ලංකාවේ කොකෝවා වගාව ගැන තොරතුරු බිඳක්

ඉතාමත් ප්‍රණීත රසයකින් යුත් කොකෝවා නම් පළතුරු විශේෂයේ නිජබිම වශයෙන් සලකන්නේ දකුණු ඇමරිකාව යි. යුරෝපීයයන් යටත් විජිත සමයේ දී මෙරටට හඳුන්වාදුන් කොකෝවා භෝගය වර්තමානය වන විට මෙරට තුළ වාණිජ්‍ය වගාවක් ලෙසින් ව්‍යාප්ත වී තිබෙනවා. ආහාර වර්ග සඳහා අමුද්‍රව්‍යයක් ලෙසින් භාවිතා කරන කොකෝවා භෝගය පොල් සහ රබර් වැනි වගාවන් තුළ අතුරු භෝගයක් ලෙස ද වගා කරනු ලබනවා. මෙම ලිපිය තුළින් තොරතුරු ඉදිරිපත් කරන්නේ ලංකාවේ කොකෝවා වගාව පිළිබඳව යි.

කොකෝවා වගාවට හිතකර දේශගුණික සාධක 

කොකෝවා සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන භෝගයක් නොවෙයි. එයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ එම සුවිශේෂී දේශගුණික තත්ත්වයන් පිළිබඳව යි.

මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් තරම් උසකින් පිහිටා තිබෙන බිම් ප්‍රදේශ කොකෝවා වගා කිරීම සඳහා වඩාත් සුදුසු වනවා. එසේම ඊට සෙල්සියස් අංශක 24-27 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් යෝග්‍ය වනවා. නමුත් මෙම වගාව සඳහා ගැලපෙන මූලික උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 21-32 අතර පවතිනවා. 

වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1250-2500 පමණ පවතින ප්‍රදේශවල කොකෝවා ශාකය ‍වගා කළ හැකියි. වර්ෂාපතනය මි.මී. 2750 ඉක්මවා ගිය විට ගෙඩි කුණුවීමට තිබෙන ඉඩ වැඩියි. එසේම වගාව තුළ දිලීර රෝග වර්ධනය වීමේ අවදානමක් ද ඇති විය හැකියි. 

කොකෝවා භෝගය තෙත් ආර්ද්‍රතාවයක් යටතේ හොඳින් වර්ධනය වෙයි. විශේෂයෙන්ම මල් හටගන්නා සමයේ දී වගාව ආශ්‍රිතව (60-70%) අතර සාපේක්ෂ ආර්ද්‍රතාවයක් පැවතිය යුතුයි. නිරන්තරව පවතින සුළඟ නිසා පරිසරයේ ආර්ද්‍රතාවය අඩු වෙනවා. එය කොකෝවා වගාවට හිතකර නැහැ.

ශාක වර්ධනය වන මුල් වසර 3 තුළ (40-50%) අතර සෙවණක් අවශ්‍ය වනවා. නමුත් වගාව වර්ධනය වීමෙන් පසුව (25-30%) අතර සෙවණක් පැවතීම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් කොකෝවා පොල් සහ රබර් වගාවන් තුළ අතුරු භෝගයක් ලෙසින් වගා කරනවා. රබර් සහ පොල් වගාව තුළින් ලැබෙන සෙවණ ප්‍රමාණවත් නොවේ නම් තාවකාලිකව සෙවණ ලබාගැනීමට ඉක්මනින්ම වැවෙන කෙසෙල් හෝ පැපොල් වැනි වගාවක් ස්ථාපිත කළ හැකියි. එසේම ස්ථාවර සෙවණක් අවශ්‍ය නම් එරබදු, ග්ලිරිසීඩියා වැනි ශාක වර්ග වගාව තුළ ස්ථාපිත කළ හැකියි.

කොකෝවා ශාකයක් (si.thinkfirsttahoe.org)

කොකෝවා වගාවට හිතකර පාංශු තත්ත්වය

කාබනික ද්‍රව්‍යය හොඳින් අඩංගු වන, හොඳින් ජලය බැස යන මැටි ලෝම පසක් කොකෝවා වගාවට වඩාත් හිතකර යි. එසේම නොමේරූ දුඹුරු ලෝම පස සහ රතු පැහැයට හුරු දුඹුරු ලැටසොලික් පස මෙම වගාව සඳහා වඩාත් යෝග්‍ය යි. සාමාන්‍යයෙන් කොකෝවා වගාව සඳහා යොදාගන්නා පස මතුපිට 40%ක් දක්වා විසිරුණු ගල් සහ ගල් කැට තිබීම හිතකර යි. නමුත් රළු බොරළු සහිත පස්, වැලි සහිත පස්, නොගැඹුරු පස්, පාෂාණ තීරයක් යටින් ඇති පස්, සහ තද ලැටරයිට් පිහිටා ඇති පස් මෙම වගාවට සුදුසු වන්නේ නැහැ. තවද කොකෝවා වගාව සඳහා භාවිතා කරන භූමියක පසෙහි තිබිය යුතු pH පරාසය 5.0-6.5 පමණ වුණත් වඩාත්ම යෝග්‍ය වන්නේ  6.0-6.5 අතර pH පරාසය යි.

