Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආක්‍රමණ නිසා විනාශ වී ගිය පෞරාණික ශිෂ්ටාචාර

විජය කුමරු ඇතුළු පිරිස ඉන්දියාවේ ඉඳන් ලංකාවට පැමිණියාම, යක්ෂ ආදී ශ්‍රී ලාංකික ගෝත්‍ර වලට සිදු වූ දෙය ඔබ දන්නවා. විදේශිකයන් විසින් රටේ පාලන බලය ස්වදේශික ගෝත්‍ර වලින් උදුරා ගත්තා පමණක් නොවෙයි, ඔවුන් බහුතරය සමූලඝාතනය කර, ඉතිරි වූවන් දෙවනි පන්තියේ පුරවැසියන් ගණයට ලා සලකනු ලැබුවා. මෙවැනි සිදුවීම් නිසා ආදි ලංකාවේ ස්වදේශික ගෝත්‍ර සහ ඔවුන්ගේ ශිෂ්ටාචාරය විනාශ වී ගියා.

විදේශ ආක්‍රමණ නිසා මහා ශිෂ්ටාචාර වැනසී යෑම ලෝක ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙන්නක්. මෙය බොහෝ විටම සිදුවුණේ මුහුදු මගින් දේශ ගවේශණයේ ආරම්භයත් සමඟයි. ප්‍රධානකොටම ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි ජාතීන් නැව් මගින් නව ලෝකය සොයා සප්ත සාගරයන්ගේ සංචාරය කළ අතර, ඔවුන් ගොඩබසිනා රට වල වාසය කළ දියුණු ගෝත්‍ර විනාශ කර රටෙහි පාලන බලය අල්ලා ගැනීම ඔවුන් විසින් සිදු කළා. මේ හේතුව නිසා බොහොමයක් දියුණු ශිෂ්ටාචාර විනාශයට පත්වී මිහිමතින් තුරන්ව ගියා.

මේ ලිපිය එවැනි ශිෂ්ටාචාර කීපයක් ගැනයි.

ඉන්කා ශිෂ්ටාචාරය

පීරුහි මාචු පිචුහි පිහිටා ඇති ඉන්කා බලකො‍ටුව (Today SHow)

ඉන්කා යනු දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුකරය ආශ්‍රිතව පීරු දේශය මූලික කරගෙන බිහි වුණු ශිෂ්ටාචාරයක්. ඉන්කාවන් ඇරඹුනේ ක්‍රි.ව. 12වන සියවසේ ලෙසයි සැලකෙන්නේ. කුඩාවට ඇරඹුනු ඉන්කා අධිරාජ්‍යය ක්‍රමයෙන් යුධ බලය තර කර ගනිමින් වර්තමාන උතුරු ඉක්වදෝර සීමාවේ සිට මධ්‍යම චිලිය දක්වා පැතිර තිබුණා. ‘ටවන්ටින්සුයු’ නමින් හැඳින්වුනු ඉන්කා රාජ්‍යයේ ස්වර්ණමය යුගයේ දී එහි ගෝත්‍ර සහ ජාතීන් 100කට පමණ අයත් පදිංචිකරුවන් මිලියන 12ක් පමණ සිටින්නට ඇතැයි පැවසෙනවා.

විරකොචා (Pinterest)

ඉන්කා පුරාවෘත වලට අනුව සියල්ල මැවූ දෙවි විරකොචා ශාන්තිකර සාගරයේ සිට පීරුහි ටිටිකාකා විලට පැමිණ හිරුත්, සියළු ගෝත්‍රත් මවා තිබෙනවා. පසුව මෙම දෙවි විසින්ම සියළු ගෝත්‍ර වලළා දමා ඇති අතර හිරු දෙවි ඉන්ටි විසින් ඉන්කාවරුන්ව නැවත ගොඩගෙන ජීවය ලබා දෙනවා. ඉන්ටි ගේ පුතු මන්කො ඛපක් පළමු ඉන්කා පාලකයා ලෙසයි පුරාවෘත වල සඳහන් වන්නේ.

