Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එස්කොබාර්ගේ ගනුදෙනුව​ – මුදල් හෝ උණ්ඩ

1985 නොවැම්බර් 6 වනදා දහවල් 11.35 ට පමණ කොලොම්බියාවේ වාමාංශික කැරලිකාර සංවිධානයක් වූ අප්‍රේල් 19 ව්‍යාපාරය හෙවත් M-19 සංවිධානය එරට බොගොටා අගනුවර අධිකරණ මන්දිරයට පහර දී අල්ලාගත්තා. ඇමරිකාව සහ කොලොම්බියාව අතර උද්දර්පණ නීතිය ව්‍යවස්ථානුකූල ද යන්න පිළිබඳ ඒ වනවිට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලෙමින් තිබුණා. එහි තීන්දුව ලබාදීමට නියමිතව තිබුණේ එදින යි. මේ නීතිය සම්මත වී නම් ඇමරිකාවට සහ කොලොම්බියාවට තමන්ට අවශ්‍ය අපරාධකරුවන් හුවමාරු කරගත හැකි වනවා. එස්කොබාර් බිය වූයේ, මෙම නීතිය බලාත්මක වූ දිනෙක, කොලොම්බියානුවන් විසින් තමන් අත්අඩංගුවට ගතහොත් ඇමරිකාවට බාර දෙනු ඇති බවයි. එස්කොබාර් ජීවිත කාලය පුරාවට වැඩියෙන්ම බියෙන් සිටියේ ඇමරිකාවට තමුන් බාර දෙනු ඇත යන්න පිළිබඳව බව කියනු ලබනවා.

දින දෙකක් තිස්සේ පැවති අර්බුදය නොවැම්බර් 7 වනදා සිදු වූ හමුදා මෙහෙයුමකින් පසු අවසන් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 11 දෙනකු ඇතුළු සියයකට අධික පිරිසක් මෙම ප්‍රහාරවලදී මියගිය අතර කැරලිකරුවන් ද ඝාතනය වුණා. මෙම සටන් පවතින අතර අධිකරණයේ බොහෝ ලිපි ලේඛණ ගිනිගෙන විනාශ වුණා. ඒ අතර එස්කොබාර්ට සම්බන්ධ වූ ලේඛණ ද, උද්දර්පණය කිරීම පිළිබඳ සියළු ලේඛණ ද​ තිබුණා.

අධිකරණ මන්දිරය බේරා ගැනීමට හමුදාව පහර දෙයි (VICE)

එස්කොබාර් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ බවට නිසැකව තහවුරු කෙරෙන සාධක නැතත් බොහෝ දුරට ඔහුගේ සම්බන්ධයක් මෙයට ඇතැයි සැක කළ හැකියි. කොලොම්බියාවේ ක්‍රියාත්මක වූ බොහෝ කැරලි කණ්ඩායම් කොකේන් ජාවාරමට හවුල් වූ අතර එය ඔවුනගේ ද ආදායම් මාර්ගයක් වුණා. මේ හේතුව නිසා ඔවුන් සහ එස්කොබාර් අතර සබඳතා තිබුණා. අනෙක් අතට නිකරාගුවාව හරහා ද වාමාංශික කණ්ඩායම් සමග ඔහු සබඳතා වැඩිදියුණු කරගෙන තිබුණා. මෙහි දේශපාලන අරමුණකට වඩා තිබුණේ ජාවාරම්කාර අරමුණක් බව කිව හැකියි.

නමුත් අධිකරණ මන්දිර ප්‍රහාරයෙන් හෝ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් උද්දර්පණ නීති පැනවීම නවතා ගැනීමට එස්කොබාර් ආදීන්ට හැකි වූයේ නැහැ. මෙයින් මඳ කලකට පසු කාර්ලෝස් ලේඩර් අත්අඩංගුවට ගෙන ඇමරිකාවට උද්දර්පණය කරනු ලැබුණ අතර එහිදී ඔහු සිරගත කෙරුණා. ලේඩර් අත්අඩංගුවට පත්වීම මෙඩෙයීන් කාර්ටලයට දරුණු පහරක් වුණා. 1978 සිට 1982 දක්වා බහමාස් හි නෝර්මන්ස් කේ දූපත අල්ලාගෙන, එහි අනෙක් පදිංචිකරුවන් බියවද්දා පළවා හැර, එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමට ලේඩර් ක්‍රියා කළා. කොලොම්බියාවෙන් පැමිණෙන ඇතැම් ගුවන් යානා එහි පැමිණ ඉන්ධන හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කරගත්තා. ලේඩර් නට්සිවාදියකු වූ අතර කලක් කොලොම්බියාවේ නව නට්සි පක්ෂයක් ද මෙහෙයවූවා.

