Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණයේ සෙවණැලි අතුල දෙවියන්ගේ නගරය; City of God (2002)

දරාගන්න අමාරු වේදනාවක් සහ පීඩාවක් එක්ක පවතින ක්‍රමය හිතාගන්න බැරි තරම් අසාධාරණ වෙද්දි ඕනම පරිසරයක ඒ අසාධාරණයට විරුද්ධව කැරලි, ප්‍රතිවිරෝධතා ඇති වීම සාමාන්‍ය දෙයක්. එහෙම මතුවෙන සමහර නැගිටීම් මනුෂ්‍යත්වයේ නාමයෙන් සිද්ධ වුණත්, තවත් සමහර ප්‍රතිවිරෝධතා කෙළවර වෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් තැන්වලින්. හැබැයි කොහොම කෙළවර වුණත් ඒ හැම ප්‍රතිවිරෝධයකටම මුල් වෙන්නෙ සමාජ විෂමතාවය. සමාන අවස්ථා සහ අයිතීන් අහිමි කරමින් සිද්ධ කරන වෙනස් සැලකීම.

සාතන්ගේ පාරාදීසයක් වූ ‘දෙවියන්ගේ නගරය’

City of God කියන්නෙ මුඩුක්කු නගරයක්. පුංචි පුංචි ගෙවල්වල ලොකු පිරිසක් ජීවත් වුණු City of God පිහිටල තිබුණෙ බ්‍රසීලයේ අගනුවර, රියෝ ඩි ජැනයිරෝ ආසන්නයේමයි. හැබැයි ‘දෙවියන්ගේ නගරය’ විදියට හැඳින්වුණත් වරප්‍රසාද, පහසුකම් සහ සැලකීම් අතින් රියෝ අගනුවර සහ City of God අතරෙ තිබුණෙ අහසට පොළොව වගේ පරතරයක්. නගරය ලස්සන කිරීම වෙනුවෙන් පැල්පත් කඩා බිඳ දැමීම සහ නොයෙක් හේතු නිසා පීඩාවට පත් වුණු මිනිස්සු ගාල් කරන්න තමයි පාලකයො City of God නිර්මාණය කරන්නෙ. ‘අනාථයො නම් City of God’. ඒක තමයි බලධාරීන්ගෙ එකම විසඳුම වුණේ. දෙවියන්ටත් එපාවුණු ‘දෙවියන්ගේ නගරය’ අපායක් වෙන්නෙ එතන ඉඳලා. මේ චිත්‍රපටයේ මුල් නම තමයි Cidade de Deus.

‘රොකට්’ තමයි එයාගෙ ආත්ම කථනයක් විදියට City of God වලට සිද්ධ වුණු ඒ කතාව අපට කියන්නෙ. ඒ කාලෙ රොකට් පුංචි ළමයෙක්. මේ කියන්නෙ හැටේ දශකයේ; City of God වල මිනිස්සු පදිංචි කරවපු මුල් කාලෙ. වැඩි කලක් ගෙවෙන්න කළින්ම වෙන් කිරීම සහ කොන් කිරීම හරහා මතුවෙන වේදනාවට එරෙහිව තරුණයො නැගිටින්න පටන් ගන්නවා. සරලව පැහැදිලි කළොත්, පාතාල ක්‍රියාකාරකම් හරහා ‘නොලැබුණු දේවල් බලහත්කාරයෙන් ලබාගන්න’ එයාල පෙළඹෙනවා. දුප්පත් කමේ පතුලටම වැටිල තිබුණු City of God වලින් එච්චර අමාරුවක් නැතුව හොයාගන්න පුළුවන් වුණේ මත්ද්‍රව්‍ය සහ ආයුධ විතරයි.

