Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එස්කොබාර්ගේ අපරාධ ජාලය ස්ථාපිත වීම

1960 දශකය ඇමරිකාවේ ඉතිහාසය වෙනස් කළ දශකයක්. මේ සමයේදී ඇමරිකානු තරුණ කොටස් අතර විවිධ රැඩිකල් අදහස් රෝපණය වුණා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය ද ඉහළ ගියා. මුලින් මරුවානා භාවිතය බෙහෙවින් ප්‍රකට වූ නමුත් 1970 වනවිට කොකේන් වඩා ජනප්‍රිය වීමට පටන් ගත්තා.

කොකේන් සඳහා වෙළෙඳපොල ඇත්තේ කොලොම්බියාවේ නොව ඇමරිකාවේ බව එස්කොබාර් තේරුම් ගත්තා. මේ අනුව ඔහු සිය ජාවාරම ඇමරිකාව දෙසට දියත් කළා. ඔහු ජාවාරමට බට මුල් කාලයේ කොකේන් එක් කිලෝවක් ඩොලර් 35,000 ක මුදලකට අලෙවි වුණා.

මියාමි නගරයට ගමන් කරන ගුවන් මගීන් අතර කොකේන් ප්‍රවාහකයින් ගමන් ගත්තා. බලධාරීන්ගේ අවධානය මෙම ජාවාරම පිළිබඳ යොමු වීමට පෙර ගමන් මළු, කබා අදියෙහි කොකේන් සඟවාගන යන ලද නමුත් පසුව වෙනත් ක්‍රමවේදයන් මේ සඳහා යොදාගැනීමට සිදු වුණා. සැහැල්ලු ගුවන් යානා යොදාගැනීම ඇරඹුණේ ඒ අනුවයි.

1975 වසරේ පමණ සිට මෙම ගුවන් ගමන් ඇරඹුණ අතර ගමන්වාර කිහිපයක් ඇතුලත ඔහු ඩොලර් මිලියන ගණන් උපයාගෙන තිබුණා. ඔහුගේ වයස අවුරුදු 30 ක් වීමටත් පෙර ඔහු හසියෙන්ඩාවක් හෙවත් වතු යායක් මිලට ගත්තා. එහි නම වූයේ හසියෙන්ඩා නපොලිස්. මෙහි ඔහු පසු කලෙක පුද්ගලික සතුන් වත්තක් පවා ඉදි කළ අතර විවිධ සතුන් එහි ගෙන්වනු ලැබුණා. වාර්තා වූ පරිදි එස්කොබාර් මෙම හසියෙන්ඩාව මිලට ගත්තේ ඩොලර් මිලියන 63 කටයි. මේ අතර ඔහු රට පුරාම වෙනත් ඉඩකඩම් සහ නිවාස ද මිලට ගත්තා.

හසියෙන්ඩා නාපොලිස් හි ඉදිරි දොරටුව​. මෙහි දක්වා ඇති ගුවන් යානය එස්කොබාර් කොකේන් ප්‍රවාහනයට මුල් කාලයේ යොදාගත් යානයකි (Rare Historical Pictures)

එස්කොබාර්ගේ හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදවා ගන්නා ලද ගුවන් නියමුවන් බොහෝ විට ඇමරිකානුවන් වුණා. එම යානාවල අවශ්‍ය පමණට වඩා ඉන්ධන පිරවූයේ ද නැහැ. එම බර ද හෙරොයින් පැටවීමට යොදාගනු ලැබුණා. එහෙයින් ඇතැම් විට යම් කිසි හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත් එම නියමුවන් අපහසුතාවට පත් වුණා. ඇතැම් නියමුවන්ට සිය ගමන අවසන් කරගැනීමට හැකි වූයේ නැහැ. නමුත් සාර්ථකව ගමන අවසන් කළ නියමුවකුට අවම වශයෙන් එක් ගමනකට ඩොලර් මිලියනය බැගින් උපයා ගැනීමට අවස්ථාව තිබුණා. සාමාන්‍යයෙන් එක ගුවන් යානයක එක වාරයක කිලෝ 400 ක පමණ කොකේන් ගෙනගිය බව සඳහන් වනවා. එස්කොබාර්ට ඉන් ලැබුණ ආදායම ගමන් වාරයකට ඩොලර් මිලියන දහයක් තරම් විශාල අගයක් වීමට ද ඉඩ තිබුණා.

