රට උණුසුම් කරන පෝට් සිටියේ ඇතුළු කතාව

වසර ගණනාවක් තිස්සේ ජනතාවට උණුසුම් මාතෘකා සපයන කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටිය යලිත් උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ, වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග යි. එය නිසා මතුවූ ගැටලු සහ චෝදනා මේ දිනවල දේශපාලනඥයන්, දේශපාලන විචාරකයන් පවසමින් සිටිනවා.

අදාළ පනත හරහා, එම භූමිය ලංකාවේ නීති බලනොපාන චීන කොලනියක් වන බව ප්‍රධාන චෝදනාව යි. එය රටේ කොටසක් ලෙස නොව වෙනමම කලාපයක් ලෙස නම් කිරීමක් ලෙසත්, ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ක්‍රියාත්මක වන, බදු සහන ලබාදෙමින් කළු සල්ලි සංසරණය වන ස්ථානයක් වනු ඇතැ යි යන්න විපක්ෂයෙන් සහ සිවිල් ක්‍රියාකාරින්ගෙන් නැගෙන චෝදනාවලින් පැවසෙනවා.  

ආණ්ඩුවේ ප්‍රකාශය

ඉදිකිරීමට එරෙහිව පැවති විරෝධතාවයක් -colombotelegraph.com

විපක්ෂ දේශපාලනඥයන් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන රජය පවසන්නේ කොළඹ වරාය නගරය චීන කොලනියක් බවට පත්වන බවට ඇතැමුන් කරන ප්‍රකාශ බොරු මවාපෑම් බව යි. ඒවායේ ඇත්තක් නැති බව යි. වරාය නගරයට අදාළ කොමිෂන් සභාව පිහිටුවන්නේ, ආයෝජකයන්ගේ පහසුව සඳහා සියලු රාජ්‍ය ආයතන එක් ස්ථානයකින් සම්බන්ධීකරණය කිරිම සඳහා බව යි ආණ්ඩුව පවසන්නේ. මෙම කලාපයට පිවිසෙන විදේශකයින්ට වීසා ලබා දීම, බැංකු බලපත්‍ර ලබාදීම ඇතුළු සේවා ශ්‍රී ලංකා රජයේ අදාල ආයතන විසින් මෙරට නිතීයට අනුව ක්‍රියාත්මක කරනු ලබන බව රජය කියා සිටිනවා.

පෙත්සම් 19ක් 

පනත් කෙටුම්පතට පාර්ශ්ව රැසකින් විරෝධය- newswire.lk

පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත්කර තිබූ අතර, එම කමිටුවේ නිගමනය වී ඇත්තේ ද පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව යි. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් විවිධ පාර්ශවයන් විසින් පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කෙරුනා. එම පෙත්සම් සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සිය නිර්දේශ කතානායකවරයා වෙත යොමු කළ බව වාර්තා වෙනවා.

පෙත්සම්කරුවන් මූලිකව මතු කළ කාරණය වුණේ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව යි. ඒ නිසා අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම්, ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

වරාය නගරය 

වරාය නගරයේ ඉදිකිරීම් ඇරඹූ කාලයේ – news.lk 

කොළඹ ගාලු මුවදොර පිටියට යාබදව ඇති මුහුද ගොඩකර තැනූ වරාය නගරයේ විශාලත්වය හෙක්ටයාර 269ක්, නැතහොත් අක්කර 664ක්, වෙනවා. වරාය නගරය වටා ඉදිකර ඇති දියකඩනය සහ දිය අගල ද ඇතුළත් සමස්ත විශාලත්වය හෙක්ටයාර 446ක්, නැතහොත් අක්කර 1102ක්. චීන කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම තමයි එහි ඉදිකිරීම් සිදුකළේ.  එම සමාගම ලෝකයේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම් 225ක් අතර දහවැනි ස්ථානයේ සිටිනවා. මෑත කාලයේ මෙරට දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටරවුම් පාර, හම්බන්තොට වරාය, සහ ගුවන් තොටුපොළ යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවක්ම කළේ මේ සමාගම යි.

