Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එවරස්ට් කන්ද මත ජීවිතය නිමා කළ කඳු නගින්නන්

එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා වශයෙන් යොහාන් පීරිස් පසුගියදා තැබූ වාර්තාව පිළිබඳව ශ්‍රී ලාංකිකයින් ආඩම්බරයට පත්ව ඇතුවාට සැකයක් නැහැ. එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේත් යොහාන්ගේ බිරිඳ වන ජයන්ති කුරු උතුම්පාල යි. 1953 මැයි 29 වැනිදා එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමුවැන්නා ලෙස සර් එඩ්මන්ඩ් හිලරි ඉතිහාසගත වුවත් ඔහුට කලින් එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ අය සිටින බව විවාදයට දුඩු දී තිබෙන කාරණයක්. නමුත් ඒ බව තහවුරු කර ගැනීම බෙහෙවින් අසීරු දෙයක් බවට පත්ව තිබෙනවා.

එදා මෙදා තුර එවරස්ට් තරණය කරන්නට ගොස් මරුමුවට පත් වූවන්ගේ සලකුණු තවමත් එවරස්ට් කන්දෙන් වියැකී ගොස් නැහැ. සිය ආදරණීයයන්ගෙන් අවසන් වරට සමුගෙන එවරස්ට් කරා පා තැබූ ඔවුන් ඇතැම්විට නැවත පැමිණීම පිළිබඳව බලාපොරොත්තු රහිතව ගමන් අරඹන්නට ඇතැයි මේ ශෝකජනක මරණ දෙස බැලූ විට පෙනී යනවා. කිසිවෙකුගේවත් හව්හරණකින් තොරව පොළොවේ සිට අඩි දහස් ගණනක් උසින් ස්වභාවධර්මයාගේ අනුහසට යටත්ව අවසන් සුසුම් පොද හෙළූ ජීවිත වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ ඔවුන්ගේ මරණින් පසුවයි. මේ එවරස්ට් කන්දේදී එවැනි ඛේදජනක ඉරණමකට ගොදුරු වූ කඳු නගින්නන් ගැන තොරතුරුයි.

එවරස්ට් කඳු මුදුන

එවරස්ට් කඳු මුදුනේ ඇති කාලගුණික තත්වයන් විඳ දරාගැනීමට මිනිස් ශරීරය නිර්මාණය වී නැහැ. අධික ශීතල හෝ ඔක්සිජන් හිඟ වීමට අමතරව, උන්නතාංශයේ ඇති දරුණු ස්වභාවික වෙනස්වීම් හෘදයාබාධ, ආඝාතය හෝ මොළේ ඉදිමීම්වලට හේතු වෙනවා. එවරස්ට් කන්දේ ඉහළ (අඩි 26000 කට වඩා ඉහළින් පිහිටි ප්‍රදේශය) කලාපයේ ඔක්සිජන් මට්ටම ඉතාම පහළ මට්ටමක පවතින අතර කඳු නගින්නන්ගේ ශරීරය සහ මනස අක්‍රීය කර දැමීම සිදු වෙනවා.

ඊසාන දිග මාර්ගයෙන් එවරස්ට් නැගීම සඳහා ආරම්භ කරන්නන්ගේ මං සලකුණක් බවට පත්ව ඇති කොළ පැහැ බූට්ස් සහිත දේහය (mpora.com)

කොළ පැහැ බූට්ස් (Green Boots)

එවරස්ට් කන්දේ හිම මත වැතිර තිබු කොළ පැහැ පා ආවරණ පැළඳ සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර එකල මාධ්‍යවල බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව තිබුණා. එම මළ සිරුර එවරස්ට් තරණයේදී අකාරුණික ඉරණමකට ගොදුරු වූ ඉන්දියානු කඳු නගින්නන් කණ්ඩායමක සාමාජිකයෙකු වූ ට්සෙවන් පැල්ජෝර් ගේ සිරුර බව පසුව හඳුනා ගැනුණා.

