ඔබේ නිර්මාණශීලී සිතුවිල්ලක වටිනාකම – ආන්දෝලනාත්මක ප්‍රකාශන හිමිකම් නීතිය (Controversial Copyright Law)

පසුගිය සතිවලදී බුද්ධිමය දේපල නීති ක්ෂෙත්‍රය පිලිබඳව මෙන්ම පේටන්ට් නීතිය පිළිබඳවද කෙටි හැඳින්වීමක් අප ඔබවෙත ගෙන ආවෙමු.  බුද්ධිමය දේපළ ක්ශේත්‍රය තුළ වඩාත් ආන්දෝලනාත්මක පරාසයක් ලෙස හදින්වෙන ප්‍රකාශන හිමිකම් නීතිය  හෙවත් “Copyright law” පිළිබඳව  තතු අද ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමු.

(raconteur.net)

(raconteur.net)

2003 අංක 37 දරන බුද්ධිමය දේපල පනතට අනුව ස්වතන්ත්‍ර බව හෙවත් “Originality” යන්න තිබේ නම් ඕනෑම සාහිත්‍යමය හෝ කලාත්මක නිර්මාණයක් උදෙසා ප්‍රකාශන හිමිකම් ලබාගත හැකිය. ස්වාධීන බව තීරණය කරනු ලබන නිර්නායකයන්ට අදාල නිර්මාපකයාගේ නිපුණතාවය, ශ්‍රමය, අත්දැකීම් යනාදිය යොදාගැනේ.

ප්‍රකාශන හිමිකම් ලබාදීමේදී අදාල නිර්මාණය වෙනුවන් සිදුකරන ලද මූල්‍යමය කපකිරීම් මෙන්ම ආයෝජනයන් ද සලකා බලනු ලබේ. (ඒ අනුව, චිත්‍රපටයක ප්‍රකාශන හිමිකම් හිමිවනුයේ එහි අධ්‍යක්ෂකවරයාට නොව, එහි නිෂ්පාදකවරයාටය).

මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රකාශන හිමිකම් ලබාදීම සඳහා අදාළ නිර්මාණය කොතෙක් දුරට ශාස්ත්‍රීයද, කොතෙක් දුරට කලාත්මක බවක් උසුලයිද යන්න නොසලකා හැරීමයි. ස්වාධීන බව පවතින තුරු අදාළ නිර්මාණයට  ප්‍රකාශන හිමිකම් ලබාගත හැකිය.

අදාළ නිර්මාණය ලොව ප්‍රථම වරට ඉදිරිපත් කලේ කවුදැයි යන්න නොසලකා හැරීමද පනතෙහි තවත් එක් විශේෂත්වයකි. ඒ අනුව, සීගිරි කුරුටු ගී ඇසුරින් නිර්මාණය කරන ලද කවි හා නිසදැස්, ශීක්ස්පියර්ගේ නාට්‍ය හා කෘතීන් ඇසුරින් නිපදවෙන නාට්‍ය හා අනුවර්තන කෘති යනාදියට පවා ප්‍රකාශන හිමිකම් ලබාගැනීමට නීතිමය හැකියාවක් ඇත. මීට හේතුව නම්  ප්‍රකාශන හිමිකම් ලබා දෙනුයේ යම් අදහසකට නොව, එම අදස ඉදිරිපත් කරනා ආකාරයට වීමයි. (“not the idea, but the expression of that idea” යන සංකල්පය මෙහිදී යොදාගැනේ).

නෛතික රාමුව

ප්‍රකාශන හිමිකම් පිලිබඳ මෙරට නීතිමය තත්වය දෙආකාර වේ. කතෘන්, සංගීතවේදීන් හා ගීත රචකයන් සඳහා ජීවිතාන්තය දක්වා මෙන්ම, මරණින් පසු වසර හැත්තෑවක් දක්වාද ප්‍රකාශන හිමිකම් හිමිවේ. අදාල නිර්මාණයන් මහජනතාව වෙත ගෙනයෑම වෙනුවෙන් ගායික ගායිකාවන් හා නළු නිළියන් හටද අයිතිවාසිකම් පෙලක් හිමිවේ. එම අයිතීන් සම්බන්ධිත ප්‍රකාශන අයිතීන් හෙවත් Related Rights නම් වන අතර, සිය ජීවිතාන්තය දක්වා මෙන්ම මරණින් පසුව වසර පනහක් දක්වාද අදාල අයිතීන් ඔවුන්හට හිමිවේ. ඉන් පසුව එම නිර්මාණයන්හි අයිතිය හිමිවනුයේ මහජනතාවටය. (මෙය Public domain නම් වේ). කෙසේ වෙතත්, තම ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය වූ බවට යමෙකුට තර්ක කළ හැකිවන්නේ අදාල පුද්ගලයා විසින් එම නිර්මාණය අනුගමනය කර හෝ පිටපත් කර ආර්ථිකමය වාසි සලසාගන්නේ නම් පමණි.

