Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එස්කොබාර්ගේ සුපිරි සිරගෙය හෙවත් ලා කැතේඩ්‍රාල්

අවියන්කා ගුවන් යානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු කොලොම්බියාව එස්කොබාර් අල්ලාගැනීම සඳහා ඇමරිකානු ආධාර ඉල්ලා සිටියා. මේ කාලයේම නව ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් විදේශිකයන් පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්ති වෙනස් කරන්නට කටයුතු කළා.

මීට පෙරදී, ඇමරිකාවට තර්ජනයක් වන විදේශිකයන් ඝාතනය කිරීමට ඇමරිකානු විශේෂ බලකාවලට අවසර තිබුණේ නැහැ. ඔවුනට එවැන්නන් අල්ලාගෙන ඇමරිකාවට ගෙන ඒමට අවසර තිබුණා. නමුත් බුෂ් විසින් ඇමරිකාවේ ආරක්ෂාවට හෝ එහි ජනතාවට හෝ තර්ජනයක් වන්නන් ඝාතනය කිරීමටත් අවසර දෙනු ලැබුණා. මේ අනුව එස්කොබාර් ඇමරිකානු ඉලක්කයක් බවට පත් වුණා.

කොලොම්බියානු රජය ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ ඇමරිකානු බලධාරීන් ඩෙල්ටා ෆෝර්ස් විශේෂ බලකාය සූදානම් කරවූවා. මේ අතර සෙන්ට්‍රා ස්පයික් (Centra Spike) නම් විශේෂ කණ්ඩායම කොලොම්බියාවට යවනු ලැබුවා. ඔවුන් දුරකථන සංවාද ආදිය හඳුනාගැනීමේ විශේෂඥයන් වූ අතර ඒ සඳහා නවීන උපකරණ ඔවුන් සතුව තිබුණා. මේ අනුව එස්කොබාර් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාවට නැගුණා.

කොලොම්බියානු “සෙවුම් බලකාය​”

මේ අතර කොලොම්බියානුවන් විසින් ද එස්කොබාර් සහ ඔහුගේ සංවිධානය විනාශ කිරීම සඳහා විශේෂ බලකායක් නිර්මාණය කළා. මෙය “සෙවුම් බලකාය​” ලෙස හඳුන්වන ලද අතර එහි ප්‍රධානියා වූයේ කර්නල් හියුගෝ මාර්ටිනෙස්. මෙය ඉතා භාරදූර වගකීමක් වූවාක් මෙන්ම එස්කොබාර්ගේ ඉලක්කයක් බවට ද මාර්ටිනෙස් පත් කළා.

කර්නල් හියුගෝ මාර්ටිනෙස් (The Richest)

මාර්ටිනෙස්ගේ දෙවැනියා වුණේ හියුගෝ අගුයිලාර්. සෙවුම් බලකායට කොලොම්බියාවේ විවිධ ආරක්ෂක අංශයන්ගෙන් දහසක දෙනා සම්බන්ධ කරගනු ලැබුණා.

මෙම බලකාය නිර්මාණය කළ විට එස්කොබාර්ගේ ප්‍රතිචාරය වූයේ එය විනාශ කරන බවට තර්ජනය කිරීමයි. එක් වතාවක ඔහු වහසි බස් දෙඩූයේ දින අටකදී එය විනාශ කරන බව යි. එමෙන්ම ඔහු මුල් දින කිහිපය තුළ පොලිසිය ඉලක්ක කරගෙන කාර් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කළා. මේ අතර දිගටම එල්ල කළ ප්‍රහාර හමුවේ සෙවුම් බලකාය විසිරුවා හැරීමට ද ඇතැම් විට කොලොම්බියානු රජය සූදානම් වුණා. නමුත් ඊට තදින්ම එරෙහි වූ මාර්ටිනෙස් තවත් පිරිස් ඊට බඳවා ගත්තා.

සෙන්ට්‍රා ස්පයික් කණ් ඩායම එස්කොබාර්ගේ සහ ඔහුගේ සහචරයින් ගේ දුරකථන සංවාදයන්ට සවන් දීමෙන් ඔවුනගේ ජාලය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. ඔවුන් තමන් සතු තොරතුරු සෙවුම් බලකායට ලබා දුන්නා. සෙවුම් බලකාය එම තොරතුරු අනුව පිරිස් අත් අඩංගුවට ගැනීමට සහ ඝාතනය කිරීමට පටන් ගත්තා.

විරාමයක් අවශ්‍ය වූ එස්කොබාර්

මෙඩෙයීන් කාර්ටලයේ ආරම්භක නායකයින් අතුරින් 1991 වනවිට ඉතිරිව සිටියේ එස්කොබාර් පමණයි. ඔචොආ සහෝදරයින් රජය සමග එකඟතාවයෙන් 1991 ජනවාරියේදී රජයට බාර වූ අතර මේ වනවිට කොලොම්බියාවේ සිරගතව සිටියා. රොද්‍රිගුවේස් ගාචා 1989 දෙසැම්බර් 15 වනදා පොලිසිය විසින් කරන ලද මෙහෙයුමකදී මරණයට පත් වුණා.