එස්කොබාර්ගේ සංවිධානය සාර්ථක වීමට බලපෑ ප්‍රධානම කරුණක් වූයේ එහි මනා සංවිධානය සහ එස්කොබාර් එය තදින් පාලනය කිරීමයි. මේ හේතුවෙන් හෙරොයින් ජාවාරමෙහි යෙදෙන නියමුවන් ද ඔවුන් සමග වැඩ කිරීමට අකමැති වූයේ නැහැ. එස්කොබාර් අනෙකුත් ජාවාරම්කරුවන්ට වඩා කුරිරු අයකු වූ අතර ඔහු විසින් ඇති කරන ලද භීතිය හේතුවෙන් කිසිවකු ඔහුට එරෙහිව යාමට ඉදිරිපත් වූයේ නැහැ.

ඇමරිකානු වෙරළාරක්ෂක හමුදාවට සහ රේගුවට​ ද ගුවන් යානා තිබුණා. නමුත් ජාවාරම්කරුවන්ගේ ගුවන් යානා අල්ලා ගැනීම ඔවුනටද අපහසු වුණා. ඇතැම් නියමුවන් නීතියට හසු වූයේ ඔවුනගේ තිස්වන හෝ හතලිස්වන හෝ ගමනේදී යි. ඇතැමුන් එසේ හසු වූයේ ම නැහැ. රේඩාර්වලට හසු නොවීමට පහලින් පියාසර කළ ඔවුන් ඇතැම් අවස්ථාවල ෆ්ලොරීඩාවේ කොහේ හෝ පිහිටි කුඩා ගුවන් පථයකට ගොඩ බැස්සා. ඇතැම් අවස්ථාවල ඔවුන් මනා සේ ආවරණය කළ ඇසුරුම්වල බහා ලූ සිය හෙරොයින් තොගය මුහුදට අත හැරියා. එවිට ඒ සඳහා සූදානමින් හුන් වේගවත් බෝට්ටු ඒවා ගොඩ ගත්තා.

මෙඩෙයීන් කාර්ටලය

එස්කොබාර්ට මෙඩෙයීන් හි පාතාලයෙහි තනි බලයක් වූයේ නැහැ. ඔහුට එහි තරගකරුවන් සිටියා. ඔචොආ සහෝදරයින් තිදෙනා, හොසේ ගොන්සාලෝ රොද්‍රිගුවෙස් ගාචා සහ කාර්ලෝස් ලේඩර් මේ තරගකරුවන් අතර ප්‍රමුඛ වුණා. ඔවුන් ද ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් වූ අතර ඔවුන් සහ එස්කොබාර් අතර තරගයක් වර්ධනය වීමට ඉඩ තිබුනා. නමුත් එස්කොබාර් තීරණය කළේ එක්සත්ව වැඩ කිරීමෙන් සියල්ලන්ටම යහපතක් වන බව යි.

මෙඩෙයීන් කාර්ටලය

මේ අනුව 1976 පමණ සිට එස්කොබාර් සහ අනෙකුත් පිරිස එක්ව කටයුතු කිරීමට පටන් ගත්තා. මෙසේ මෙඩෙයීන් හි සිට ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන් එහි තම ඒකාධිකාරයක් පිහිටුවා ගත්තා. මෙය මෙඩෙයීන් කාර්ටලය ලෙස නම් කෙරෙනවා.

මෙයින් පසු ජාවාරම්කරුවන් සිය හෙරොයින් පැටවීමේදී ගුවන් යානයක ඉඩකඩ හවුලේ භාවිතා කළා. ඒ අනුව යම් ගුවන් යානයක් කඩා වැටුණි නම් හෝ අල්ලාගත්තේ නම් හෝ එම පාඩුව සියල්ලන් අතරේ බෙදී ගියෙන් එක් අයකුට වන අලාභය අඩු වුණා.

1980 පමණ වනවිට ඇමරිකාවේ කොකේන් සඳහා විශාල ඉල්ලුමක් තිබුණ අතර එස්කොබාර් දිනකට ඇමරිකන් ඩොලර් මිලියන 50 ක් උපයන තත්ත්වයට ළඟා වී තිබුණා.

ඝාතන

මෙඩෙයීන් කාර්ටලය මෙඩෙයීන් නගරයේ පාතාලය සිය ග්‍රහණයට නතු කරගත්තා. ඊට එරෙහි වන්නන් ඝාතනය කිරීමට එස්කොබාර් පසුබට වූයේ නැහැ. ඔහු යටතේ ඝාතකයින් ගණනාවක් කටයුතු කළා. යම් කිසි අයකු තමාට එරෙහි වූ විට ඔහු සහ ඔහුගේ පවුලම ඝාතනය කිරීමට එස්කොබාර් අණ කළා. ඔහුගේ ඝාතකයින් විසින් ගැහැණුන්, පිරිමින්, ළමුන් කිසිදු වෙනසක් නොමැතිව මරණයට පත් කළා.

