Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇතුළු වීමට ගමන් බලපතක් වුවමනා නගරය: වැංගමොමෝනා

පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම්. සී. සී. ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවේ සමහර පළාත්වලට ඇතුළුවීමට ගමන් බලපත්‍රයක් අවශ්‍ය වනු ඇති බවට සමහරුන් පැවසුවා ඔබට මතක ඇති. එහි සත්‍යාසත්‍යතාව කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට ඒ පිළිබඳ ව සමාජය තුළ නිර්මාණය වී තිබුණේ විශාල කතාබහකි.

ඒ අයුරින් යම්කිසි රටකට අයත් ප්‍රදේශයකට ඇතුළු වීමට ගමන් බලපත්‍රයක් අවශ්‍ය යැයි යම් අයෙක් පවසන්නේ නම් එය විශ්වාස කිරීම තරමක් අපහසු ය. කෙසේ වෙතත් ගමන් බලපත්‍රයක් නොමැතිව ඇතුළු විය නොහැකි ප්‍රදේශයක් නවසීලන්තයේ පිහිටා තිබේ. නවසීලන්තයේ සමහර පළාත්වල ජනතාව මෙම නගරයේ නම උච්චාරණය කරනුයේ ෆංගමොමෝනා යනුවෙනි. ‘වැංගමොමෝනා’ නමින් ඇතැමුන් හඳුන්වන තරමක ග්‍රාමීය ප්‍රදේශයක් වන ඒ පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

වැංගමොමෝනා හි පිහිටීම – www.nzpocketguide.com

පිහිටීම

නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට අයත් තාරනාකි කලාපයේ, ස්ට්‍රැට්ෆර්ඩ් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වැංගමොමෝනා යනු කුඩා නගරයකි. මෙම නගරය ස්ට්‍රැට්ෆර්ඩ් සිට කිලෝමීටර් 65ක දුරකින් සහ නවසීලන්ත උතුරු දූපතට අයත් ඔහුරා නගරයේ සිට කිලෝමීටර් 55ක දුරකින් පිහිටා තිබේ. එය ස්ට්‍රැට්ෆර්ඩ් සිට නවසීලන්තයේ බටහිර උතුරු දූපතේ කලාපයක් වන, කිංග් රටේ ටෞමරුනුයි දක්වා දිවෙන කිලෝමීටර් 148ක දිගින් යුතු අධිවේගී මාර්ගයකට යාබද ව පිහිටා ඇත. බස් සහ කුලී රථ වැනි පොදු ප්‍රවාහන සේවා මඟින් මෙම නගරයට ළඟා විය හැකි අතර දුම්රියෙන් ගමන් කරන්නේ නම් ස්ට්‍රැට්ෆර්ඩ්-ඔකහුකුරා දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 61ක දුරක් ගමන් කළ පසු එහි ළඟා විය හැක.

ඉතිහාසය

මූලාශ්‍රයන්ට අනුව වැංගමොමෝනා ප්‍රදේශයේ මුල්වරට ජනාවාස ඇති වූයේ 1895 වසරේ දී ය. ඊට වසර දෙකකට පසු, එනම් 1897 දී එය නගරයක් ලෙස ස්ථාපිත වී තිබේ. කෙසේ වෙතත් අවස්ථා කිහිපයක දී ඇති වූ ස්වාභාවික ආපදා සහ යුදමය තත්ත්වයන් වැනි හේතු නිසා මෙම ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයන් ගණනාවක් මිය යාමත් සමඟ සැලකිය යුතු පිරිසක් එහි පදිංචිය අත්හැර ගොස් තිබේ. 1914 දී ආරම්භ වූ පළමු ලෝක සංග්‍රාමය අතරතුර සහ 1924 දී ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් නිසා මෙහි ජීවත් වූ පිරිමි පුද්ගලයන් 51ක් මිය ගිය බව කියැවේ.

