Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොලොම්බියාවෙන් ඔබ්බට

කොලොම්බියාවේ සිට පැමිණෙන කොකේන් සිය රට තුල ඇති කරනු ලබන ව්‍යසනය පිළිබඳ ඇමරිකානුවන්ට වටහා ගැනීමට ටික කලක් ගතවුණා. නමුත් ඒ අවස්ථාවේදීත් කොලොම්බියානු රජය කොකේන් ජාවාරම්කරුවන් හා සටන් කරන තැනට ගෙන ඒම එතරම් ම පහසු වූයේ නැහැ. ඊට තවත් එක් හේතුවක් වූයේ එස්කොබාර් වැන්නවුන් විසින් දේශපාලකයන් සහ අනෙකුත් බලධාරීන් අල්ලස් දී නම්මවාගෙන සිටීමයි.

1982 දී ඇමරිකානු රජයේ ප්‍රතිපත්ති වඩා දැඩි වුණා. ඇමරිකානු රජය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් ප්‍රකාශ කර සිටීම ඔවුනගේ ප්‍රතිපත්තිවල වෙනස්කම පිළිබඳ නිශ්චිත සාධකයක් වුණා. මේ අනුව, ඇමරිකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ආයතනය​ (Drugs Enforcement Administration – DEA), කොකේන් ජාවාරම්කරුවන් පසුපස හඹා යාමට වැඩි අවධානයක් යොමු කළා.

මෙයින් කෙටි කලකට පසු DEA ආයතනයට වැදගත් හෝඩුවාවක් ලැබුණා. එනම් කොලොම්බියානු ගැනුම්කරුවකු විසින් විශාල ඊතර් ප්‍රමාණයක් මිලදී ගැනීමට සොයන බවයි. කාබනික ද්‍රාවකයක් වූ ඊතර් කොකේන් තලපය නිපදවීම සඳහා යොදාගත හැකි වූ ද්‍රාවකයක් වුණා. ඇණවුම වූයේ ඊතර් බැරල් 13,000 ක් සඳහා යි.

ඔහුට චිකාගෝවේ පිහිටි සමාගමක් පිළිබඳ දන්වනු ලැබුණා. එහි වූ දෙදෙනකු ඔහුට අවශ්‍ය ඊතර් සපයා දීමට එකඟ වුණා. නමුත් මේ කොලොම්බියානුවා නොදැන සිටි කරුණ නම් මෙම දෙදෙනා ඒජන්තයින් බවයි.

මේ අනුව පළමු ඊතර් තොගය කොලොම්බියාවට පිටත් වීමට පෙර නිලධාරීන් විසින් එයින් දෙකක් තුළ එය තිබෙන ස්ථානය පෙන්විය හැකි උපාංග සවි කළා. මේවායින් ලැබෙන සංඥාවන් ඔත්තු බලන චන්ද්‍රිකාවක් විසින් ග්‍රහණය කරගනු ලැබුණා. මේ අනුව නිලධාරීන්ට එස්කොබාර්ගේ රහසිගත කොකේන් නිෂ්පාදනාගාර සොයාගැනීමට අවස්ථාව ලැබුණා.

ට්‍රැන්ක්විලානියා මෙහෙයුම

DEA හි ඔත්තුවක් මත කොලොම්බියානු මත්ද්‍රව්‍ය නාශක පොලිසිය 1984 මාර්තු 10 වනදා මෙහෙයුමක් සඳහා සූදානම් වුණා. උදෑසන හිරු නැගීමත් සමග ඔවුන් හෙලිකොප්ටර්වලින් ගුවන්ගත වුණ අතර ගුවනට යනතෙක්ම එම පොලිස් නිලධාරීන් තමන් කොහි යන්නේදැයි දැන සිටියේ නැහැ. ඔවුන් පැය දෙකක් පමණ දකුණු දෙසට පියාසර කළා.

ඔවුනට සංඥා පැමිණෙමින් සිටි ප්‍රදේශය තිබුණේ වනාන්තරය මැදයි. ඊට කිලෝමීටර් 150 ක් 200 ක් තරම් ආසන්න ප්‍රදේශයකටවත් මහාමාර්ග වැටී තිබුණේ නැහැ. මෙහි ගුවන් පථ සහ කොකේන් විද්‍යාගාර ආදී විවිධ දෑ ඉදිකර තිබුණා. අනෙකුත් මනුෂ්‍ය වාසයෙන් කෙතරම් ඈත ප්‍රදේශයක පිහිටියේද යත් මෙම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නම් තබා තිබුණේ “ට්‍රැන්ක්විලැන්ඩියා” (නිසංසල දේශය​) යනුවෙනුයි.

මෙහි තිබී ටොන් 14 ක පමණ කොකේන් සොයාගන්නා ලද අතර ගනුදෙනුකරුවන්ට ලබාදුන් බිල්පත් ආදිය ද සොයාගනු ලැබුණා. බලධාරීන් මෙඩෙයීන් කාර්ටලය පිළිබඳව හරිහැටි දැනගත්තේ ද මෙම මෙහෙයුමෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව යි.