ඔචොආ සහෝදරයින් තිදෙනා වූ ජෝර්ජ් ලුවී, හුවාන් ඩේවිඩ් සහ ෆැබියෝ යන තිදෙනාගෙන් ප්‍රධාන සහෝදරයා වූයේ ජෝර්ජ් ලුවී ඔචොආ යි. ඔහු මෙඩෙයීන් කාර්ටලයේ කටයුතු ඇමරිකාවට සහ බටහිර යුරෝපයට ව්‍යාප්ත කිරීමේදී වැදගත් මෙහෙයක් ඉටු කළා. නමුත් විවිධ රටවල බලධාරීන් විසින් සිසු කළ මෙහෙයුම් හමුවේදී ඔහුත් ඔහුගේ සහෝදරයින් දෙදෙනාත් යටත් වුණා.

(මෙම තිදෙනා 1996 දී නිදහස් කෙරුණා. ජෝර්ජ් ලුවී තවමත් කොලොම්බියාවේ ජීවත් වනවා. හුවාන් ඩේවිඩ් 2013 දී මිය ගියා. ෆැබියෝ පසු කලෙක ඇමරිකාවේ උද්දර්පණය කරන ලදුව එහි සිරගතව සිටිනවා).

දිනෙන් දින එස්කොබාර්ට එල්ල වන තර්ජනය ද වර්ධනය වුණා. ඇමරිකානු ආධාර සහ උපදෙස් මත ක්‍රියාත්මක වන කොලොම්බියානු මෙහෙයුම් ද වඩා ප්‍රබල වුණා. සෙන්ට්‍රා ස්පයික් වෙතින් ලැබුණ තොරතුරු හේතුවෙන් එස්කොබාර්ගේ සංවිධානයේ ප්‍රධාන පුද්ගලයන් ද ඉලක්ක කරගැනීමට සෙවුම් බලකායට හැකි වුණා. ඔවුන් 1990 අගෝස්තු මාසයේදී එස්කොබාර්ගේ ඥාති සහෝදරයා ද මෙඩෙයීන් කාර්ටලයේ ක්‍රියාකාරීම සාමාජිකයකු හා මහ මොළකාරයා ද වූ ගුස්තාවෝ ගවිරියා ද ඝාතනය කළා.

තම සංවිධානයට එල්ල වන මෙම ප්‍රහාරයන් එස්කොබාර් මවිතයට පත් කළා. ඇතුලත සිට බලධාරීන්ට තොරතුරු සපයන්නකු ඇති බව සැක කළ ඔහු තමන්ට සැක පිරිස් ගෙනවිත් ප්‍රශ්න කර මරා දමන්න පටන් ගත්තා. මේ අතර ඔහු රටේ ප්‍රකට පුද්ගලයන් පිරිසක් පැහැරගෙන ප්‍රාණ ඇපයට තබාගත්තා.

සීසර් ගවිරියා (Pinterest)

ප්‍රාණ ඇපකරුවන් තමන් භාරයේ තබාගනිමින් ඔහු රජයට යටත් වීම සඳහා රහස් සාකච්ඡා ආරම්භ කළා. නමුත් ඒ ඔහුගේ කොන්දේසි අනුව මිස රජයේ කොන්දේසිවලට යටත්ව නොවේ.

එස්කොබාර් සමග සාකච්ඡා කිරීම පිළිබඳව ඔහු ලුහු බැඳගිය ආරක්ෂක අංශයන් හි ප්‍රධාන නිලධාරීන් වැඩි දෙනා එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් ජනාධිපති සීසර් ගැවිරියා දිගටම එම කටයුතු කරගෙන ගියා. මේ අතර එස්කොබාර් ද සිටියේ තැනින් තැනට යමින්. මාර්ටිනෙස්ගේ බලකායට ඔහු හසුවීමේ අවදානම ඔහු දැන සිටියා. නමුත් තමන්ට වාසිදායක කොන්දේසි සඳහා එකඟ වනතුරු එම සාකච්ඡා අතහැරීමට එස්කොබාර් සූදානම් වූයේ ද නැහැ.

ලා කැතේඩ්‍රාල්

එස්කොබාර්ගේ එක් කොන්දේසියක් වූයේ ඇමරිකාව සමග වූ උද්දර්පණ නීතිය අවලංගු කිරීමයි. ඒ අනුව ඔහු ඇමරිකාව වෙත යැවීමේ නීතිමය අවස්ථාවක් නොමැති වනවා. අනෙක් කොන්දේසිය වූයේ තමන්ට අවශ්‍ය සිරගෙයක රඳවනු ලැබීමයි. මෙඩෙයීන් නගරය ආසන්නයේ කඳුකරයෙහි ලා කැතේඩ්‍රාල් (ආසන දෙව් මැදුර​) ලෙස නම් කරන ලද ඔහුගේ බන්ධනාගාරය ඉදි කෙරුණා.