ස්පාඤ්ඤ ආක්‍රමණය (Zhemini’s GD)

ඉන්කා අධිරාජ්‍යය විනාශ වී යෑමට මූලිකවම බලපෑවේ ස්පාඤ්ඤ ආක්‍රමණයි.  යුරෝපීයයන් විසින් ගෙන ආ වසූරිය වැනි රෝග නිසා ඉන්කා ජනගහනයෙන් 65% – 90% අතර පිරිසක් මරණයට ද පත්වුණා. ඉන්කා පාලක වේනා ඛපක් ක්‍රි.ව. 1528 දී මියගිය අතර ඔහුගේ පුතුන් වන වස්කා සහ ඇටහෝල්පා විසින් සිවිල් යුද්ධයක් මෙහෙයවමින් සිටියා. ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ඇතුළු ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් විසින් වසූරිය වසංගතයේත්, සිවිල් යුද්ධයේත් වාසිය ගෙන ඉන්කා ශිෂ්ටාචාරය විනාශ කර දැමීමට සමත් වුණා.

ෆ්‍රැන්සිස්කො පිසාරො (Wikiwand)

ස්වදේශික ඇමරිකානුවන්

‘රතු ඉන්දියානුවන්’ නමින් හැඳින්වෙන ස්වදේශික ඇමරිකානුවන් ඇමරිකාව බිහිවුණු දා පටන් එහි සිටින්නන් ලෙසයි පුරාවෘත වල සඳහන් වන්නේ. ස්වදේශික ඇමරිකානු භාෂා 300කට අධික ප්‍රමණයක් තිබී ඇති අතර ප්‍රධාන ගෝත්‍ර 84ක් හඳුනාගැනෙනවා.

සියොක්ස් ගෝත්‍රික නායකයින් (nativeamericanheritagemonth.gov)

ස්වදේශික ඇමරිකානුවන්ට විනාශය ගෙනාවේ 1620 දී යුරෝපයේ සිට ආගමික නිදහස සොයා පැමිණි පියුරිටන්වරුන් ඇතුළු සුදු ජාතිකයින් විසිනුයි. ඔවුන් විසින් ගෙන ආ වසූරිය, සරම්ප, සහ කහ උණ වසංගත වලට ඔරොත්තු දීමට ප්‍රතිශක්තියක් නොතිබූ ස්වදේශිකයන් මිලියන ගණනින් මියගියා. වසංගත නිසා 90%ක් පමණත්, ඔවුන්ගේ ඉඩම්වලින් පන්නා හැරුණු නිසා, ඔවුන් ආහාරයට ගත් යැක් ගවයින් සුදු ජාතිකයින් විසින් විනෝදයට දඩයම් කිරීම නිසා ආහාර හිඟයකට මුහුණ පෑ නිසා සහ මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස සලකා මරා දැමුණු නිසාත් ඉතිරියෙන් බොහෝ පිරිසකුත් මිහිපිටින් තුරන් වී ගියා.

ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර සහ ඒවායේ පැතිරීම (Tes)

ඇමරිකාවේ මුල් අයිතිකරුවන් වූ ගෝත්‍ර කීපයක් ඔවුන්ට වෙන් කර දී ඇති අක්කර ගණනක කුඩා රක්ෂිත ප්‍රදේශ වල අදටත් වාසය කරනවා.

ඇස්ටෙක් ශිෂ්ටාචාරය

ඇස්ටෙක්වරුන් ඇරඹුනේ සංචාරක ගෝත්‍රයක් ලෙස උතුරු මෙක්සිකානු ප්‍රදේශ වලින්. ඒ 13වන සියවසේ දි යි. පසුව මධ්‍යම මෙක්සිකෝවේ ටිනොච්ටිට්ලන් නගරය ගොඩනැංවීමෙන් පසු ඇස්ටෙක්වරුන් මහා ශිෂ්ටාරයක් ලෙස වර්ධනය වීම ඇරඹුණා. ඇස්ටෙක් රණකාමීන් මුළු මෙක්සිකෝව පුරාම සිය අණසක පතුරවනු ලැබුවා. ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගයේ දී එහි රාජ්‍යවල මිනිසුන් මිලියන 11ක් පමණ වාසය කරන්නට ඇතැයි සැලකෙනවා.