ප්ලාටා ඕර් ප්ලෝමෝ

මේ සමගම එස්කොබාර් සහ කොලොම්බියා රජය අතර වූ යුද්ධය තීව්‍ර වුණා. එස්කොබාර් දිගටම තමන්ට මිලදී ගැනීමට හැකි වූ රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ විනිසුරුවරුන් මිලට ගත්තා.

ඔහුගේ ක්‍රමවේදය වූයේ මුදල් සහ තර්ජන මගින් නිලධාරීන් අවනත කරගැනීමයි. සාමාන්‍යයෙන් ඔහුගේ සංවිධානයේ නියෝජිතයකු අදාල නිලධාරියා හමුවට ගොස් ඔහුට මුදල් ත්‍යාග ලබාදීමට යෝජනා කරනු ලබනවා. ඊට එකඟ නොවුවහොත් ඊළඟට එම නියෝජිතයා ඉදිරිපත් කරන්නේ ඡායාරූප කිහිපයක්. ඒවායේ අදාල නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් ගේ ඡායාරූප අඩංගු වනවා. එයින් නියෝජිතයා පෙන්නුම් කරන්නේ තමන්ට නිලධාරියාගේ පවුලේ අය මරා දැමීමට වුවද වැඩි අපහසුවක් නොමැති බවයි. මුදල් ලබාගෙන අවනත වීම හෝ මරණය එම නිලධාරියාට ලබාදෙන විකල්පයි.

මෙම විකල්පයන් එස්කොබාර් විසින් නම් කළේ ප්ලාටා ඕර් ප්ලෝමෝ (Plata or Plomo) යනුවෙන්. එනම් රිදී හෝ ඊයම් යන්නයි. රිදී යන්නෙන් මුදල් ද ඊයම් යන්නෙන් වෙඩි උණ්ඩ ද අදහස් කෙරුණා.

ඇතැම් නිලධාරීන් මෙම තර්ජනවලට බියේ හෝ මුදලට ගිජුකමෙන් එස්කොබාර්ට අවශ්‍ය පරිදි කටයුතු කළ ද එස්කොබාර් ආදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සටන් වැදුණ පුද්ගලයන් ද සිටියා. ඔවුන් එස්කොබාර්ගේ ඝාතන ඉලක්ක බවට පත් වුණා. ඊට අමතරව ඔහුට එරෙහි වූ දේශපාලකයන් ද පුවත්පත් වාර්තාකරුවන් ද එස්කොබාර්ගේ ඉලක්ක බවට පත් වුණා.

රජය සහ එස්කොබාර්

කොලොම්බියා රජය එස්කොබාර්ට අයත් විවිධ නිවාස සහ වතුවලට කඩා පැන්නා. ඒ ඇතැම් අවස්ථාවන් හි දී , එස්කොබාර් එම ස්ථානයෙන් පළාගොස් තිබුණේ ආරක්ෂක අංශ කඩා පැනීමට ඉතා සුළු වෙලාවකට පෙර බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. කෙසේ හෝ ඔහුට තොරතුරු කලින්ම ළඟාවන බව සැක කළහැකි වුණා.

මේ අතර රජය අඩපණ කිරීම සඳහා ද විරුද්ධවාදීන් බියගැන්වීම සඳහා ද එස්කොබාර්ගේ මෙඩෙයීන් කාර්ටලය කාර් බෝම්බ ප්‍රහාරයන් ද එල්ල කිරීමට පටන් ගත්තා. පොලිස් ස්ථාන සහ පුවත්පත් කාර්යාල ආදිය ද ඒවායේ ඉලක්ක බවට පත් වුණා. මෙම ක්‍රියා හේතුවෙන් අලුත් වචනයක් ද ශබ්ද කෝෂයට එක් වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදු කරන ලද ත්‍රස්ත ක්‍රියා හැඳින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවට narco terrorism (නාර්කෝ ටෙරරිස්ම්) යන වචනය එකතු වූයේ එස්කොබාර්ගේ ක්‍රියාකාරකම් නිසා යි.

පාබ්ලෝ එස්කොබාර් කොලොම්බියානු රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටියා. සත්‍ය වශයෙන්ම මෙය ඔහු විසින් හෝ ඔහුගේ නායකත්වය යටතේ වූ මෙඩෙයීන් කාර්ටලය විසින් තනිව කළ දෙයක් නොවේ. විශේෂයෙන්ම කාලි කාර්ටලය ආදී වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් ද වාමාංශික කැරලිකරුවන් ද දක්ෂිනාංශික ඝාතක කල්ලි ද මීට දායක වුණා.

කර්නල් මිගෙල් මාසා (ADN)

එස්කොබාර් හැකි සෑම නිලධාරියකුම බියවැද්දීම සහ අල්ලස් දීම යන ක්‍රමවලින් තමන් වෙත නතු කරගත්ත ද ඇතැම් නිලධාරීන් ඔහුට යට වූයේ නැහැ. කොලොම්බියාවේ අභ්‍යන්තර ආරක්ෂක පොලිසිය වූ DAS ආයතනයේ ප්‍රධානී කර්නල් මිගෙල් මාසා මෙයින් ප්‍රධානම පුද්ගලයා වුණා. එස්කොබාර් මාසාවත්, මාසා එස්කොබාර්වත් ලුහු බඳින බව ප්‍රකට කරුණක් වුණා.