වැංගමොමෝනා හි පිහිටා ඇති නිවාස – www.bbc.com

1933 දී මෙම ප්‍රදේශය හරහා දිවෙන දුම්රිය මාර්ගයක් ඉදිවීම සහ 1959 දී විදුලි සැපයුම ලැබීමත් සමඟ නගරය තරමක් දියුණු තත්ත්වයට පත් විය. කෙසේ වෙතත් 1979 වන විට නැවතත් එය තරමක් පරිහානියට පත් විය. ඒ කාලය වන විට නගරයේ පිහිටා තිබූ පාසල සහ තැපැල් කාර්යාලය වැනි පොදු ස්ථාන ගණනාවක් වසා දමා තිබිණි. 2020 වසරේ දී නවසීලන්තයේ ඉඩම් සම්බන්ධ කටයුතු කරන ප්‍රධාන පෙළේ ආයතනය වන නවසීලන්ත භූ විද්‍යා මණ්ඩලය (New Zealand Geographic Board) මෙම නගරයේ නම ‘වැංගමොමෝනා’ යනුවෙන් නිල වශයෙන් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනගහණය

වර්ග කිලෝමීටර් 689ක වපසරියකින් යුතු වැංගමොමෝනා නගරයේ ජනගහණය ක්‍රම ක්‍රමයෙන් අඩු වන බවක් පෙනෙන්නට තිබේ. 2018 වසරේ දී සිදු කර ඇති සංගණනයකට අනුව එහි ජනගහණය 126කි. එය 2013 වසරට අදාළ සංඛ්‍යාලේඛන අනුව පුද්ගලයන් 24ක සහ 2006 වසරට අදාළ සංඛ්‍යාලේඛන අනුව පුද්ගලයන් 42ක අඩු වීමකි. 2018 වන විට එහි පිහිටා තිබූ නිවාස ගණන 54ක් වන අතර ඒවායේ පිරිමි පුද්ගලයන් 72ක් සහ කාන්තාවන් 54ක් ජීවත් වෙති. ඒ අතර අවුරුදු 15ට අඩු ළමයින් 21ක්, අවුරුදු 15-29 අතර තරුණ තරුණියන් 12ක්, අවුරුදු 30-64 අතර වයස පුද්ගලයන් 78ක් සහ අවුරුදු 65ට වැඩි පුද්ගලයන් 15ක් විය. ඔවුන් අතර වෙනත් රටවල දී උපත ලැබූ පුද්ගලයන් කිහිප දෙනෙක් ද සිටිති.

නගරයේ පිහිටා ඇති හෝටලය – www.newshub.co.nz

අධ්‍යාපනය සහ රැකියා

මෑතකදී කර ඇති සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ වැංගමොමෝනා නගරයේ ජීවත් වන අය අතරින් පුද්ගලයන් නවයක් උපාධියක් දක්වා අධ්‍යාපනය ලබා ඇති බව යි. ඔවුන් අධ්‍යාපනය සඳහා බොහෝ විට යොමු වන්නේ නවසීලන්තයේ වෙනත් ප්‍රදේශවල පිහිටි පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවලට බව කියැවේ. කෙසේ වෙතත් එහි ජීවත් වන පුද්ගලයන් අතරින් 33 දෙනෙක් විධිමත් අධ්‍යාපනයක් ලබා නැත.

මෑතකාලීන දත්ත අනුව එහි පදිංචි පුද්ගලයන් අතරින් 50කට වැඩි සංඛ්‍යාවක් ස්ථිර රැකියාවල නිරත වන අතර තවත් සැලකිය යුතු පිරිසක් අර්ධකාලීන රැකියාවල නිරත වේ. ඔවුන්ගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් 26,000ක් පමණ වන බවට ගණන් බලා තිබේ. ඔවුන් රැකියා කරන්නේ නවසීලන්තයේ පිහිටි වෙනත් ප්‍රදේශවල ය.

ජනරජ ලාංඡනය – www.wikipedia.org

ජනරජයක් බවට පත් වීම

1989 දී නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවල මායිම් නැවත සලකුණු කෙරිණි. සංශෝධිත සිතියම් මඟින් තාරනාකි කලාපයට අයත් ව තිබූ වැංගමොමෝනා නගරය මානවටු- වැංගනුයි කලාපයට අයත් බව ප්‍රකාශයට පත් කෙරිණි. කෙසේ වෙතත් තාරනාකි කලාපයට අයත් කොටසක් ලෙස ජීවත් වීමට කැමැති වූ නගරයේ ජනතාව මෙම තීරණයට සිය විරෝධය පෑහ. දිගින් දිගට ම සිදු වූ විරෝධතා ඒවායේ උච්චත ම අවස්ථාවට ළඟා වූයේ 1989 නොවැම්බර් 2 දින නගරවැසියන්, ඔවුන් ජනරජයක් ලෙස කටයුතු කරන බවට දැනුම් දීමත් සමඟ යි.

