Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවේ රහස් සෙවීමට CIA දියත් කළ වැරදුණු බළල් කුරුමානම

ලොව පුරා ක්‍රියාත්මක බුද්ධි සේවා සිය සතුරන් හෝ මිතුරන් පිළිබඳව  ඔත්තු බැලීම සඳහා වසර ගණනාවක් පුරා විවිධාකාරයේ අත්හදා බැලීම් සිදු කර තිබෙනවා. එම අත්හදා බැලීම්වලින් ඇතැම් ඒවා සිතා ගන්නටවත් නොහැකි අන්දමේ සැලසුම් සහගත උපාය උපක්‍රම යොදා ගනිමින් සිදු කළ ඒවා යි. සතුරා මර්දනය කර තම බලය තහවුරු කර ගැනීම ගැනීම සඳහා සතුරු කඳවුරුවල රහස් ලබා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට බලවත් රටවල් සුදානම් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙලෙස, සෝවියට් රුසියාව පිළිබඳව ඔත්තු බැලීම සඳහා ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය (CIA) මගින් මයික්‍රෆෝන සවිකරන ලද බළලුන් පුහුණු කර තිබුණා. මේ කියන්නට යන්නේ ඇමෙරිකාවේ CIA සංවිධානය විසින් දියත් කරනු ලැබූ එම රහසිගත බළල් ඔත්තු ව්‍යාපෘතිය පිළිබඳව යි.

express.co.uk

පසුබිම

යුදක්‍රම දෙකක් පිළිබඳව ඔබ අසා ඇති. එකක් ආයුධවලින් සිදු කෙරෙන සිවිල් යුද්ධ. දෙවැන්න ආයුධ රහිතව මතවාදී දෘෂ්ටිවාදී වෙනස්කම් තුළින් සිදු කෙරෙන නිරව් යුද්ධ. ලෝක ඉතිහාසයේ ලෝක යුද්ධ දෙකක් සිදු වූ අතර තවත් එක් නිරව් යුද්ධයක් දියත් විය. මේ නිරව් යුද්ධය දියත් කෙරුණේ ඇමරිකාව විසින් සෝවියට් රුසියානු සමාජවාදී බල කඳවුරට එරෙහිව යි. 1946 ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ ෆ්ලුටන් නගරයේ දී බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් විසින් සිදු කරන ප්‍රකාශයකින් නිරව් යුද්ධය ඇරඹුන බවට විශ්වාස කෙරෙනවා. සෝවියට් රුසියාව කිසිදා අවිවලින් පරාජය කළ නොහැකි බව සිය කතාවේ දී පිළිගන්නා චර්චිල් අගමැතිවරයා පවසන්නේ නිරව් යුද්ධයක් හෙවත් සිසිල් යුද්ධයකින් සෝවියට් රුසියාව බිඳ දැමිය යුතු බවයි.

1917 රුසියානු විප්ලවයත් සමඟ සෝවියට් රුසියාව සමාජවාදය වැළඳ ගැනීමත්, එය ලෝකයේ අනෙකුත් රටවල් කරා ව්‍යාප්ත වීමත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ධනවාදයට ප්‍රබල තර්ජනයක් වූ අතර, මේ හේතුව නිසා සෝවියට් රුසියාව බිඳ දැමීමට අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුවත් ඒවා අසාර්ථක වුණා. දෙවන ලෝක යුද්ධයේ දී ජර්මනියේ හිට්ලර්ව සෝවියට් රුසියාවට එරෙහිව මෙහෙයවනු ලබන්නේ ද ඇමරිකාව යි. එය මුළුමනින්ම අසාර්ථක වුණේ හිට්ලර් ඇතුළු ජර්මනියට දරුණු පරාජයක් අත්කර දෙමින්. මේ නිසා ආයුධ වලින් සිදු කෙරෙන යුද්ධයකින් සෝවියට් රුසියාව බිඳ වැට්ටවිය නොහැකි බව හොඳින්ම අවබෝධ කරගෙන සිටි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්, මතවාදී යාන්ත්‍රණයකින් සිය පොදු සතුරා විනාශ කිරීමට සැලසුම් සකස් කළා. රහස් ඔත්තු සේවා වඩාත් සක්‍රිය කරමින් පොදු සතුරා ගැන තොරතුරු සෙවීම ඇමරිකාව කටයුතු කළේ ඉහළ තාක්ෂණය යොදාගෙන විවිධ පර්යේෂණ හා අත්හදා බැලීම් සිදු කරමිනි.

