Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ආර්ථිකය සවිමත් කරන පොල් වගාව

පසුගිය දශක කිහිපය පුරාවටම තේ, පොල්, සහ රබර් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුන බවට පත්ව තිබුණා. නමුත් ගෙවුණු දශකය තුළ ලංකාවේ පොල් වගාවෙහි යම් කඩා වැටීමක් දක්නට ලැබුණා. පොල් ඉඩම් කට්ටි කර විකිණීම සහ පොල් ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීම යන හේතු නිසා පසුගිය කාල සමයේ පොල් වගාවේ නිෂ්පාදනය සීඝ්‍ර ලෙසින් ඉහළ ගියේ නැහැ. එලෙස ලංකාවේ පොල් වගා ක්ෂේත්‍රය තුළ ගැටළු පැවතුණත් තවමත් සැලකිය යුතු පිරිසක් පොල් වගාව සිදුකරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට දායකත්වය ලබාදෙනවා.

පොල් වගා කිරීමට වඩාත් සුදුසු දේශගුණික සාධක

පොල් ශාකය ලංකාව පුරාම බොහෝ ප්‍රදේශවල දී දක්නට ලැබුණත් එය සාරවත්ව වර්ධනය වීමට පහත සඳහන් දේශගුණික සාධක බලපානවා. එම දේශගුණික ලක්ෂණ ඇති ප්‍රදේශවල පොල් වගාව ඉතාමත් සාර්ථක අයුරින් සිදුවනවා

1) 20 ‘C – 27’C අතර උෂ්ණත්වයක් තිබිය යුතු යි.

2) 2000mm-2500mmත් අතර පැතිරුන වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතු යි.

3) මීටර 100ට වඩා පහත් බිම් වඩාත් යෝග්‍ය යි.

4) ලුණු මිශ්‍ර වැලි පස වඩාත් හිතක‍ර වුව ද ඕනෑම පස් වර්ගයක් ඒ සඳහා සුදුසු යි.

ලංකාවේ බහුලවම පොල් වගාකරන ප්‍රදේශ

කොළඹ, කුරුණෑගල, සහ හලාවත පොල් ත්‍රිකෝණය ලෙසින් හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් කොළඹ, ගම්පහ, කුරුණෑගල, සහ පුත්තලම දිස්ත්‍රික්කවල පොල් වගාව බහුලවම සිදුකරනු ලබයි. එසේම ලංකාවේ මුහුදුබඩ පළාත්වල ද පොල් වගාව මහා පරිමාණයෙන් සිදුකරනු ලබන්නේ පොල් වගාවට හිතකර දේශගුණික සාධක එම ප්‍රදේශවල ඇති නිසා යි.

ලංකාවේ වගාකරන පොල් ප්‍රභේද

ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින්, මුල්ම වරට සිදුකරන ලද පොල් ප්‍රභේද හඳුනාගැනීම වාර්තා වන්නේ 1958 වසරේ දී යි. එහි දී ආචාර්ය ඩී.වී ලියනගේ වෙන් කර දැක්වූ ප්‍රධාන පොල් ප්‍රභේද 3ක් පහත දැක්වෙනවා.

1) උස පොල් ප්‍රභේද (Typica)

2) මිටි පොල් ප්‍රභේද (Nana)

3) අතරමැදි පොල් ප්‍රභේද (Aurantiaca)

උස පොල් ප්‍රභේද

උස පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 8ක් ලංකාවෙන් හමුවනවා. එම ප්‍රභේදයේ පොල් ගසක් සාමාන්‍යයෙන් මීටර් 18ක් පමණ උසකට වර්ධනය වනවා. මෙම ප්‍රභේදයේ පොල් ගස්වල මල් පිපීමට වසර 6-8ත් අතර කාලයක් ගතවුණත් ආර්ථික ආයුකාලය වසර 60ක් පමණ වනවා. එසේම මෙම ප්‍රභේදයට අයත් පොල් වර්ගවලින් වසරකට ලබාගන්නා කොප්පරා අස්වැන්න ඉහළ මට්ටමක පවතිනවා සේම එම කොප්පරා ගුණාත්මක බවින් ද ඉහළ වනවා. නමුත් මෙම ප්‍රභේදයේ පොල් වර්ග එක් ගසකින්  වසරකට ලබාදෙන්නේ පොල් ගෙඩි 40ක් වැනි අඩු අස්වැන්නක්. පහත දැක්වෙන්නේ උස පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 8යි.