1996 දී ඉන්දු ටිබෙට් දේශ සීමාවෙන් එවරස්ට් තරණය සඳහා ගමන් ඇරඹු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මැයි 10 වැනිදා වන විට පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපසු ඒමට තීරණය කර තිබුණත් ට්සෙවන් සමන්ලර්, ඩොර්ජි මොරුප් සහ පැල්ජෝර් යන තිදෙනාම ඊට විරුද්ධත්වය පා තිබෙනවා.

කොළ පැහැ බූට්ස් සපත්තු පැළඳ සිටි ට්සෙවන් පැල්ජෝර් (mpora.com)

එවරස්ට් කන්ද නැග ආපසු පැමිණෙමින් සිටි ජපන් කඳු නගින්නන් කණ්ඩායමක් එදින සවස් වරුවෙහිදී පුද්ගලයින් තිදෙනෙකු දැක තිබුණු අතර ඒ මෙම ඉන්දියානු සගයින් තිදෙනා වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඔවුන් තිදෙනා එවරස්ට් තරණය කරන්නට ගිය නමුත් කිසිවෙක් නැවත ජීවතුන් අතර දැකගන්නට ලැබුණේ නැහැ.

කොළ පැහැ බූට්ස් සහිත සිරුර තිබූ ස්ථානය ඊසාන දිග මාර්ගයෙන් එවරස්ට් නැගීම සඳහා ආරම්භ කරන්නන්ගේ මං සලකුණක් බවට අදත් පත්ව තිබෙනවා.

ෆ්රැන්සිස් ආර්සෙන්ටීව් (Francys Arsentiv)

ෆ්රැන්සිස් අර්සෙන්ටීව් සහ සැමියා සර්ජේ (mpora.com)

ෆ්රැන්සිස් අර්සෙන්ටීව්ගේ කතාව විශේෂයෙන් ම කුතුහලය දනවන නමුත්, ස්කොට් ෆිෂර්ට හෝ පැල්ජෝර් මෙන් නොව, කඳු නගින්නන් පිරිසකට පළමුවරට ඇයව මුණගැසෙන විට ඈ දරුණු ලෙස මානසික පීඩනයට ලක්ව සිටියා.

1998 මැයි 22 වන විට අතිරේක ඔක්සිජන් නොමැතිව එවරස්ට් තරණය කළ ප්‍රථම ඇමෙරිකානු කාන්තාව වුයේත් ඇයයි. නමුත් ඇයත් සමඟ කඳු තරණය කළ සගයා මෙන්ම සැමියාද වන සර්ජේ ගෙන් වියෝ වන්නට තරම් ඇගේ දෛවය අකාරුණික වී තිබුණා.

කඳවුරට පැමිණි පසුව ෆ්රැන්සිස් නොසිටියෙන් වෙහෙසට පත්ව සිටි සර්ජේ ඇය සොයා කන්ද දෙසට ගමන් ගෙන තිබෙනවා. ඔහු යන ගමනේදී එවරස්ට් තරණය කිරීමේ උත්සාහය අතහැර දැමූ උස්බෙකිස්ථානයේ කඳු නගින්නන් කණ්ඩායමක් සර්ජේට හමු වන අතර ඔවුනට හැකි උපරිමයෙන් ෆ්රැන්සිස්ට සොයා ගැනීමට සහාය දීම සඳහා සර්ජේත් සමඟ එක්ව තිබෙනවා. නමුත් සිලින්ඩරවල ඔක්සිජන් වායුව අවසන් වීම නිසා ඔවුන්ගේ උත්සාහය අත්හැර දමන්නට සිදුවුණා.

ෆ්රැන්සිස් අර්සෙන්ටීව් සමීපයට යන ඕ ඩෝව්ඩ් (mpora.com)

එදා රාත්‍රියේ ෆ්රැන්සිස් හෝ සර්ජේට එක්ව නැවතත් කඳවුරට යන්නට ඉඩ ලැබුණේ නැහැ. පසුදින උදෑසන කඳු නගින්නන් වන ඉයන් වූඩෝල්, කැතී ඕ දොව්ඩ් සහ ඔවුන්ගේ කණ්ඩායමට ෆ්රැන්සිස් ආර්සෙන්ටීව්ව සොයා යද්දී ඇයව හමු වී වෙනවා. එක්වරම ඔවුන් සිතා ඇත්තේ එය ෆ්රැන්සිස්ගේ මළ සිරුර කියායි. එහෙත් ඇගේ සිරුරේ තවමත් ජීවය තිබෙන බව දැන ගැනීමෙන් ඔවුන් බෙහෙවින් පුදුමයට පත් තිබෙනවා.