මුහුදෙන් වැලි පොම්ප කරමින් ගොඩබිම තනමින් – newsin.asia

වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ 2014 අවුරුද්දේ සැප්තැම්බර් මැද යි. වසර දෙකහමාරකට පමණ කලින්, 2017 දෙසැම්බර් වන විට ගොඩකිරීම් අවසන් කිරීමට නියමිත වුවත්, 2015 බලයට පැමිණි ආණ්ඩුවේ ඡන්ද පොරොන්දුවක් ලෙස එය අත්හිටුවීමට උත්සාහ කිරීමේ දී ටික කලක් වැඩ නවත්වා තිබුණා. චීන කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම සඳහන් කරන ආකාරයට නතර කර තිබුණු එක දිනකට ඔවුන්ට සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ අසූ දහසක් වෙනවා.

බදු අයිතිය චීනයට 

වරාය නගර ගිවිසුම නැවතත් චීනය සමග අත්සන් කරමින් -ft.lk

සමස්ථ භූමිය ශ්‍රී ලංකා රජයට සින්නක්කර අයිතිය ඇති භූමියක් ලෙස පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙය ඉදිකරන චීනයට ඇත්තේ එහි බදු අයිතියක් පමණ යි.

ඉඩම් හෙක්ටයාර 269න් ගොඩනැගිලි සෑදිය හැක්කේ හෙක්ටයාර 178ක (අක්කර 439 ක) පමණ යි. ඉතිරිවන හෙක්ටයාර 91ක වෙන් වන්නේ මහාමාර්ග, වෙරළ තීර, උද්‍යාන, පදික තීරු, ඇල මාර්ග ආදී පොදු යටිතල පහසුකම් සඳහා යි. ගොඩනැගිලි ඉදිකළ හැකි හෙක්ටයාර 178න් ව්‍යාපෘති සමාගමට හෙක්ටයාර 116ක් 99 අවුරුදු බදු ලෙස ලබාදීමට නියමිත යි. ඉතිරි හෙක්ටයාර 62 (අක්කර 153) රජයට සෘජු පරිහරණය හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට නැවත බදුදීමේ හැකියාව පවතිනවා. 

ඉදිකිරීම් අතරතුර – ft.lk

සමාගම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක් ආයෝජනය කර තිබෙනවා. එය නැවත ලබාගැනීම සිදුකරන්නේ ඔවුන්ට හිමි හෙක්ටයාර 116 භූමිය වෙනත් ආයෝජකයන්ට බදුදීමෙන්. චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට අයත් බිම් ප්‍රමාණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන පහළොවක ආයෝජන කැඳවන්නට සැලසුම් කර තිබෙනවා. පසුගිය සතියේ වාර්තා වුණේ ආයෝජකයන් හතළිස් දෙනෙකු එහි ව්‍යාපාරවලට ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බව යි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අනු කලාප පහකින් සමන්විත යි. මූල්‍ය කලාපය, මධ්‍යම කලාපය,  උද්‍යාන වරාය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගණය හා දූපත් වාසය ලෙස එම අනු කලාප වර්ගකර තිබෙනවා.

උමං මාර්ග දෙකක්

වරාය නගරයේ ආකෘතිය පරික්ෂා කරන අගමැති රාජපක්ෂ ඇතුළු නිලධාරීන් – lankainformation.lk

වරාය නගරයට පිවිසීමට මහා මාර්ග සහ උමං මාර්ග දෙකක් ද ඉදිවෙනවා.  එකක් සේවා උමං මාර්ගය යි. එය  තනන්නේ ජලය, විදුලිය, දුරකථන හා අන් සියලු යටිතල පහසුකම් සැපයීම සඳහා යි. අපජලය ඉවත් කිරීම ද මේ උමඟ ඔස්සේ සිදුවෙන තවත් කාර්යයක්. මේ සැපයීම් උම‍ඟේ උස අඩි 12ක් වන අතර පළල මීටර් 3ක් වෙනවා. මෙම උමං මඟ ඔස්සේ ගෑස් සැපයුම් මාර්ගයක් ද ලබාදීමට සැලසුම් කර තිබෙනවා. එහි දිග කිලෝමීටර් 5ක්. මේ උමං මාර්ගය වරාය නගරයේ ප්‍රධාන මාර්ගයට යටින් එයට සමාන්තරව ඉදිකරමින් පවතිනවා.