1) සාමාන්‍ය උස වර්ගය

2) නවසි

3) කමන්දල

4) රන් තැඹිලි

5) ගොන් තැඹිලි

6) බෝදිරි පොල්

7) දීකිරි පොල්

8) පොර පොල්

උස ප්‍රභේදයේ පොල් ගසක් (Flickr)

මිටි පොල් ප්‍රභේද

මිටි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4ක් ලංකාවෙන් හමුවනවා. එම ප්‍රභේදයේ පොල් ගසක් සාමාන්‍යයෙන් මීටර් 10ක් පමණ උසකට වර්ධනය වනවා. මෙම ප්‍රභේදයේ පොල් ගස්වල මල් පිපීම වසර 3-4ත් අතර කාලයක දී සිදුවුණත් ආර්ථික ආයුකාලය වසර 40කට සීමා වනවා. මෙම ප්‍රභේදයට අයත් පොල් වර්ගවලින් වසරකට ලබාගන්නා කොප්පරා අස්වැන්න පහළ මට්ටමක පවතිනවා සේම එම කොප්පරා ගුණාත්මක බවින් ද අඩු මට්ටමක පවතිනවා. වනවා. නමුත් මෙම ප්‍රභේදයේ පොල් වර්ග එක් ගසකින්  වසරකට පොල් ගෙඩි 200-300 අතර ඉහළ අස්වැන්නක් ලබාදෙනවා. පහත දැක්වෙන්නේ මිටි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4යි.

1) කොළ කුන්දිරා

2) රතු කුන්දිරා

3) කහ කුන්දිරා

4) දුඹුරු කුන්දිරා

මිටි ප්‍රභේදයේ පොල් ගසක් (springer.com)

අතරමැදි පොල් ප්‍රභේද

අතරමැදි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4ක් ලංකාවෙන් හමුවනවා. එම ප්‍රභේදයේ පොල් ගසක් සාමාන්‍යයෙන් මීටර් 12ක් පමණ උසකට වර්ධනය වනවා. මෙම ප්‍රභේදයේ පොල් ගස්වල මල් පිපීම වසර 5-6ත් අතර කාලයක දී සිදුවුණත් ආර්ථික ආයුකාලය වසර 40කට සීමා වනවා. මෙම ප්‍රභේදයට අයත් පොල් වර්ගවලින් වසරකට ලබාගන්නා කොප්පරා අස්වැන්න පහළ මට්ටමක පවතිනවා සේම එම කොප්පරා ගුණාත්මක බවින් ද අඩු මට්ටමක පවතිනවා. වනවා. නමුත් මෙම ප්‍රභේදයේ පොල් වර්ග එක් ගසකින්  වසරකට පොල් ගෙඩි 200-300 අතර ඉහළ අස්වැන්නක් ලබාදෙනවා. පහත දැක්වෙන්නේ මිටි පොල් ප්‍රභේදවලට අයත් පොල් වර්ග 4යි.

1) තැඹිලි

2) නවසි තැඹිලි 

3) රත් රන් තැඹ්ලි

4) බෝතල් තැඹිලි

ඉහත පොල් වර්ගවලට අමතරව පොල් පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දී තිබෙන CRIC 65, SLRC 98, කප්සුවය, කප්රුවන, සහ කප්සෙත වැනි දෙමුහුම් පොල් වර්ග තිබෙනවා. එම දෙමුහුම් පොල් වර්ග උස සහ මිටි පොල් ප්‍රභේදවල ඕනෑම දෙකක් මුහුම් කිරීමෙන් සාදා තිබෙනවා. එසේම මොරොක්කෝ උස නමින් හඳුන්වනු ලබන නව පොල් වර්ගය තෙත් කලාපයෙහි වගා කිරීම සඳහා හඳුන්වා දී තිබෙනවා. නමුත් එම පොල් වර්ගවල ආයු කාලය සාපේක්ෂව අඩු නිසා දිගු කාලීන වාණිජ වගාවකට සුදුසු වන්නේ නැහැ.