කෝටෙස් සහ ඇස්ටෙක්වරු (Udemy)

ඇස්ටෙක් රාජධානියේ අවසානය ළඟා වූයේ හර්නැන් කෝටෙස් ඇතුළු ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් මෙක්සිකෝවට ළඟා වීමත් සමඟයි. පළමුව ඔවුන් ඉතා මිත්‍රශීලී වුණා. එකල ඇස්ටෙක් අධිරාජයා වූ දෙවන මොන්ටෙසුමා සමඟ ත්‍යාගයන් පවා හුවමාරු කරගනිමින් මිත්‍රශීලී සබඳතාවක් ඇරඹීමට කෝටෙස් ඇතුළු සොල්දාදු පිරිස සමත්වුණා.

ඇස්ටෙක් දින දර්ශනය (pbase.com)

කෙසේ වෙතත්, ස්පාඤ්ඤ සොල්දාදුවන් පිරිසක් ඇස්ටෙක් වරුන් අතින් ඝාතනය වීමත් සමඟ ඇතිවන කලබලකාරී තත්ත්වයේ දී මොන්ටෙසුමා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත පිළිබඳව අප්‍රසාදයට පත්වන ඇස්ටෙක් රණවිරුවන් ඔහුව බලයෙන් පහකොට වෙනත් පාලකයෙකු පත්කර ගත්තා. කෝටෙස් ඇතුළු පිරිසට ටිනොච්ටිට්ලන් හැර යෑමට සිදුවුණත්, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සැලසුම් සකස්කරගැනීමට කෝටෙස්ට හැකිවුණා. තවත් මාස දහයකට පසු තමාට පක්ෂ ස්වදේශික කණ්ඩායම් ද ‍රැස්කරගන්නා කෝටෙස්, ක්‍රි.ව. 1521 දී නගරය වටලෑවා. ආහාර හිඟයත්, වසංගතයනුත් නිසා නගරය ඇදවැටෙද්දී එහි බලය අල්ලාගත් කෝටෙස් ඇතුළු පිරිස් එහි ඉදිකර තිබූ ඇස්ටෙක් ගොඩනැගිලි විනාශ කර දමා ස්පාඤ්ඤ කොලනියක් පිහි‍ටුවනු ලැබුවා. ඇස්ටෙක් ශිෂ්ටාරය අවසන් වූයේ එසේ යි.

ලොව බොහොමයක් පැරණි ශිෂ්ටාචාරයන් සුදු ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බිඳ වැටී විනාශ වී ගියා. ඔවුන් විසින් මිථ්‍යා දෘෂ්ඨික අනුවණයින් ලෙස හැඳින්වුණු මෙම පැරණි වැසියන් බොහොමයක් දෙනා සුදු ජාතික ආක්‍රමණිකයින් විසින් ගෙන ආ වසංගත හා ඔවුන් විසින් ස්වදේශිකයන් මත පටවන ලද පීඩා නිසා මරණයට පත්ව මිහිපිටින් අතුගෑවී ගියා. ආක්‍රමණිකයන්ගේ බල තණ්හාව සහ කෲරත්වය නිසා ඉතාමත් ශෝකජනක අවසානයන් අත්කරගත් ශිෂ්ටාචාරයන්, ජාතීන්, සහ ගෝත්‍ර එමටයි. මෙහි සඳහන් වූයේ එයින් තුනක් ගැන පමණයි.

මුලාශ්‍ර: history.com, ancient.eu

කවරයේ පින්තුරය:(ravenseniors)

Related Articles