‘’මාව අතහැර යන්න එපා’’ ඕ ඩෝව්ඩ් සමඟ ෆ්රැන්සිස් සිහින් හඬින් මුමුණා තිබෙනවා. එහෙත් සිරුර තුළින් මෙන්ම පිටතින්ද අප්‍රාණික වීම නිසා ඒ වන විටත් ඇය ආරක්ෂා කර ගැනීමට ඇති ඉඩකඩ ඇහිරී ගොස් තිබෙන බව ඕ ඩෝව්ඩ්ට සහ ඉයන් වූඩෝල්ට හැඟී යාම නිසා ඇගේ අවසන් හුස්ම පොද හෙළන තෙක් බලා සිටින්නට සිදු වීම වේදනාත්මක දෙයක් වී තිබෙනවා. ඍණ 30°C ක දැඩි ශීතලක ඇයත් සමඟ පැය භාගයක පමණ කාලයක් ගත කරන අතරේ ඔවුන් දෙදෙනා අවට පරික්ෂා කර බලන්නට වුණා. ෆ්‍රැන්සිස් වෙනුවෙන් ලියැවුණු Just for the Love of It පොතෙහි ඕ ඩෝව්ඩ් මෙසේ ලියා තිබෙනවා.

ඇමෙරිකානු ධජයෙන් ආවරණය කර ඇති ෆ්රැන්සිස්ගේ සිරුර (mpora.com)

‘’මේ වගේ කිසිවක් මම කවදාවත් දැකලා නැහැ. මම මළ සිරුරු පසු කරගෙන ගිහින් තියෙනවා. නැවත නොපැමිණි මිතුරන් මට හිටියා. ඔවුන්ව අත්හරින්නට මා තීරණය කළ යුතුව තිබුණා. නමුත්, මම කවදාවත් කව්රුවත් මැරෙනවා දැකලා නැහැ.’’

සර්ජේගේ කිසිදු සලකුණක් සොයා ගන්නට ඔවුනට නොහැකි වුණත් සිය බිරිඳව සොයා යන ගමනේදී ඔහු මරු දකින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

කොළ පාට බූට් සපත්තු මෙන්ම ෆ්රැන්සිස් අර්සෙන්ටීව්ගේ සිරුරද වසර ගණනාවක් මුළුල්ලේ උතුරු කොල් මාර්ගයේ දී හමුවන අතර එවරස්ට් කන්ද නගින මෙන්ම බැස යන සිය ගණනක් කඳු නගින්නන් විසින් අදත් ඇගේ සිරුර පසු කර යමින් සිටිනවා.

2007 වසරේදී ෆ්‍රැන්සිස්ගේ සිරුර දැක ගැනීමට ගිය වූඩොල් ඇගේ සිරුර දර්ශනය වන අන්දමින් ඇගේ සිරුර ඇමෙරිකානු ධජයකින් ආවරණය කරන ලද අතර ඇගේ පවුලේ සාමාජිකයෙකුගේ සටහනක් එහි තබා පැමිණියා.

ඩේවිඩ් ෂාර්ප් (David Sharp)

ඩේවිඩ් ෂාර්ප් ප්‍රීතියෙන් පසු වූ අවස්ථාවක් (mpora.com)

ෆ්‍රැන්සිස් සහ සර්ජේ මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ඩේවිඩ් ෂාර්ප් එවරස්ට් කන්ද තරණයට ගියේ සහායක කණ්ඩායමක් හෝ ඔක්සිජන් සිලින්ඩරයක්වත් නොමැතිවයි.

ඔහු කන්ද නැගීම ආරම්භ කළ බව සැලකෙන්නේ 2006 මැයි 14 වැනිදා වුවත් තෙහෙට්ටුව සහ ව්‍යාකූලත්වය නිසා 1996 දී කව්රුත් දන්නා ‘’කොළ පැහැ බූට්ස් සපත්තු’’ ගුහාවේ වාඩිගෙන තිබෙනවා. මේ මොහොතේ කිසිදු සහයක් නොලැබ සිටි ෂාර්ප් ඔහු වාඩි වී සිටි ස්ථානයේම ශීතලට ගල් ගැසී දෙදණ වටා සිය දෑත් තද කරගෙන මිය ගොස් තිබුණා.