පොල් ආශ්‍රිත කර්මාන්ත

පොල් ගස කප්රුකක් සේ හඳුන්වනු ලබන්නේ ශාකයේ  සෑම කොටසකින්ම යම් ප්‍රයෝජනයක් ගත හැකි නිසා යි. ඒ අනුව පොල් ගසේ එක් එක් කොටස භාවිතා කරමින් පහත දේවල් නිපදවනු ලබනවා.

පොල් මදය මඟින්

1) කොප්පරා

2) පිසීමට ගන්නා පොල් තෙල්

3) නැවුම් පොල්තෙල්

4) ආහාර වර්ග

5) සබන්

6) ෂැම්පු

පොල් කෙඳි මඟින්

1) ලණු 

2) බුරුසු වර්ග

3) කොසු

4) කඹ

5) ලණු පැදුරු

6) විසිතුරු භාණ්ඩ

පොල් කටුව මඟින්

1) හැඳි

2) බොත්තම්

3) මදුරු දඟර

4) පොල් කටු අඟුරු

5) සක්‍රීය කාබන්

පොල් මල මඟින්

1) පැණි

2) හකුරු

3) විනාකිරි

මීට අමතරව පොල් ශාකයේ කඳ ලී කර්මාන්තය සඳහා යොදාගන්නා විට පොල් අතු සහ පොල් ඉරටු පොල් අතු විවීමට, ඉදල් සෑදීමට සහ විසිතුරු භාණ්ඩ සෑදීමට යොදාගනු ලබනවා.

ලංකාවෙන් අපනයනය කරන පොල් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක්

ලෝකයේ පොල් වගාකරන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින රටක් වන ශ්‍රී ලංකාව පොල් ආශ්‍රිත නිෂ්පාදන විදෙස් රටවල්වලට අපනයනය කරනු ලබනවා. 

දිසිඳි පොල්

උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමාන යි. එය කිරි රසය සමග මඳක් පැණි රසය මුසු වුණු ප්‍රණිත ආහාරයක්. චොක්ලට් , කේක්, බිස්කට්, රසකැවිලි හා ක්ෂණික ආහාර නිෂ්පාදනය සඳහා දිසිඳි පොල් යොදා ගන්නා අතර දිසිඳි පොල් මෙ.ටො. 01ක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් පොල් ගෙඩි 7,797 ක් පමණ අවශ්‍ය වනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය හා ඊජිප්තුව යන රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිසිඳි පොල් මිල දී ගන්නා රටවල් අතරට ඇතුළත් වනවා.

නැවුම් පොල්තෙල්

ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව වියළා ගෙන සිහින්ව ගා ගත් හොඳින් මේරූ පොල් මදය ස්වාභාවික රසය හා සුවඳ ඒ අයුරින්ම රැක ගනිමින් සෙල්සියස් අංශක 60 නොඉක්මවන අඩු උෂ්ණත්වයකින් නිස්සාරණය කර ගනියි. නැවුම් පොල් තෙල් තරමක් උකු ගතියෙන් හා පැණි රසයෙන් යුක්ත වන අතර ,විදේශ වෙළෙඳළේ මේ සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා. නැවුම් පොල් තෙල් සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය  හා ජර්මනිය වැනි රටවලින් විශාල ඉල්ලුමක් පවතින අතර, පොල් ගෙඩි 12,000කින් පමණ නැවුම් පොල් තෙල් මෙ.‍ටො. 01ක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව පවතිනවා.

නැවුම් පොල්තෙල් නිෂ්පාදනයක් (organic facts)

පොල් කිරි

මිනිස් සිරුරට අහිතකර රෝග කාරක සියල්ල විනාශ කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින්, අනු ජීවින්ගෙන් තොර වුණු පිරිසුදු පොල් මදය තරමක උකු දියරයක් බවට පත් ‍කොට පාරිභෝගිකයාට ලබා දෙන නිෂ්පාදනයක් ලෙස පොල් කිරි හඳුන්වා දිය හැකියි. විදේශ වෙළෙඳපළේ පොල් කිරි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර ශ්‍රී ලංකාවේ පොල් කිරි ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය හා ජර්මනිය ඇතුළු රටවල් 40කට වැඩි ප්‍රමාණයකට වාර්ෂිකව අපනයනය කරනු ලබනවා.