දින කිහිපයක් තිස්සේ මත්ද්‍රව්‍ය නාශක බලකාය ට්‍රැන්ක්විලැන්ඩියා හි රැඳී සිටිමින් එහි වූ විද්‍යාගාර සහ ගුවන් පථ ආදිය පරීක්ෂා කළා. මේ අතර එම බලකායේ නායක කර්නල් හයිමේ රමීරෙස් ද එහි පැමිණියා.

රමීරෙස් එහි සිටි අතරවාරයේ මෙඩෙයීන් කාර්ටලයේ නියෝජිතයන් ඔහුගේ සහෝදරයා හමුවීමට පැමිණි අතර මෙහෙයුම නවතා දමන්නේ නම් දින කිහිපයක් තුළ රමීරෙස්ව කෝටිපතියකු කරන බවට පොරොන්දු වී තිබෙනවා. ඊට රමීරෙස් පිළිතුරු දුන්නේ ට්‍රැන්ක්විලැන්ඩියා හි ඉදිකිරීම් හා කොකේන් තොග ගිනිතබා විනාශ කරමින්.

රොද්‍රිගෝ ලාරා (vanguardia.com)

පාබ්ලෝ එස්කොබාර් රජයෙන් පළිගැනීමට වැඩි කලක් ගත්තේ නැහැ. මෙඩෙයීන් කාර්ටලයේ ඝාතන ඉලක්ක ලැයිස්තුවේ කර්නල් රමීරෙස් මෙන්ම අධිකරණ අමාත්‍ය රොද්‍රිගෝ ලාරා ද වුණා. ලාරා වෙත එන මරණ තර්ජන හමුවේ ඔහු බියට පත්ව සිටියේ රජයට ඔහුව ආරක්ෂා කරගැනීම අපහසු වනු ඇතැයි හැඟුණ නිසා යි. එස්කොබාර් ලාරා යනු ඇමරිකන් ගැත්තකු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඔහු ඝාතනය සඳහා අණ දුන්නා.

1984 අප්‍රේල් 30 වනදා උදෑසන ලාරා කොලොම්බියාවේ ඇමරිකානු තානාපති ලුවිස් ටෑම්බ් ඇමතුවා. “මාව කොහේ හෝ ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්න​. ඔවුනට මා ආරක්ෂා කරන්න බැහැ” යනුවෙන් ඔහු තානාපතිවරයාට පවසා සිටියා.

එදිනම සවස යතුරු පැදියකින් පැමිණි ඝාතකයෝ බොගොටා අගනුවර දී ඔහු ගමන් ගත් වාහනයට වෙඩි තබා ඔහුව ඝාතනය කළා.

කර්නල් රමීරෙස්ට ද එස්කොබාර්ගේ ඝාතකයින්ගෙන් ගැලවීමක් වූයේ නැහැ. 1986 නොවැම්බර් 17 වනදා සිය පවුලේ අය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු ඝාතනයට ලක් වුණා.

රජයේ ප්‍රතික්‍රියාව​

මෙතෙක් කොලොම්බියාව සාමාන්‍යයෙන් කොකේන් ජාවාරම මැඩීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ නැහැ. කොකේන් කොලොම් බියාවේ අලෙවි නොකිරීම හේතුවෙන් එය ඇමරිකාවේ ගැටළුවක්ය යන තැනට ඇතමුන් පැමිණියා.  ලාරාගේ ඝාතනයත් සමග කොකේන් ජාවාරම්කරුවන් කොලොම්බියාවට ද තර්ජනයක් බව එරට රජය තේරුම් ගත්තා. ඉන්පසු එස්කොබාර්ගේ හසියෙන්ඩාව ද පරීක්ෂා කෙරුණා. ජාවාරම්වලට සම්බන්ධ අය අත් අඩංගුවට ගැනුණා.

එස්කොබාර් සහ මාරියා වික්ටෝරියා 1983 දී (Getty Images)

නමුත් මේ වනවිට කොකේන් ජාවාරමේ ප්‍රධානීන් කොලොම්බියාවෙන් පිටව ගොස් තිබුනා. එස්කොබාර් සිටියේ නිකරාගුවාවේ යි. එරට පාලනය කළ වාමාංශික සැන්ඩිනිස්ටා රජය කියුබාවෙහි මිත්‍රයකු වුණා. මේ රටවල් දෙකම කොකේන් ජාවාරමට සම්බන්ධ වී සිටි බවට ඇමරිකානු බලධරයන්ට තොරතුරු ලැබී තිබුණා. එමෙන්ම පැනමාව ද මෙම ජාවාරම් කටයුතුවලට සම්බන්ධ වුණා.

