ඈත අතීතයේ සිටම වසංගත රෝග ලෝකයේ බොහෝ රටවල්වලට විශාල බලපෑමක් කළා. උතුරු ඇමරිකා මහද්වීපයට අයත් රටක් වන මෙක්සිකෝව, 16 වැනි සියවසේ දී එවැනි දරුණු වසංගත රෝග 2කට මුහුණ දුන්නා. ඉතාමත් දරුණු ලෙස මෙක්සිකෝව පුරා පැතිරී ගිය එම වසංගත දෙක නිසා වසර 56ක් තුළ මිනිසුන් මිලියන 20-25 අතර මරණයට පත් වුණා. එහි දී මෙක්සිකෝවේ සිටි සමස්ත ජනගහනයෙන් 80%කට වඩා මියයාම ඉතාමත්ම කණගාටුදායක සිදුවීමක් වුණා. 

1520 වසරේ දී මෙක්සිකෝව පුරා වසූරිය පැතිරී ගියා 

වසූරිය රෝගය වර්තමානය වන විට ලෝකයෙන් තුරන් කර තිබුණත්, අතීතයේ දී මෙම රෝගය මිනිසුන් විශාල ප්‍රමාණයක් මරු තුරුළට යවනු ලැබුවා. 1520 වසරේ දී මෙක්සිකෝවටත් වසූරිය නම් දරුණු රෝගය විශාල බලපෑමක් කළා. එදා වසූරිය මෙක්සිකෝව තුළ දරුණු ලෙස පැතිරී ගිය නිසාම මිලියන 5-8 අතර පිරිසක් මරණයට පත් වුණා.

වසූරිය රෝගය වැළඳුණු හැටි  

වසූරිය රෝගය ඇති කළේ ද්විත්ව DNA දාම සහිත වෛරසයක් වුණු වැරියෝලා වෛරසය යි. එම වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ සම, වකුගඩු, ප්ලීහාව, අක්මාව ඇතුළු ඉන්ද්‍රියයන් රාශියකම දකින්නට ලැබුණා. ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට වෛරස කිහිපයක් සමග එකවර සටන් කිරීමට සිදුවුණු නිසා සංකූලතාවන්ට ලක් වීමෙන් රෝගීන් මරණයට පත් වුණා. වැරියෝලා මේජර් සහ වැරියෝලා මයිනර් යනුවෙන් මේ වෛරසයේ ප්‍රභේද දෙකක් තිබුණා. ඉන් වැරියෝලා මේජර් නම් ප්‍රභේදය මඟින් ඇති කළ වසූරිය වඩාත් මාරාන්තික වුණා. 

වසූරිය ඇති කළ වෛරසය (slideshare.net)

මෙහි දී දක්නට ලැබුණු සැනසිලිදායකම සිදුවීම වුණේ වසූරිය මිනිසාට තවත් මිනිසෙකුගෙන් පමණක් බෝ වීම යි. එම නිසාම පසුකලෙක වසූරිය රෝගය ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකි වුණා. එදා වසූරිය රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ වුණේ බිඳිති ආසාදනය වීම නිසා යි. ඊට අමතරව සමහර අවස්ථාවල දී රෝගීන් භාවිතා කළ දැඩි ලෙස ආසාදිත උපකරණ මඟින් ද වසූරිය ආසාදනය වන්නට වුණා. යම් පුද්ගලයෙකුට වසූරිය වැළඳී සම්පූර්ණයෙන්ම දිය බිබිලි වියළී යන තුරු වෙනත් අයෙකුට ඔහුගෙන් හෝ ඇයගෙන් රෝගය වැළඳිය හැකිව තිබුණා. එසේම, පුද්ගලයකුගේ ශරීරයට මෙම වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ පහළ වීමට දින 7-17 අතර කාලයක් ගත වුණා.