පොල් කිරි පිටි

ශ්‍රී ලංකාව උසස් තත්ත්වයේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් ලබා ගන්නා පොල් කිරි සෞඛ්‍යාරක්ෂිත විසිරුණු වියළන ක්‍රමය මඟින් සියුම් කුඩක් බවට පත් කිරීමෙන් පොල් කිරි පිටි නිෂ්පාදනය කරනවා. සෘජු ආහාර සැකසීමට අමතරව ශීතජනක ආහාර කර්මාන්තය,‍ බේකරි කර්මාන්තය, රසකැවිලි නිෂ්පාදනය, විශේෂ බීම වර්ග නිෂ්පාදනය සඳහා ද පොල් කිරි පිටි යොදා ගනි ලබනවා. මෙම නිෂ්පාදනය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් ඉහළ ඉල්ලුමක් තිබෙනවා. එසේම පොල් කිරි පිටි මෙ.ටො . 01ක් නිෂ්පාදනය සඳහා පොල් ගෙඩි 14,000ක් පමණ වැය වනවා.

පොල් ක්‍රීම්

පිටිකළ පොල් කිරි තවදුරටත් දියුණු කිරීම මඟින් පොල් ක්‍රීම් නිෂ්පා‍දනය කරනවා. මෙය අර්ධ ඝන ද්‍රව්‍යක් ලෙසට පවතින අතර,කෘත්‍රීම රසකාරක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය නොයොදා උසස් තත්ත්වයෙන් නිර්මාණය කරනවා. මාස 12 ක පමණ කාලයක් ශීතකරණයක ගබඩා තබා ගත හැකි මෙය සැබවින්ම ස්වාභාවික නිෂ්පාදනයක් වනවා. මෙම නිපැයුම සඳහා ඉහළම ඉල්ලුමක් තිබෙන්නේ එංගලන්තය  හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් වලිනු යි.

පොල් ක්‍රීම් (simplyrecipes.com)

පොල් වගාව ආශ්‍රිත ගැටළු 

ලංකාවේ පවතින අනිකුත් වගාවන් ආශ්‍රිතව  මෙන්ම පොල් වගාව ආශ්‍රිතවත් යම් යම් ගැටළු පවතිනවා. පහත දක්වා තිබෙන්නේ පොල් වගාව සම්බන්ධව පවතින ගැටළු කිහිපයක්

1) හෙක්ටයාරයකින් ලැබෙන ආදායම අඩු වීම

2) සංවර්ධන ව්‍යාපෘතිවලට සහ කොටස් කර විකිණිමට පොල් ඉඩම් බහුලව යොදාගැනීම

3) පොහොර භාවිතය අඩු වීම

4) දේශීය පරිභෝජනයට ගන්නා පොල් ප්‍රමාණය වැඩි නිසා අපනයනය සඳහා ඉතිරිවන පොල් ප්‍රමාණය අඩු වීම

5) පළිබෝධ සහ කෘමි උවදුරු නිසා පොල් වගාවට හානි පැමිණීම

‍6) පොල් වගා කර ඇති ඉඩම්වලින් අමතර ආදායමක් ලබාගැනීමට උත්සාහ නො දැරීම

7) වෙනත් ආදේශක නිසා විදෙස් වෙළඳ පොළේ හොඳ මිළක් නොලැබීම

කෘමීන් හානිකරන ලද පොල්ගසක් (kik.com)

ගැටළුවලට රජයෙන් ලබා දී ඇති විසඳුම්

1) පොල් වගාව සංවර්ධන කිරීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය පිහිටුවීම.

2) පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් නැවත පොල් වගා කිරීම, අලුතින් පොල් වගා කිරීම, ගෙවතු වගා ආධාර දීම යනුවෙන් සහනාධාර ක්‍රම ඇරඹීම

3) ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් යෝග්‍ය පොහොර වර්ග හදුන්වා දීම.

4) ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ පොල් හඳුන්වා දීම.

5) කෘමි උවදුරු සහ පළිබෝධ මර්දනයට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ පොල් කර්මාන්තය දිරි ගැන්වීමට අවශ්‍ය ආධාර ලබා දීම.

Related Articles