ඉදිකිරීම් සිදුකරමින් – slhc.com.my

අනෙක් උමං මාර්ගය ඉදිවන්නේ කටුනායක අධිවේගී මාර්ගයේ දිගුවක් ලෙස යි. අධිවේගී මාර්ගය, කණු මත ඉදිවන මඟක් ලෙස පෑලියගොඩ සිට කොළඹ වරායට දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙන අතර, එහි කටයුතු මේ වන විට සිදුවන අන්දම ඔබ දකින්නට ඇති. එය වරාය චෛත්‍යය අසලට දිවෙනවා. ඒ අධිවේගි මාර්ගය පසුව වරාය නගරය යටින් කොල්ලුපිටිය සමුද්‍ර මාවත දක්වා පුළුල් මාර්ගයක් ලෙස ඉදිකිරීමට නියමිත යි.

නව නිවාස 40000ක්

ඉදිකිරීම් සියල්ල අවසන් වූ පසු දිස්වන අයුරු- slhc.com.my

වරාය නගරයේ නව නිවාස ඒකක 40,000ක් විවිධ අයුරින් ඉදිවෙනවා. ඊට අමතරව මීටර් 20 සිට මීටර් 350 දක්වා උස ගොඩනැගිලි සංකීර්ණ, ව්‍යාපාරික හා සේවා ස්ථාන ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ ගොඩනැඟිලි ඉදිකරන විට වෙරළ අයිනේ උස අඩු ගොඩනැඟිලිත් ගෝල්පේස් පිටිය පෙදෙසට උස් ගොඩනැඟිලිත් ඉදිකිරීමට අපේක්ෂා කෙරෙනවා. වරාය නගරයේ ඉදිකිරීම් වපසරිය වර්ග මීටර මිලියන 5.7ක් පමණ වනු ඇතැ යි අපේක්ෂා කරනවා. මෙහි නේවාසිකයන් 70000ක් වාසය කරන අතර සේවා ස්ථානවල සේවකයන් ලක්ෂ 2ක් සේවය කිරීමට නියමිත යි.

ඉදිකිරීම් අවසන් වූ විට ලොව උසස්ම මට්ටමේ ඒ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, නවීන සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල්, සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම්වලින් ද සමන්විත වනු ඇති.

මෙහි හරිත උද්‍යානයක් සහිත පාරිසරික මධ්‍යස්ථානයක් ද තැනෙනවා. අක්කර 111ක භූමි ප්‍රදේශයක් තුළ හරිත උද්‍යාන, රුවල් නැව් යාත්‍රාංගණ, නාගරික උද්‍යාන සමඟ විශාල වෙරළක් ද තිබෙනවා. වෙරළ විශාලත්වයෙන් මීටර් 1500 ක් දිග වන අතර පළල මීටර් 200 වෙනවා.

ගෝල්ෆේස් පිටිය මෙන් 9 ගුණයක් විශාල මේ ප්‍රදේශයට පමණක් නොව මුළු වරාය නගරයටම රටේ ඕනෑම පුරවැසියකුටම කිසිම බාධාවක් නැතිව ඇතුළු වෙන්න පුළුවන් බව යි බලධාරීන් පවසන්නේ.

ලැබෙන ප්‍රතිලාභ

පෝට් සිටියේ ඇතුළත චිත්‍ර ශිල්පියෙක් දකින අයුරු- architectmagazine.com

මෙහි විවිධ ව්‍යාපාර ස්ථාන රැසක්, කාර්යාල හා නිවාස යෝජනා ක්‍රම ආදිය බිහිවන අතර ඉදිවන ගොඩනැඟිලි සංඛ්‍යාව 6000ක්. මේ සඳහා මුළු වියදම රුපියල් කෝටි 30,000යි. ඒ මුදල වියදම් කරන්නේ චීන රජයෙන්.  වරාය නගරයේ මූල්‍ය කටයුතු, ව්‍යාපාර කටයුතු, පාරිසරික සංචාරක කටයුතු මඟින් වසරකට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 236,000ක් ඉපයීමට සැලසුම් කර තිබෙනවා. ඉන් රැකියා අවස්ථා 83,000ක් පමණ ඇති වෙන බව පැවසෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

BBC.COM

Silumna.lk

Ft.lk

Cover - පෝට් සිටිය පොදු ජනතාවට තහනම් ද? -marcellorossi.net

Related Articles