පාබ්ලෝ එස්කොබාර් – එස්කොබාර්ගේ කොලොම්බියාව​

කොලොම්බියාවේ අන්දීස් කඳුකර ප්‍රදේශය මැදින් ගලා යන ගංගාවක් වුණා. එහි ජලය අඳුරු පැහැයට හුරු වර්ණයකින් දිස් වූ අතර එහෙයින් එම නදියට රියෝනෙග්‍රෝ (අඳුරු නදිය​) යයි නමක් ලැබුණා. මෙම ප්‍රදේශයේ 16 වන සියවසෙහි පමණ රියෝනෙග්‍රෝ නම් නගරයක් ද ස්ථාපිත කෙරුණා. 19 වන සියවස වනතුරු එය එම ප්‍රදේශයෙහි ප්‍රධානම නගරයක් වූ අතර 1863 කොලොම්බියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද සම්මත කරන ලද්දේ එහිදී යි. පසු කලෙක, මෙඩෙයීන් නගරය විශාලත්වයෙන් වැඩි වීමත් සමග රියෝනෙග්‍රෝ නගරයේ වැදගත්කම අඩු වුණා.

අපේ කතානායකයා උපන්නේ රියෝනෙග්‍රෝ නගරයේදී යි. නමුත් ඔහු කුප්‍රකට වන්නේ මෙඩෙයීන් (Medellin) නගරයේදී කළ දේ හේතුවෙන්. අපේ කතානායකයාගේ නම පාබ්ලෝ එස්කොබාර්.

පාබ්ලෝ එස්කොබාර්

මේ ලිපිය කියවන අය “නාර්කෝස්” කතාමාලාව නරඹා ඇත්නම් පාබ්ලෝ එස්කොබාර් යනු අමුතු අයකු නෙවෙයි. නමුත් “නාර්කෝස්” බලාපු නැති අයට එස්කොබාර් ගැන දැනගන්න බොහෝ දේ ඇති. ඒ වගේම එස්කොබාර් ගැන වගේම සමකාලීන කොලොම්බියාව ගැනත් “නාර්කෝස්” නොකියන බොහොමයක් කතා තියෙනවා. ඉතින්, එස්කොබාර් ගැන මේ කරුණු කාරණා සියල්ලක් ගැනම කතා කරන්න තමයි අපි සූදානම් වන්නේ.

පාබ්ලෝ එස්කොබාර් උපන්නෙ 1949 දෙසැම්බර් 1 වෙනිදා යි. ඔහු ළමුන් හත් දෙනකුගේ පවුලක තුන්වැන්නා වුණා. ඔහුගේ පියා ගොවිතැන් හි නිරත වූ අතර මව ගුරුවරියක් වුණා. කුඩා කාලයේම එස්කොබාර් මෙඩෙයීන් නගරයේ පදිංචියට ගියා. ඔහු අපරාධ සඳහා යොමු වූයේ මෙඩෙයීන් හි දී බවයි සඳහන් වන්නේ.

ලා වියලෙන්සියා

එස්කොබාර් පිළිබඳ විස්තර කිරීමේදී ඔහු ජීවත් වූ සමයේ කොලොම්බියාව පිළිබඳව සඳහන් කළ යුතුයි. එස්කොබාර්ගේ උපතට වසර එකහමාරකට පමණ පෙර කොලොම්බියාව ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වෙළී ගියා. ඊට ආසන්නතම හේතුව වුණේ දේශපාලන ඝාතනයක්.