මෙරට ගොනුවී ඇති  බුද්ධිමය දේපල නඩු අතුරින් අති විශාල නඩු සංඛ්‍යාවක් පලවී ඇත්තේ ප්‍රකාශන හිමිකම් සදහා වීමද විශේෂත්වයකි. මෑත කාලීනව මෙරට විශාල ආන්දෝලනයන්ට තුඩු දුන් ප්‍රකාශන හිමිකම් නඩුකර කිහිපයක් පහත දැක්වේ.

“මනමේ” නාට්‍යය හා කෘතිය

(kala.lk)

(kala.lk)

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් චුල්ල ධනුද්ධර ජාතක කතාව පදනම් කරගනිමින් නිර්මාණය කල “මනමේ” නාට්‍යය සඳහා ප්‍රකාශන හිමිකම් ඔහුට හිමිවිය. ඊට හේතුව මනමේ නාට්‍යයේ පිටපත ස්වාධීන නිර්මාණයක් වීමයි.  නමුත් මනමේ නාට්‍යය පදනම් කරගනිමින් උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් නිකුත් කල පොතට එරෙහිව ලලිතා සරත්චන්ද්‍ර මහත්මිය විසින් ගොනුකල නඩුවේදී තීරණය වූයේ  සන්නස්ගල මහතා විසින් මහාචාර්යවරයාගේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කර ඇති බවයි. එම පොත සතුව කිසිදු ස්වාධීන නිර්මාණයක ලක්ෂණ නොවූ බව අධිකරණයේ තීන්දුව  විය.

“දඩයම” චිත්‍රපටය

(fragmenteyes.blogspot.com)

(fragmenteyes.blogspot.com)

වසන්ත ඔබේසේකර මහතා විසින් 1984 වසරේදී නිර්මාණය කරන ලද “දඩයම” චිත්‍රපටයට එරෙහිවද හිටපු විනිසුරු ඒ.සී. අලස් මහතා ප්‍රකාශන හිමිකම් නඩුවක් ගොනුකරන ලද්දේ දඩයම චිත්‍රපටය තමා විසින් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් ලියූ කෘතියකින් උපුටාගන්නා ලද බව පවසමිනි. රටම කැළඹූ විල්පත්තු ඝාතන නඩුව හෙවත් ඇඩ්ලින් විතාරන ඝාතන නඩුව පාදක කරගනිමින් අලස් මහතා විසින් රචිත “The Tragedy of Adeline Vitharana” නැමති පරිච්චේදය ඔහුගේ “Famous Criminal Cases of Sri Lanka” නැමති කෘතිය තුල අන්තර්ගත විය.

වසන්ත ඔබේසේකර මහතා විසින් තම කෘතියෙන් අනවසර ලෙස පුටා ගන්නා ලද තොරතුරු තුලින් දඩයම චිත්‍රපටය නිපදවා තම ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය කරන ද බවට ඔබේසේකර මහතාට චෝදනා එල්ල විය. නමුත් අධිකරණයේ තීන්දුව වූයේ අලස් මහතාගේ කෘතිය සතුව  ස්වාධීන නිර්මාණයක් සතු ලක්ෂණ නොවූ හෙයින් ඔබේසේකර මහතා විසින් කිසිදු අයුරකින් ඔහුගේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනයක් සිදුකොට නොමති බවයි.

“ඈත රන් විමන්” ගීතය

(youtube.com)

(youtube.com)

ප්‍රියා සූරියසේන මහතා විසින් ගයනු ලබන ඈත රන් විමන් ගීතය ගායනය වාරනයට ලක් කරමින් අතුරු ඉන්ජන්ශන් නියෝගයක් පසුගියදා කොළඹ වානිජ මහාධිකරණය විසින් නිකුත් කරන්නට යෙදුනි. ඊට හේතු වූයේ ශෙල්ටන් වීරරත්න මහතාට අනුව මෙම ගිතය 1965 වසරේදී ඔහු විසින් නිර්මානය කොට ක්ලරන්ස් මහතා අතුලු මූන්ස්ටෝන්ස් කන්ඩායමට ගායනය පිනිස ලබා දෙන ලදි. පසුව එම ගීය 1967 වසරේදී පටිගත කොට අත.

නමුත් ප්‍රියා සූරියසේන මහතා පවසා සිටින්නේ මෙම ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් නිර්මාණය කරන ලද්දක් බවයි. තම ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය වූ බවට පවසමින් මේ වනවිට වීරරත්න මහතා විසින් සූරියසේන මහතාගෙන් රුපියල් මිලියන දහයක වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත. නඩුවෙහි තීන්දුවක් ප්‍රකාශයට පත්වන තුරු ඈත රන් විමන් ගීතය ගායනා කිරීම මේ වනවිට තහනම් කොට ඇත.