මෙම ඝාතක කල්ලිවල ප්‍රධාන ආයුධය වූයේ කෙටි මැෂින් තුවක්කුවක්. ඇතැම් අවස්ථාවන් හි ඝාතකයින් විසින් සිය ගොදුරු සොයාගෙන පැමිණියේ ඔවුන් මෝටර් රථවල ගමන් කරන විටයි. යතුරු පැදියක පිටිපස නැගුණ ඝාතකයින්ට වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ගොරුදු වූයේ වරක් හෝ දෙවරක් හෝ නොවේ.

මෙම ඝාතන හේතුවෙන් එස්කොබාර් මෙඩෙයීන් නගරයම භීතියට පත්කරගෙන සිටියා. පවුල් පිටින් ඝාතනය කළ ද ඔහු සිය ඉලක්ක තීරණය කළේ ඉතා කල්පනාකාරීවයි. ඔහුට තම ඉලක්ක පිළිබඳ පැහැදිලි අදහසක් තිබුණා.

පවුලේ විස්තර

පාබ්ලෝ එස්කොබාර් විවාහ වූයේ 1976 දී යි. ඔහුගේ බිරිඳ මාරියා වික්ටෝරියා එයුජෙනියා හෙනාඕ ඒ වනවිට 15 හැවිරිදි අයකු වුණා. ඇය එස්කොබාර් මුණගැසෙන විට ඇගේ වයස අවුරුදු 13 ක් වුණා. ඇගේ පවුල මේ සම්බන්ධයට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වනවිටත් එස්කොබාර් ජාවාරම්කරුවකු ලෙස ප්‍රකටව සිටි අතර ඔහු කොකේන් ජාවාරමට අත ගැසුවේ ද මාරියා වික්ටෝරියා මුණගැසුණ සමය ආසන්නයේදීමයි.

එස්කොබාර්ගේ ඝාතනයෙන් වසර 25 ක් ගතවනතුරු මාරියා ඔහු හා ජීවිතය පිළිබඳ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නමුත් 2018 නොවැම්බරයේදී ඇය විසින් ලියා පළ කරන ලද “පාබ්ලෝ එස්කොබාර්: මගේ ජීවිතය​, මගේ සිරගෙය​” නම් චරිතාපදානයේ ඇය ඔහු පිළිබඳ බොහෝ දෑ හෙළි කර සිටිනවා.

ඔහුගේ බිරිඳ පවසන පරිදි ඇයට වයස අවුරුදු 14 දී එස්කොබාර් ඇයට ගබ්සාවක් සිදු කරගැනීමට බල කර තිබෙනවා. එය ශාරීරිකව මෙන්ම මානසිකව ද ඇයට ඉතා වේදනාකාරී අත් දැකීමක් වූ බව ඇය සඳහන් කරනවා.

එස්කොබාර් සහ පවුලේ අය​ (පවුලේ ඡායාරූපයක්)

විවාහයෙන් පසු ඔවුනට දරුවන් දෙදෙනකු ලැබුණා. ඔවුනගේ පුත්‍රයා වූ හුවාන් පාබ්ලෝ එස්කොබාර් හෙනාඕ උපන්නේ 1977 පෙබරවාරියේදී යි. ඉන් වසර හතකට පසු ඔවුනගේ දියණිය මැනුවෙලා උපත ලැබුවා.

පාබ්ලෝ එස්කොබාර් ඔහුගේ පවුලට ඉතා ලැදි වූ අයකු බව සඳහන් වනවා. මෙම ලැදියාව ම අවසානයේදී ඔහුගේ මරණය ද ඉක්මන් කළ අයුරු අපට පසුව දැකගත හැකි වනු ඇති.

මෙඩෙයීන් හි “රොබින් හුඩ්”

තම ජාවාරම්වලින් එස්කොබාර් උපයාගත් මුදල අති විශාල වුණා. ඔහුගේ ආදායම කොලොම්බියානු රජයේ ආදායමටත් වඩා විශාල වූ අතර ඔහුට එම මුදල්වලින් කුමක් කරන්නේද යන්නත් සිතාගත නොහැකි වුණා. 1980 දශකය මුල් කාලය වනවිට එස්කොබාර්ගේ සමස්ථ වත්කම් ඇමරිකන් ඩොලර් බිලියන තිහක් පමණ වූයේ යයි අනුමාන කෙරෙනවා.