ලංකාවේ බහුලවම කොකෝවා වවන ප්‍රදේශ 

මධ්‍යම, වයඹ, සබරගමුව, ඌව, බටහිර සහ දකුණ යන පළාත් කිහිපය තුළ කොකෝවා වගා බිම් බහුලවම දක්නට ලැබෙනවා. ඉහත පළාත්වල කොකෝවා වගාවට යෝග්‍ය ලක්ෂණ පවතින නිසා තනි වගාවක් ලෙසත්  පොල්, රබර් වැනි භෝගයක් සමග අතුරු භෝග වගාවක් ලෙසත් කොකෝවා වගා කරනු ලබනවා. වර්තමානය වන විට හෙක්ටයාර 1800කට වඩා වැඩි කොකෝවා බිම් ප්‍රමාණයක් අප රට තුළ දක්නට ලැබෙනවා. එහි දී වැඩිම කොකෝවා බිම් ප්‍රමාණයක් මහනුවර, බදුල්ල, මාතලේ, කුරුණෑගල, කෑගල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක තුළ දී දක්නට ලැබෙනවා.

කොකෝවා වගා බිමක් (wijesingheagro.blogspot.com)

කොකෝවා ප්‍රභේද 

ප්‍රධාන වශයෙන් කොකෝවා ප්‍රභේද තුනක් තිබෙනවා. බීජ පියලි දෙකේ වර්ණය මත එම ප්‍රභේද වර්ගීකරණය කරනු ලබනවා. ඒ අනුව ෆොරස්ටෙරෝ නම් ප්‍රභේදයේ බීජ පියලි තද දම් පැහැයක් ගන්නා විට ක්‍රියෝලෝ නම් ප්‍රභේදයේ බීජ පියලි ක්‍රීම් පැහැයක් ගන්නවා. එසේම හයිබ්‍රිඩ් හෙවත් ට්‍රිනිටාරියෝ නම් ප්‍රභේදයට අයත් බීජ පියලිවල වර්ණ  ක්‍රීම් සිට තද දම් දක්වා පරාසයක් තුළ විසිරී තිබෙනවා. සාමාන්‍යයෙන් තත්ත්වයෙන් උසස් යැයි සැලකෙන්නේ ක්‍රියෝලෝ නම් කොකෝවා ප්‍රභේදය යි. නමුත් ඉන් වැඩි අස්වැන්නන් ලැබෙන්නේ නැහැ. ට්‍රිනිටාරියෝ බීජවලින් ලැබෙන කොකෝවා සාපේක්ෂව ගුණාත්මක බවින් අඩු වුණත් ඉන් ඉහළ අස්වැන්නක් ලැබෙනවා. එසේම එම ප්‍රභේදයේ ශාකවල ඔරොත්තු දීමේ හැකියාව ද වැඩියි. එම නිසා වාණිජ වගාවන්වල දී සුලභවම දක්නට ලැබෙන්නේ මෙම ප්‍රභේදය යි. ඉහත කොකෝවා ප්‍රභේද තුන භාවිතා කරමින් ගුණාත්මක බවින් වැඩි දෙමුහුන් ප්‍රභේද වර්ග සාදා තිබෙනවා. දැනට ලංකාවේ බහුලවම වගා කරන්නේ එවැනි දෙමුහුන් ප්‍රභේද යි. 

කොකෝවා ප්‍රභේද (dea.gov.lk)

කොකෝවා භාවිතා කරමින් සිදුකරන නිෂ්පාදන 

කොකෝවා බටර්, කොකෝවා බටර්, කොකෝවා කේක්, අමු කොකෝවා කුඩු වැනි කොකෝවා ආශ්‍රිත නිෂ්පාදන විවිධ ආහාර වර්ග සෑදීම සඳහා භාවිතා කරනවා. එලෙස කොකෝවා භාවිතා කර නිෂ්පාදනය කරන ආහාර අතුරින් චොක්ලට්වලට ප්‍රමුඛස්ථානයක් හිමිව තිබෙනවා. එසේම කොකෝවා කුඩු භාවිතා කරමින් අයිස්ක්‍රීම්, බිස්කට් වර්ග, බීම වර්ග, කේක්, ශීත කළ අතුරුපස සහ රසකැවිලි වර්ග සාදනවා. කොකෝවා බටර් සබන්, රූපලාවන්‍ය නිෂ්පාදන, සහ ඖෂධීය නිෂ්පාදන නිපදවීම සඳහා භාවිතා කරනවා. තවද කොකෝවා පල්පයේ යුෂ පැසවීමට තබා වයින්, බ්‍රැන්ඩි වැනි මධ්‍යසාර වර්ග නිෂ්පාදනය කරනවා. 