බළල් ව්‍යාපෘතිය

pinimg.com ( ව්‍යාපෘතිය අනාවරණය කළ ග්‍රන්ථය)

1960 ගණන්වල දී CIA සංවිධානයේ අවධානය යොමු වූයේ භයංකර බළලුන් වටකරගෙන සිටි සෝවියට් රාජ්‍ය නායකයින් වෙත යි. ඔවුන් සැලසුම් දියත් කළ අතර සුරතල් බළලුන් යොදවා සතුරු රාජ්‍ය නායකයින්ට සවන් දීමට ගත් උත්සාහයක් පිළිබඳව එකල ටයිම් සඟරාව ද වාර්තා කර තිබුණා.

මෙම ව්‍යාපෘතියේ කේත නාමය වූයේ ‘Acoustic Kitty Project’ යන්න යි. 1962 සිට 1967 දක්වා වසර පහක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට CIA සංවිධානය වැය කළ මුදල ඩොලර් මිලියන 13ක් හෙවත් පවුම් මිලියන දහයක් බව වාර්තා වෙනවා.

වොෂින්ටනයේ පිහිටි සෝවියට් තානාපති කාර්යාලයට රහසිගතව සවන්දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට CIA සංවිධානයට අවශ්‍ය වූ නමුත් ඒ සඳහා පුද්ගලයෙකු යැවීම සැකයට භාජනය විය හැකි බව ඔවුන්ගේ නිගමනය වුණා. නමුත් කම්මැලි බළලෙකු එහෙ මෙහෙ ඇවිදීම, අඳුරේ බංකුවක් උඩ  වැතිර සිටීම රුසියානුවන්ගේ අවධානයට ලක් නොවනු ඇතැයි CIA සාමාජිකයන් අනුමාන කළා. ඒ අනුව බළල් රහස් ඔත්තුකරුවා උපත ලැබුවා.

2001 වර්ෂයේ දී මේ පිළිබඳව මුල් වරට අනාවරණය කරනු ලැබුයේ CIA සංවිධානයේ විද්‍යා හා තාක්ෂණ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වික්ටර් මර්කෙටි විසිනි. ඒ, ජෙෆ්රි රිචේල්සන් නිකුත් කරන ලද ‘ The Wizards of Langley’ නමැති ග්‍රන්ථයෙන්.

ශල්‍යකර්මය

maxim.com(තාක්ෂණික උපකරණ සවි කර තිබූ අන්දම)

රහස් තොරතුරු ලබාගැනීම සඳහා මගින් බළලුන් ගේ සිරුර තුළ ශල්‍යකර්මයක් මගින් මයික්‍රෆෝන ඇතුළු සම්ප්‍රේෂණ උපකරණ ඉතා සූක්ෂම අන්දමින් තැන්පත් කරනු ලැබුවා. කන් සිදුර තුලට වන්නට මයික්‍රෆෝන සවිකරන ලද අතර කුඩා ගුවන් විදුලි සම්ප්‍රේෂණ බළලාගේ හිස් කබල පෙදෙසට වන්නට සවි කර තිබුණි. කනට සවි කරන ලද මයික්‍රෆෝනය කොන්ද හරහා දිවෙන පරිදි වයරයකින් සම්බන්ධ කර තිබුණු අතර උගේ වලිගය භාවිත කළේ ඇන්ටනාව ලෙස යි. එහි බැටරි බළලාගේ පපුව ප්‍රදේශයෙහි සමට තබා මසා තිබුණා.  බළලා සත්ත්ව වෛද්‍යවරයෙකුගේ සහයෙන් පැය ගණනාවක් දිගු ශල්‍යකර්මයකට භාජනය කෙරුණා. සූක්ෂම අන්දමින් බළලාගේ සමට සවිකරන ලද මයික්‍රෆෝන දුර සිටින මිනිස් හඬවල් වාර්තා කිරීමට තරම් සංකීර්ණ වූ බවයි සඳහන් වෙන්නේ. පර්යේෂණය අත්හදා බැලීම සඳහා මුල්වරට යොදා ගනු ලැබුයේ අළු සහ සුදු පැහැති බළලෙකි.