1940 දශකය වනවිට කොලොම්බියාවෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වුණා. ඒ කොන්සර්වේටිව් පක්ෂය සහ ලිබරල් පක්ෂය යි. 1948 අප්‍රේල් 9 වනදා, එකල ජනප්‍රිය ලිබරල් දේශපාලකයකු මෙන්ම 1949 ලිබරල් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට නියමිතව සිටි ජෝර්ජ් එලියේචර් ගයිතාන් ඝාතනය වුණා. මේ සමගම බොගොටා අගනුවර කලබල ඇතිවුණා. අගනුවර ඇතිවූ කලබල වැඩි දිනක් නොපැවති නමුත් ඉන්පසු විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල කොන්සර්වේටිව් සහ ලිබරල් පක්ෂ අතර ගැටුම් ඇති වුණා. මෙම ගැටුම් ඇතැම් විට කිසිදු හේතුවක් නැතිව​, එකට එක කිරීම් විදියටත් දිගින් දිගටම ව්‍යාප්ත වුණා. කොන්සර්වේටිව් පාක්ෂිකයන් ග්‍රමීය ගොවීන්ට ලිබරල්වාදී ගොවීන් සතු ඉඩම් අත්පත් කරගැනීමට අනුබල දුන්නා. 1949 ජනාධිපතිවරණය ලිබරල්වාදීන් විසින් වර්ජනය කෙරුණ අතර රාජ්‍ය බලය ද ඔවුනට එරෙහිවයි ක්‍රියාත්මක වුණේ.

බොගොටා නගරයේ කැරලි කෝලාහලයන් ගෙන් පසු (Ohio State University)

1953 දී යුධ හමුදාව රටේ බලය අල්ලාගත්තා. නමුත් ගැටුම් සමහන් වූයේ නැහැ. හමුදාවේද මැදිහත් වීමෙන් ප්‍රධාන පක්ෂ දෙක පසුව සාකච්ඡා ඇරඹුවා. 1958 දී ඔවුන් පක්ෂ දෙක අතර බලය හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියක් ඇරඹුවා. හමුදා පාලනය නිම වී සිවිල් පාලනය ස්ථාපිත වුණා.

මේ අනුව දෙපාර්ශවය අතර ජනාධිපති ධුරය මාරුවෙන් මාරුවට බෙදී යන අයුරින් එකඟතාවක් ඇති කරගනු ලැබුණා. 1958 සිට 1974 දක්වා කාලයේදී කොන්සර්වේටිව් සහ ලිබරල් එකඟතාව බලාත්මක වුණා. මෙම එකඟතාව හැඳින්වූයේ “ජාතික පෙරමුණ​” යන නමින්.

කොලොම්බියා ඉතිහාසයේ 1948 – 1958 සමය හඳුන්වා දෙන්නේ ලා වියලෙන්සියා යන නමින්. එනම් ප්‍රචණ්ඩ ක්‍රියා සමය ලෙසයි.

වාමාංශික කැරලි

ජාතික පෙරමුණ සන්ධානය බිහි වීමත් සමග තාවකාලිකව රටේ සාමකාමී තත්ත්වයක් ඇති වුණත් වෙනත් ප්‍රශ්නයක් පැන නැගුණා. එනම් රටේ විකල්ප අදහසක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා වීමයි.

කොලොම්බියාව

මේ හේතුවෙන් කොලොම්බියාවේ කොමියුනිස්ට් පක්ෂය වැනි වාමාංශික සංවිධාන ආයුධ අතට ගැනීමට පෙළඹුණා. 1964 දී මාක්ස්වාදී සංවිධානයක් වූ කොලොම්බියා විප්ලවකාරී සන්නද්ධ බලකාය (FARC) රාජ්‍ය විරෝධී කැරැල්ලක් දියත් කළා. මීළඟ අවුරුදුවල තවත් වාමාංශික කණ්ඩායම් මෙන්ම දක්ෂිනාංශික ඝාතක කල්ලි ද රටෙහි ක්‍රියාත්මක වුණා. මේ හේතූන් නිසා කොලොම්බියාව දිගටම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන රටක් ලෙස පැවතුණා.