ශීලා විජයවර්ධන එදිරිව රජීව් සෙබස්තියන්

(dailynews.lk)

(dailynews.lk)

ක්ලැරන්ස් විජයවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජයවර්ධන මහත්මිය විසින් පවරන ලද ප්‍රකාශන හිමිකම් නඩුවේදී තීන්දු වූයේ රජිව් සෙබස්තියන් මහතාට ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ ගීත කිසිවක් ගායනයට හෝ පටිගත කොට බෙදාහැරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි. විජයවර්ධනයන් මියගොස් වසර හැත්තෑවක් දක්වා ඔහු විසින් ගායනා කරන ලද 750කට අධික ගීත සංඛ්‍යාවක් සඳහා ප්‍රකාශන හිමිකම් තමාට හිමිවන බවට ශීලා මහත්මිය විසින් ඉදිරිපත්කළ ප්‍රකාශය අධිකරණය විසින් පිලිගන්නා ලද අතර, රජිව් සෙබස්තියන් විසින් ගායනා කරන ලද විජයවර්ධනයන්ගේ ගීත අතුලත් සී.ඩී. පට බෙදාහරීම නවතාලන වාරන  නියෝගයක්ද ටොරානා ආයතනයට එරෙහිව පනවන ලදි.

“රඟහල දැන් ඇත අඩ අදුරේ” ගීතය

(vijithaya.info)

(vijithaya.info)

මෙම ගීතයෙහි මුල් ගායකයා ලෙස සම්බන්ධිත ප්‍රකාශන අයිතීන්හි හිමිකරු වූයේ විජේරත්න වරකාගොඩ මහතාය. පසුකාලීනව මෙම ගීතය සංගීත් විජේසූරිය මහතා විසි නව ආරකින් ගායනා කරන ලදි. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන්ට එලඹීමට ගීතයේ රචක හඩ්සන් සමරසිංහ මහතා පියවර ගත් අතර, වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරන නියෝගයන් හමුවේ තම ගීය ගායනා කිරීම නවතාලීමට විජේසූරිය මහතාට සිදුවිය. නමුත් පසු කාලීනව එම ගීතය නැවත ගායනා කිරීමේ අවස්ථාව විජේසූරිය මහතාට ලබාදුනි. නමුත් තව දුරටත් කැසට් පට සදහා ගීතය පටිගත කිරීමෙහි සහ ඒ තුලින් මුදල් ඉපැයීමෙහි අවස්ථාව විජේසූරිය මහතාට අහිමි කරන ලදි.

යම් හෙයකින් සංගීත් විජේසූරිය විසින් සිය ගීතය මුල් ගීතයෙහි cover පිටපතක් ලෙස ඉදිරිපත් කරන ලද්දේ වී නම් එවිට ඔහුට එරෙහිව නඩු පැවරීමට හඩ්සන් සමරසිංහට නීතීමය ඉඩකඩක් හිමිවන්නේ නැත. නමුත් කැසට් පට සදහා එවැනි ගීත පටිගත කොට මුදලට විකිණීම මගින් ආර්ථික වාසි ඉපැයීමේ අවස්ථාව මෙරට බුද්ධිමය දේපල පනත මගින් ලබා දී නොමැත.

කෙසේ වෙතත්, ප්‍රකාශන හිමිකම් සහ සම්බන්ධිත ප්‍රකාශන අයිතීන් ද්විත්වයම අනන්‍ය අයිතීන් හෙවත් වෙනත් යමෙකුට භාවිතා කළ නොහැකි අයිතීන් ලෙස ලබා දුන්නද, ඒ තුලින් වෙළෙඳපොල තුල යම් යම් ඒකාධිකාරීන් ඇතිවීම වැළැක්වීමද ඉතා වැදගත්වේ. මේ හේතුවෙන් එක් නිර්මාපකයෙකුගේ හෝ එක් ආයතනයක අයිතිවාසිකමක් සෑම විටම සමාජයේ අනිකුත් පුද්ගලයන්ගේ සහ ආයතනයන්ගේ අයිතිවාසිකම සමගින් තුලනාත්මකව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍යවන නෛතික රාමුව සපයා දී තිබීමද ඉතා වැදගත් වේ.

(belegal.com)

(belegal.com)

තම සාහිත්‍යමය හෝ කලාත්මක නිර්මාණයන් හරහා ආර්ථිකමය වාසි ලබාගැනීමට නිර්මාතෘවරයෙකුට නීතිමය නිදහස ලබා දී තිබුනද, ඒ හරහා රසික ජනතාවගේ අයිතීන් අත්තනෝමතික ලෙස අවහිර කිරීමට ඉඩකඩ ලබානොදීමට රජය වගබලාගත යුතු වන්නේ එබවිනි.

කවරයේ ඡායාරූපය – raconteur.net

Related Articles