එස්කොබාර්ගේ අණ පරිදි 1989 මැයි 30 වනදා බොගොටාවේදී ප්‍රබල කාර් බෝම්බයක් පුපුරා ගියේ මාසා ඉලක්ක කරගෙනයි. මාසාගේ කාරයට දැඩි හානි සිදු වුවද ඔහු කිසිදු හානියක් නොලබා ගැලවීම පුදුම සහගත වුණා​.

එම වසරේම දෙසැම්බර් 6 වනදා කිලෝ 500 ක බස් බෝම්බයක් DAS මූලස්ථානය ඉලක්ක කරගෙන පුපුරවනු ලැබුණා. එහිදී ද 60 දෙනකු පමණ මියගොස් සිය ගණනක් තුවාල ලැබුවා. නමුත් මාසා එම ප්‍රහාරයෙන් ද ගැලවුණා.

1990 ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම ද එස්කොබාර්ගේ ඉලක්කයක් වුණා. ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් විය හැකි වූ ජනප්‍රිය දේශපාලකයන් මෙඩෙයීන් කාර්ටලයෙන් ආරක්ෂා විය යුතු වුණා. මෙඩෙයීන්වල පමණක් නොව බොගොටාවේදී පවා ඔවුන් ඉලක්ක කරගැනීම එස්කොබාර්ට නොහැක්කක් වූයේ නැහැ.

මේ කාලයේ කොලොම්බියාවේ ජනාධිපතිවරණ හෝ වෙනත් මැතිවරණ හෝ සඳහා ඉදිරිපත් වීම මරණ වරෙන්තුව ලියවා ගැනීමක් හා සමාන වුණා. එක් පසෙකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද අනෙක් පසින් වාමාංශික කැරලිකරුවන් ද ඔවුන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා. මේ දෙපාර්ශවයටම අවශ්‍ය වූයේ කොලොම්බියා සිවිල් පාලනය කඩා බිඳ දැමීමයි.

1989 අගෝස්තු 18 වනදා රාත්‍රියේ ජනප්‍රිය ලිබරල් දේශපාලකයකු සහ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇතැයි විශ්වාස කරන ලද ලුවී කාර්ලෝස් ගලාන් බොගොටා නගරයට එපිටින් වූ ස්ථානයක රැළියක් ඇමතීමට නියමිතව තිබුණා. ඔහු එහි පැමිණියේ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිවයි. වීදි සරමින් සිටි ගලාන්ගේ පිරිස දෙක එක්වරම වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. ස්ථාන කිහිපයකින්ම වෙඩි ප්‍රහාර එල්ල වූයෙන් සුළු වේලාවක් ගතවනතුරු රැස් ව සිටි පිරිස කිසිත් සිතාගත නොහැකිව හැකි අයුරින් ආවරණ සොයා ගියා. එම වෙඩි තැබීමෙන් ගලාන් මරණයට පත් වුණා.

බෝම්බ ප්‍රහාරයට ලක් වූ අවියන්කා යානය (zonacero.com)

1989 නොවැම්බර් 27 වනදා බොගොටාවෙන් කාලි නගරය බලා පිටත්ව ගිය අවියන්කා 203 ගුවන් යානය උඩු ගුවනේදී පුපුරා ගියා. එහි වූ 110 දෙනාම මරණයට පත් වුණා. මෙම ප්‍රහාරය එල්ල කෙරුණේ ගලාන්ගේ මරණින් පසු ලිබරල් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ සීසර් ගවිරියා ඉලක්ක කරගෙන බව දැනගන්නට ලැබුණා. ගවිරියා මෙම ගුවන් යානයේ කාලි බලා පිටත්ව යාමට නියමිත වුවද පසුව එම ගමන අවලංගු කර තිබුණෙන් ඔහුගේ ජීවිතය ගැලවුණා.

සීසර් ගවිරියා 1990 ජනාධිපතිවරණය ජයගත් අතර එස්කොබාර්ගේ අවසාන වසර කිහිපය තුල ඔහු කෙරෙහි වූ කොලොම්බියානු ප්‍රතිපත්ති තීරණය කළේ ගවිරියා යි. තමන්ව ඝාතනය කිරීමට උත්සාහ කළ තැනැත්තාව සම්මුතියෙන් එකඟ කරගැනීමට ගවිරියා කැමැත්ත පළ කළ අයුරුත්, පසුව එම අදහස වෙනස් වූ අයුරුත් අපට දැකගත හැකියි.

Related Articles