ඔහු මෙම අති විශාල මුදලින් කොටසක් දුප්පතුන් අතර බෙදා දුන්නා. ඔවුන් සඳහා විවිධ උත්සව සංවිධානය කළ අතර ඔවුනට ආහාර ද ලබා දුන්නා. දුප්පත් ජනයා සඳහා නිවාස සහ දේවස්ථාන ද එස්කොබාර් විසින් ඉදි කරවනු ලැබුණා.

රජය විසින් සිදුකළ යුතු වූ සුබසාධන කටයුතු සිදු කරනු ලැබූයේ එස්කොබාර් විසිනුයි. මේ හේතුව නිසා එස්කොබාර් මෙඩෙයීන් හි රොබින් හුඩ් වැනි චරිතයක් බවට පත් වුණා. විශේෂයෙන්ම දුප්පතුන් අතර ඔහු ජනප්‍රිය චරිතයක් වුණා.

එස්කොබාර් මෙසේ කටයුතු කිරීමට යටි අරමුණක් ද තිබුණා. ඔහුට දේශපාලනයට පැමිණීමේ අභිලාශයක් තිබුණ අතර කිසියම් දිනෙක කොලොම්බියාවේ ජනාධිපති බවට පත්වීමේ ආශාව ද ඔහු තුල පැළපදියම් වී තිබුණා.

මේ අතරතුර එස්කොබාර් කොලොම්බියාවේ මාක්ස්වාදී කැරලිකරුවන්ගේ ද ඉලක්කයක් බවට පත් වෙමින් තිබුණා. එස්කොබාර් සහ ඔහුගේ අනුගාමිකයන් දක් ෂිනාංශික පැරාමිලිටරි කණ්ඩායම්වලට අනුග්‍රහය දැක්වූයේ එක් අතකින් තම ආරක්ෂාවට සහ අනෙක් අතින් වාමාංශික කැරලිකරුවන්ට පහර දීමට ය​. මේ ඝාතක කල්ලිවලට මුල් කාලීනව නායකත්වය දුන් තිදෙනකු වූයේ කස්තාන්යෝ සහෝදරයින් තිදෙනා යි. කාර්ලෝස්, ෆිදෙල් සහ විසෙන්තේ කස්තාන්යෝ තම පියාව FARC කැරලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය මත ඔවුන් සමග වෛර බැඳගෙන තිබුණා. මෙඩෙයීන් කාර්ටලයේ අනුග්‍රහය ඇතිව ඔවුන් අන්ත දක්ෂිනාංශික පැරාමිලිටරි සංවිධානයක් පිහිටුවා ගත්තා.

එස්කොබාර් 1982 කොලොම්බියාවේ කොන්ග්‍රස් සභා මැතිවරණයට ඉදිරිපත් වී එයින් ජයග්‍රහණය කර කොන්ග්‍රස් සභිකයකු බවට පත් වුණා. කොලොම්බියාවේ ජනාධිපති පුටුව වෙත වූ ඔහුගේ ගමන් මග පියවරකින් කෙටි වූ බව එස්කොබාර් එම අවස්ථාවේදී කල්පනා කරන්නට ඇති. එස්කොබාර්ගේ දේශපාලන ආගමනයේ එක් ප්‍රධාන අරමුණක් වූයේ ඔහුව ඇමරිකාවට උද්දර්පණය කිරීමේ හැකියාව වළක්වාලීමයි. (උද්දර්පණය කිරීම යනු යම් රටකට අවශ්‍ය අපරාධකරුවකු වෙනත් රටක වේ නම් ඔහුව අවශ්‍ය රටට ඔහු බාර දීමයි). නමුත් කොන්ග්‍රස් සභාවට තේරී පත්වීමෙන් එස්කොබාර් බලාපොරොත්තු වූ දෙය ඉටු වූයේ නැහැ.

එස්කොබාර් කොන්ග්‍රස් සභාවේදී (Colombia Reports)

එක් අතකින් කොලොම්බියාවේදී අධිකරණ අමාත්‍ය රොද්‍රිගෝ ලාරා විසින් එස්කොබාර්ගේ අපරාධ ඉතිහාසය ප්‍රශ්න කළා. ඒ පිළිබඳ පුවත්පත් වාර්තා ද පළ වුණා. එතැන් පටන් එස්කොබාර් කොලොම්බියා රජය හා වෛර බැඳගත් අතර එම රාජ්‍යය කඩා වැට්ටීමට හැකි සෑම දෙයක් ම කරන්නට පටන් ගත්තා.

අනෙක් අතින් ඇමරිකාවේ ප්‍රතිපත්ති ද මේ කාලයේදී ම වෙනස් වීමකට භාජනය වුණා.

Related Articles