රෝග ලක්ෂණ 

තද උණ වසූරියේ මූලික ලක්ෂණය වුණා. ඊට අමතරව වසූරිය වැළඳුණු විගසම ශරීරයේ වේදනාව, ශීතල ගතිය හා හිසරදයන් ඇති වෙන්නට පටන් ගත්තා. මූලික රෝග ලක්ෂණ පහළ වී පැය 24-48 ඇතුළත වසූරිය බිබිලි හටගැනීමට ආරම්භ වුණා. ශරීරය පුරාම හටගත් එම බිබිලි වැඩි ප්‍රමාණයක් පාද, මුහුණ, අත් සහ  කට වැනි ස්ථානවල හටගත්තා. එලෙස ශරීරය පුරාම හට ගත් වසූරිය බිබිලි, ඇස් ආශ්‍රිතව හට ගැනීමෙන් අන්ධභාවය පවා ඇති වුණා. මුලින්ම රතු පැහැ ලප ලෙස හටගත් වසූරිය බිබිලිවල ස්වභාවය කාලයක් ගත වන විට වෙනස් වුණා. එහි දී රතු ලප ක්‍රමයෙන් සමෙන් ඉහළට එසවී දියර හා සැරව පිරුණු දිය පට්ටා බවට පත් වුණත්, කලාතුරකින් ඒවා රුධිරයෙන් පිරුණු ගෙඩි ලෙසත් දක්නට ලැබුණා. එලෙස ඇති වුණු වසූරිය බිබිලි සතියක් හෝ දෙකක් ගත වන විට වියළීමට පටන් ගත්තත් අවසානයේ දී එම බිබිලි මඟින් ඇති වුණු වලවල් සිරුර පුරාම දක්නට ලැබුණා.

වසූරිය වැළඳුණු දරුවෙක් (Public Health Image Library of the Centers for Disease Control and Prevention)

1980 වසරේ දී වසූරිය සම්පූර්ණයෙන්ම තුරන් වුණු බව ප්‍රකාශ කළා 

එලෙස මෙක්සිකෝවේ සිටි මුළු ජනගහනයෙන් මිලියන 5-8 අතර ප්‍රමාණයකට මරණය උරුමකර දුන් වසූරිය නම් රෝගය පසුකලෙකත් වසංගතයක් ලෙසින් යම් රටවල්වලට බලපෑම් කළා. එලෙස ලෝකයටම හිසරදයක් වුණු වසූරිය රෝගය ලෝකයෙන් සදහටම තුරන් කිරීම සඳහා එන්නතක් නිපදවීමේ ගෞරවය හිමි වන්නේ එඩ්වඩ් ජෙනර් නම් ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයාට යි. එහි දී වසූරිය හා සමාන එහෙත්, වසූරිය තරම් දරුණු නොවන Cowpox නම් රෝගාබාධයක අඩපණ වුණු වෛරස එන්නත් කිරීමෙන් මිනිසුන් තුළ වසූරිය කෙරෙහි ප්‍රතිරෝධයක් ඇති වන බව ජෙනර් සොයාගනු ලැබුවා. ඉන්පසුව, ඒ පිළිබඳව වැඩිදුර පරියේෂණ කර ජෙනර්, අවසානයේ දී සාර්ථක ප්‍රතිඵල හිමිකරගනු ලැබුවා. 20 වන සියවසේ දී වසූරිය සඳහා එන්නත් කිරීම ලෝකය පුරාම කාර්යක්ෂමව සිදුවුණු නිසා අවසන් වසූරිය රෝගියා වාර්තා වුණේ 1977 වසරේ දී යි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය 1980 වසරේ දී වසූරිය සම්පූර්ණයෙන්ම තුරන් වුණු බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

දරුවෙකුට ප්‍රතිකාර කරන ජෙනර් (theasianparent.com)