ශීතලට ගල් ගැසී දෙදණ වටා සිය දෑත් තද කරගෙන මිය ගොස් සිටින ඩේවිඩ් ෂාර්ප් (mpora.com)
ඩේවිඩ් ෂාර්ප් සිහි කිරීම (mpora.com)

පැය නවයකට පසු තවත් කඳු නගින්නන් පිරිසකට ඔහුව මුණගැසෙන තුරු ඔහුව බේරා ගැනීම සඳහා කිසිදු උත්සාහයක් ගන්නට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. ඔහුගේ මරණය අදද මතභේදයට මුල් වූවක්.

ජෝර්ජ් ලී මැලොරි (George Leigh Mallory)

මුලින්ම එවරස්ට් කඳු මුදුනතෙහි පියවර තබන්නට ඇති පුද්ගලයා ලෙස සැලකෙන ජෝර්ජ් ලී මැලොරි සහ සැන්ඩි ඉර්වින් (mpora.com)

බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් ලී මැලොරි ඔහුගේ ජීවත් වූ කාල වකවාණුව තුළ ප්‍රසිද්ධ කඳු නගින්නෙකු බවට පත්ව සිටියා. එවරස්ට් කන්දේ වාර්තාගත පැරණිම මළ සිරුර වන්නේ ජෝර්ජ්ගේ මළ සිරුරයි. එවරස්ට් කන්ද තරණයේදී මිය ගොස් සිටි ඔහුගේ සිරුර සොයා ගැනුණේ වසර 75කට පසුව යි. 1999 දී ඔහුගේ මළ සිරුර හමුවන තෙක්ම එතරම් පැරණි මළ සිරුරක් එවරස්ට් කන්දෙන් සොයාගෙන තිබුණේ නැහැ.

එදින වෙන තෙක් ජෝර්ජ් සහ කඳු නැගීමේදී ඔහුගේ සහායිකාව වූ සැන්ඩි ඉර්වින් 1924 ජුනි 8 වන දින කන්ද මුදුනතට නැග තිබූ බව කිසිවෙක් දැන සිටියේ නැහැ. ඔවුන් එවරස්ට් කන්ද නැගීම ආරම්භ කර තිබුණේ අද තිබෙන ඉහළ ප්‍රමිතියෙන් යුත් කඳු තරණය සඳහා නිෂ්පාදනය වූ ඇඳුම්, හෝ අවශ්‍ය උපකරණවලින් තොරවයි. ඔවුන් සතුව තිබී ඇත්තේ සරල නිමවුමකින් යුත් ඔක්සිජන් බෝතල් සහ ප්‍රාථමික උපකරණ කිහිපයක් පමණයි. එවරස්ට් තරණයේ ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ නොයෙල් ඔඩෙල් පවසා තිබුණේ අවසන් වතාවට දකින විට ඔවුන් එවරස්ට් කඳු මුදුනට අඩි සිය ගණනක් ආසන්නයෙන් සිටි බවයි.

‘’ඔවුන් ඉතා ශක්තිමත්ව ඉහළට යමින් සිටියා.’’

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාද නැවත පැමිණියේ නැත. ඔවුනගේ මරණය කඳු නගින්නන් ගැන අසන්නට ලැබෙන ප්‍රසිද්ධ අබිරහස් අතරින් එකක් ලෙසිනුයි සැලකෙන්නේ.

මැලොරිගේ සුසානය (mpora.com)

1999 දී මැලොරිගේ සිරුර සොයා ගැනීම ඔවුන්ගේ මරණයේ අබිරහස විසඳා ගැනීමට සාධකයක් විය හැකි බව ඒ පිළිබඳව උනන්දුවක් දැක්වූ අයගේ අදහස වුණා. මැලොරිගේ මමීකරණය වූ සිරුරෙන් මේ වන විටත් හෙළිදරව් කරගෙන තිබෙන්නේ කරුණු ස්වල්පයක් පමණයි. මැලොරිගේ සිරුරේ ඉන පෙදෙස වටා දක්නට ලැබුණු තුවාල තදබල ඒවා නොවීමෙන් පෙනී යන්නේ ප්‍රපාතයට වැටෙන විට ඔහු සහ අර්වින් එකිනෙකා බදා සිටින්නට ඇති බවයි.