theatlantic.com (Acoustic Kitty ව්‍යාපෘතියට අදාල CIA ලේඛනයක්)

CIA  සංවිධානයේ හිටපු සහකාර විධායක අධ්‍යක්ෂවරයෙකු වන වික්ටර් මර්කෙටි මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ විද්‍යාඥයින්ට බළලා හැසිරවීම සහ පාලනය කිරීම අසීරු වූ බව යි. විශේෂයෙන්ම පුහුණු කිරීම ඉතා අපහසු කාර්යයක් වී තිබුණා. CIA සංවිධානයේ අරමුණ කෙරෙහි මේ සත්ත්වයා යොමු කර ගැනීම අපහසු කාරණයක් වූ බව මර්කෙටි මහතාගේ ප්‍රකාශයෙහි සඳහන්. බඩගින්න සහ ලිංගික අවශ්‍යතාවයන් වල දී මෙම ගැටලුව මතු වී තිබුනා. උගේ බරපතලම ප්‍රශ්නය වූයේ කෑම යි. ලෝක නිදහස සම්බන්ධයෙන් වන ජාතික ආරක්ෂාව හෝ සමාජවාදයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳ ප්‍රශ්න ගැන නොතැකූ බළල් ඔත්තුකරුවාට වැදගත්ම දෙය වූයේ කෑම යි.

cdn.com (Acoustic Kitty ව්‍යාපෘතිය සඳහා යොදාගත් බළලෙක්)

ආරම්භක මෙහෙයුම

1966 දී වොෂිංටන් ඩී.සී. හි දී සිය පළමු මෙහෙයුම සඳහා බළල් රහස් ඔත්තුකරුවා සූදානම් වූවා. ඇගේ ඉලක්කය වූයේ විස්කොන්සින් ඇවනියුහි සෝවියට් තානාපති කාර්යාලය යි. නමුත් නොසිතූ ලෙස අවසානය දරුණු එකක් වුණා. අවාසනාවන්ත ලෙස වීදිය හරහා වාහන අතරින් දුවද්දී කැබ් රථයකට යට වීමෙන් බළලා මිය ගොස් තිබුණා. පසුව වෙනත් රථයකින් බළලාව රැගෙන ගොස් තිබුණා. ව්‍යාපෘතියේ රහස්‍යභාවය නිසා සෝවියට් මැදිහත්වීමක් සිදුවුණේ නැහැ.

intelligencerpost.com (වොෂින්ටන් ඩීසී හි රුසියානු තානාපති කාර්යාලය)

අවසානය?

කතාවේ අවසානය? කොහෙත්ම නැහැ. 2013 දී CIA සංවිධානයේ තාක්ෂණික සේවයේ හිටපු අධ්‍යක්ෂක රොබට් වොලස් පැවසුවේ බළලා මිය ගියේ නැති බවයි. රුසියානුවන්ට හෙළිදරව් වීමට ප්‍රථම සත්ත්වයා ආරක්ෂිතව රැගෙනවිත් ඇඟේ සවි කර තිබුණු තාක්ෂණික උපකරණ ඉවත් කිරීමෙන් පසුව දිගුකාලීන හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වූ බව වොලස් පවසා තිබුණා.

කෙසේ නමුත් CIA සංවිධානයට අවශ්‍ය දේ කිරීමට මේ බළලාට හෝ වෙනත් බළලුන්ට නොහැකි වුණා. එබැවින් ඔවුන් 1967 දී මෙම ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබුවා.

Cover Image – allswalls.com

මූලාශ්‍ර:

https://www.smithsonianmag.com/smart-news/cia-experimented-animals-1960s-too-just-ask-acoustic-kitty-180964313/

http://vt.co/animals/stories/acoustic-kitty-cias-cat-spy-program/

https://www.express.co.uk/news/world/798025/CIA-Soviet-cat-spy-listening-microphone-project-acoustic-kitty-USA-Russia

Related Articles