මෙක්සිකෝවට දෙවරක් බැට දුන් කොකොලිස්ට්ලි වසංගතය 

මුලින්ම කොකොලිස්ට්ලි වසංගතය මෙක්සිකෝව පුරා පැතිරී ගියේ 1545-1548 කාල සමය තුළ දී යි. එදා එම දරුණු වසංගතය නිසා මෙක්සිකෝ වැසියන් මිලියන 12-15 අතර ප්‍රමාණයක් මරණයට පත් වුණා. එලෙස මෙක්සිකෝ වැසියන්ව පීඩාවට පත් කළ කොකොලිස්ට්ලි වසංගතය යළි 1576 වසරේ දී මෙක්සිකෝව පුරා පැතිරී ගියා. ඒ වන විට ඉතාමත් අඩු ජනගහනයක් ජීවත් වුණු මෙක්සිකෝවේ වැසියන්ගෙන් මිලියන 2කට පමණ එවරත් ජීවිතය අහිමි වුණා.

රෝගය ඇති වුණු ආකාරය 

මෙම රෝගයේ රෝග කාරකය එම අවදියේ දී නිශ්චිතවම හඳුනාගැනීමට හැකි වුණේ නැහැ. නමුත්, පසුකලෙක සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වුණේ සැල්මොනෙල්ලා කුලයේ සැල්මොනෙල්ලා එන්ටෙරිකා වර්ගයේ බැක්ටීරියාවකින් හටගත් උණක් මෙයට හේතුවන්නට ඇති බව යි. එදා මෙම බැක්ටීරියාව ආසාදනය වුණු ආහාරයක් හෝ ජල බිඳක් මිනිසාට මරණය උරුමකර දුන්නේ ඉතාමත් අවාසනාවන්ත අයුරින්.

රෝග ලක්ෂණ

මුලින්ම රට වැසියන්ගේ සම කහ පැහැයට හැරී උග්‍ර උණක් හට ගනු ලැබුවා. ඉන්පසුව, සමේ පැහැය තැඹිලි පැහැයට හැරී නහයෙන් ඇසින් රුධිරය ගලා එන්නට වුණා. එලෙස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව  දිව තද පැහැයට හැරී අඳුරු කබොලක් බවට පත් වන විට කන් පිටුපසින් කුඩා ගැටිත්තක් මතු වුණා. ඇතැම් පුද්ගලයන්ගේ එම ගැටිත්ත විශාල වී සිරුර පුරා පැතිරී ගියා. එලෙස රෝගය වැළඳුණු පුද්ගලයන් අතුරින් මුත්‍රා තද කළු පැහැයට පිටවුණු පුද්ගලයන්ට ඉක්මනින්ම මරණය උරුම වුණා. ඇතැම් පුද්ගලයන් මියගොස් තිබුණේ යම් දෙයකට බිය වුණු ආකාරය පෙන්නුම් කරන සේ දෑස් විවර කර ගනිමින්. එලෙස අද්භූත අයුරින් මිනිසුන් මරණයට පත් වුණු මෙම වසංගතය මෙක්සිකෝ වැසියන් කොකොලිස්ට්ලි යන නමින් හැඳින්වූයේ මහා වසංගතය යන අරුත දෙමින්. 

රෝගය වැළඳුණු පුද්ගලයන් දැක්වෙන සිතුවමක් (Moneycontrol)

වසර 56ක් තුළ මෙක්සිකෝවේ ජනගහනය පහත වැටුණේ මෙසේ යි 

පහත රූපයෙන් පෙන්නුම් කරන්නේ 1520-1576 කාල සමය තුළ මෙක්සිකෝවේ ජනගහනය අඩු වුණු ආකාරය යි. මෙම රූපයේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් එදා වසංගත රෝග නිසා මෙක්සිකෝ වැසියන්ට අත් වුණු ඛේදනීය ඉරණම පිළිබඳව ඔබට පහසුවෙන්ම වටහා ගැනීමට හැකි වනු ඇති.

මෙක්සිකෝවේ ජනගහනය අඩු වීම (researchgate)

මූලාශ්‍රයයන්: 

sciencemag.com, 

Theatlantic.com

 

කවරයේ ඡායාරූපය- කොකොලිස්ට්ලි රෝගයෙන් මියගිය වැසියෙකු දැක්වෙන සිතුවමක් (sciworthy.com)