සාධක දෙකක් ඔස්සේ ඒ පිළිබඳව අනුමාන කළ හැකි බව පරීක්ෂකයින් පවසනවා.

මැලොරිගේ සාක්කුවේ තිබී හිම කණ්නාඩි යුගලක් සොයාගෙන තිබෙන අතර ඔහු ඒවා ගළවා දමන්නට ඇත්තේ හිරු බැස ගොස් යමින් තිබූ නිසා හොඳින් අවට නැරඹීම සඳහා විය හැකියි. නමුත් ඔහු වැටෙන විට බොහෝ වෙලාවක් ගත වී තිබීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් කඳු මුදුනට නැග ආපසු එන අවස්ථාවේදී වැටී මිය යන්නට ඇති බවයි.

1999 දී සොයාගත් මැලොරිගේ මළ සිරුර (mpora.com)

එමෙන්ම කඳු මුදුනතේ තබා එන බවට සිය බිරිඳ රූත් ට පොරොන්දු වෙමින් මැලොරිගේ සහ ඇගේ ඡායාරූපයක් ඔහු කඳු තරණය කරන්නට යන ගමනේදී ගෙන ගොස් තිබුණා. නමුත් ඔහුගේ පසුම්බියෙහි ලිපි ලේඛන හොඳින් සුරැකිව තිබුණත් එවැනි ඡායාරූපයක් සොයාගත නොහැකි වීමෙන් ඔහු කඳු මුදුනට ගොස් එම ඡායාරූපය තබා නැවත එන ගමනේදී මරුමුවට පත් වන්නට ඇතැයි යන අනුමානය යම් තරමකින් හෝ තහවුරු වන්නක්.

1999දී සිදු කළ ගවේෂණයේදී මැලොරි සහ ඉර්වින් ගෙන ගිය කැමරාවෙන් ගත් ඡායාරූප සාක්ෂි සොයා ගැනීම මරණයට හේතු සෙවීමේදී තීරණාත්මක වුවත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඔවුන් රැගෙන ගිය Vest Kodak කැමරාව කොහේවත් හමු වී තිබුණේ නැහැ.

1924 දී එවරස්ට් ගවේශකයින් වූ බ්‍රිතාන්‍ය කණ්ඩායමේ ඡායාරූපයක්: වම් පස සිට දකුණට, ඇන්ඩෲ ඉර්වින්, ජෝර්ජ් ලී මැලොරි, එඩ්වර්ඩ් නොර්ටන්, නොඑල් ඔඩෙල්, ජෝන් මැක්ඩොනල්ඩ් (mpora.com)

අවාසනාවන්ත අවසානයක් සනිටුහන් කළ මෙම ගමනට පෙර එවරස්ට් කඳු මුදුනට නැඟීමට අවශ්‍ය වූයේ මන්දැයි ප්‍රශ්න කෙරුණු අවස්ථාවකදී මැලොරි දී තිබූ පිළිතුර එකල ප්‍රසිද්ධියට පත්ව තිබුණා.

‘’ඒක එතන තියෙන නිසයි.’’

එය එසේ වුවත් නැතත් ඔවුන්ගේ මරණය අදටත් විවාදයට විවෘතව තිබෙන්නක්. ඒ වගේම මුලින්ම එවරස්ට් කඳු මුදුනතෙහි පියවර තබන්නට ඇති පුද්ගලයා ලෙස සැලකෙන්නෙත් ඔහුයි.

එදා සිට අද දක්වා ඔහු ගමන් ගත් පිය සටහන්වල තවත් කඳු නගින්නන් දහස් ගණනක් පියවර නගන්නට ඇතත් ඒ බොහොමයක් දෙනා වගේ මැලොරි නැවත එන්න අසමත් වුණා.

කවරයේ රූපය : mpora.com

මූලාශ්‍ර :

mpora.com
allthatsinteresting.com

Related Articles