මුල් කාලීන ක්‍රියා

පාබ්ලෝ එස්කොබාර් මුල් කාලීනව සාමාන්‍ය ජාවාරම්කරුවකු ලෙස ක්‍රියා කළා. ඔහු මුල් කාලීනව සොහොන් ගල් සොරකම් කරන්නකු වූ බව සඳහන් වනවා. සොහොන් ගල් සොරකම බොහෝ රටවල තිබෙන ප්‍රශ්නයක්. සොරකම් කරන ලද ගල්වල නම් මකා වෙනත් අයට විකිණීම සිදු කෙරෙනවා. ඇතැම් විට ලෝහ පුවරුවල නම් ලියා ඇත්නම් ඒවා ද ලෝහ සඳහා අලෙවි කළ හැකියි.

එස්කොබාර් මුල් කාලීනව පොලිස් අත් අඩංගුවට පත් වූ අවස්ථාවක් (Colombia National Police)

මේ අතරතුර එස්කොබාර් ව්‍යාජ ලියවිලි සෑදීම වැනි කටයුතුවලට ද එළඹුණ අතර 1970 දශකය වනවිට ඔහුගේ සහෝදරයින් සහ ඥාතීන් සමහරෙක් ද මිතුරන් ද සමග ජාවාරම් කල්ලියක් ලෙස සංවිධානය වුණා. මරුවානා ජාවාරමටත් ඔහු කෙමෙන් සම්බන්ධ වුණා.

නමුත් පාබ්ලෝ එස්කොබාර් ලෝකයේ ධනවත්ම අපරාධකරුවා බවට පත් වූයේ කොකේන් ජාවාරමට අතගැසීමත් සමග යි.

එස්කොබාර් කොකේන් ජාවාරමට අත ගසයි

ඔබ “නාර්කෝස්” නරඹා ඇත්නම්, එස්කොබාර්ට කොකේන් හඳුන්වා දීම පිළිබඳ ඔබට මතක ඇති. නාර්කෝස් හි එය සිදු වන්නේ මතෙයෝ මොරේනෝ හෙවත් “කැරපොත්තා” (ස්පාඤ්ඤ බසින් කුකරචා) නම් චිලියානු ජාවාරම්කරුවකු මාර්ගයෙන්. 1973 චිලී හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලය අල්ලාගත් ඔගස්ටෝ පිනෝචේ, රහසිගත කොකේන් නිෂ්පාදනාගාර වටලා එම ජාවාරම විනාශ කිරීමට හමුදාව යෙදවූවා. නාර්කෝස් කතාවේ හැටියට එවන් ප්‍රහාරයකදී හමුදාව විසින් මත් ජාවාරම්කරුවන් පිරිසක් සමූල ඝාතනය කරන අතර ඉන් දිවි ගලවාගන්නා මොරේනෝ කොලොම්බියාවට පළා ගොස් එස්කොබාර් මුණගැසෙනවා.

ඔගස්ටෝ පිනෝචේ බලයට පැමිණි පසු (Getty Images)

​නාර්කෝස් එසේ කීවද සත්‍ය කතා පුවත ඊට තරමක් වෙනස් බවයි ඉතිහාසකරුවන්ගේ මතය වන්නේ. චිලියේ කොකේන් ජාවාරමට පිනෝචේගේ ආගමනය ප්‍රබල ප්‍රහාරයක් වූ බව සත්‍යයක්. නමුත් එස්කොබාර් හමු වී කොකේන් ජාවාරමට ඔහු පොළඹවා ගත්තේ මොරේනෝ හෙවත් “කැරපොත්තා” නම් අයකු බවට සඳහනක් නැහැ.

කොයි අයුරකින් කොකේන් ජාවාරමට නැඹුරු වූවද​, එහි ව්‍යාපාරික වාසිය එස්කොබාර් හඳුනා ගත්තා. අනෙක් අතට ඒ වනවිට ද වෙනත් ජාවාරම්වලින් යම් මූල්‍ය ශක්තියක් ගොඩනගාගෙන තිබුණ හෙයින් එස්කොබාර්ට කොකේන් විද්‍යාගාර සඳහා ආයෝජනය කිරීමේ හැකියාව ද තිබුණා. මේ අනුව කොලොම්බියාවේ වනගත ප්‍රදේශවල විද්‍යාගාර ඉදි කෙරුණා.