බැරී සීල්

මෙම සමයේදී එස්කොබාර්ගේ කටයුතු සඳහා දායක වූ ප්‍රධානම ගුවන් නියමුවා වූයේ බැරී සීල් නම් වූ ඇමරිකානුවා යි. ඔහු කොලොම් බියාවේ සහ පැනමාවේ සිට කොකේන් ඇමරිකාව වෙත ගෙන ගිය අතර එක් ගමනකට ඩොලර් මිලියනයකට වඩා උපයා ගත්තා.

නමුත් සීල් පිළිබඳ මෙඩෙයීන් කාර්ටලය වැඩි යමක් දැන සිටියේ නැහැ. එහෙයින්ම සීල් අත්අඩංගුවට පත් වූ බව ද කාර්ටලය දැනගත්තේ නැහැ. දිගු කලක් බන්ධනාගාර ගතවී සිටිනු වෙනුවට ඔහු DEA ආයතනය සමග එකඟතාවකට පැමිණියා. සිය දඬුවම් කාලය අඩු කරන්නේ නම් කොකේන් ජාවාරම් පිළිබඳ කරුණු හෙලි කිරීමටත් මත්ද්‍රව්‍ය නඩුවල සාක්ෂිකරුවකු වීමටත් ඔහු කැමැත්ත දැක්වූවා.

බැරී සීල් (The Advocate)

මෙයින් පසු සීල්ට විශාල වගකීමක් පැවරුණා. එනම් කාර්ටෙලයට අයත් කොකේන් තලපය තොගයක් පේරු සහ බොලිවියාවේ සිට නිකරාගුවාව වෙත ගෙන ඒමයි. මේ අවස්ථාවේ ඔහුගේ ගුවන් යානයෙහි රහසිගතව කැමරාවක් සවි කරනු ලැබුණා.

ඔහුගේ යානය නිකරාගුවාවෙ හමුදා ගුවන් පථයක ගොඩබස්වනු ලැබුණා. මෙහිදී එහි වූ පිරිස එහි වූ බඩු බෑමට සහ කොකේන් පැටවීමට කටයුතු කළා.

සීල් තම රහසිගත කැමරාව ක්‍රියාත්මක කර එක් පින්තූරයක් ගත්තා. බලාපොරොත්තු නොවූ පරිදි එයින් කැමරාවේ ශබ්දය මතු වුණා. ඔහුට කියා තිබුණේ එහි හඬ නොනැගෙනු ඇති බවයි. නමුත් මේ තත්ත්වය යටතේ කැමරාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සීල්ට හැකියාවක් වූයේ නැහැ.

මෙහිදී ඔහු කළේ තම යානයේ ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමයි. ඒ ශබ්දයෙන් කැමරාවේ හඬ වැසී ගියා. සීල් එහිදී ඡායාරූප කිහිපයක්ම ලබාගත් අතර එහි නිකරාගුවා සොල්දාදුවන් සමග පාබ්ලෝ එස්කොබාර් ද සිටිනු දැකගත හැකියි.

එස්කොබාර් සහ නිකරගුවා හමුදා නිලධාරීන් (US Government)

මෙම ඡායාරූප ඇමරිකානු බලධාරීන් විසින් නිකරාගුවානු සැන්ඩිනිස්ටාවරුන්ට සහ මෙඩෙයීන් කාර්ටලයට එරෙහිව භාවිතා කළා. ජනාධිපති රේගන් රූපවාහිනියෙන් ජාතිය අමතමින් මෙම ඡායාරූප මගින් නිකරාගුවා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට සම් බන් ධ බව කියා සිටියා. මේ සමගම එස්කොබාර් ද ප්‍රශ්නයේ බරපතලකම තේරුම් ගත්තා. ඇමරිකාවේදී තමන්ට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදු වේය යන බිය ඔහු තුල ඇතිවුණා. කොලොම්බියාවේදී මුදල් බලයෙන් නීතිය නම්මා ගැනීමට හෝ අඩු තරමේ දේශපාලකයන් නම්මා ගැනීමට ඔහුට පිළිවන්කම තිබ්බා. නමුත් ඇමරිකාවේදී එය පහසු නැති බව ඔහු දැන සිටියා. කොලොම්බියාවේදී මියයාම ඇමරිකාවේදී සිරගත වීමට වඩා සැපතක් ය යනු එස්කොබාර් නිතර පැවසූ දෙයක්.

නමුත් එස්කොබාර්ගේ පළමු ක්‍රියාව වූයේ සීල්ගෙන් පළිගැනීමයි. මෙඩෙයීන් කාර්ටලය 1986 පෙබරවාරියේදී ඔහුව සොයාගත්තා. පෙබරවාරි 19 වනදා ඇමරිකාවේ ලුයිසියානා ප්‍රාන්තයේ බේටන් රූජ් නගරයේදී සිව් දෙනකුගෙන් යුත් ඝාතක කල්ලියක් ඔහුව මරා දැමුවා.

Related Articles