ක් ලබාගන්නවා. ඒ වගේම මඩුගල්ලේ හතරේ පහර 10ක් සමගින් ලකුණු 103 ක් ලබාගැනීම තුළින් ඉන්දියානුවන්ගේ පරාජය දෑස් ඉදිරියේ පෙනෙන්නට විය.

වර්තමානයේ තරඟ තීරකයෙක් වන රන්ජන් මඩුගල්ලේ  (www.apisrilankan.com)

වර්තමානයේ තරඟ තීරකයෙක් වන රන්ජන් මඩුගල්ලේ  (www.apisrilankan.com)

ඉන්දියානු ක්‍රීඩකයින්ට තාරාවන් හිමිකරදුන් රුමේෂ් හා අසන්ත

ලාංකීය කණ්ඩායමට ලකුණු 385කින් පළමු ඉනිම සරසන්නට හැකිවිය. ඉන්දියානු පිළේ පන්දුවට පහර දීමට පැමිණි ආරම්භක පිතිකරුවන් වන රජ්පූර් හා අසරුදින්ව විනාඩි කිහිපයකින් නැවතත් ප්‍රේක්ෂකාගාරයට යැවීමට ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නන් වන රුමේෂ් රත්නායකට  හා අසන්ත ද මේල් ට හැකිවිය. මේ ආකාරයෙන් ඉන්දීය පළමු ඉණිම 244කට සීමා කිරීමට පන්දු යවන්නන් සමත් වෙනවා.

2011 දී රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයද දැරීය. (www.espncricinfo.com)

2011 දී රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයද දැරීය. (www.espncricinfo.com)

දෙවන ඉණිමේදී පිටිය වර්ණ ගැන්වූ අරවින්ද

ඉන්දියාවට වඩා ලකුණු 141 ඉදිරියෙන් තම දෙවන ඉනිම ඇරඹු එදා මෙදා තුර ලංකාවෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙක් වන අරවින්ද ද සිල්වා හතරේ පහර නවයක් හා හයේ පහර දෙකක් සමගින් වේගවත් ලකුණු 75ක් කරා තම පිත්ත මෙහෙයවන්නට විය. ලකුණු 348 හඹා ගිය ඉන්දියානු ක්‍රීඩකයන්ට පස් වන දිනය අවසානයේදී රුමේෂ් රත්නායගේ අතට දුන් උඩ පන්දුවක් සමග ලකුණු 149ක පරාජයක් අත්විය. සරා ක්‍රීඩාංගණය ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීතියෙන් දෙදුරුම් කන්නට විය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දිනා ගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය සතුටු කදුළු උතුරා ගිය හැගීම්බර ජයග්‍රහණයක් ලෙස ඉතිහාසයේ සටහන් වෙනවා.

ජයග්‍රහණයෙන් පසු දින රාජ්‍ය නිවාඩුවක්

එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ජයග්‍රහණ ත්‍යාග ප්‍රදනොත්සයට එක් වෙමින් පසු දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරනවා. තරඟයේ වීරයා සම්මානය ලැබෙන්නේ ශතකයක් හා දවාගැනීම් නවයක් සිදු කල එවකට කඩුළු රකින්නා අමල් සිල්වාටයි.

දේව්ගේ වහසි බස්

පරාජයේ අපකීර්තියත් සමඟ අන්දමන්ද වූ ඉන්දීය නායක කපිල් දේව් කියන්නේ රටෙන් පිටතදී නම් ශ්‍රී ලංකාවට කිසිදා ජයග්‍රහණය කරන්න බෑ කියල. එක හරියට නටන්න බැරි මිනිහට පොළව ඇදැයි කියන්නා වගේ. දේව් එහෙම කියන්න ඇත්තේ පරාජයේ වේදනාව දරා ගන්න බැරුව කියලයි එවකට ටෙස්ට් නායක දුලිප් මෙන්ඩිස් ප්‍රකාශ කරලා තිබුනේ. තුන් වන ටෙස්ට් තරඟයත් ජය පැරදුමකින් තොරව  නිම වීමත් සමග තරඟාවලිය  එකට  බින්දුවක් ලෙස ජය ගන්න අපේ කණ්ඩායමට හැකි වෙනවා.

එවකට ඉන්දීය නායක කපිල් දෙව් (www.sportskeeda.com)

එවකට ඉන්දීය නායක කපිල් දෙව් (www.sportskeeda.com)

ක්‍රිකට් මහගෙදරට ක්‍රිකට් ඉගැන්වූ අපේ ක්‍රීඩකයෝ

ඒ 1993 මාර්තු මාසයේදී ක්‍රිකට් ලොවේ  අහංකාරයන් ලෙස සැමදා ශ්‍රී ලංකාව දෙස අඩු තක්සේරුවකින් බැලු එංගලන්තයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ටෙස්ට් තරඟයයි.ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කර පලක් නැතයි කී එකල එංගලන්ත නායක ඇලෙක් ස්ටුවර්ට් ටෙස්ට් තරඟ එකක් සදහා පමණයි අවස්ථාවක් ලබා දෙන්නේ.