ඔවුන් එදින ම නගරයේ ජීවත් වූ Ian Kjestrup නම් පුද්ගලයා එහි ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත්හ. එතැන් පටන් නොවැම්බර් 2 දින එහි පැවැත්වෙන සෑම ජනරජ දින සැමරුමක් අතරතුර ම ඔවුන් ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගනී. සමහර අවස්ථාවල එක ම පුද්ගලයා වසර ගණනාවක් තිස්සේ ජනාධිපති වශයෙන් තේරී පත් වේ.

දෙවැනි ජනපති Murt Kennard – www.i.stuff.co.nz

නගරයට ඇතුළු වීමට ගමන් බලපත්‍රයක්

ජනරජයක් බවට පත් වූ වසරේ පටන් නගරයට ඇතුළු වීම සඳහා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට වැංගමොමෝනා ජනරජය කටයුතු කළ අතර එය මේ වන විට නගරයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් වී ඇත.

සාමාන්‍යයෙන් ගමන් බලපත්‍රයක් නිකුත් කරන්නේ යම්කිසි රටක පුරවැසියන්ට වුවත් වැංගමොමෝනා නගරයට ඇතුළු වීම සඳහා අවශ්‍ය ගමන් බලපත්‍රය නිකුත් කරන්නේ ඊට ඇතුළු වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් සඳහා වීම විශේෂත්වයකි.

ගමන් බලපත්‍රය – www.bbc.com

එහි පැවැත්වෙන සුවිශේෂී උත්සවයක් වන ජනරජ දිනයට සහභාගී වීමට විශාල පිරිසක් නගරයට ඇතුළු වන අතර ඔවුන් ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබීම අනිවාර්ය වේ. නවසීලන්ත ඩොලර් 3ක්, එනම් රුපියල් 900කට ආසන්න මිලකට එය අලෙවි කිරීමෙන් වැංගමොමෝනා ජනරජය, නවසීලන්ත ඩොලර් 15,000ක් එනම් රුපියල් මිලියන 3.4ක් වැනි මුදලක ආදායමක් වාර්ෂිකව උපයා ගනී.

එම මුදල එහි පිහිටා ඇති පාසල, ප්‍රජා ශාලාව සහ දේවස්ථානය වැනි පොදු ස්ථාන පවත්වාගෙන යාම සඳහා යොදාගන්නා බව කියැවේ.

ජනරජ දින සැමරුම අතරතුර – www.stuff.co.nz

ජනරජ දිනය

1989 නොවැම්බර් 2 ජනරජයක් බවට පත් වීමත් සමඟ ආරම්භ වූ වැංගමොමෝනාහි ජනරජ දින සැමරුම වර්තමානයේ එහි පැවැත්වෙන ප්‍රධානත ම උත්සව අතරින් එකකි. නවසීලන්තයේ සියලු පළාත්වලින් එය නැරඹීම සඳහා ජනතාව පැමිණෙන අතර සමහර අවස්ථාවල 5,000කට වැඩි පිරිසක් ඊට සහභාගී වෙති.

ජනරජ දින සැමරුම බැටළු ධාවන තරඟ, අත්කම් නිර්මාණ තරඟ සහ සුනඛ ප්‍රදර්ශන වැනි විවිධ අංගවලින් ද සමන්විත වේ.

ජනරජ දිනයට සහභාගී වන නවසීලන්ත වැසියෝ – www.heartoftaranako.nz

කවරයේ ඡායාරූපය- වැංගමොමෝනා නගරයට ඇතුළු වීමට ගමන් බලපත්‍රයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ - www.bbc.com

මූලාශ්‍ර- www.bbc.com/ Alexia Santamaria

www.newshub.co.nz

www.stuff.co.nz

Related Articles