කොකේන් නිෂ්පාදනය

කොකේන් නිෂ්පාදනය කරනු ලබන්නේ කොකා ගසෙහි පත්‍රවලින්. මෙම ශාකය දකුණු ඇමරිකාවේ උතුරු සහ බටහිර ප්‍රදේශයන් හි වැවෙනවා. මීට ටික කලකට පෙර ලෝක කොකේන් නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයක් කොලොම්බියාවේදී සිදු වුණා. වර්තමානයේද කොකේන් විශාල වශයෙන්ම නිපදවෙන්නේ කොලොම් බියාවේ බව අනුමාන කෙරෙනවා. ඊට අමතරව පීරු, බොලිවියාව සහ චිලී යන රටවලත් කොකේන් නිෂ්පාදනය වනවා. කොකා ගස හොඳින්ම වැවෙන්නේ මෙම රටවල කඳුකර වනාන්තරවල යි. වියළි කොකා පත්‍රයක කොකේන් රසායනිකය සියයට එකක් පමණ අඩංගු වනවා.

කොකා පත්‍රවලින් කොකේන් නිෂ්පාදනය කෙරෙන “විද්‍යාගාර​” මෙම වනගත පෙදෙස්වල රහසිගතව ක්‍රියාත්මකයි. කොකා පත්‍රවලින් කොකේන් වෙන්කර ගන්නේ ද්‍රාවක නිස්සාරණයෙන් හෝ ආම්ලික නිස්සාරණයෙන්.

ද්‍රාවක නිස්සාරණය සාමාන්‍යයෙන් කෙරෙන ක්‍රමය බැවින් ඒ පිළිබඳ අප මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වනවා. මෙහිදී මුලින්ම සිදු වන්නේ වියළි කොකා පත්‍ර​ කුඩා වන්නට කැබලි කර ලයිම් වැනි භාෂ්මික ද්‍රව්‍යයකින් පිසදැමීම යි. ඉන්පසු එයට කාබනික ද්‍රාවකයක් එක් කරනවා. මේ සඳහා භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් ආදී කාබනික ද්‍රාවකයක් භාවිතා කළ හැකියි.

මෙම මිශ්‍රණය විටින් විට කලත්තවමින් දින කිහිපයක් තිබෙන්නට හරිනවා. එවිට, කාබනික ද්‍රව්‍යයක් වන කොකේන් රසායනිකය, එම ද්‍රාවක වෙත නිස්සාරණය වනවා.

මින්පසුව පෙරීම සහ වෙනත් ක්‍රමවලින් ද්‍රාවණය පත්‍ර කොටස්වලින් වෙන් කරගෙන එය තනුක සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා වීමට සලස්වනු ලබනවා. එවිට ද්‍රාවණයෙහි තිබෙන කොකේන්, කොකේන් සල්ෆේට් බවට පත්ව ජලීය කොටසට එකතු වනවා. ටික කලක් මෙය තිබෙන්නට හැරිය විට කාබනික ද්‍රාවකය වාශ්ප වනවා. ඉන්පසු ජලීය ද්‍රාවණයට භාෂ්මික දෙයක් එක් කර සල්ෆියුරික් අම්ලය උදාසීන කළ විට කොකේන් තලපයක් ලෙස තැන්පත් වනවා.

මෙම තලපයෙහි අඩංගු අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පිරිසිදු කොකේන් නිපදවනවා. සාමාන්‍යයෙන් මෙය විද්‍යාගාරවලින් පිට වන්නේ කොකේන් හයිඩ්‍රොක්ලෝරයිඩය ලෙසයි.

Related Articles