කතාව ආරම්භ වෙන්නෙ Tender Trio කියන කල්ලියෙන්. ෂැගී, ක්ලිපර් සහ ගූස් කියන තරුණයො තුන්දෙනා තමයි ඒකෙ සාමාජිකයො. මේ කල්ලියේ ප්‍රධාන ආදායම් මාර්ග වුණේ මංකොල්ලකෑම්, බියවැද්දීම් වගේ ‘පොඩි පොඩි වැඩ’. ඒ තුන්දෙනා පස්සෙ වැටුණු තවත් පුංචි කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා තමයි ලීල් ඩයිස් සහ බෙනී. එක වෙලාවක අවුරුදු දහයකට, එකොළහකට වඩා නැති ලීල් ඩයිස් Tender Trio කල්ලියට යෝජනා කරනවා සමාජ ශාලාවක් මංකොල්ල කන්න යන්න. මිනී මරන්න බැහැයි කියන පොරොන්දුව මත කල්ලිය වැඩේට බැස්සත් අන්තිමට ඒක කෙළවර වෙන්නෙ මුළු සමාජ ශාලාවම ලේ විලක් බවට පත් කරලා. කල්ලියේ අවසානයත් තීරණය වෙන්නෙ එතනින්. පස්සෙ හෙළිදරව් වෙනවා, ඒ හැම මරණයක්ම සිද්ධ වුණේ ලීල් ඩයිස් අතින් බව. ලීල්ට ඒ පුංචි වයසේ ඉඳලම ඕන වෙන්නෙ පාතාලයේ Big Boss කෙනෙක් වෙන්න. කෙටි කාලයක් ඇතුළත මිනී ගණනාවක් උඩින් එයා එතනට යනවා. මේ අතරෙ තමයි කැරට් කියන පාතාල නායකයා කතාව ඇතුළට එන්නෙ. කැරට්ගෙ කුඩු සහ ආයුධ වෙළඳාම තමන් අතට ගන්න ලීල්ට ඕන වෙනවා. හැබැයි දෙගොල්ලො මූණට මූණ හැප්පෙන්නෙ නැහැ බෙනී හින්දා. අන්තිමේ කැරට්ගෙ කල්ලියේ කෙනෙක් අතින් බෙනීට වෙඩි වැදීමත් එක්ක දෙපැත්තම ඇවිළෙන්න පටන් ගන්නවා. කල්ලි දෙකේ මරා ගැනිල්ලෙන් දෙකට බෙදෙන City of God මිහිපිට අපායක් වෙනවා.

ඡායාරූප ශිල්පියෙක් වෙන්න ආසාවෙන් ඉන්න රොකට් ලීල් ගෙ පින්තූරයක් ගන්නෙත්, එයාගෙ අනුදැනුමකින් තොරව ඒක රොකට් වැඩකරපු පත්තරේ පල වෙන්නෙත් ඔය අතරෙමයි. අහම්බයකින් සිද්ධ වුණත් ඒ හරහා රොකට් තමන්ගෙ හීනය හැබෑ කරගන්නවා. අන්තිමට ‘දෙවියන්ගේ නගරයේ’ නිල නොලත් දෙවියන් වහන්සේ විදියට වැජඹුණු ලීල් ගෙ මරණයේ සාක්ෂිකාරයා වෙන්නෙත් රොකට්.

කතාවෙ තියෙන භයානකම තැන තමයි, ලීල් මැරෙන විදිය. එයාට පෙනේරයක් වගේ හිල් වෙන්න වෙඩි තියල දාන්නෙ එයා අතින්ම පිස්තෝල බෙදල දුන්න අවුරුදු හතේ අටේ පුංචි එවුන් කීප දෙනෙක්. නරකම දේ තමයි මේ හැම තැනකදිම පොලිසිය හැසිරෙන විදිය. ඒක අර මැර සොල්දාදුවන්ටත් නැති තරම් අමන, තක්කඩි හැසිරීමක්.

City of God ගැන හැම දෙයක්ම එක තැනකට හකුළුවන දෙබසක් අපට චිත්‍රපටය ඇතුළෙ මුණ ගැහෙනවා. “…in the City of God, if you run away, the get you… and if you stay, they get you too.” ඒක තමයි ඇත්ත. කැමති වුණත්, අකමැති වුණත් කිසිම කෙනෙකුට City of God ඇතුළෙ ගැලවීමක් නැහැ. දෙවියන්ගෙ නගරයේ ඊළඟ ‘ළමා’ පාතාලයේ උත්පත්ති කතාවෙන් තමයි City of God කෙළවර වෙන්නෙ. හැබැයි ඒ කෙළවර වීම ඇතුළෙ අපට තවත් ප්‍රශ්න ගණනාවක් ඉතුරු වෙනවා.

City of God රූප භාෂාව

City of God නිර්මාණය වෙන්නෙ 2002 අවුරුද්දෙ. අධ්‍යක්ෂණය කරන්නෙ Fernando Meirelles සහ Kátia Lund. චිත්‍රපටයට පාදක වෙන්නෙ ඇත්ත කතාවක් ඇසුරෙන් Paulo Lins ලියපු නවකතාවක්. ඒ හරහා චිත්‍රපටයේ තිර පිටපත ලියන්නෙ Bráulio Mantovani. Alexandre Rodrigues, Leandro Firmino, Phellipe Haagensen, Douglas Silva, Jonathan Haagensen, Matheus Nachtergaele සහ Seu Jorge ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් City of God වෙනුවෙන් තමන්ගෙ රංගන දායකත්වය ලබා දෙනවා.