කොකෝවා යොදාගෙන සාදන චොක්ලට් (SmartLady)

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

කොකෝවා වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන්නේ පිටි මකුණා සහ කොකෝවා කැප්සීඩ් මකුණා යන පළිබෝධකයන් දෙදෙනා යි. පහත දැක්වෙන්නේ එම පළිබෝධකයන් දෙදෙනා කොකෝවා වගාවට හානි කරන ආකාරය සහ ඔවුන් මර්ධනය කිරීමට කළ හැකි දේවල් පිළිබඳව යි.

පිටි මකුණා 

පිටි මකුණන් විසින් ශාකයේ දළු කොටස් සහ ගෙඩි වල නටුවෙන් යුෂ උරාබීම සිදුකරනවා. පිටි මකුණාගෙන් සෘජුව සිදුකරන හානියටත් වඩා, ඔවුන්ගේ ශරිරයෙන් පිටවන මධු වැනි ස්‍රාවීය ද්‍රව්‍යය සොයා පැමිණෙන කුහුඹුවන් ඒ සමග කොකෝවා රිකිලි ඉදිමුම් වෛරස් රෝගය ශාකය පුරාම පතුරුවාලීම ගැටළු සහගත වෙනවා. පිටි මකුණු උවදුර පාලනය කිරීම සඳහා  නිර්දේශිත පළිබෝධනාශක භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

කොකෝවා කැප්සීඩ් මකුණා 

සුහුඹුල් සහ ශිෂු අවස්ථාවේ පසුවන සතුන් කොකෝවා ශාකයේ ගෙඩි, නොමේරු පත්‍ර හා කඳ මතින් යුෂ උරා බොයි. ඔවුන් ශාක පටකවලින් යුෂ උරා බීම නිසා ගෙඩි වල කවාකාර හැඩයකින් යුතු තෙත සහිත කළු කුඩා ලප ඇතිවන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. සාමාන්‍යයෙන් මාස 2කට වඩා අඩු වයසැති කොකෝවා ගෙඩිවලින් යුෂ උරා බීම නිසාත්, දිලීර ආසාදනය වීම නිසාත් ගෙඩි කුණු වීම සිදු විය හැකියි. නමුත් වයස මාස හතරකට වඩා වැඩි ගෙඩිවලින් යුෂ උරා බීම නිසා එම ගෙඩි වලට කිසිදු හානියක් ඇති නොකරයි.

ඔවුන් ලපටි පත්‍රවලට හානි කළ විට දළු මැලවීමත් සමගම දල්ල මැරී යයි. මෙම හානිය වැළැක්වීම සඳහා සෙවණ පාලනය කළ යුතුයි. සාමාන්‍යයෙන් 40% ක් පමණ සෙවණ තිබීම ප්‍රමාණවත්. එසේම සතුන් පහසුවෙන් අල්ලා  විනාශ කිරීම සඳහා sticky trap භාවිතය හා ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනිම ඉතා වැදගත් වනවා.

ගෙඩි කුණුවීමේ රෝගය 

මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණය වන්නේ කුඩා, දුඹුරු වණ ඇති වීම යි. පරිසරයේ ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතී නම් ඒවා ඉතා සීඝ්‍රයෙන් පැතිරෙයි. මෙම රෝගය  පාලනය කිරීම සඳහා ආසාදිත සියලුම ගෙඩි ඉවත් කර ඒවා විනාශ කිරීමත්, අනතුරුව 1% බෝඩෝ මිශ්‍රණයක් හෝ වෙනත් තඹ දිලීර නාශකයක් ඉසීමත් කළ හැකියි. තවද අතිරික්ත සෙවණ සහ දිය රිකිලි මෙන්ම අනවශ්‍ය අතු ද ඉවත් කළ යුතුයි.

අංකුර ඉදිමීමේ රෝගය 

මෙම රෝගයේ ලක්ෂණ වන්නේ අතු ඉදිමීම සහ විචිත්‍ර රෝග ලක්ෂණ සහිත පත්‍ර ඇති වීමයි. වෛරසයක් මඟින් ඇති වන මෙම රෝගය මකුණන්ගෙන් සම්ප්‍රේෂණය වෙයි. රෝගය පාලනය කිරීම සඳහා ආසාදිත ශාක ඉවත් කිරීම සහ පිටි මකුණන් පාලනය කළ යුතුයි.

කවරයේ ඡායාරූපය- ගෙඩිවලින් පිරුණු කොකෝවා ගසක් (gettyimages)

Related Articles