1991 මැයි 20 වනදා එස්කොබාර් තමන් යටතේ වූ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළා. ඔහුට යටත් වීම සඳහා වූ එකම බාධකය වූයේ උද්දර්පණ නීතිය යි.

ලා කැතේඩ්‍රාල් හි නිදන කාමරය (Real Clear Life)

1991 දී කොලොම්බියාව විසින් නව ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලැබුණා. ඒ අනුව උද්දර්පණ නීතිය ද අහෝසි කෙරුණා. ඒ සමගම එස්කොබාර් සිය සැඟවුම් ස්ථානයෙන් පිටව රජයට භාර වුණා. ඔහුව ලා කැතෙඩ්‍රාල් වෙත ගෙනයනු ලැබුණේ හෙලිකොප්ටරයකින්. ඔහු සඳහන් කළේ කොලොම්බියා ජනතාව වෙනුවෙන් තමා රජය සමග වූ යුද්ධය නිම කළ බවයි.

ඔහුව හඹා ආ කර්නල් මාසා, කර්නල් මාර්ටිනේස් සහ DEA ආයතනයේ නිලාධාරීන් (ස්ටීව් මර්ෆි සහ හාවියර් පෙන් යා) මෙය සැලකූයේ ඔවුනට සිදු වූ පරාජයක් ලෙසයි.

ලා කැතේඩ්‍රාල් සිරගෙයකට වඩා මන්දිරයක සිරි ගත්තා. ඔහුට අවශ්‍ය හැම සැප පහසුකමක් ම මෙහි තිබුණා. එහෙයින් එස්කොබාර් රජයේ ආරක්ෂාව යටතේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තා. ඔහු බැලීමට පවුලේ අය මෙන්ම ඔහුගේ සගයින් ද නිරන්තරයෙන් පැමිණියා.

ලා කැතේඩ්‍රාල් හි එක් ස්ථානයක ප්‍රබල දුර දක්නයක් තබා තිබුණා. එයින් බැලූ විට ඈත වෙනත් කන් දක වූ නිවසක ඔහුගේ පවුලේ අය දැක ගැනීමට එස්කොබාර්ට හැකි වුණා. ඔහු තම සිරගෙයි සිට නිතර ඔවුන් ඇමතුවා.

එස්කොබාර් සිය සිරගෙය තුළ විවිධ උත්සව සහ සාද සංවිධානය කළා. මේ එක් සාදයක් ඇතැම් විට දින කිහිපයක් පුරාවට පැවැත්වුණා. මේවායෙදී මත්පැන් සහ ගණිකාවන් අඩුවක් වූයේ නැහැ.

මේ අතර එස්කොබාර් සිය නීතිවිරෝධී කොකේන් ජාවාරම් කටයුතු ද ඒ ආකාරයෙන්ම කරගෙන ගියා. ජනාධිපති සීසර් ගවිරියා පසුව සඳහන් කළ පරිදි රජය අල්ලසට​, දූෂණයට සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන්ට එස්කොබාර් සතුව තිබූ හැකියාව තරයේ අවතක්සේරු කළ අතර එහි විපාක ද ඔවුනට විඳින්නට සිදු වුණා.

රජය ක්‍රියාත්මක වීමට තීරණය කළේ එස්කොබාර් තම සංවිධානයේ පහළ පෙලේ නායකයන් සිව් දෙනකු ලා කතේඩ්‍රාල් තුලදී වධ දී ඝාතනය කළ පසුයි. තමන්ට එරෙහිව ඔවුන් කටයුතු කරන්නේය යන චෝදනාවක් මත ඔහු මෙසේ එම සිව් දෙනා ගෙන්වා ඝාතනය කළා.

මේ අවස්ථාවේ රජය ප්‍රකාශ කළේ එස්කොබාර් සාමාන්‍ය සිරගෙයකට මාරු කර යවන බව යි. එක් රාත්‍රියක අධිකරණ උප ඇමතිවරයකු වූ එඩුවාර්ඩෝ මෙන්ඩෝසා සමග හමුදා ඛණ්ඩයක් ලා කැතේඩ්‍රාල් වෙත යවනු ලැබුණා. එස්කොබාර් මෙම පිරිසගේ පැමිණීම පිළිබඳ කලින්ම දැන සිටියා. හමුදාව ලා කැතේඩ්‍රාල් වෙත ඇතුල් වීමට අදිමදි කළා. මේ අනුව මෙන්ඩෝසා එතුලට ගියේ සාකච්ඡා කරන අදසහින්. නමුත් එස්කොබාර්ගේ පිරිස ඔහුව එහි රඳවා ගත්තා.

පැය කිහිපයකට පසු කොලොම්බියාවේ විශේෂ බලකාය ලා කැතේඩ්‍රාල් වෙත පහර දුන්නා. ඔවුන් මෙන්ඩෝසාව බේරාගත්තා. නමුත් ඒ වෙද්දී ද එස්කොබාර් පළා ගොස් තිබුණා.

Related Articles