City of God චිත්‍රපටයේ තාක්ෂණික කරුණු කාරණා ගැනත් කතා කළ යුතු දේවල් ගණනාවක් තියෙනවා. ප්‍රධානම කාරණය තමයි චිත්‍රපටයේ රූපගත කිරීමේ ශෛලිය. නිතර හෙල්ලෙන, ස්ථාවර නැති කැමරා කෝණ සහ කිසිම හැඩයකට, පිළිවෙලකට නැති, හික්මීමක් ගෑවිලාවත් නැති ඒ වගේ කැමරා ශෛලියක් හැර වෙන කිසිම ශෛලියක් ගැළපෙන්නෙ නැහැ ඒ කතාව කියන්න. ඇත්තටම ඒක ඇඟ හිරිවැටෙන සුළුයි. ඒ විසංරචනය වෙච්ච රූපරාමු හරහා City of God ජීවිතවල තියෙන කලබලකාරී බව, අපිළිවෙල වගේම අවිනිශ්චිත ගතියත් හොඳටම දැනෙනවා. චිත්‍රපටයෙ කැමරාව මෙහෙයවන්නෙ කැමරා ශිල්පී César Charlone. ඒවා එකින් එක පුරුද්දන Daniel Rezende ගේ සංස්කරණයත් කරන්නෙ හැම තත්පරයකටම විසි හතර වතාවක් ප්‍රේක්ෂකයා පිස්සු වැට්ටවීම.

චිත්‍රපටයෙ කතාව ගලාගෙන යන්නෙත් මුල, මැද සහ අග පිළිවෙලක් නැතුව. හැබැයි අන්තිමේ ඒ අපිළිවෙල ඇතුළෙම අපට කතාවෙ පිළිවෙල අහුවෙන්න පටන් ගන්නවා. හරියට Pulp Fiction වගේ. අඛණ්ඩතා සංස්කරණයක් වෙනුවට එහෙම තැනින් තැන පෙන්වීම හරහා හැම මොහොතකම ප්‍රේක්ෂකයා අවුල්කරන, ලිහන, ආයෙ ආයෙත් අවුල් කරන City of God චිත්‍රපටය පුරාම දැනෙන්නෙ මහා අවිනිශ්චිත බවක්. ඒ වගේම වේගයක්. කොයි වෙලාවෙ හරි කවුරුහරි ඇවිත් චිත්‍රපටය බලබලා ඉන්න අපටත් වෙඩි තියල දායි වගේ බය හිතෙන හැඟීමක් ඒක. අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු හඬවල් මිශ්‍රවුණු සංගීතයත් චිත්‍රපටය පුරා එහෙ මෙහෙ දුවන්නෙ ඒ කලබලය තීව්‍ර කරමින්.

නගරාලංකාරය සහ වෙන් කිරීමේ වේදනාව

මුඩුක්කු ජීවිතවලින් පිරිච්ච නගරයක් බලහත්කාරෙන් ලස්සන කරලා, ඒ අහිංසක ජනතාව නගරයෙන් ඈත අපායකට ගාල් කරපු අතීතයක් තියෙන්නෙ රියෝ ඩි ජැනයිරෝ වලට විතරක් නෙමෙයි. ඒ වගේම තමන්ව වෙන් කිරීමේ සහ කොන් කිරීමේ වේදනාව දරාගන්න බැරුව තරුණයො ආයුධ අතට ගත්ත එකම තැනත් City of God නෙමෙයි. හැබැයි ඒ හැම තැනකදිම පාලකයො අතින් සිද්ධ වුණේ ඇත්ත විසඳුම් වෙනුවට ඒ වේදනාවට පැලැස්තර ඇලවීම. කෙටිකාලීන විසඳුම් හරහා ප්‍රශ්න තවත් ඔඩු දුවද්දි ඊළඟට කරළියට එන්නෙ මර්දනය.

ජීවිතය වගේම මරණයත් ඉතාම සුළු දෙයක් වෙන මට්ටමේ සාහසික තැනකට තල්ලු වෙද්දි ඕනම පරිසරයක දෙවියන්ටවත් අවනත නොවෙන ලීල් ඩයිස්ලා, කැරට්ලා සහ නෙඩ්ලා බිහිවීම වළක්වන්න බැහැ. චිත්‍රපටය අවසානයේදීත් අපි දකින්නෙ ඒ කෙළවරක් නැති ගමනේ තවත් පරිච්ඡේදයක ආරම්භය. මරන්න ඕන අයගෙ ලැයිස්තුවක් හදන්න අවුරුදු අටේ, දහයෙ පුංචි කොල්ලො සෙට් එකක් කතා වෙනවා. එකම ගැටළුව තමයි ඒ ලැයිස්තුව ලියාගන්න අකුරු දන්න එක්කෙනෙක්වත් එයාල අතරෙ නැති වීම.

කවරයේ ඡායාරූපය – theboar.org

ඡායාරූප හා තොරතුරු – www.imdb.com

Related Articles