වේග පන්දු යවන්න එක ක්‍රීඩකයෙක් පමණයි

සාමාන්‍යයෙන් ඕනෑම තරඟයකට වේග පන්දු බල ඇණියක් සිටින නමුත් මේ තරඟයට සිටියේ එක නිත්‍ය වේග පන්දු යවන්නෙක් විතරයි. ඒක මේ තරඟය සුවිශේෂ ලක්ෂණයක් ලෙස හඳුනාගන්න පුළුවන්. ඒ නිසා චම්පික රාමනායක සමග එක වී පන්දු යැවීමට අසංක ගුරුසින්හට සිදු වෙනවා.

චම්පික රාමනායක වර්තමානයේදී ලසිත් මාලිංග සමඟ (www.sportskeeda.com)

චම්පික රාමනායක වර්තමානයේදී ලසිත් මාලිංග සමඟ (www.sportskeeda.com)

ඉතා පහසු ඉලක්කයක්

අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉලක්කය ලෙස ලැබෙන්නේ ලකුණු144ක තරම් කුඩා ඉලක්කයක්. හය වන විකට්ටුවට පිටියට පැමිණි සනත් ජයසුරිය මිඩ් විකෙට් කලාපයෙන් එල්ල කරන දැවැන්ත හයේ පහරත් සමග එංගලන්ත කණ්ඩායමට තරු පෙන්න ඇති. ඒ සමඟම එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් ජයග්‍රහණය අත්පත් කර ගැනීම සිදු වෙනවා.

පාකිස්ථානයේදී මදි නොකියන්න බැටදුන් සිංහයෝ

ඒ 1995 වර්ෂයයි අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව ප්‍රථම වරට විදේශීය පහුණු කරුවෙක් ඒ කියන්නේ ඩේවිඩ් වට්මෝර් සමඟ පාකිස්ථානයට යන ශ්‍රී ලංකා පිළට එවකට ක්‍රිකට් පිටිය හෙල්ලූ සුපිරි පන්දු යවන්නන් වන වසීම් අක්‍රම්, සක්ලෙන් මුක්ටස් වැනි භයානක වේග පන්දු බල ඇණියකින් සමන්විත පකිස්ථානයයට මුහුණ දීමට සිදුවෙනවා. මෙම තරඟයේ පළමු ටෙස්ට් තරඟය අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුවත් දෙවැනි හා තෙවැනි තරඟ ජයග්‍රහණය කරමින් ඒ රටේදීම පකිස්ථානුවන් හැඬවූ ආකාරය විස්මයජනකය.

කණ්ඩායම නිවැරදි ඉලක්කයට මෙහෙය වූ අර්ජුන රණතුංග (www.cricketcountry.com)

කණ්ඩායම නිවැරදි ඉලක්කයට මෙහෙය වූ අර්ජුන රණතුංග (www.cricketcountry.com)

වාස් බෝලයෙන් වැඩ පෙන්වයි

පළමු ඉනිමේදී මෙන්ම දෙවන ඉනිමේත් ශ්‍රී ලාංකික පිතිකරුවන්ට බලාපොරොත්තු වූ තරමින් ලකුණු අතරට එක් වන්නට නොහැකි විය. අරවින්ද ද සිල්වාගේ හා හෂාන් තිලකරත්නගේ පන්දුවට පහරදීම් ඒ අතරින් කැපී පෙනෙන්නට විය. දෙවන ඉනිමේ කැපී පෙනෙන පන්දු යවන්නා වෙමින් චමින්ද වාස් ලකුණු 45කට කඩුළු 4ක් බිද දමන්නේ පාකිස්ථානුවන් තම අණසකට යටත් කරගනිමින්. එයට අගනා සහයක් පල කරන කුමාර් ධර්මසේන කඩුළු 3ක්ද මුත්තයියා මුර්ලිදරන් කඩුළු 2ක්ද බිද දමන්නේ මේ අතරය.

වර්තමානයේදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන (indiaspotnews.com)

වර්තමානයේදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන කුමාර් ධර්මසේන (indiaspotnews.com)

වසර 15කට පසු තම මව් බිමේදීම පරාජය උරුම වූ හැටි

පාකිස්ථාන කණ්ඩායම එම රටේදීම පරදවා තුන් වන තරඟයත් ඇතුළුව තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ලාංකීක කණ්ඩායමට හැකි වෙනවා. ඔවුන් ටෙස්ට් තරඟයක් තම මව් බිමේදී පරාද වන්නේ ඉතිහාසයේ දෙවන වතාවටයි. මේ සමගම එතෙක් ළදරුවෙක් ලෙස සැලකු ශ්‍රී ලංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දෙස ලෝක අවධානය යොමු වන්නට පටන් ගන්නවා.

අපි මේ ලිපියෙන් දැක්වුයේ ටෙස්ට් ක්‍රිකට් වර්ධනය වෙමින් පවතී අවදියේ අපි ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ කිහිපයක් පමණයි.වර්ධනය වූ පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැංවූ ජයකෙහෙළි ගැනත් වෙන දවසක කතා කරමු, හැබැයි ඔබේ මතකයේ රැඳී තිබෙන ලාංකීය ක්‍රිකට් කණ්ඩායමේ තවත් වික්‍රම තියෙනවනම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: youtube.com

Related Articles